අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 09 

චෝදනාව: කුරාණය 48:29

ඉස්ලාම් විවේචකයින් විසින් විකෘති කොට මෙම වැකිය ඉදිරිපත් කොට ඇති අයුරු කෙරෙහි පළමුව අවධානය යොමු කරමු.

“මොහොමද් අල්ලා විසින් පත්කළ නබිවරයාය. ඔහුගේ අනුගාමිකයෝ අනිවාර්යයෙන් ම ඉස්ලාමය විශ්වාස නොකරන්නන්ට විරුද්ධ ව සාහසික වන අතර ඔවුනොවුන්ට (අනුගාමිකයින් අතර) කරුණාබර විය යුතුය”.

විග්‍රහය: පළමුව මෙම වැකියේ වඩාත්ම නිවැරදි සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය් යොමු කරමු.

“මුහම්මද් අල්ලාහ්ගේ රසුල් වරයාය. ඔහු සමග සිටින්නවුන් ප්‍රතික්ෂේපකයින් කෙරෙහි ඉතා දැඩි අය ලෙස ද ඔවුන් අතර කරුණාවන්තයින් ලෙස ද සිටිති”

මෙම අල් කුර්ආන් වැකියේ යොදා ඇති වචන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ‘අෂිද්ද’ යනු ‘ෂදීද්’ යන පදයේ බහුවචනයයි. මෙම අරාබි පදයේ අර්ථය ‘ඉතා දැඩි’ යන්නෙන් පරිවර්තනය කොට යොදා ඇත. එහි අර්ථය අචල, ස්ථීර, ශක්තිමත්, නිර්භීත ආදී වශයෙන් වෙයි. ‘ඉතා දැඩි’ යන්නෙන් කෙනෙකුට ඇතැම් විට ‘ඉතා අකාරුණික’ යන අර්ථය ඒත්තු යා හැක. ඉස්ලාමය අතහැර ප්‍රතික්ෂේපකයින්ගේ වැරදි මඟ වෙත ඉස්ලාමිකයින් ව ගෙන යාමට දැරූ සෑම ව්‍යායාමයක් ඉදිරියේම ඔවුන් ඉතා ස්ථීර හා නොවෙනස් අයුරින් ක්‍රියා කොට ඇත. විවේචකයින් දක්වා ඇති පරිදි ‘සාහසික’ යන අර්ථය මෙම වචනයෙහි නොමැත.

මෙහි දක්වා ඇති ප්‍රතික්ෂේපකයින් කවුරුන් ද යන්න අවබෝධ කරගැනීම පිණිස මෙම පරිච්ඡේදයේ 25 වැනි වැකියේ සිට කියවිය යුතුව ඇත. පළමුව අල් කුර්ආන් 48:25 වැකියේ සිංහල අර්ථ දැක්වීම කියවමු.

“ඔවුන් කෙබන්දන්ද යත් ශුද්ධ වූ මස්ජිදයට යාමෙන් ඔබව ද කැපකිරීම් (සඳහා වූ සිවුපාවුන්) එය යා යුතු තැනට නොයන ලෙසින් උන්ව ද වළකා සිටි ප්‍රතික්ෂේප කරන්නන් මොවුන් ය.” (අල් කුර්ආන් 48:25)

මෙම වැකිය පහළ වීමට හේතු වූ ඓතිහාසික සාධක මෙම වැකිවලින් විස්තරවේ. මුහම්මද් තුමාණන් හා පිරිස ඉස්ලාමිය දින දර්ශනයේ හය වන වසරේ නිරායුද ව ආගමික වතාවත් සඳහා මදීනා නගරයේ සිට මක්කා නගරය වෙත ලඟා වෙමින් සිටින අවස්ථාවේ හුදෛබියා නම් ස්ථානයේ දී මක්කාවේ ප්‍රතික්ෂේපකයින් විසින් මෙම පිරිස ඉදිරියට යෑම වළක්වන ලදී. මෙමගින් ඔවුන් ඉටු කිරීමට පැමිණි ආගමික වතාවත් අතහැර දැමීමට සිදුවිය. මෙම පීඩාකාරී වාතාවරණය යටතේ දෙපාර්ශවය විසින් සාකච්ඡා කොට මුස්ලිම්වරුන්ට ඉතා අවාසිදායක ලෙස පෙනෙන්නට තිබුණු ගිවිසුමකට අත්සන් කොට ආපසු හැරී එන්නට සිදු විය. මෙම වැකිය පහළ වන්නේ එසේ ආපසු එමින් සිටියදීය. මෙලෙස මුස්ලිම්වරුන් ව තම ආගමික වතාවත් ඉටු කිරීමෙන් වළක්වා ඉතා අසාධාරණ කොන්දේසි සහිත ගිවිසුමකට අත්සන් කිරීමට කටයුතු කළ ප්‍රතික්ෂේපකයින් පිළිබඳවයි මෙම වැකියේ සඳහන් වන්නේ. මෙම පසුබිම අවබෝධ කරගන්නේ නැතිව තම සිතැඟියාවට අනුව වචන යොදමින් අල් කුර්ආන් වැකි වලට අර්ථ දැක්වීමට යෑම තම නොදැනුවත්කම හා ඉස්ලාමය පිළිබඳව ඇති පදනම් විරහිත වෛරය ප්‍රදර්ශනය කිරීමක් පමණි.

මෙහි ඓතිහාසික පසුබිම හා සන්දර්භය වෙත අවධානය යොමු නොකොට අහඹුවෙන් අල් කුර්ආන් වැකියක් ගෙනහැර දක්වමින් එය සැමදා සැමතැන සැමට සැමවිට එරෙහිව ඇති කරුණක් ලෙස දැක්වීම සැබවින් ම නොදැනුවත්කම හෝ ඉස්ලාම් වෛරය හේතුවෙන් සිදුකරන්නා වූ කාර්යයක් බව දැක්විය යුතු ව ඇත. මුස්ලිම් නොවන්නන් සමග සාමයෙන් හා සහෝදරත්වයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය උගන්වයි.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16 – 125)

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද අපි විශ්වාස කරන්නෙමු. තවද අපගේ දෙවිඳුන් ද නුඹලාගේ දෙවිදුන් ද එකය. තවද අපි ඔහුට (අවනත වන්නන් වන) මුස්ලිම්වරුන් වන්නෙමු’ යැයි නුඹලා පවසවූ”. (අල් කුර්ආන් 29:46)

“(නබිවරය) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10:108)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60:8)

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7:199)

මේ අයුරින් යහපත හා සමාජ සාමය වෙනුවෙන් ඉතා උත්තරීතර අදහස් දක්වන අල් කුර්ආන් වැකි බොහොමයක් උපුටා දැක්විය හැක. එහෙයින් කිසිදු හරයක් නොමැති පදනම් විරහිත වෛරී මතයන් ඉවත ලමින් සැවොම සමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වීමට අදිටන් කර ගනිමු.

By: M. Ahmad Dahalan

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.