අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 13

චෝදනාව: අල් කුර්ආන් වැකිය 8:60

මෙම අල් කුර්ආන් වැකිය පිළිබඳ ඉස්ලාම් විවේචකයින්ගේ චෝදනාව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ නිතර ඉස්ලාමිකයින් සටන් කිරීමට සුදානමින් හමුදා සකස් කරමින් සිටි බව සඳහන් කරමිනි. ඉතිහාසය ඉතා පැහැදිලි ලෙස වාර්තා කරන අන්දමට අවුරුදු 13ක පමණ මක්කාහ් නගරයේ මුස්ලිම්වරුන් වෙත ඉමහත් භීෂණයක් මුදා හරිමින් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුව ඉතා රුදුරු අන්දමින් ඝාතනය කිරීමටත් දරුණු වධහිංසා පමුනුවීමටත් මක්කාහ් හි ජීවත් වූ කුරෛෂ් ප්‍රතික්ෂේපකයින් කටයුතු කළ ආකාරය සැවොම දන්නා කරුණකි. මෙම ඉමහත් අපරාධකාරී පරිසරයෙන් මිදී සාමකාමී අයුරින් ජීවත් වීම උදෙසා මදීනා නගරයට දේශාන්තරණය කළායින් පසුවද මක්කාවේ සිට මුස්ලිම්වරුන්ට එරෙහිව විවිධ ආකාරයේ යුද මෙහෙයුම් කිහිපයක් සිදුවිය. මෙම තත්ත්වය යටතේ මෙයින් ආරක්ෂා වී ජීවත් වීමට නම් තමන්ගේ යුද ශක්තිය තහවුරු ගැනීමේ අවශ්‍යතාවක් මුස්ලිම් වරුන් වෙත විය. පළමුව මෙම වැකියේ සිංහල අර්ථ දැක්වීම වෙත යොමුවෙමු.

“නුඹලාට හැකි පමණින් බලයෙන් හා අශ්ව ඇණියෙන් ඔවුනට එරෙහිව සුදානම් වවු. එමගින් අල්ලාහ්ගේ සතුරාව ද නුඹලාගේ සතුරාව ද ඔවුන් හැර සෙසු අයව ද බියට පත්කළ හැක…(8:60)

මෙම අල් කුර්ආන් වැකිය පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කිරීම පිළිබඳ ව අපි සැබවින් ම මවිතයට පත්වන්නෙමු. බෙදුම්වාදී යුද්ධය මෙරට තුල ක්‍රියාත්මක වූ අවස්ථාවේ දී රජයේ හමුදා සතුරාට වඩා ශක්තිමත් වන්නට අවශ්‍යය සියළු මාර්ග සොයා බලා කටයුතු කළහ. සතුරාට වඩා රජයේ හමුදා දුර්වල තත්ත්වයේ සිටියා නම් විය හැකි ප්‍රතිඵලය කෙබන්දක් ද යන්න ගැන අටුවා ලිවීමේ අවශ්‍යතාවක් නොමැති වන්නට තිබුණි.

මදීනා නගරය ආසන්නයේ පිහිටි බද්ර් නම් ස්ථානයේ මක්කාහ් ප්‍රතික්ෂේපකයින් හා ඉස්ලාමිකයින් අතර වූ යුද්ධයේ සංඛ්‍යාත්මක දත්ත වෙත අවධානය යොමු කිරීමෙන් ඉහත වැකියේ හරය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි සිතන්නෙමු.

ඉස්ලාමිකයින් ප්‍රතික්ෂේපකයින්

සටන් කරුවන් 313 සටන් කරුවන් 1000 ට අධිකයි
සන්නාහ පැළඳුම් 6 සන්නාහ පැළඳුම් සහිත වුවන් 600
ඔටුවන් 70 ඔටුවන් 170
අශ්වයින් 2 අශ්වයින් 300

මෙලෙස දුර්වල තත්ත්වයේ සිටි ඉස්ලාමිකයින් සමගයි ඔවුන් සටනට පිවිසියේ. ඉස්ලාමිකයින්ගේ යුද ශක්තිය ප්‍රතික්ෂේපකයින්ට වඩා වුයේ නම් ප්‍රතික්ෂේපකයින් සටනකට පිවිසීමට තිබු ඉඩකඩ ඉතාම අල්ප වන්නට තිබුණි. යුද ශක්තිය වැඩිකර ගැනීමෙන් සතුරා බියට පත්වන අතර ඔවුන් සටනකට ඒමේ තත්ත්වයද නැති කර ගත හැකි වනු ඇත. ඉහත සඳහන් ආකාරයෙන් ඉතා දුර්වල තත්ත්වයේ පසුවූ බද්ර් යුද්ධයෙන් ජයගත් අතර එය මහා කාරුණික අල්ලාහ්ගෙන් ලද උපකාරය මත සිදුවූ ප්‍රාතිහාර්යක් ලෙස දැක්විය හැක. මෙම වැකියට පසු වූ වැකිය අනුව යුද කාමිත්වයකට වඩා සාමය හා සමාදානය ඉස්ලාමීය ප්‍රතිපත්තිය බව ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත.

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹද ඒ වෙත නැඹුරු වවු…” (අල් කුර්ආන් 8:61)
මෙයින් ඉස්ලාමීය සාමකාමිත්වය ඉතා පැහැදිලි අයුරින් ම දක්වා ඇත. යුද කිරීමට සිදුවුයේ ඉස්ලාමිකයින් සමග යුද්ධයට පිවිසි පිරිස සමගය.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2:190)

පළමුව 2:190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්:

1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම මෙම වැකියේ ප්‍රධානතම උපදේශයයි. මේ අනුව ඕනෑම අයෙකු සමග සටන් කිරීමට ඉස්ලාමිකයින්ට අවසරයක් නොමැත.

2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලාගත යුතුය යන්න ද මෙහි තවත් වැදගත් උපදේශයකි. වර්තමානයේ යුද ගැටුම් හි නිරත බොහෝ හමුදා තම සීමාවන් ඉක්මවා ගොස් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සාමාන්‍ය සිදුවීම් බවට පත් වී ඇත. මෙලෙස හැසිරීමට ඉස්ලාමිකයින්ට අනුමැතියක් නොමැත. මෙම ඉගැන්වීම් සමග ඕනෑම අයෙකුට තිබිය හැක්කේ කුමණ ආකාරයේ ගැටළුවක්දැයි විමසන්නට කැමැත්තෙමු. එහෙයින් පදනම් විරහිත අර්ථ ශුන්‍ය විවේචනයන්ගෙන් මිදී සත්‍යය අවබෝධ කර ගනිමු. සාමයෙන් හා සහෝදරත්වයෙන් යුත් සමාජයක් වෙත පිය නගමු.

By: එම්. අහ්මද දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.