කුහකකම නිරයට යන මාර්ගයයි (Hypocrisy is the way to hell)

ඉස්ලාම් දහම අනුව මුනාෆික්කම නොහොත් කුහකකම විශාල පාපයකි. ඇයිද යත් ඇතැම් අයගේ කුහකකම නිසා ඔවුන් ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. එහෙත් ඔවුන් ඒ බව දන්නේ නැත. එබැවින් කුඩා පරිමාණයේ හෝ විශාල පරිමාණයේ කුහකකම්වලින් වැලකී සිටීමට සෑම මුස්ලිම්වරයෙකුම උත්සාහ කල යුතුය. එසේ තිබියදී නවීන සමාජය තුල කුහකකම ඉහ වහාගොස් ඇත. බොහෝ අය උදේට කියන දේ හවසට වෙනස් කරන්නේය. හවසට කියන දේ උදේට වෙනස් කරන්නේය. ඔවුන් දෙන පොරොන්දු ඉටු කරන්නේ නැත. තම වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වන්නේය. එමගින් අනෙකාට සිදුවන පාඩුව ගැන කිසිම තැකීමක් කරන්නේ නැත. එසේ තිබියදී ඇතැම් අය දෙවියන්ව රැවටීමට උත්සාහ කරති. එය ඉතා බයානක ක්‍රියාවක් වන්නේ එවැනි ක්‍රියාවලින් කෙනෙකුගේ දේව විශ්වාසය ගිලිහී යන නිසාය.

කුහකයින් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන්ට වඩා නීච වන හෙයින් ඔවුන් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන්ට වඩා කලින් නිරයට ඇතුළු කරන බව නබි වදන් වල සඳහන් වේ. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ අය මේ ගැන සිතා බලන්නේ නැත.

ඇතැම් අය පංච කාල සලාතය ඉටු කරති. එසේම වසරකට වරක් උපවාස කරති. හජ් වන්දනය ඉටු කරති. එහෙත් ඔවුන් මිනිසුන්ට බොරු පොරොන්දු දීමෙහිද මිනිසුන්ට වංචා කිරීමෙහිද නිරත වෙති. මින් සිදු වන්නේ ඔවුන් කරන කුසල්වලට ආනිසංස නොලැබී යාමයි. නබිතුමාගේ කාලයේදී ද මෙවැනි අය දැක ගැනීමට හැකි විය. අබ්දුල්ලා ඉබ්නු උබෙයි ඉන් කෙනෙකි. කෙසේ වෙතත් නබිතුමාගේ හිජ්රත් ගමන සිදුවන තෙක් මක්කා වැසියන් ළඟ කුහකත්වය තිබුනේ නැත. ඒ අනුව හිජ්රතයට පෙර මක්කා වාසින් සත්‍යය කතා කිරීම අගය කොට සලකුවෝය. මෙය හොඳින් පැහැදිලි වන්නේ එවකට නබුතුමාගේ සතුරෙක්ව සිටි අබු සුෆියාන්ගෙන් අබිසිනියාවේ රජ විමසා සිටි අවස්ථාවේදී ඔහු විසින් දෙන ලද පිළිතුරු දෙස බැලීමේදීය. ඔහු එවකට නබිතුමාගේ සතුරෙක්ව සිටියත් නබිතුමා ගැන කිසිම බොරුවක් කිවේ නැත.

නබිතුමාගේ ජිජ්රත් ගමනින් පසු මදිනා වැසියන් අතර මුනාෆික් හෙවත් කුහකයින් දැක ගැනීමට හැකි විය. විශේෂයෙන්ම එම තත්වය ඇති වුයේ බලය ලබා ගැනීමේ උවමනාව නිසාය. අද මෙන්ම එදත් බලයට කෑදරකමින් එලොවට වඩා මෙලොව ලාභ ප්‍රයෝජන සඳහා දහමට පිටුපා ක්‍රියා කොට තිබේ. මෙලෙස ක්‍රියා කලේ අබ්දුල්ලා ඉබ්නු උබෙයි යන තැනැත්තා ය. ඔහු මිය ගියේද මුනාෆික්වරයෙකු ලෙසය. මේ නිසා ඔහු කෙටි කාලින ලාබ ප්‍රයෝජන සඳහා අනන්ත කාලයක් වන මතු ජීවිතය විනාශ කර ගත්තේය. වන්චනිකයින්ට දෙවියන් නිවැරදි මාර්ගය පෙන්වන්නේ නැත. තවද අල්කුරානයේ කුහකයින් පිළිබඳව ලියැවුණු  බොහෝ වදන් දැකිය හැකිය. ඉන් කිහිපයක් පහත දැක්වේ.

“ඔවුන් අල්ලාහ්වද, විශ්වාස කලවුන්වද මුළා කරන බව සිතති. (එහෙත් සත්‍යවශයෙන්ම) ඔවුහු තමන්වම මුලාකරගනිති. (එහෙත්) ඔවුන් එය වටහානොගනිති. ඔවුන්ගේ සිත් (සැකය නමැති) රෝගයෙන් පෙලෙන්නේය. අල්ලාහ් ඔවුන්ගේ එම රෝගය අධික කළේය. තවද ඔවුන් අසත්‍ය පවසනන් ව සිටි හෙයින් ඔවුන්ට හිංසාකාරී වේදනාව ඇත” (කුරානය 2:9,10).

“මොවුන් යහ මග වෙනුවට නොමග මිලයට ගත්තවුන්ය. එබැවින් ඔවුන්ගේ එම වෙළඳාම පාඩුවක්මය. ඔවුන් නිවැරදි මාර්ගය අත්කර ගත්තවුන් ද නොවේ” (කුරානය 2:16).

“(විශ්වාස කළ) මොවුන්ගේ පාර්ශවයටද (ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුන්ගේ පාර්ශවයටද නැතිව මොවුහු අතර මගෙහි දඟලමින් සිටිති. අල්ලාහ් කවරෙකුව මං මුලාවෙහි හැර දමයිද ඔහුට කිසිඳු මගක් නුඹ නොදකින්නේහිය” (කුරානය 4:143).

නබිතුමා පවසා ඇති පරිදි මුනාෆික්වරයෙකුගේ ප්‍රධාන ලක්ෂණ තුනකි. ඔහු කතා කරන විට බොරු කියන්නේය. විශ්වාස කළේ නම් ඊට ද්‍රෝහී වන්නේය. පොරොන්දු දුන්නත් ඒවා ඉටු කරන්නේ නැත. කෙසේ වෙතත් එවැනි අය මිනිසුන්ට පෙන්වීම සඳහා දහමේ ඇති උපවාස, හජ් ඉටු කරති. තවද තමන් මුස්ලිම්වරයෙකු යැයි පවසති (සහිහ් මුස්ලිම්).

නියම මුස්ලිම්වරයෙකු හැකි තරම් දෙවියන්ට බිය බැතිකමින් ජිවත් වීමට උත්සාහ කල යුතුය. තමන්ගෙන්  යම් වැරැද්දක් සිදු වුයේ නම් ඊට පසුතැවිලි වී සමාව ගත යුතුය. සැම විටම සත්‍යවන්තයෙක් ලෙස ජිවත් වීමට උත්සාහ කල යුතුය. නැතහොත් ඔවුන්ගෙන් සිදු වන්නේ දහමට කැළලකි. එපමණක් නොව ඔවුන් මිය ගිය පසු අනත්ත කාලයක් නිරයේ පිඩා විඳිනු ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research

Leave a Reply

Your email address will not be published.