ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූවානම් එය සාමයේ දහමක් විය හැක්කේ කෙසේ ද ?

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්‍රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.

එසේ නම් ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කළ බවට චෝදනා මතුකරන්නන් සඳහන් කරන්නේ ඇයි? පහත සඳහන් කරුණු මෙයට හේතු ලෙස අප දකින්නෙමු.

1. ඉස්ලාමය අපකීර්තියට පත් කිරීමේ වෛරී හා ද්වේෂ සහගත චේතනා

2. අල් කුර්ආනය බිහිවූ යුගයේ ඉස්ලාමයට එරෙහිවුවන් ඉස්ලාමිකයින් ව විනාශ කිරීම සඳහා කළ විවිධ යුද්ධ අල් කුර්ආනයේ සඳහන් වන අතර ඒවා පිළිබඳව වැරදි අවබෝධය හේතුවෙන් හෝ චේතනාන්විතව ඉස්ලාමයට එරෙහි හේතුවක් ලෙස මෙම යුද්ධ හුවා දක්වන්නට දරන වෑයම.

3. ඉහත සඳහන් යුද්ධ මුස්ලිම්වරුන් විසින් ඉස්ලාමය ව්‍යාප්ත කිරීම සඳහා කළ ක්‍රියාවන් ලෙස වැරදි අර්ථදක්වීමක් ඇතැමුන් විසින් ලබා දීමට කරන උත්සාහය

4. වර්ෂ 1450කට පෙර පහළ වූ අල් කුර්ආනය පදනම් කරගෙන වර්තමාන ලෝකයේ බිලියන 1.8ක් පමණ ඉස්ලාමිකයින් සිටීම ඉස්ලාමය ලද ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් හෙයින් ඒ සඳහා හේතු සොයන්නන් විසින් ගොතන ලද මනඃකල්පිත හේතුවක් වීම

ඉහතින් ඉදිරිපත් කරන ලද පිව් පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව මෙම සියවසේ මැද භාගයට පෙරම පළමු ස්ථානයේ සිටින්නා වූ කිතුනු දහම අබිභවා ඉස්ලාමය ලොව අංක එකේ ප්‍රධානතම දහම ලෙස පත්වනු ඇති බව ඔවුන් විසින් දක්වා ඇත. මෙලෙස වීමට ප්‍රධානතම හේතුව කඩුව හෝ අන් ආකාරයක බලපෑමක් නොව ජනයා විසින් සත්‍යය අවබෝධය ලබා ගැනීම බව තර්කයෙන් තොරව ඉදිරිපත් කළ හැකි සාධකයයි.

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කරන ලද්දක් බවට මතු කරන අර්ථ විරහිත චෝදනාවට ලොව ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකුවූ ඩි ලාසි ඔලියරි (De Lacy O’Leary) තමන්ගේ Islam at the cross road” නම් ග්‍රන්ථයේ 8 වැනි පිටුවේ පහත සඳහන් අයුරින් අදහස් දක්වයි.

“කෙසේ නමුත් ඉතිහාසය පැහැදිලි කරන අන්දමට භක්තියෙන් මුසපත් වූ මුස්ලිම්වරුන් තම යටත් වැසියන් වෙත අසිපත දිගු කරමින් ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බලපෑම් කිරීම තරම් අභූත මිත්‍යාවක් ඉතිහාසඥන් විසින් පුනරුච්චාරණය කර නොමැත”

මුස්ලිම්වරුන් ස්පාඤ්ඤය අවුරුදු 800ක් පාලනය කළහ. ඉස්ලාමිකයින් නොවූ ස්පාඤ්ඤ වැසියන් ව අසිපතින් බලපෑම් කොට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස දක්වන කිසිදු වාර්තාවක් නොමැත. පසුව කිතුනු කුරුස ක්‍රියාකාරකයින් විසින් මුස්ලිම් පාලනය අවසන් කරන ලදී.

මුස්ලිම්වරුන් වර්ෂ 1400ක් පමණ මුළුමහත් අරාබි දේශය ම පාලනය කළහ. කෙටි කාලයක් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලය මෙම ප්‍රදේශයේ පැවතිනි. නමුත් අදත් අරාබිවරුන් අතරේ පාරම්පරික කොප්ටික් කිතුනුවන් මිලියන 14ක් ජීවත් වෙති. මුස්ලිම්වරුන් අසිපත යොදා ගනිමින් දහම ප්‍රචාරය කරන්නට කටයුතු කළේ නම් එකම කිතුණුවෙක් හෝ අරාබිවරුන් අතරේ නොසිටිනු ඇත.

අවුරුදු 1000ක් පමණ මුස්ලිම්වරුන් ඉන්දියාව පාලනය කළහ. නමුත් අදත් ඉන්දියාවේ මුළු ජනගහනයෙන් 80% පමණ ඉන්නේ මුස්ලිම් නොවන්නන් බව අප සැවොම දන්නා කරුණකි. මෙම සියළු මුස්ලිම් නොවන්නන් සිටීම තුළින් අප වෙත දන්වා සිටින පණිවිඩය නම් ඉස්ලාමීය ප්‍රචාරය අසිපත හෝ වෙනත් ආකාරයක බලකිරීමක් මත සිදු නොවන බවයි.

වර්තමානයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රට ඉන්දුනීසියාවයි. මැලේසියාවේ බහුතරය මුස්ලිම් වරුන් ය. මෙහිදී මතු කළ යුතු ප්‍රශ්නය වන්නේ කුමන මුස්ලිම් හමුදාවද ඉන්දුනීසියාව හා මැලේසියාව වෙත පැමිණියේ යන්නයි.
ඉස්ලාමීය ප්‍රචාරය කළ යුත්තේ කෙලෙසද යන්න අල් කුර්ආනය පැහැදිලි කරයි.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16:125)

මෙහි බලපෑම් කරමින් ඉස්ලාමය වෙත ආරාධනා කරන්නට කිසිම ආකාරයක අදහසක් නොමැත. සැබවින් ම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව දහම පිළිබඳ ව බලපෑම් කිරීම සහමුලින් ම තහනම් කොට ඇත.

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල් කුර්ආන් 2:256)
දහම සම්බන්ධව ඇති නිදහස පිළිබඳ ව ද අල් කුර්ආනය කරනු පැහැදිලි කරයි.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)

බලපෑම් කිරීම කෙසේ වෙතත් කිසිම දහමකට අපහාස කිරීම ද අල් කුර්ආනය විසින් සම්පුර්ණයෙන් ම තහනම් කොට ඇත.

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)

දහම හේතුවෙන් මුස්ලිම්වරුන් සමග ගැටුම් හා අපරාධ ක්‍රියාවන් හි නිරත නොවූ යහ මුස්ලිම් නොවන්නන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස ඉස්ලාමය උගන්වයි.

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60:8)

එහෙයින් ඉස්ලාමීය ව්‍යාප්තිය පිළිබඳ ව වැරදි මතයන් ඉදිරිපත් කරමින් මුස්ලිම් භීතිකාවක් ඇති කිරීමට උත්සාහ දරන්නන්ගේ අසත්‍යය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමු. සැබවින් ම සීඝ්‍ර ඉස්ලාමීය ව්‍යාප්තියට ප්‍රධාන හේතුව ජනයා විසින් සත්‍යය අවබෝධ කර ගැනීම මිස අන් හේතු නොවන බව ඉතාමත් පැහැදිලි කරුණක් බව මෙයින් ඔප්පුවේ.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.