අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 10

චෝදනාව: අල් කුර්ආන් 8:12

ඉස්ලාම් විවේචකයින් විසින් මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වමින් ඉස්ලාම් නොවන්නන් ව ඝාතනය කිරීමට ඉස්ලාමය උගන්වන බව පවසමින් අනිසි බියක් මතු කිරීමට උත්සාහ දරති. මෙම වැකියේ ඓතිහාසික සන්දර්භය පිළිබඳ දැනුමකින් තොරව මතු කරන්නා වූ මෙම චෝදනාව විමසා බැලීම පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

“නියත වශයෙන් ම මම නුඹලා සමග සිටිමි. එනිසා විශ්වාස කළවුන්ව ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් හි මම බිය ඇති කරන්නෙමි. එමනිසා ඔවුන්ගේ ගෙල ඉහළින් ගසා දමනු. ඔවුන්ගේ සෑම ඇඟිල්ලකම සන්දි කපා තුඩු තළා දමන්නැයි නුඹගේ පරමාධිපති මලක්වරුන්ට (සුරදුතයින්ට) දැන්වූ බව සිහිපත් කරනු”. (අල් කුර්ආන් 8:12)

විග්‍රහය:
ඉහත වැකිය හා සම්බන්ධ තවත් වැකි කිහිපයක් සම්බන්ධයෙන් ඉස්ලාම් විවේචකයින්ගෙන් විවිධ ආකාරයේ විවේචන මතු වී ඇත. මෙම විවේචන බහුතරයක් ම මතු වී ඇත්තේ මෙම වැකි පහළ වීමට පදනම් වූ ඓතිහාසික පසුබිම පිළිබඳ නිවැරදි දැනුමකින් නොවන බවයි අපගේ මතය. මක්කා නගරයේ වසර 13ක පමණ කාලයක් මුහම්මද් තුමාණන් හා ආරම්භක මුස්ලිම් සමාජය එහි ජීවත් වූ කුරෛෂ් ප්‍රතික්ෂේපකයින් මුදාහල දැඩි භීෂණය යටතේ ඉතාම අපහසු තත්ත්වයකට පත්ව සිටියහ. මෙම බියකරු තත්ත්වයෙන් මිදී ජීවත් වීමට මහා කාරුණික අල්ලාහ්ගේ අනුමැතිය ඇතිව මදීනා නගරයට දේශාන්තරණය කිරීමට මෙම ආරම්භක ඉස්ලාමිකයින්ට අනුමැතිය ලැබී තිබිණි. තම මව්බිම අතහැර මදීනා නගරයට පැමිණීමෙන් පසු ඔවුන් අපේක්ෂා කළේ සාමයෙන් ජීවත් වීමේ පරිසරයකි. අවාසනාවට මක්කාවාසී කුරෛෂ් ප්‍රතික්ෂේපකයින් එයට ද ඉඩහැර සිටින්නට සුදානම් බවක් පෙන්නුම් කළේ නැත. මදීනා නගරයේ ඉතා සාමකාමී ලෙස ජීවිතය ගත කරමින් සිටි මුස්ලිම් වරුන්ව ඝාතනය කොට විනාශ කර දැමීමට හමුදා මෙහෙයුමක් මදීනා නගරය වෙත ක්‍රියාත්මක කළහ.

කිසිදු යුද සුදානමකින් නොසිටි මදීනාවාසී මුස්ලිම් ප්‍රජාව ඉතා සුළු පිරිසක් වුහ. මක්කාවේ සිට ඉතා ශක්තිමත්ව හා සන්නද්ධව පැමිණි සතුරු හමුදාව මදීනා නගරය අසල පහිටි බද්ර් නම් ස්ථානයේ දී එකිනෙකා හමුවුහ.

පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකි මේ පිළිබඳ විස්තර සපයයි.

“නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් උදව් පතා ප්‍රාර්ථනා කළ කල්හි පසුපස පැමිණෙන මලක්වරු (සුරදුතයින්) දහසකින් නියත වශයෙන් ම මම නුඹලාට උදව් කරන්නෙමියි ඔහු (අල්ලාහ්) නුඹලාට පිළිතුරු දුන් බව සිහිපත් කරනු” (අල් කුර්ආන් 8:9)

“(නුඹලාට) ශුභාරංචියක් වශයෙනුත් නුඹලාගේ සිත්සතන් එමගින් සැනසුම ලබන්නටත් මිස අල්ලාහ් එය නොකළේය. අල්ලාහ් වෙතින් මිස උපකාර නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරීය, සර්ව ප්‍රාඥය (අල් කුර්ආන් 8:10)

“ඔහු(අල්ලාහ්)ගෙන් වූ සැනසුමක් වශයෙන් සුළු නින්ද නුඹලා ව ආවරණය කළ අවස්ථාව සිහිපත් කරනු. අහසින් නුඹලාට ජලය ඔහු පහළ කළේය. එමගින් නුඹලාව පිරිසිදු කර ෂෛයිතාන්ගේ අපවිත්‍රතාවය නුඹලාගෙන් ඉවත් කිරීම පිණිසත් නුඹලාගේ හදවත් ශක්තිමත් කර එමගින් නුඹලාගේ පාද ස්ථාවර කිරීම පිණිසත්ය”. (අල් කුර්ආන් 8:11)

ඉහත වැකි මගින් ඉතා දුර්වල හා ඉතා සීමිත පිරිසක් ව සිටි මුස්ලිම්වරුන් ව ශක්තිමත් කිරීමට මහා කාරුණික අල්ලාහ් විසින් ගනුලැබූ පියවරයන් විස්තර කොට ඇත. එම පරිච්ඡේදයේම වැකි මගින් තවත් විස්තර දැකගත හැක. ඉතා බලගතු අයුරින් සන්නද්ධව සිටි පිරිස ඉතාමත් සුළු මෙන්ම දුර්වල කණ්ඩායමක් වූ මුස්ලිම්වරුන් අතින් පරාජයට පත්වීම සත්‍යය වශයෙන් ම ඉමහත් ප්‍රාතිහාර්යයකි. වර්තමානයේ ඉස්ලාම් විවේචකයින් චෝදනා මතු කරන 8:12 වැකියෙන් මෙන්ම එයට ප්‍රථම මුහම්මද් තුමාණන් මහා කාරුණික අල්ලාහ් වෙත කළ ප්‍රාර්ථනාව සඳහන් 8:9 වැකියෙන් ද දක්වා ඇති පරිදි මහා කාරුණික අල්ලාහ් විසින් මලක්වරුන් (සුරදුතයින්) දහසක් මුස්ලිම්වරුන්ගේ උපකාරය පිණිස එවීම හේතුවෙන් මෙම ඉමහත් ප්‍රාතිහාර්ය සිදු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

“මෙය(ට හේතුව) සැබවින් ම අල්ලාහ් ප්‍රතික්ෂේපකයින්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නෙකු වීමයි” (අල් කුර්ආන් 8:18)

“ ‘නුඹලා (ප්‍රතික්ෂේපකයින්) තීන්දුවක් ගැන සිතුවේ නම් නියත වශයෙන් ම එම තීන්දුව නුඹලා හමුවට පැමිණ තිබේ’ දැන් නුඹලා (වැරදි ක්‍රියාමාර්ගයෙන්ගෙන්) වැළකී සිටියහොත් එය නුඹලාට වඩාත් හොඳය. නුඹලා නැවතත් (එම වරද) කරයි නම් අපි ද නැවතත් (එම දඬුවම) ලබා දෙන්නෙමු. නුඹලාගේ සේනාව (කෙතරම්) විශාල වුවත් ඒ කිසි දෙයකින් නුඹලාට ප්‍රයෝජනය නොවන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාසවන්තයින් සමඟය” (අල් කුර්ආන් 8:19)

චෝදනාවට බඳුන් වී ඇති අල් කුර්ආන් 8:12 වැකිය මුහම්මද් තුමාණන්ගේ කාලයේ යුදපිටියක සිදුවූ සිදුවීමක් ගෙනහැර දැක්වීමක් පමණි.

මෙම නිවැරදි සන්ධර්භය සමග කියවීමේ දී සියලුම මුස්ලිම් නොවන්නන් ට එරෙහිව පහළ වූ වැකියක් නොවන බව ඉතාමත් ම පැහැදිලිය. එහෙයින් සත්‍යය පදනම් කරගෙන කටයුතු කිරීමට අප සැම සැමවිටම ක්‍රියා කරමු.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.