ජිහාද් සහ ත්‍රස්තවාදය යනු එකමද? (Is Jihad and Terrorism the same?)

ජිහාද් යන්නට ඉස්ලාම් දහමින් පුළුල් අර්තක් ලබා දී තිබේ. එය නොදන්නා බොහෝ අය ජිහාද් සහ ත්‍රස්තවාදය යන කරුණු දෙක පටලවාගෙන ඇත. ඉස්ලාම් දහමින් යුද්ධ කිරීමට අවසර ලබා දී ඇතත් ත්‍රස්තවාදය ගැන කිසිම සඳහනක් සිදු නොට නොමැත. කෙසේ වෙතත් කුරානයේ ඇති වගන්ති ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් දහමින් කිසි සේත්ම අනුමත නොකරන බවයි. 

අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම මුළු මහත් මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමානය. එසේ තිබියදී බස් නැවතුම් පොලකදී හෝ සාප්පු සංකිර්නයකදී බෝම්බයක් පුපුරවා හැරීම කෙසේ නම් ඉස්ලාම් දහමට අනුකුල යැයි පැවසිය හැකිද?

ජිහාද් යන්නට ලබා දී ඇති ඇතැම් පැහැදිලි කිරීම් පහත දැක්වෙන නබි වදන්වලින් දැක ගත හැකිය.

එක් අවස්තවකදී අයිෂා තුමිය, ‘නබිතුමාණෙනි! අපටත් ඔබ සමග යුද්ධ කිරීම සඳහා සහබාගි විය හැකිදැ’යි? විචාළේය. එවිට නබිතුමා පවසා ඇත්තේ කාන්තාවන්ගේ හොඳම ජිහාදය අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කිරීම යැයි පවසා ඇත. ඒ බව දැනගැනීමට ලැබීමෙන් පසු ආයිෂා තුමිය පවසා ඇත්තේ: ‘මින් පසු හජ් වන්දනය අත් නොහැරීමට මා අධිෂ්ඨාන කරගතිමි’යි යනුවෙනි (සහිහ් අල් බුහාරි 3.84).

හජ් වන්දනය ඉටු කිරීම පමණක් නොව තම මවට උදව් උපකාර කිරීමත් ජිහාද් ලෙස සලකනු ලැබේ.

අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා පවසන වග නම්: එක් සහාබිවරයෙක් නබිතුමාගෙන් ‘මා ජිහාද් හි සහබාගි වෙන්නදැ’යි විමසා තිබේ. එවිට නබිතුමා, ‘ඔබගේ දෙමව්පියන් ජිවතුන් අතර සිටිනවා දැ’යි විමසා ඇත. ඔහු, ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් විට ඔවුන්ගේ යහපත වෙනුවෙන් ජිහාද් කරන්නැයි නබිතුමා පවසා අත (සහිහ් බුහාරි 8.3).

කරුණු එසේ තිබියදී සතුරන් සමග යුද්ධ කිරීම සඳහා අවසර ලැබී ඇත්තේ අල්කුරානය පහළ වී වසර දහතුනක් පමණ ගෙවී ගිය පසුවයි. මෙම අවසරය නිකම්ම ලැබුණු දෙයක් නොවේ. ජිහාද් සඳහා අවසරය ලැබී ඇත්තේ ආරම්භ කාලයේදී මුස්ලිම්වරුන්ට සතුරන්ගෙන් සිදු වුනු හිංසනයන් පමණ ඉක්මවා ගිය පසුවය.

සතුරන්ගෙන් නබිතුමාට සහ ඔහුගේ අනුගාමිකයින්ට අත්විඳීමට සිදු වූ කෘර ක්‍රියාවන් කොපමණ දරුණු විද යත් එක් අවස්තවකදී සතුරන් විසින් නබිතුමාව ඝාතනය කිරීමට පවා ඉදිරිපත් වූහ. මේ හේතුවෙන් නබි තුමාට සිය නිජ බුමිය හැර දමා මදිනාවට පලා යෑමට සිදු විය. මෙය නබිතුමා සිදු කල හිජ්රත් ගමන ලෙස හැඳින්වේ. ඇතැම් සහාබාවරුන්ව ගිනි අඟුරු මත නිදා ගැනීමට සලස්වා ඉස්ලාම් දහම අත්හරින ලෙස නියෝග කොට තිබේ. මේ අනුව එක් අවස්තවකදී උමෙයියාගේ වහලෙක් වූ බිලාල් (රලි) තුමාගේ බෙල්ලෙන් ලණුවක් ගැට ගසා ඔහුව රත්වූ කාන්තාරයේ ඇදගෙන යාම සඳහා තරුණයින් උසි ගන්වා තිබේ. ඉන් නොනැවතුණු ඔවුහු බිලාල් රලි තුමාගේ පපුව මත විශාල ගලක් පෙරලා ඉස්ලාම් දහම අත්හරින්නැයි බල කොට ඇත. කෙසේ වෙතත් බිලාල් රලි තුමා පර්වතයක් මෙන් නොසෙල්වී  “අහද් අහද්” යනුවෙන් අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැවතත් උච්චාරණය කොට තිබේ. තවත් අවස්තවකදී නබිතුමාගේ දුව zසෙයිනබ් තුමිය මක්කා නගරය හැර දමා මදීනාවට යමින් සිටින අවස්ථාවේදී එක් පාපතරයෙක් හෙල්ලකින් ඇයගේ උදරයට ඇනීම නිසා ගැබ් ගෙන සිටි ඇය ගබ්සාවට පත් වූ අතර දින ගණනාවක් වේදනා විඳීමෙන් පසු මිය ගියාය. මෙවැනි වද හිංසා සෑම දාම ඉවසා සිටීමට කිසිවෙකු කැමති වන්නේ නැත. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ කිරීම සඳහා අල් කුරානයෙන් අවසර ලැබුනේය. එම වගන්තිය පහත දැක්වේ.

“(සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා) කලහයන් හේතුවෙන් අසාධාරණයට ලක්වුවන් හට අනුමැතිය පිරි නමන ලදී; ඇයිද යත් ඔවුන් අසාධාරණයට ලක් වුවෝ වෙති; තවද නියත වශයෙන්ම, ඔවුන් හට ජයග්‍රහණය ලබා දීම සඳහා අල්ලාහ්ට හැකියාව ඇත්තේය. “අපගේ සමිඳුන් අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන්” කිසිඳු සාදාරන හේතුවක් නොමැතිව ඔවුන්ව සිය නිවෙස් වලින් පිටමන් කරනු ලැබුහ” (කුරානය 22:39,40).

ඉහත සඳහන් කුර්ආන් වැකිය අනුව යුද්ධ කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ යම් සාදාරන හේතුවක් සඳහාය. ඒ හැර වෙනත් ලෞකික හේතුන් මත යුද්ධ කිරීම වරදකි. එවැනි යුද්ධ බොහෝ විට සිදු වන්නේ මුස්ලිම් නොවන රටවල් විසින් වෙනත් රටවල් යටත් කර ගැනීමේදී ය. අනෙක් අතට ත්‍රස්තවාදීන් කුමන ආගමක් නියෝජනය කලත් ඔවුන් විසින් යුද්ධ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා ක්‍රියා කිරීම ය. ත්‍රස්තවාදීන් කිසිම දහමක නීති පිළිපදින්නේ නැත.

අල් කුරානයට අනුව යුද්ධයක් සිදු වෙමින් තිබියදී සතුරා සාමය සඳහා දෑත දිගු කලේ නම් වාහාම යුද්ධය නතර කල යුතුය. එහෙත් ත්‍රස්තවාදීන් එසේ කරන්නේ නැත. තවද ඉස්ලාමිය යුද්ධයකදී පතද දැක්වෙන කරුණු අනුගමනය කල යුතුය. මෙම නීති රීති පවා ත්‍රස්තවාදීන් විසින් අනුගමනය කරනු ලබන්නේ නැත.

ඉස්ලාමිය යුද්දයකදී පහත දැක්වෙන කරුණු අනුගමනය කල යුතුය. එහෙත් ත්‍රස්තවාදීන් එම කරුණු කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේද නැත.

  • විශ්වාසය කඩ නොකළ යුතුය
  • යුද්ධයේදී ඝාතනය වූ අයගේ මල සිරුරුවලට හානි නොකළ යුතුය
  • ළමුන්, කාන්තාවන් සහ වයසක උදවිය ඝාතනය නොකළ යුතුය
  • ගස්කෝලන් විනාශ නොකළ යුතු අතර විශේෂයෙන්ම ඵල දරන ගස්වලට හානි නොකළ යුතුය
  • අහාරයට මිසක් සතුරන්ගේ පට්ටි විනාශ නොකළ යුතුය
  • ආශ්‍රමික පිරිස් වලට හිරිහැර නොකළ යුතු අතර ඔවුන්ගේ දහම් ඇදහීමට ඉඩ ලබා දිය යුතුය

නබිතුමාගේ කාලයේදී සිදුවූ සෑම යුද්ධයකදීම ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධාරණය කොට තිබේ. එම යුගයේදී සිදුවූ සටන් වලදී සතුරා සමහ මුහුණට මුහුණලා ගැටුණු බැවින් යුද්ධයට සම්බන්ද නොවූ අයට කිසිම හානියක් සිදු නොවිය. එහෙත් නවීන යුද්ද වලදී භාවිතා කරනු ලබන අවි ආයුධ නිසා සම්පුර්ණ රටමක් ම විනාශ වන්නේය. මෙය ඉස්ලාමිය යුද්ධයක සහ ඉස්ලාම් නොවන යුද්ධයක දැකිය හැකි ප්‍රධාන වෙනසකි. තවද ඉස්ලාමිය යුද්ධයකදී සිරකරුවනන්ට සැලකිය යුතු ආකාරය ගැන පවසා ඇත. එහෙත් ත්‍රස්තවාදීන් එවැනි නීති අනුගමනය කරන්නේ නැත.

ඉහත දැක්වූ කරුණු අනුව කිසිම ආකාරයකින් ත්‍රස්තවාදය සහ ජිහාද් යන දෙක සම කල නොහැකිය. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ isis යනු ඉස්ලාමිය සටන් කාමීන් ලෙසය. මෙය අත්ශයින්ම වැරදි සිතුවිල්ලක් බව ඔවුන් තේරුම් ගත යුතුය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.