අල්ලාහ් ප්‍රමාද වි දඬුවම් කරන්නේ ඇයි? (Why is Allah delayed and punished?)

දෙවිකෙනෙක් සිටිනවා නම් ලෝකය පුරා මිනීමැරුම් ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් පිරී ඉතිරි ගොස් තිබියදී ඔහු බලා සිටින්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇතැම් රටවල් වල කුඩා දරුවන් පවා කෘර ලෙස ඝාතනයට ලක් වෙති. සිතක් ඇති ඕනෑම කෙනෙක් ඒවා දැකීමෙන් කම්පාවට පත්වෙති. එසේ නම් දෙවියන් ඊට වඩා දර දඬු දැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. එහෙත් යතාර්ථය නම් එය නොවේ. අල්ලාහ් මහා කරුනිකයාය ඉවසිලිවන්තයාය මවකට වඩා 70 වාරයක් ඔහුගේ ගැත්තන් කෙරෙහි කරුණාව පෙන්වන්නාය. මේ නිසා මිනිසා වරදක් සිදු කල වහාම ඊට දඬුවම් කරන්නේ නැත. මිනිසාට මෙම ජීවිතය පරික්ෂාවක් බවට පත්කොට ඇත. එබැවින් මිනිසා කල නොයුතු දේවල් කරත් ඒවා එසැනින් නිවැරදි කරන්නේ නැත. විභාග ශාලාවක් මිට හොඳම උදාහරණය හැටියට ගත හැකිය. කෙසේ වෙතත් මිනිසා සහජයෙන්ම කලබලකාරී මැවීමකි. එම නිසා වැරදි දකින විට වහා ඊට විසඳුමක් බලාපොරොත්තු වන්නේය. මේ බව කුරානයේ පහත දැක්වෙන අන්දමට සඳහන් කොට තිබේ.

“නියත වශයෙන්ම මිනිසාව ඉවසීම නැත්තෙකු ලෙස මවනු ලැබ ඇත” (කුරානය 70:19).

දෙවියන්ගේ සැලසුම අනුව මිනිසා කරන වැරදි හරිගස්සා ගැනීමට ඉඩ සලසා දී ඇත. එසේ නොකර මිනිසා කරන වැරදි හේතුවෙන් දෙවියන් ක්ෂණිකව දඬුවම් කලේ නම් පොලව මත කිසිම ජීවියෙක් ඉතුරු වන්නේ නැත. එබැවින් මිනිසා කරන වැරදි මිනිසා විසින්ම නතර කිරීම දෙවියන්ගේ බලාපොරොත්තුව වන්නේය. කෙසේ වෙතත් එම වැරදි සීමාව ඉක්මවා ගියේ නම් දෙවියන්ගේ දඬුවම මෙලොවදීම පහළ වී ඇත. මුහම්මද් නබිතුමාට පෙර ජීවත්වූ නබිවරුන්ගේ කාලයේදී එවැනි බොහෝ සිදුවීම් ගැන කුරානයේ සඳහන් කොට ඇත.

“අල්ලාහ් මිනිසුන්ගේ අපරාධ හේතුවෙන් (එම මොහොතේදීම) දඬුවම් කළහොත් (පොළව මත) එහා මෙහා වන කිසිම ප්‍රානියෙකුව ඉතිරි කරන්නේ නැත, එහෙත් ඔවුන්ට නියමිත කාල සීමාවක් දක්වා කල් දී තිබේ, නියමිත කාලය පැමිණි කල ඔවුන්ට එක් හෝරාවක් ඉදිරියට හෝ  ආපස්සට යෑමට ලැබෙන්නේ නැත” (කුරානය 16:61).

ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව මිනිසා කරන වැරදිවලට ක්ෂණිකව දඬුවම් නොලැබීම මිනිසා ලද විශාල භාග්‍යයක් ලෙස සැලකිය යුතුය. දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වීම නිසා දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නෙකු, කුහකයෙකු, මිනිස් ඝාතකයෙකු, බේබද්දෙකු, සල්ලාලයෙකු, මංකොල්ල කරුවෙකු හෝ වෙනත් වැරදි කල කෙනෙකුට තම වැරදි හදාගෙන හොඳ මිනිසෙකු වීමට අවස්ථාව උදා වන්නේය. එසේ නොවුයේ නම් ඔවුන්ට සිදු වන්නේ නිරයේ දුක් විඳීමට ය.

“වැරදි කරුවන් කරන දේවල් ගැන අල්ලාහ් නොදැන සිටිනවා යැයි නොසිතන්න, එහෙත් ඔහු භීතියෙන් තිගැස්සී  ඇස් උඩ යන එම දිනය දක්වා ඔවුන්ට අවකාශ ලබා දී තිබේ” (කුරානය 14:42).

කෙනෙක් ඉහත සඳහන් කල මොහොත දක්වාම ඔහුට ලබා දී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන නොලබන්නේ නම් එය ඔහු ලබන විශාල අභාග්‍යයක් ලෙස සැලකිය යුතුය. ඉන් පසු වෙනත් අවස්ථාවක් නොලැබෙන බව හොඳින් අවබෝද කර ගත යුතුය.

“නුඹගේ අධිපති දෙවියන් අධික ලෙස ක්‍ෂමාකරන්නාය; කරුනාවන්තයාය. ඔහු, ඔවුන් උපයාගත් දේවල් සඳහා දඬුවම් කරන්නේ නම් නියත වශයෙන්ම ඔවුනට වේදනාව ඉක්මන් කරත හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට යැයි ප්‍රතිඥා දෙනු ලැබූ වෙලාවක් නියම කොට ඇත. ඉන් ඔබ්බට ඔවුන් සඳහා ගැලවුමක් නැත” (කුරානය 18:58).

මිනිසුන් කරන වැරැදිවලින් ලොකුම වැරැද්ද තම මැවුම්කරු අල්ලාහ් බව විශ්වාස නොකර සිටීමයි. උදාහරණයක් වශයෙන් දරුවෙක් තම පියාගේ පිතෘත්වය පිලි නොගෙන සිටීමක් වැනිය. එහෙත් දේවත්වය පිළිනොගෙන සිටීම ඊටත් වඩා විශාල වරදකි. කිසිවක් නැතුව තිබියදී මිනිසාව මවා ඔහුට අවශ්‍ය සියලු දේ ලබා දී තිබියදීත් එය පිලි නොගන්නේ නම් මරණයෙන් පසු අල්ලාහ්ට මුහුණ දෙන්නේ කෙසේද? මිනිසා කරන මෙම වරද වෙනුවෙන් දඬුවම් නොකර අවසාන දිනය දක්වා කල් දමා තිබියදීත් ඒ ගැන කිසිම තැකීමක් නොකර සිට විනිශ්චය දිනද්දී ඊට මුහුණ දෙන්නේ කෙසේද?

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.