අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 8

චෝදනාව: කුරාණය 2:191 පසු වදනක් ලෙසින් ජිහාඩය සඳහා සපයා ඇති අර්ථකථනය.

“ජිහාඩ් යනු අල්ලාහ්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය (ත්‍රස්තවාදය) සහ පුර්ණ බලය සහ ආයුද සන්නද්ධව අල්ලාහ් ව සහ මොහොමද්ව (එනම් ඉස්ලාමය) විශ්වාස නොකරන්නවුන් ට (එනම් අන්‍යාගමික ජනසමාජයට) විරුද්ධ ව මුස්ලිම්වරුන් විසින් කළයුතු වන ශුද්ධවූ යුද්ධයයි. ජිහාඩය ඉස්ලාමයේ ඉතාම වැදගත් වූ ක්‍රියාවලියකි. එය ඉස්ලාමයේ ඇති එක් බල කණුවකි. ජිහාඩය හරහා ඉස්ලාමය ස්ථාපිත කරන්නේය. එය අල්ලාහ්ගේ වචනයට උත්තරීතර භාවය ලබා දෙන්නේය. එමෙන්ම ජිහාඩය මගින් ඉස්ලාමය ප්‍රචලිත කරන්නේය. ජිහාඩය අතහැරියහොත් ඉස්ලාමය විනාශ වන්නේය. එසේම මුස්ලිම්වරුන් බල රහිත බෙල හීන තත්ත්වයට ඇද වැටෙන්නේය. මුස්ලිම්වරුන්ගේ අභිමානය / ආඩම්බරකම / බල මහිමය නැති වන්නේය. ඔවුන්ගේ භුමිය අන්‍යයන් සොරකම් කරන්නේය. මුස්ලිම්වරුන්ගේ බල අධිකාරිය සහ අන්‍යය ආගමිකයින් ඉස්ලාමයට යටත් කරගැනීමේ හැකියාව විනාශ වී යන්නේය. ජිහාඩය සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්ය යුතුකමක් සහ බන්ධනීය වගකීමක් ය. කිසිවෙකු හෝ එම වගකීම මඟහරින්නේ නම් / නොකරන්නේ නම් ඔහු මියයන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙකු ලෙසය”.

විග්‍රහය: බුද්ධිමය සංවාදයකදී මෙවන් ඉතා සාවධ්‍ය හා කිසිදු මුලාශ්‍රයක් නොමැති කරුණු ඉදිරපත් කිරීම නොකළ යුත්තකි. සාමාන්‍ය වහර අනුව මෙය ඇඩ්රස් නැති ප්‍රකාශනයකි. මෙය අල් කුර්ආනයේ 2:190 වැනි වැකියට අර්ථ කථනයක් ලෙස දක්වා ඇත. මෙහි මුලාශ්‍රය කුමක් ද? කෙසේ නමුත් මෙහි අල් කුර්ආන් 2:190 වැකිය හා ඉස්ලාමයේ සංකල්පයක් වූ ජිහාදය පිළිබඳ ඉතාම සාවධ්‍ය අදහස් කිහිපයක් දක්වා ඇත. එහෙයින් මෙම සාධක දෙක පදනම් කරගෙන විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු. පළමුව අල් කුර්ආන් 2:190 හා බැඳුනු වැකි පිළිබඳ විමසා බලමු.

අල් කුර්ආන් 2:191

අල් කුර්ආන් 2: 190 –194 වැකි මෙයට පෙර විග්‍රහයකදී සඳහන් කළ හුදෛබියා ගිවිසුම අත්සන් කළ හෝ ඉන් ස්වල්ප කාලයකට පසු පහළ කරන ලද්දකි. (අස්බාබ් අල් නුසුල්-අල් වහීදි, තෆ්සීර් ජලාලයින්, තෆ්සීර් ඉබ්නු කතීර්).
මුස්ලිම් හා මුස්ලිම් නොවන විද්වතුන් සඳහන් කරන අන්දමට මක්කාවාසී කුරෛෂ් ප්‍රතික්ෂේපයින්ගේ දරුණු හිංසනයන්ගෙන් මිදීම සඳහා මදීනා නගරයට දේශාන්තරණය කළ පසුවත් මුස්ලිම්වරුන් ට ගැලවීමක් නොතිබුණි.
වසර දහතුනක් තිස්සේ මක්කා නගරයේ දී කුරෛෂ් ගෝත්‍රිකයින් මුදාහළ භීෂණය හා දරුණු වධ හිංසා දරා ගැනීමට නොහැකිව මදීනා නගරයට දේශාන්තරණය කළ මුස්ලිම්වරුන් හිංසනය හා වධහිංසාවලට ලක්වෙමින් ගතකළ එම අවාසනාවන්ත බිහිසුණු කාල පරිච්ඡේදය අවසන් වුවා යැයි සිතූහ.

සත්‍යවශයෙන් ම සිදුවුයේ එයට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. අබුදාවූද් හදීස් ග්‍රන්ථයේ පහතින් සඳහන් කොට ඇති අයුරින් මදීනා නගරයේදීත් මුස්ලිම්වරුන්ව ඝාතනය කොට විනාශ කිරීමට දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කුරෛෂ්වරුන් කටයුතු කොට ඇති ආකාරය දැකගත හැකිය. සතුරාගේ දුෂ්ටකම දරාගන්නට නොහැකිව ආරක්ෂක ස්ථානයකට තම මාතෘභූමිය අතහැර පලා ගියායින් පසුවත් තමන් ව විනාශ කරන්නට ලුහුබැඳ එන්නට කටයුතු කරන්නේ නම් කළ හැක්කේ කුමක් ද? පහතින් සඳහන් සිදුවීම මදීනා නගරය වෙත ආරක්ෂාව පතමින් පලාගිය මුස්ලිම්වරුන් හා ඉස්ලාම් විරෝධී කුරෛෂ්වරුන් අතර මදීනා නගරය අසල බද්ර් නම් ස්ථානයේ සිදු වූ යුද ගැටුමට පෙරාතුව සිදුවූවකි.

“ප්‍රතික්ෂේපක කුරෛෂ්වරුන් විසින් (මදීනා වැසියන් වූ) අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලුල් වෙත හා පිළිම වන්දනාවේ යෙදුනු අව්ස් හා කස්රජ් ගෝත්‍රිකයින් වෙත ලිපියක් යොමු කරමින් ‘අපගේ සහචරයා (මුහම්මද් තුමාණන්) වෙත නුඹලා රැකවරණ ලබා දී ඇත. නුඹලා ඔහු සමග යුද වැදිය යුතුය. එසේ නොමැති නම් ඔහුව පිටමං කලයුතුය.

එසේ කිරීමට නුඹලා අපොහොසත් වුවහොත් අපගේ පුර්ණ ශක්තිය හා බලය සමග පැමිණ නුඹලාගේ සටන් කරුවන් ඝාතනය කරනු ලබන අතර නුඹලාගේ ස්ත්‍රීන් පැහැර ගැනීමට කටයුතු කරනු ලැබේ’ යැයි දන්වා සිටියහ. මෙම ලිපිය අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලුල් වෙත හා පිළිම වන්දනාවේ යෙදුනු අව්ස් හා කස්රජ් ගෝත්‍රිකයින් වෙත ලැබුණායින් පසු ඔවුන් එක්රැස් වී සාකච්ඡා කොට මුහම්මද් තුමාණන්ට එරෙහිව සටන් කිරීමට තීරණය කළහ. මේ බව සැලවූ වහාම මුහම්මද් තුමාණන් ඔවුන් ව හමුවීමට ගොස් ‘ඔබලා වෙත වූ කුරෛෂ්වරුන්ගේ තර්ජනය එහි අවසානය කරා ලඟා වී ඇත. නුඹලා නුඹලාට හානියක් කරගැනීමට අපේක්ෂා කරනවා හැර නුඹලාට එරෙහිව ඔවුන්ට කුමන්ත්‍රණය කළ නොහැක. නුඹලා නුඹලාගේ පුතුන් හා සහෝදරයින් සමග සටන් කරන්නට කැමැති වන්නේ දැයි විමසා සිටියහ.

මුහම්මද් තුමාණන්ගේ මෙම වදන් සවන් දීමෙන් පසු ඔවුන් තම තීරණය අතහැර විසිර ගියහ”. (අබුදාවුද් 19 – 2998 සහ කිතාබ් අල් මගාසි – මාමර් ඉබ්නු රාෂිඩ් – 67 වැනි පිටුව)

මෙම වාර්තාවෙන් කුමක් අපට අවබෝධ කරගත හැක්කේ ද? මුහම්මද් තුමාණන්ගේ කාලයේ ජීවත් වූ ප්‍රතික්ෂේපකයින් කුමණ ආකාරයේ අපරාධකාරී මිනීමරු ප්‍රවණතාවකින් යුක්ත වුවන් ද යන්න නොවේ ද? යුද කිරීමේ අනුමැතිය ලබා දී ඇත්තේ එම යුගයේ ජීවත් වූ මෙවන් සාහසික අපරාධ කරුවන්ට එරෙහිව යන්න අප අමතක කළ යුතු නොවේ.

මෙම වැකි මදීනා නගරයේ මුස්ලිම්වරුන්ගේ ආරම්භක කාලයේ පහළ කරන ලද බව දැක්වේ. පළමුව මෙම වාක්‍යයන්ගේ නිවැරදි අර්ථ දැක්වීම විමසා බලමු.

“(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (බලය, දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන්වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”. (අල් කුර්ආන් 2:193)

මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වන්නන් එහි සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නට කටයුතු නොකරති. එසේ සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නෙකුට මෙහි ගැබ්වී ඇති සත්‍යය අවබෝධ කර ගැනීම නිසැකවම පහසුවනු ඇත.
මෙම විග්‍රහයෙන් පසු ඉහත අල් කුර්ආන් වැකියේ සන්දර්භය පළමුව විමසා බලමු. දෙවන පරිච්ඡේදයේ 190 සිට 194 වැනි දක්වා වූ වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2:190)

“නුඹලා ඔවුන් දුටු තැන ඔවුන්ව ඝාතනය කරවු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන් ව පිටුවහල් කරවු. ඝාතනයට වඩා අක්‍රමිකතාව (කළහකම්, හිංසනය) දරුණුය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් (මක්කාවේ ඇති මස්ජිදය) අබියස ඔවුන් නුඹලා සමග එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමග යුද නොවදිවු. ඔවුන් නුඹලා සමග යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන් ව ඝාතනය කරවු. එවැන්නකි ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වන්නේ” (අල් කුර්ආන් 2:191)

“ඔවුන් වැළකෙන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, පරම කරුණාභාරිතය”. (අල් කුර්ආන් 2:192)

“(තවදුරටත්) අක්‍රමිකතාව (කළහකම්) ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”. (අල් කුර්ආන් 2:193)

“ශුද්ධ වූ මාසය (තුළ යුද්ධයට ආ විට ඒ) වෙනුවෙන් ශුද්ධ වූ මාසය (තුළ යුද කිරීම අනුමත) වේ. පාරිශුද්ධ දෑ වෙනුවෙන් (එය උල්ලංඝනය කළ විට) සම ප්‍රතිවිපාක ඇත. නුඹලාට එරෙහිව කවරෙකු සීමාව ඉක්මවා යන්නේ ද නුඹලාට එරෙහිව ඔහු සීමාව ඉක්ම වූවාක් මෙන් නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා යවු. තවද නුඹලා අල්ලාහ් ට බියභක්තිමත් වවු. තවද සැබැවින්ම අල්ලාහ් බියභක්තිකයින් සමග යැයි දැන ගනිවු”. (අල් කුර්ආන් 2:194)

පළමුව 2:190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්:

1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම මෙම වැකියේ ප්‍රධානතම උපදේශයයි. මේ අනුව ඕනෑම අයෙකු සමග සටන් කිරීමට ඉස්ලාමිකයින්ට අවසරයක් නොමැත.

2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලාගත යුතුය යන්න ද මෙහි තවත් වැදගත් උපදේශයකි. වර්තමානයේ යුද ගැටුම් හි නිරත බොහෝ හමුදා තම සීමාවන් ඉක්මවා ගොස් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සාමාන්‍ය සිදුවීම් බවට පත් වී ඇත. මෙලෙස හැසිරීමට ඉස්ලාමිකයින්ට අනුමැතියක් නොමැත.

මෙම ඉගැන්වීම් සමග ඕනෑම අයෙකුට තිබිය හැක්කේ කුමණ ආකාරයේ ගැටළුවක්දැයි විමසන්නට කැමැත්තෙමු. 2:191 වැනි වැකිය විමසා බැලිය යුත්තේ 190 වැනි වැකියේ ඉහත ඉගැන්වීම් පදනම් කර ගෙනය.

2:191 වැකිය මගින් ලොව සියලු මුස්ලිම් නොවන්නන් ව ඝාතනය කිරීමට පොදු අනුමැතියක් දී ඇති බව හුවා දක්වන්නට බොහෝ ඉස්ලාම් විරෝධීන් අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටිති. මෙම වැකියන්හිම යුද වදින්නට අවසරය දී ඇත්තේ නිශ්චිත පිරිසක් සමග බව ඉතාම පැහැදිළි ආකාරයෙන් සඳන් වී ඇත. එනම් බලවත් භීෂණයක් මුදා හැර තමන් ව මක්කාහ් නගරයෙන් පිටුවහල් කොට තමන්ගේ සියලු වස්තුන් හා දේපොළ කොල්ල කා ගත් අපරාධකාර පිරිසට එරෙහිවය. මක්කාවේ ඇති මස්ජිදය අසල පුණ්‍ය භුමි සීමාවේ කිසිවෙකු යුද කටයුතු නොකරන නමුත් එම ප්‍රදේශයේදී සතුරන් පහර දුනහොත් පමණක් ප්‍රතිප්‍රහාර දීමේ අනුමැතිය හා ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් පමණක් එසේ කිරීමට අනුමැතිය ද මෙමගින් ලබා දී ඇත. අවුරුදු 13ක් තිස්සේ ඉස්ලාම් විරෝධීන්ගේ අනේක විධ භීෂණයන් ඉවසා දරා සිටි මුස්ලිම් වරුන්ට ඔවුන්ගේ අපරාධ වලට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දෙමින් පහළ වූ පළමු අල් කුර්ආන් වැකියයි මෙය.

දේවස්ථාන, පුන්‍යභුමි, විහාරස්ථාන හා අනෙකුත් නැමදුම් ස්ථානයන් ට පහරදී විනාශ කිරීමට යමෙක් කටයුතු කරයි නම් එවන් නිහීන නින්දිත ක්‍රියාවන් සැමගේ පිළිකුලට ලක් විය යුතු බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන ශ්‍රී මහ බෝධීන් හා දළදා මාලිගාවට පහර දුන් විට අප සැවොම අත්විඳි අත්දැකීම් අපගේ මතකයෙන් තවම මැකී ගොස් නොමැත. එහෙයින් ලෝ වැසි ඉස්ලාමිකයින්ගේ අති පෞරාණික හා අති උත්තරීතර පල්ලිය (මස්ජිදය) ලෙස සැළකෙන මක්කාවේ ප්‍රධාන පල්ලිය අවට කළහකම් කරමින් ඉස්ලාමිකයින් ඝාතනය කොට ඉස්ලාමය මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නා වූ පිරිස සමග අප ක්‍රියා කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳව කරුණාකර මොහොතක් සිතා බලන්න.

2:192 වැකි වැකියෙන් තවත් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. ඔවුන් වැළකෙන්නේ නම් මුස්ලිම් වරුන් ද වැළකී කටයුතු කළ යුතු බව මෙයින් ඉගැන් වේ. යුද තත්ත්වයක් තුළ මෙයට වඩා උතුම් මානුෂීය පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

2:193 වැකියේ “(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු” යනුවෙන් අදහස් වෙන්නේ දහමේ ශ්‍රේෂ්ඨත්වය සුරක්ෂිත වනතෙක් යන්න පිළිගත් අර්ථයයි. මෙම වැකියේ දහම යන පදය වෙනුවෙන් අල් කුර්ආනයේ යොදා ඇත්තේ ‘දීන්’ යන පදය ය. මෙම වැකි පෙලේ සන්දර්භය වෙත අවධානය යොමු කිරීමේ දී ‘දීන්’ යන අරාබි පදයට දහම යන්න පරිවර්තනයේ දී යෙදීම සුදුසු නොවන බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. හේතුව එම අර්ථ කථනයට අනුව අන් අය තම දහම වෙනස් කරනා තුරු යුද වැදීම මෙයින් අදහස් විය හැකි හෙයිනි. එය එසේ නොවන බව මෙම වැකියේ ඉතිරි කොටස කියවීමෙන් අවබෝධ කරගත හැක. ඉතිරි කොටසින් දක්වා ඇත්තේ “ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත” යනුවෙනි. දහම බලෙන් පිළිගැනීමට සැලැස්වීම මෙම වැකියේ පළමු කොටසේ අර්ථය නම් දෙවැනි කොටසින් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ “සතුරුකම ඇත්තේ දහම වෙනස් කර නොගත් අය සමග” යනුවෙනි. නමුත් දෙවැනි කොටසින් පැහැදිළි ව දක්වා ඇත්තේ “සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත” යනුවෙනි.

‘දීන්’ යන අරාබි පදයට දහම, පරිපුර්ණ ජීවන සැලැස්ම, කුලිය, තිළිණය, විනිශ්චය, බලය යනාදී විවිධ අරුත් ඇත. මෙම වැකි වලින් ඉදිරිපත් කරන අදහස් මාලාව දෙස අවධානය යොමු කිරීමේ දී මෙම සන්දර්භය තුළ ‘දීන්’ යන පදයට ‘බලය’ යන්න යෙදීම සුදුසු බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. ඒ හැරෙන්නට අනෙකුත් සියලු දහම් මිහිතලයෙන් අතුගා දැමීම යන බොළඳ අර්ථය මෙයින් කිසිසේත්ම නොදැක් වේ. දහම පිළිබඳ ව බලපෑම් කිරීම අනුමත නොමැති බවට ඇති අල් කුර්ආන් සාක්ෂි පහතින් දක්වා ඇත්තෙමු.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල් කුර්ආන් 2: 256)
“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල් කුර්ආන් 88 : 21-22)

මේ සියල්ල සමස්තයක් වශයෙන් ගත් කළ 2:193 වැකියෙන් ‘දීන්’ යන පදයට ‘බලය’ යන්න යෙදීම උචිත වන්නේ යුද තත්ත්වයකින් බලාපොරොත්තු වන්නේ ‘බලය’ අත්කර ගැනීම හැරෙන්නට අන් අයගේ දහම් වෙනස් කිරීමට බලපෑම් කිරීම නොවන බව පැහැදිළි කරුණක් බව මෙම විද්වතුන් ඉදිරිපත් කරන මතයයි.

2:194 වන වැකියෙන් සටන් බිමේ කළ හැකි තවත් ඉතා උසස් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. එනම් සතුරා සීමාව ඉක්මවන ප්‍රමාණය අභිබවා ඔබ සීමාව ඉක්ම නොවිය යුතු යන්නය. කරුණාකර මෙහි සැබෑ අර්ථය අවබෝධ කර ගත් විට ඉස්ලාම් භීතිකාවේ කර්තෘ වරුන් මවා පෑමට වෙර දරන තත්ත්වය සහමුලින්ම පදනම් විරහිත සම්පුර්ණ අසත්‍යයක් බව පැහැදිලිව ඔප්පුවන කරුණකි. ඔවුන්ගේ පදනම් විරහිත චෝදනා හිරු දුටු පිනිබිඳු මෙන් වාෂ්ප වී යනු නිසැකය.

2:195 වැකියෙන් ද අල් කුර්ආනය ජනයාට යහපත විධානය කරන අයුරු අපට දැකගත හැක.

“අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්න. නුඹලාගේ අත් වලින් ම විනාශය සොයා නොගන්න. යහපත් ක්‍රියා කරන්න. අල්ලාහ් යහපත් ක්‍රියා කරන්නන් ප්‍රිය කරයි”. (අල් කුර්ආන් 2:195)

මුහම්මද් තුමාණන් ජීවත් වූ සමාජ පරිසරය, අල් කුර්ආන් වැකි සඳහන් සන්දර්භය හා අරාබි පදයන් හි විවිධ අර්ථයන් පිළිබඳ ව නිවැරදි දැනුමකින් තොරව අල් කුර්ආන වැකි ගැන අර්ථ දැක්වීමට යෑම අන්ධයින් හතර දෙනා අලියා විග්‍රහ කළ ක්‍රියාවට දෙවැනි නොවන්නකි.

ඉහත අවුල් සහගත සාවධ්‍ය චෝදනාවේ ජිහාද් පිළිබඳ ව ද සඳහන් වී තිබු හෙයින් ජිහාද් පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මෙයට පෙර ඉදිරිපත් කළෙමු. එය නැවත කියවීමට අවශ්‍යය නම් නැවත ඉදිරිපත් කළ හැක.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.