ඉස්ලාම් දහමින් ඕපාදූපයට හිමි අකුසලය (The Sin of Backbiting in Islam)

කෙනෙකුගේ ගරුත්වය කෙලසන ආකාරයේ ඕපාදුප කීම ගැන ඉස්ලාම් දහමින් ඉතා දැඩිලෙස අවවාද කොට ඇත. නබිතුමාගේ අවසාන අරෆා දේශනයේදී මෙසේ පවසා ඇත. 

“ජනතාවනි! ඔබ මේ උතුම්වූ මාසය (zසුල්හජ්), මේ උතුම් දිනය (අරෆා) සහ මේ පුණ්‍ය නගරය (මක්කම) කොතරම් පාරිශුද්ධ යැයි සලකන්නේද, ඒ අයුරින්ම අනුන්ගේ ජීවිතයට සහ දේපලවලට හානියක් නොවන අයුරින් ක්‍රියා කරනු….”

කෙනෙකුගේ ගෞරවය කෙළසීම ජිවිතයට කරන විශාල හානියකි. තවද එසේ කිරීමෙන් කෙනෙකුගේ ගරුත්වයට සිදුවන අවමානය සුළු පටු නොවේ. මේ නිසාම එය ඉතා දැඩිලෙස ඉස්ලාම් දහමින් තහනම් කොට ඇත. අල්කුරානයේ ඕපාදුප දෙඩවීම තම මියගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට සමාන කොට තිබේ. එම කුර්ආන් වැකිය පහත දැක්වේ.

“විශ්වාසවන්තයිනි! අවිශ්වාසවලින් වැලකී සිටින්න. නියතවශයෙන්ම ඇතැම් අවිශ්වාසයන් පාපයන් වේ. තවද, (එකිනෙකා ගැන) ඔත්තු බැලීම නොකරනු. එසේම එකිනෙකා ගැන කේලම් නොකියනු. නුඹලාගෙන් කෙනෙක් තම මළ ගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නෙහිද? (ඇත්තවශයෙන්ම) නුඹලා එය පිළිකුල් කරන්නේහුය. තවද, අල්ලාහ්ට බියව ක්‍රියා කරනු. නියතව අල්ලාහ් අධිකව ක්ෂමාකරන්නාද; අසම දයාවන්තයාද වේ” (කුරානය 49:12).

කිසිම කෙනෙක් තම මිය ගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. එසේ තිබියදී හේතුවක් නොමැතිව අනුන්ගේ ඕපාදුප කීමෙන් එවැනි නින්දිත ක්‍රියාවක නියැලෙන්නේ ඇයි?

අවිශ්වාසය ගැන නබිතුමාගේ හදිසයක මෙසේ සඳහන් වේ.

“එකිනෙකා ගැන සැකකිරීමෙන් වලකිනු, සැකයන් ඉතා නින්දිත අසත්‍ය ප්‍රබන්දයන් වේ. අනුන්ගේ වැරදි සෙවීමෙන් වැලකී සිටිනු, එකිනෙකා ගැන ඔත්තු බැලීමෙන් වලකිනු, එකිනෙකාට ඉර්ෂ්‍යයා නොකරනු, එකිනෙකා කෙරෙහි පිළිකුල් නොකරනු, එකිනෙකාව (කතා නොකර) අත්හැර නොදමනු. දෙවියන්ගේ ගැත්තනි! සහෝදරයින් ලෙස ජිවත් වනු” (සහිහ් බුහාරි වෙළුම 8 හදිස් අංක 92).

ඉතත හදිසයේ බොහෝ ඔවදන් දැකිය හැකිය. ඒවා සෑම එකක්ම මිනිසාගේ විමුක්තියට මග පෙන්වන්නේය. එසේම ඒවා පිළිපැදීම අපහසුකාර්‍යයක් ද නොවේ. එබැවින් කෙසේ හෝ ඒවා පිළිපදින්නේ නම් අප කරන කුසල් විනාශ නොකර ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

කේලම් කීම නිසා සොහොනේදී දඬුවම් කරන බව නබිතුමා පවසා ඇත. එසේ තිබියදී ඇතැම් උදවිය කේලම් කීමෙන් අසාමාන්‍ය සතුටක් ලබති. ඉන් සිදුවන්නේ ඔවුන් කරන පින් වෙනත් කෙනෙකුට ලබා දීම පමණි.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.