අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 12

චෝදනාව: අල් කුර්ආන් වැකිය 5:33

ඉස්ලාම් විවේචකයින් විසින් වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ් සහ ඔහු ගේ නියෝජිතයාට එරෙහි වීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම යන පාප කර්මය ට නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන් ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණ ගැසීම හෝ ඔවුන් ගේ එක් පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එළවා දැමීමයි. මෙම දඬුවම් තුලින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන් ව මෙලොව දී අවඥාව ට පත් කළ යුතුය”. (අල් කුර්ආන් 5:33)

ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ් හා ඔහු ගේ රසුල්වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙ හි කලහකම් කිරීම ට වෙර දරන්නන් ගේ ප්‍රතිවිපාකය වන්නේ ඝාතනය කරනු ලැබීම හෝ කුරුසියේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ ඔවුන් ගේ දෑත් සහ පාද එකිනෙක ට විරුද්ධ පැති වලින් කපා දැමීම හෝ (ඔවුන් ජීවත් වූ) දේශයෙන් පිටුවහල් කරනු ලැබීම ය. මෙය ඔවුන්ට මෙලොවෙ හි වූ අවමානයයි. තව ද මතු ලොවෙහි ඔවුන් ට මහත් වූ දඬුවම් ඇත”. (අල් කුර්ආන් 5:33)

මෙහි ද අප ඔබගෙන් ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නේ විකෘති පරිවර්තනය හා නිවැරදි පරිවර්තනය සසඳා බලන ලෙස ය. විවේචකයින්ගේ වෛරය හා ක්‍රෝධය මුසු වූ ඉස්ලාම් විරෝධය මෙයින් පැහැදිලි ව දැක ගත හැකිය.

පැහැදිලි කිරීම

ඉස්ලාමය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර ව මෙම අල් කුර්ආන් වැකිය ද සටනකට සම්බන්ධ වැකියක් ලෙස සිතා විකෘති මත ඉදිරිපත් කිරීම ට ඔවුන් පෙළඹී ඇති බව පෙනෙන්න ට ඇත. මෙය සැබවින් ම ඉස්ලාමීය රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය ට අදාළ වැකියකි. මෙය මෙයට පෙර විස්තර කළ කිසිදු ජිහාද් ප්‍රභේදයක ට අදාළ නොවුවක් බව පැහැදිලිව ම පෙනෙන්න ට තිබෙන්නකි.

මෙම වැකියේ සඳහන් දඬුවම ගැන අදහස් දැක්වීම ට පෙර එය ට පදනම් වූ චෝදනා පිළිබඳ ව විමසීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. “අල්ලාහ් හා ඔහු ගේ රසුල් වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙ හි කලහකම් කිරීම ට වෙර දරන්නන්” යන්න ට පහත සඳහන් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත.

“අල්ලාහ් හා ඔහු ගේ රසුල් වරයා සමග සටන් වදින්නන්” යන්නෙ හි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයක ට පත් කරවමින් සන්නද්ධ මංපැහැරීම ‘සත්‍යය’ට එරෙහි වීම හා කැරලි ගැසීම යන්න ය. මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් බව එදත් අදත් අප සැවොම දැන සිටි සත්‍යයකි. මෙයින් සිදු වන්නේ ජනයා ට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාශ කිරීම ය. පිළිගත් රජයකට එරෙහි වීම නීති විරෝධී ව අවි දැරීම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකි. එවැන්නකට විරුද්ධ ව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් නීති උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීම රජයක් සතු වගකීමකි. එවැනි රාජ්‍ය විරෝධීන් ට දැඩි දඬුවම් පැනවීම රාජ්‍යයන් අතර ඇති කර ගන්නා ‘විශ්ව ප්‍රකාශන’ වල පවා සඳහන් වගන්ති වී හමාරය.

“මිහිතලයේ කලහකම් කිරීම ට වෙර දරන්නන්” යන්න ත්‍රස්තවාදී ක්‍රියාවන් හි නියැළෙන්නන් මෙන් ම නුතන භාෂා යෙදුම අනුව සමාජ සාමයට එරෙහි ක්‍රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් බව මෙයින් අදහස් වේ.

මෙවැනි අපරාධ කරුවන්ගෙන් සොරකම්, පහර දීම් හා ඝාතන යනාදී අනර්ථයන් සිදු විය හැකිය. අල් කුර්ආන් වැකිය දඬුවම සඳහන් කරන්න ට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර අපරාධ කරු සිදු කරනු ලබන අපරාධයේ බරපතළකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම වැකියේ සන්දර්භය නිවැරදි ව අවබෝධ කර ගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන් ම අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමු ව ඉහත උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකිය ට පෙර ඇති වැකිය විමසා බලමු.

“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීම ට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක් ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයා ම මරා දැමීම ට සමාන වන්නේ ය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයා ම බේරා ගත්තා හා සමාන ය” (අල් කුර්ආන් 5:32)

මිනිස් ඝාතන වැනි සාපරාධී ක්‍රියාවන් හා දඬුවම් 5:33 වැකියේ සඳහන් කරන්න ට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 5:32 වැකියෙන් විග්‍රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීම (ත්‍රස්තවාදී, පාතාල ක්‍රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම්) වැනි ක්‍රියාවන් ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසු ව ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුණේ මරා දැමීම මුළු මහත් මිනිස් පරපුර ම මරා දැමීම ට සමාන බවත් එලෙස ම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුර ම බේරා ගත්තා හා සමාන බවත් මෙමගින් ඉස්ලාමය උගන්වයි. 5:33 ට පසුව ඇති අල් කුර්ආන් වැකිය ද විමසා බලමු.

“ඔවුන් කෙරෙහි නුඹලා බලය යෙදවීම ට පෙර පශ්චාත්තාපයේ නියැළුණු අය හැර”. (අල් කුර්ආන් 5:34)

5:33 හි සඳහන් සාපරාධී ක්‍රියාවන් හි නියැළුනු අපරාධකරුවන් ට තමන් ව ප්‍රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද මෙමගින් සහතික කොට ඇත. 5:34 හි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්‍රියා පිළිගෙන ඒවා පිළිබඳ ව පශ්චාත්තාපය ට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයක ට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත් වීමට අධිෂ්ඨානශීලී ව කටයුතු කරන්නට එකඟ වන්නන් ට 5:33 හි සඳහන් දඬුවම් අදාළ නොවේ. මෙය ට වඩා යුක්තිය සාධාරණය මත පදනම් වූ තවත් පිළිවෙතක් හෝ විකල්පයක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

මෙලෙස ආගමික මුලාශ්‍රයන් විකෘති කරමින් දහම් අවමානය ට ලක් කිරීම ට කටයුතු කරන්නන් ව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙවන් පහත් හැසිරීම් රටාව සැබැවින් ම ම්ලේච්ඡත්වයේ සලකුණක් හැර අන් කිසිවක් නොවේ.

ඉස්ලාමයේ අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ඉමාම් මාලික් තුමාගෙන් (ක්‍රි. ව. 711–795) කුරුසියේ ගැසීම පිළිබඳ ව විමසන ලදු ව සන්නද්ධ මං පැහැරීම සඳහා කුරුසියේ ගැසීම දඬුවමක් ලෙසින් නියමිත කළ එක් අවස්ථාවක්වත් එතුමා විසින් අසා නොමැති බව ය (අල් මුදව්වනහ් 15 වන වෙළුම, 99 වැනි පිටුව). ඉමාම් මාලික් තුමා ගේ මෙම ප්‍රකාශනය පදනම් කර ගෙන ආචාර්ය මුහම්මද් එස්. අල් අවා තම ආචාර්ය උපාධිය සඳහා සකස් කළ පර්යේෂණාත්මක නිබන්ධය වූ ‘ඉස්ලාමීය නීතියේ දඬුවම්’ හි (Punishment in Islamic Law – 29 වැනි පිටුව) දඬුවමේ දැඩි භාවය හේතුවෙන් අපරාධය වෙත නැඹුරු වන්නන් වළක්වා ගැනීම එක් ප්‍රධාන අරමුණක් බව ය. වත්මන් ලෝකයේ පවතින අපරාධ නීතිය හා ඉස්ලාමීය අපරාධ නීතිය අතර වූ ප්‍රධාන බෙදුම් රේඛාවන්ගෙන් එකක් වන්නේ වත්මන් අපරාධ නීතිය මිනිසාට අපරාධ කිරීම ට සියලු මංපෙත් විවර කර දී අපරාධ ක‍රු ලෙස හංවඩු ගසා නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නීතියක් නොමැති විටෙක නව නීති සම්පාදනය කර දඬුවම් ලබා දීමය. නමුත් ඉස්ලාම් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මිනිසා අපරාධ කිරීම ට හේතු කාරක වන සාධක සහ පරිසරය තුරන් කර දැහැමි වූත් සර්ව සාධාරනත්ව ය රජයන සමාජ ක්‍රමයක් බිහි කළ පසු අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අතර ම මිනිසාට පුර්ව දැනුම් දීමක් ලෙස අපරාධයක ට ලබා දෙන දඬුවම් පෙන්වා දී ඇත. එවිට මිනිසා දඬුවමේ ඇති දැඩි භාවය අවබෝධ කර ගෙන දඬුවම ට ඇති බිය නිසා අපරාධ වලින් ඈත් වී සම්මා ජීවිතයක් ගත කරන්නට උත්සුක වෙයි.

සමාජ සාධාරණය ක්‍රියාත්මක, අපරාධ කිරීම ට කිසිඳු අවකාශයක් නොමැති හා සමාජ ප්‍රශ්න හා ගැටලු වලට සාධාරණ විසඳුම් ලබා දෙන රජයකට එරෙහි ව ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙන්නේ නම්, කැරලි ගසන්නේ නම් හා සාමකාමී ජන ජීවිතය ට බාධා කරන්නේ නම් එවැනි සුළු පිරිසක ට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම පිළිගත් වගකිය යුතු රාජ්‍යයක ට යෝග්‍ය වන්නේ ද? එසේ නීතිය ක්‍රියාත්මක කිරීම සාහසික අපරාධයක් ලෙස හැඳින් විය හැක්කේ කෙසේ ද? මෙසේ ඉහත යථාරූපී යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව එසේත් නොවේ නම් අවබෝධ කරතත් අනවබෝධයෙන් සේ කටයුතු කරන්නන් ට කිව හැක්කේ ‘නිදා ගත්තෙකු ඇහැරවිය හැකි නමුත් නිදා ගන්නන් සේ රඟපාන්නන් ඇහැරවිය නොහැකි’ බවයි.

බුදු දහමේ නීතිය හා දඬුවම

නීති කඩ කිරීම පිළිබඳ ව බුදු දහමේ අනුමත (මෙලොව) දඬුවම් දීමේ යාන්ත්‍රනය කුමක් ද යන්න පිළිබඳ ව කරුණු විමසීමේ දී ආචාර්ය එස්. අයි. ගමගේ මහතා විසින් ලියන ලද “බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ග්‍රන්ථයේ “නීතිය යුක්තිය සහ දණ්ඩනය” නම් වූ 10 වැනි පරිච්ඡේදයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.

“යුක්තිය සාධාරණය විනිශ්චය කිරීම ට නීතිය අවශ්‍ය වන්නේ ය. යුක්තිය පසිඳලීමේ දී නීත්‍යනුකුල ව වැරදිකරු බව ට පත් වන පුද්ගලයා ට එම නීතිය ට අනුකූල ව ම දඬුවම් ලබා දිය යුතු වන්නේ ය. විශේෂයෙන්ම මෙහි දී නීතියත් යුක්තියත් දණ්ඩනයත් අවශ්‍ය වන්නේ සමාජයේ සදාචාරාත්මක බව සුරක්ෂිත කර ගැනීමට ය. සාර ධර්ම වැපිරීමට ය.
අග්ගඤ්ඤ සුත්‍රයේ සඳහන් වන පරිදි රාජ්‍යයේ ආරම්භය සහ නීතියේ ආරම්භය ද එකට ම ඇති විය. මෙහි දී මෙම නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට සිදු වුයේ සොරකම පදනම් කර ගෙන තෘෂ්ණාවෙන් අනුන් ගේ දේපළ තමන් සන්තක කර ගනිමින් මුලික මිනිස් අයිතිවාසිකම් බිඳ හෙළීම නිසා ය. අනුන් ගේ දේ සොරකම් කර ගැනීම තුළින් සිදු වුයේ යුක්තිය බිඳ වැටීමකි. මේ නිසා යුක්තිය ඉටු කිරීම ට සිදු වේ. යුක්තිය ඉටු කිරීම තුළින් සිදු වන්නේ කාගේත් අයිතිවාසිකම් සුරක්ෂිත වීම ය. අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ කාර්යයේ දී නීතියත් දණ්ඩනයත් අවශ්‍ය වේ. ජනතාව විසින් මහාසම්මත රජතුමා පත් කරනු ලැබූ අතර රජතුමා නීති සම්පාදනය කළේය. නීති සම්පාදනය කළ රජතුමා එම නීති කඩකරන්නවුන් අල්ලා ඔවුන් ට නිසි දඬුවම් ලබා දීම ට ජනතාවගෙන් බලය ලබා ගත්තේය” (ආචාර්ය එස්. අයි. ගමගේ මහතා විසින් ලියන ලද “බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ග්‍රන්ථයේ “නීතිය යුක්තිය සහ දණ්ඩනය” නම් වූ 10 වැනි පරිච්ඡේදයෙන්).

මේ පිළිබඳ ව තවත් වැදගත් කරුණු කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් රචිත “බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව” නම් ග්‍රන්ථයෙන් උපුටා දක්වා ඇත්තෙමු.

“පුද්ගලයන් අපචර්යාවන්ගෙන් වැළැක්වීම ට දඬුවම් පැමිණවීම පිළිගත් බෞද්ධ සමාජ පාලන විධියකි. දඬුවම ට බියෙන් අපරාධ වලින් වැළැකී සිටීම ‘දණ්ඩන භය’ යැයි හැඳින් වේ(අංගුත්තර නිකාය, ද්විතීයභාගය – පිටු 236/238 – බු.ජ.ත්‍රි.ග්‍ර. මා කොළඹ, 1962). ත්‍රිපිටක (මජ්ජිම නිකාය දේව දුත සුත්‍රය) සහ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වල දෙතිස් කල්කටොලු දෙතිස් වධ යැයි හැඳින් වෙන දණ්ඩන මාලාවක් දැක් වේ. මනු නීතියෙහි ද නිර්දේශිත එම දඬුවම් එකක් පාසා ගෙන විග්‍රහ කර බැලීම පමණකිනු දු දඬුවම් බිය කවරේ දැයි සිතා ගත හැකි ය”.

ඉඟුරුවත්තේ පියනන්ද නාහිමි විසින් රචිත “බුදු දහමේ පැන විසඳුම් – 4” යන කෘතියේ (143 – 145 වැනි පිටු) ඉදිරිපත් කොට ඇති කරුණු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ප්‍රශ්නය: පුරාණයේ පැවතුණා යැයි සඳහන් දෙතිස් වධ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කර දෙන්න.

පිළිතුර: බුද්ධ දේශනාවේ දැක් වෙන පුරාණ රජ වරුන් විසින් මිනිස් ඝාතන, සොරකම්, මංකොල්ලකෑම් වැනි වැරදි කළ වුන් හට නුතනයෙහි මෙන් යුක්තිය පසිඳලීමක් පැවති බවක් නොපෙනේ. වරද කළ වුන් අල්වා රජුන් වෙත හෝ අධිකරණය වෙත ඉදිරිපත් කළ විට ඉතාමත් කෙටි වේලාවක් තුළ ඔවුන් ට දඬුවම් පැමිණ වූ අතර, ඇතැම් අවස්ථා වල වරද කළ වුන් මෙන් ම සැකයෙන් ගත් වුන් ද දඬුවම ට ලක් වූ අවස්ථා තිබු බව පෙනේ.
ඒ යුගයේ පැවති දෙතිස් දඬුවම් :

1. කසයෙන් තැළ වීම, 2. වේවැලින් තැළ වීම, 3. අඩ දඬුවෙන් තැළ වීම (මුගුරෙන්), 4. අත් සිඳවීම, 5.පා සිඳවීම, 6. අත්පා සිඳවීම, 7. කන් සිඳවීම, 8. නාසා සිඳවීම, 9. කන් නාසා සිඳවීම, 10. හිස් කබල ගලවා ගිනි ගෙන දිලිසෙන ලොහො ගුලියක් හිස මත තැබීමෙන් කැඳ සැළියක් සේ හිස උතුරවා හැරීමේ ‘බිලංගතාලිකා නම් වධය’, 11. උඩුතොල්, දෙකන් සිළු ගෙල දක්වා සම කපා කෙස් වැටියෙ හි දණ්ඩක් පටලවා දඟ කවා කෙස් සමගින් සම ගලවා අනතුරු ව සම ගැල වූ හිස මත බොරළු දමා සුදු පැහැ ගැන් වෙන තෙක් මදින සංඛමුණ්ඩික නම් වධය, 12. කට විවෘත කරවා මුඛය තුළ පහනක් දල්වා දෙකන් බිල විද මුඛයට ලේ පුරවා ලන රාහුමුඛ නම් වූ වධය, 13. මුළු සිරුර තෙල් කඩින් වෙළා ගිනි දල්වන ජෝතිමාලක නම් වධය, 14. දෙඅත් හි තෙල්කඩ වෙළා ගිනි දල්වන හත්ථපප්ජෝතික නම් වධය, 15. ගෙල පටන් සම ගලවා කෙණ්ඩා තෙක් එල්ලා වැටෙන්න ට සලස්වා තමන් ගේ සම තමන්ට ම පෑගී වැටෙන පරිදි යොතකින් බැඳ ඒ මේ අත අද්දවන ඒරක වත්ථික නම් වධය, 16. ගෙල පටන් ඉණ දක්වා සම ගලවා අනතුරු ව ඉණේ සිට කෙණ්ඩා තෙක් සම එල්ලා වැටෙන්න ට සලස් වන චිරකවාසික නම් වධය, 17. දෙදණින් ද දෙවැළමිටෙන් ද යවුල් ගසා බිම සිටුවා වටේ ට ගිනි දල්වන එනෙය්යක නම් වධය, 18. දෙපස ට ඇමිණෙන කටු ඇති උභතොමුඛ බිලියෙන් අදිමින් ඇඟමස් ගලවන බලිසමංසික නම් වධය, 19. කහවනු පමණින් සිරුරේ මස් ලියාලන කහාපනක නම් වධය, 20. කැපෙන ආයුධයකින් සිරුරෙ හි කේදිඑලා කොස්සකින් සැරකාරකම් ගල්වා මස් දිය කොට හරින ඛාරාපතච්ඡික නම් වධය, 21. කන් බෙරයෙන් උලක්‌ යවා බිම දිගා කොට දෙපයින් ගෙන කරකවන පලිඝපරිවත්තික නම් වධය, 22. සිවිය නොසිඳෙන ලෙස තලා ඇට කුඩු කොට පිදුරු මිටියක් සේ ශරීරය හකුළන පලාල පිට්ඨික නම් වධය, 23. කැකෑරෙන උණු තෙල් ශරීරය ට ඉසීම, 24. චණ්ඩ සුනඛයන් ලවා කැවීම, 25. දිවැස්හුල ඉඳුවීම, 26. කඩුවෙන් හිස සිඳීම, 27. ඇණ බෙරයේ දමා පෙරළීම, 28. ඇතුන් ලවා පෑග වීම (බිම දිගා කරවා), 29. අඩක් ශරීරය වළ දමා පස් තද කොට තැබීම (අතපය බැඳ), 30. උල හිඳුවා මැර වීම, 31. කීන බල්ලන් ලා සපා කැවීම, 32. ඇණ මුගුරු වලින් තැළීම.

සිංහල රාජ යුගයන් හි තරමක් වෙනස් වධ ක්‍රම මෙරට පැවති බව ද පෙනේ.

1. තරමක් ඈතින් පිහිටි පුවක් ගස් දෙකක් ළං කොට අපරාධකරු ගේ දෙපා ගස් දෙක ට තබා බැඳ ගස් දෙක එක ට බැඳී ලණුව කපා හැරීම.

2. දරුවන් තම මව ලවා කෙට වීම.

3. දියේ ගිල්වා මැරීම වැනි ක්‍රම දැක් වේ”. (ඉඟුරුවත්තේ පියනන්ද නාහිමි විසින් රචිත “බුදු දහමේ පැන විසඳුම් – 4” යන කෘතියේ (143 – 145 වැනි පිටු)

මේ අනුව යුද්ධ, නීතිය උල්ලංඝනය කිරීම හා දඬුවම් ක්‍රියාත්මක කිරීම එක් දහමක ට, වාර්ගිකත්වයක ට, සංස්කෘතියක ට හෝ භෞමික පෙදෙසක ට පමණක් සීමා වූ ක්‍රියාදාමයක් නොවන බව පැහැදිලි වේ යැයි සිතන්නෙමු.

Leave a Reply

Your email address will not be published.