අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 2 

චෝදනාව: කුරානය 3:28

චෝදනාවක් ලෙස ඉහත සඳහන්අල් කුර්ආන් වැකිය ඉස්ලාම් විවේචකයින් විසින් දක්වා ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු. වරහන් තුල ඇත්තේ එම අදහස් ඉදිරිපත් කරන්නන්ගේ මතයන්ය. 

“මුස්ලිම්වරුන් විසින් කිසිලෙසකින්වත් මුස්ලිම්වරුනට උඩින් අන්‍යාගමිකයින් මිතුරන් ලෙස නොගත යුතුය. මෙම නියෝගයට එරෙහිව යන මුස්ලිම්වරයෙකු වේ ද, (ඔහුගේ මුස්ලිම්භාවය අහෝසි වන අතර) අල්ලාහ් ඔහු සමග ඇති සියලු සම්බන්ධකම් සදහටම නවතා දමනු ඇත. නමුත් (ඔබ වෙසෙන්නේ අන්‍යාගමික සමාජයක නම් හෝ අන්‍යාගමිකයින්ගේ බලය මුස්ලිම්වරුන්ගේ බලයට වඩා වැඩි නම්), ඔබේ ආරක්ෂාව (එනම්, අන්‍යාගමික භුමිය තුළ මුස්ලිම්වරුන්ගේ සහ ඉස්ලාමයේ පැවැත්ම සහ ප්‍රසාරණය) පිණිස භාවිතා කළ හැකි උපක්‍රමයක් ලෙස පමණක් ඔවුන් සමග මතුපිටින් පමණක් පෙන්වන්නා වූ මිත්‍රත්වයක් පවත්වා ගෙන යෑමට අල්ලාහ් විසින් (මුස්ලිම්වරුන්ට) නියෝග කොට ඇත”.

ඉහත කොටස සමග ඉබ්න් කතීර් තුමාගේ යැයි පවසන විග්‍රහයක් හා හදීස් වදන් යැයි සඳහන් වැකි කිහිපයක් සඳහන් කොට අවසානයට පහත සඳහන් කොටස ඉදිරිපත් කොට ඇත.

අප සමාජය පැටලී ඇති පඹගාලේ ස්වභාවය කුමක්දැයි දැන්වත් ඔබට වැටහිය යුතුය. අප රට ජාතිය ඉදිරියේ ඇත්තේ මෙතෙක් ඔබ සිහිනෙන්වත් නොසිතු ආකාරයේ ප්‍රෝඩාකාරී එමෙන්ම මහත් වූ විනාශකාරී සිතා ගැනීමට පවා අපහසු ව්‍යාකුල තත්ත්වයකි. එහෙත් අප මෙම අභියෝගයට මුහුණ දිය යුතුය, අප ඉස්ලාමීය ම්ලේච්ඡත්වය පරදා ජය ගත යුතුය. අපගේ දේශයත්, ආගමත් බේරා ගත යුතුය.

විග්‍රහය: ඉහත කොටස විචාරයෙන් තොරව කියවන අයෙකුගේ සිත් හි ඉස්ලාම් දහම හා මුස්ලිම්වරුන් පිළිබඳ ඉතා භයානක චිත්ත රූපයක් ඇතිවීම සර්ව සාධාරණය. එහෙයින් මේ පිළිබඳ සත්‍යය පදනම් කරගත් විචාරශීලී විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කරන්නෙමු. පළමුව ඉහතින් උපුටා දැක්වූ අල් කුර්ආන් වැකියේ නිවැරදි සිංහල අර්ථ දැක්වීම වෙත යොමු වෙමු.

“විශ්වාසිකයින්, විශ්වාසිකයින් හැර ප්‍රතික්ෂේපකයින්ව සමීප මිතුරන් ලෙස නොගත යුතය. තවද ආරක්ෂක උපායක් ලෙස ඔවුන්ගෙන් නුඹලා පූර්වාරක්ෂාව ලබා ගැනීමට මිස කවරෙකු මෙලෙස කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් වූ (දහමෙහි) කිසිවක (හිමිකරුවෙකු) නොවන්නේය. අල්ලාහ් තමන් පිළිබදව නුඹලාට අවවාද කරන්නේය. අවසානයෙහි යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය.”. (අල් කුර්ආන් 3:28)

මෙම පරිවර්තන දෙක බුද්ධිමත් ව කියවන අයෙකුට අල් කුර්ආන් වැකි විකෘති කොට ඇති ආකාරය පැහැදිලිව දැක ගත හැකිය. මෙම අල් කුර්ආන් වැකිය හා සමාන වැකි රාශියක් අපට දකින්නට ඇත. එම සමාන වැකි සැලකිල්ලට නොගෙන මෙම වැකියට අර්ථ දැක්වීමක් සිදුකළ නොහැක. මෙය අල් කුර්ආන් වැකි අර්ථ දැක්වීමේ දී සැලකිල්ලට ගතයුතු එක් පොදු සම්ප්‍රදායකි. අල් කුර්ආන් වැකි අර්ථ දැක්වීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත තවත් ලිපියකින් විග්‍රහ කොට ඇත්තෙමු. ඉහත වැකිය හා බැඳි අනෙකුත් වැකි කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හට ද නුඹලාගේ නිවෙස් වලින් (නුඹලාව) පලවා නොහැරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය” (අල් කුර්ආන් 60:8)

“සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේම දහම හේතුවෙන් නුඹලා හා සටන් කළවුන් සමග ද නුඹලා ව නුඹලාගේ නිවෙස් වලින් පලවා හැරියවුන් සමග ද නුඹලා ව පලවා හැරීමට උපකාර කළවුන් සමග ද මිතුදම් පෑමයි. කවුරුන් ඔවුන් සමග මිතුදම් පාන්නේ ද ඔවුන්මය අපරාධ කළවුන් වන්නේ”. (අල් කුර්ආන් 60:9)

ඉහත චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති අල් කුර්ආන් වැකිය පිළිබඳ අප අවධානය යොමු කළ යුතු කරුණක් ඇත. මෙම අල් කර්ආන් වැකියේ පසුබිම වන්නේ අන් ආගමිකයින් විසින් කුරිරු ලෙස මුස්ලිම්වරුන්ව මැරීමට හා දේපල හානි සිදු කිරීමට එන්නා වූ අවස්ථාවේ දී හැර අන් අවස්ථාවන්හි නොවේ. කෙනෙකු මුස්ලිම් නොවන්නන්ව සමීප මිතුරන් ලෙස නොගන්නා ලෙස අල්ලාහ් පවසා තිබීමෙන් සෑම වර්ගයේම මිතරුකම අදහස් නොකෙරේ. මෙයට පෙර ඉදිරිපත් කළ ලිපියෙන් අල් කුර්ආන් වැකි පිළිබඳ අර්ථ දැක්වීම සම්බන්ධයෙන් නිවැරදි මඟ පෙන්වීම් ලබාදෙයි. මන්දයත් ඉස්ලාමීය කෝණයෙන් මිතරුකම වර්ග හතරකට බෙදා වෙන් කොට දැක්විය හැක.

1. මුදාරාත් = මෙය පොදුවේ යහ ලෙසින් හැසිරීම වේ.

2. මුවාසාත් = මෙය මිතරුකමින් හා අන් අයට ප්‍රයෝජනයක් වන අයුරින් හැසිරීම සහ ඇතැම් අවස්ථාවන්හි මුදල්මය උපකාර කිරීමද වේ.

3. මුආමලාත් = මෙය ගනුදෙනු හා ව්‍යාපාර වැනි මුදල්මය වැඩ කටයුත වල යෙදීම වේ.

4. මුවාලාත් = කෙනෙකුට තම සංස්කෘතියෙහි හා වෙනසක් හෝ හානියක් ඇති වන තරමට තවත් කෙනෙකගේ සංස්කෘතියෙන් බලපෑමක් ඇතිවන අන්දමින් ඔහු සමග ඇසුරු කිරීම වේ. එපමණක් නොව එම දෙදෙනාගේ අරමුණ හා අභිමතාර්ථය එකක් බවට වී එය ඉටු කිරීමට එකිනෙකාට සහය දැක්වීමයි.

මුස්ලිම්වරයෙක මුස්ලිම් නොවන්නන් තම සමීප මිතරෙක ලෙස පත් නොකරන මෙන් අණ කර තිබීමෙන් අදහස් කරන්නේ මෙම හතර වන වර්ගයේ ‘මුවාලාත්‘ නම් ඇසුරු කමය. එය නොවන අනෙකුත් වර්ගයේ පොදුවේ ඇසුරු කම් පැවැත් වීම මෙවන් වැකි මගින් අදහස් නොකෙරෙන අතර එවැනි අයුරින් ඇසුරු කිරීම ඉස්ලාමයේ ප්‍රියජනක ක්‍රියාවක් වන බව ඉස්ලාමීය ඓතිහාසික සාධකයන් තුළින් පැහැදිළිවම සනාථ වෙයි. යම් සමූහයක් තම චාරිත්‍ර හා සංස්කෘතිය ආරක්ෂා කිරීම සදහා උත්සුක වන්නේ නම් එය අපවාදයට ලක් විය යුත කරුණක් නොවේ. මන්දයත් සියලු සංස්කෘතීන් සදහා ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගනු ලබන උරුමයන් අතුරින් තම සංස්කෘතිය ආරක්ෂා කිරීමේ උරුමය ද වේ.

එහෙයින් මෙම වැකිය තුළින් අදහස් කෙරෙනුයේ මුස්ලිම් නොවන්නන් සමග විරුද්ධ කම් පෑම නොවේ. එයට වෙනස්ව මුස්ලිම්වරුන් අනෙකුත් සංස්කෘතිකයින් සමග ඇසුරු කළද තම ධාර්මික සංස්කෘතිය ආරක්ෂාවන අයුරින් ඇසුරු කම් පෑමට වගබලා ගත යුත බවය. මෙය මුස්ලිම් වරුන්ට පමණක් නොව බෞද්ධ, කිතුනු හා හින්දු භක්තිකයින්ට ද සමසේ බලපාන සමාජ සත්‍යයකි.

මුස්ලිම් නොවන්නන් වර්ග තුනකි

1) පළමු කොටස නම් මුස්ලිම් රටවල්හි ඉස්ලාමීය රජය යටතේ වෙසෙන්නන්ය. මොවුන්ට දිම්මී වරුන් යැයි හඳුන්වනු ලැබේ. මේ පිරිසගේ ආරක්ෂාව පිළිබඳ පුර්ණ වගකීම ඉස්ලාමීය රජය දැරිය යුතු වෙයි.

2) දෙවන කොටස නම් ශ්‍රී ලංකාව මෙන් රටවල්හි පොදුවේ මුස්ලිම්වරුන් සමග සහජීවනයෙන් වෙසෙන්නන්ය. මොවුන්ට මුආහිද්වරුන් යැයි පවසනු ලැබේ. මෙම දෙපාර්ශවය විෂයයෙහි ඔවුන්ගේ ජීවිතයන්ට හෝ සම්පත් වලට හෝ අයිතිවාසිකම් වලට හෝ කිසිදු ආපදාවක් ඇතිවන අයුරින් හැසිරීම මුස්ලිම්වරුන්ට තහනම්ය. එපමණක් නොව එය මහා පාපයක් ලෙස ද සලකනු ලැබේ.

3) තෙවන කොටස නම් මුස්ලිම්වරුනට විරුද්ධකම් පෙන්වමින් ඔවුනට එරෙහිව සාපරාධි ලෙස සටනට පෙළඹෙන්නන්ය. මුස්ලිම්වරුනට සටන් කරන මෙන් අල්ලාහ් විධානය කොට ඇත්තේ මෙම පිරිසට එරෙහිවය. මොවුන් හර්බීවරුන් යැයි හඳුන්වනු ලැබේ. මෙම නීතිය පහළ වී ඇත්තේ මෙවන් පාර්ශවයක් පිළිබදව හා මුස්ලිම්වරුන් ලෙස තමන්ව පෙන්වමින් මුස්ලිම්වරුන්ටම වංචා කරමින් සිටි මුනාපික්වරුන් හෙවත් ආත්ම වංචනිකයින් පිළිබදව පමණකි.
මේ පිළිබඳ පහත අල් කුර්ආන් වැකි දෙස ද ඔබගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමු.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ”. (අල් කුර්ආන් 29 – 46)

විශ්වයේ අධිපති දෙවිඳුන් තමන් යැයි ජනයා නොමග යවමින් සිටි පාරාවෝ වැන්නෙකු සමග ද අන්තර් ක්‍රියාකාරකම් හි යෙදිය යුතු පිළිවෙත මුසා (මෝසෙස්) හා හාරුන් ධර්ම දුතයන් වෙත දන්වා සිටි අයුරු පහත අල් කුර්ආන් වැකියෙන් පැහැදිළි වෙයි.

“එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවූ”. (අල් කුර්ආන් 20 : 44)

කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි.

මුහම්මද් තුමාණන් දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ.

තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන් වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි මිතුරෙකු පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම මිතුරා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි.

මේ පිළිබඳ තව දීර්ඝ විග්‍රහයන් ඇතත් ඉහත අල් කුර්ආන් වැකි හා විග්‍රහයන් ප්‍රමාණවත් වේ යැයි සිතන්නෙමු.

By: එම්. අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.