ලෞකික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ස්වර්ගය අහිමිකර ගන්නවාද? (Do you take away Paradise for worldly happiness?)

ස්වර්ගය සත්‍යයකි. නිරයද සත්‍යයකි. මෙලොව ජීවිතය ගතකරන ආකාරය අනුව මරණයෙන් පසු අනිවාර්යයෙන්ම ඉන් කුමකට හෝ ඇතුලත් වීමට සිදු වන්නේය. දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මේ ගැන දැනුවත් කොට ඇත. එහෙත් බොහෝ අය ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැත. දෙවියන් අවසාන වරට පහළ කල අල්කුරානයේ ස්වර්ගය සහ නිරය පිලිබඳ මනා පැහැදිලි කිරීමක් සිදු කොට තිබේ.

මරණයෙන් පසු ජිවිතයක් නොමැති නම් මිනිසා කරන  හරි හෝ වැරදිවලට සාධාරණය ඉටු කල හැකි වෙනත් තැනක් නොමැත. මේ ලෝකයේ වැරදි කරන අය බොහෝ සුර සැප විඳිති. නිවැරදි දේ කරන බොහෝ අය දුක් විඳිති. මේවාට නිසි විනිශ්චයක් ලැබෙන්නේ මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදීය. දෙවියන්ගේ එම විනිශ්චයට එරෙහිව කිසිවෙකුට මැදිහත් විය නොහැකිය. එම දිනයේදී සෑම කෙනෙකුටම තමන් මෙලොවදී කල දේවල් වලට සරිලන කුලිය ලැබෙනු ඇත.
මෙලොව ජීවිතයේදී සුළු පිරිසක් හැරුණු විට දහම අදහනවා යැයි කියන අය පවා මරණයෙන් පසු ජිවිතයට සුදානම් වන්නේ ඉතා අලස විදියටය. ඔවුන්ගේ ක්‍රියාවන් දෙස බලන කල ඔවුන්ට මතු ජීවිතය ගැන ඇත්තේ සැකයක් යැයි සිතෙන තරම් ය. ඔවුන් මරණයෙන් පසුව ඇති ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සහ නොකරන්නේ එම නිසා විය හැකිය. කෙසේ වෙතත් ඔවුන් කල දේ ගැන දුක් වීමට සිදු වන්නේ මරණයෙන් පසුව නැවත නැගිටවිමෙන් පසුවය. එය හරියට අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවාට සමානය. මේ නිසා ඔවුන්ට සිදු වන්නේ මෙලොවදී වපුරන ලද දේ එලොවාදී නෙලා ගැනීමට පමණි.

නවීන ලෝකයේ ඇති පහසුකම් නිසා බොහෝ දෙනෙක් දහමින් බැහැර වෙති. එහෙත් ඒවා කිසිවක් මරණයෙන් පසු උදව්වට නොඑන බව මතක තබා ගත යුතුය. තාවකාලික දේවල් නිසා සදාකාලික සැප සම්පත් අහිමි කර ගැනීම මිනිසා ලබන විශාල පාඩුවකි.

දෙවියන්ගේ අවවාද අනුශාෂනා පැහැරහරිමින් ජිවත්වුවන්ට දුෂ්කර ජිවිතයක් ඇත. තවද මරණයෙන් පසු නැවත නැගිටවන අවස්ථාවේදී ඔවුන්ව අන්දයින් ලෙස නැගිට්ටවනු ලබන බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.
“කවරෙක් මාගේ උපදේශය ඉවතලන්නේද නියතවශයෙන්ම ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද, අපි ඔහුව විනිශ්චය දිනයේදී අන්දයෙකු ලෙස නැගිට්ටුවන්නෙමු” (කුරානය 20:124).
එම අවස්ථාවේදී ඔවුන් දෙවියන්ගෙන් මෙලෙස විමසා සිටිනු ඇත.
“මාගේ රබ්! (අරාබියෙන් රබ් යනු: පෝෂකයා. බොහෝ විට අල්ලාහ් අමතන්නට භාවිතා කරයි) පෙනුම ඇත්තෙකුව සිටි මාව අන්දයෙකු ලෙස නැගිට්ටුවේ ඇයි?” (කුරානය 20:125).
එවිට දෙවියන් මෙලෙස ඔහුට පිළිතුරු දෙන බව කුරානයේ සඳහන් වේ.
“එලෙසම, අපගේ වැකි නුඹ වෙත පැමිණියේය. ඒවා නුඹ නොසලකා හැරියේය. මේ අන්දමට අද දින නුඹද නොසලකා හැර ඇත’යි (අල්ලාහ්) පවසන්නේය” (කුරානය 20:126).
ඉන් නොනැවතී මෙසේද අවවාද කොට ඇත.
“සීමාව ඉක්මවා තම රබ්ගේ (අරාබියෙන් රබ් යනු: පෝෂකයා. බොහෝ විට අල්ලාහ් අමතන්නට භාවිතා කරයි) වදන් විශ්වාස නොකළේද, ඔහුට අපි එලෙසින්ම කුලිය ලබා දෙන්නෙමු. තවද, එලොවෙහි දඬුවම වඩාත් දැඩිද ස්ථිරද වේ” (කුරානය 20:127).
ජින්වරුන් හැරුණු විට් මෙලොවදී හොඳ-නරක තේරුම් ගැනීමට හැකි එකම ජීවියා මිනිසාය. එසේ තිබියදීත් මිනිසා තම ජීවිතය ගැන නොසලකා හරින්නේ  නම් එය කොතරම් මුග්ධ ක්‍රියාවක් විය යුතුද?
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.