දේශපාලනයේදී මුස්ලිම්වරයෙකු ක්‍රියා කල යුත්තේ කෙසේද? (How should a Muslim act in politics?)

මුස්ලිම් පාලකයෙක් නබිතුමාගේ මග පෙන්වීම අනුව ක්‍රියා කල යුතුය. ඒ අනුව ඔහු සමාජයට පුර්වාදර්ශයක් ලබා දීමට බැඳී සිටින්නේය. නබිතුමාගෙන් පසුව  පත්වුණු කලීෆාවරුන් එලෙස ක්‍රියා කළහ. ඒ අනුව මුල්ම කලීෆා වරයා වන අබුබක්කර් රලි තුමා ඔහුගේ වේතනය ලෙස භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත්තේ ඔහුට සහ ඔහුගේ පවුලට යන්තම් ජිවත් වීමට තරම් මුදලකි. පළමු කලීෆා වන අබුබක්කර් රලි තුමාගෙන් පසුව බලයට පත්වුණු අනෙකුත් කලීෆාවරුන්ද ක්‍රියා කොට ඇත්තේ එලෙසින්මය.

ඉස්ලාමයේ මුල්ම කලීෆා වන අබුබක්කර් රලි තුමා සිය දුරයට පත්වූ පසු කල ප්‍රකාශය මෙසේය: “ඔබලා මට පාලන බලය ලබා දී ඇත.  එහෙත් මම ඔබලා අතරෙන් හොඳම තැනැත්තා යැයි නොසිතමි. එබැවින් මම නිවැරදි නම් පමණක් මට උදව් කරන්න; මම වැරදි නම් ඔබලා මාව නිවැරදි කරන්න. සත්‍යයට හිස නැමීම ඔබගේ යුතුකම වන අතර සත්‍යයට පිටු පෑම ද්‍රෝහීකමයි. කෙසේ වෙතත් දුබලයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන තෙක් මා ඔහු සමග සිටින්නෙමි. ඔබ අතරේ සිටින ශක්තිමත් තැනැත්තා ඔබගේ අයිතිවාසිකම් නොසලකා හරින්නේ නම් මා ඔහුට විරුද්ධව ක්‍රියා කරමි. මා දෙවියන්ට සහ ඔහුගේ දූතයාට කීකරු වන තාක් කල් ඔබලා මට අවනත වන්න. මා දෙවියන්ට හා ඔහුගේ දූතයාට අකීකරු වන්නේ නම්, ඔබලා මට කීකරු විය යුතු නැත” (අල්-බිදායා වන්-නිහායා 6: 305,306). මෙය සෑම පාලකයෙකුම අනුගමනය කරන්නේ නම් ජනතාවට ඔවුන්ගෙන් සේවයක් සිදු වනු ඇත.
ඉස්ලාම් රාජ්‍යයේ දෙවන කලීෆාවරයා වන උමර් රලි තුමාගේ ජිවිතාදර්ශය තුල අපට බොහෝ දේවල් ඉගෙන ගැනීමට ඇත. ඔහු සාමාන්‍ය ජිවිතයක් ගත කල කෙනෙකි. එතුමා ජනතාව ගැන සොයා බැලීම සඳහා වෙස්වලාගෙන රාත්‍රී මුර සංචාරයේ යෙදී ඇත. එහෙත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය.
නබිතුමාගෙන් පසු පත්වූ මුල් කලීෆාවරුන් දෙවියන්ට වග කිව යුතු බව හොඳින් සිහියේ තබාගෙන ජිවත් වුහ. ඒ අනුව ඔවුන් සියළු දෙනාම මෙලොවට වඩා මරණයෙන් පසු ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කළහ. එවැනි විශ්වාසයක් නොමැති පාලකයින් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා කරයිදැයි බලා පොරොත්තු තැබිය හැකිද? අද සිටින බොහෝ පාලකයින්ට මිලියන හාරසියේ පන් සියයේ වාහන අවශ්‍ය ය. එහෙත් නියම මුස්ලිම්වරයෙකු නම් කල යුත්තේ සාමාන්‍ය මිනිසුන් මෙන් ජිවත් වීමය. එක් නබි වදනක සඳහන් වන පරිදි නීති ගරුක පාලකයෙකුට අල්ලාහ්ගේ අර්ෂ් හි සෙවන මිස වෙන සෙවනක් නොමැති එම දිනයේදී දෙවියන්ගේ සිංහාසනය යට සෙවන ලැබෙන බව පවසා ඇත.
හොඳ හෝ නරක පාලකයින් පත් වීම දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන්නේය. ඊට බලපාන ප්‍රධාන සාදකයක් වන්නේ මිනිසුන්ගේ දැහැමි ජීවිතයයි. මේ නිසා පාලකයින් හොඳ වීමට ජනතාව හොඳ විය යුතුය. ජනතාවගේ ක්‍රියා කලාපයන් නරක නම් හොඳ පාලනයක් බලාපොරොත්තු විය නොහැකිය. ඊට උදාහරණය කෙසේද යත් පොල් පැළයක් සිටුවා දෙල් ගෙඩි බලාපොරොත්තු වීමට සමානය. මේ නිසා රටේ හොඳ පාලන බලයක් පැවතීමට නම් ජනතාව දැහැමි විය යුතුය.

පොදු දේපල සොරා ගැනීම බලවත් වරදකි. මෙය පහත සඳහන් කරුණින් පැහැදිලි වේ. නබිතුමාගේ එක් අනුගාමිකයෙක් යුද්ධයකදී ලබා ගත් දේවල් සහාබා වරුන් අතර බෙදා දීමට පෙර සොරා ගෙන තිබුනේය. එය දැනගත් නබිතුමා පවසා සිටියේ ඔහුට නිරයේදී ගින්නෙන් වූ එක් පොරොනයකින් දඬුවම් කරන බවයි. මින් පැහැදිලි වන්නේ පොදු දේපල සොරකම් කිරීම ඉතා බයානක දෙයක් බවයි. මේ නිසා බලයට පත්වන සෑම කෙනෙක්ම ඔවුන් කරන කියන සෑම දෙයක් ගැනම දෙවියන්ට වගකිව යුතු බව හොඳින් සිහියේ තබා ගත යුතුය.

සෑම පාලකයෙකුගෙන්ම මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී ඔවුන් ක්‍රියා කල ආකාරය ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. මේ නිසා පාලකයින් තම වගකීම ගැන බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. නැතහොත් ඔවුන්ට මරණයෙන් පසු විශාල අකර තැබ්බකට මුහුණ දීමට සිදු වනු ඇත. එසේම ජන්ද දායකයා ද සුදුස්සා වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කල යුතුය. එය ඔවුන්ට පැවරෙන ප්‍රධාන වගකීමකි.

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.