ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම් (Parents’ responsibilities for children in Islam)

සත්ව ලෝකය තුල මිනිසාට අද්විතීය ස්ථානයක් හිමිවන්නේය. එබැවින් ඔහුට පැවරෙන වගකීම්ද බොහෝය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තම දරුවන්ටත් නිසි මග පෙන්වීමයි. මෙය දේවවාදීන් මෙන්ම අදේවවාදීන් විසින් පිළිගන්නා පරම සත්‍යයයකි. අල් කුරානයේ මෙන්ම නබි තුමාගේ හදිස්වල මිනිසාට මේ සම්බන්දයෙන් බොහෝ වගකීම් පවරා තිබේ. අල් කුරානයේ එන එක් වගන්තියක මෙලෙස සඳහන් වේ.

“විශ්වාස කලවුනි! නුඹලාවද නුඹලාගේ පවුලේ උදවියද නිරයෙන් බේරා ගනු” (කුරානය 66:6)

මෙය ඉතා බැරෑරුම් අවවාදයක් බව අමතක නොකළ යුතුය. නිරය අතිශයින්ම බියකරුය. එහි මොහොතක් හෝ සිටීම මුළු ජිවිත කාලයම සතුටින් සිටීමට වඩා භයානකය. එබැවින් ජිවිත කාලයම කැප කිරීමෙන් හෝ නිරයෙන් ගැලවීමට ක්‍රියා කල යුතුය. එය කල හැක්කේ මරණයෙන් පසු ජීවිතය ගැන දැඩි විශ්වාසයක් තිබුනොත් පමණි. එහෙත් කෙනෙකුගේ විශ්වාසය වැඩි වීමට දැනුම අත්‍යාවශ්‍ය ය. මේ නිසා දෙමව්පියන් මෙන්ම දරුවන් දහම් දැනුම සඳහා මුල්තැන ලබා දීම අනිවාර්ය වේ. මේ නිසා ලෞකික අධ්‍යාපනයට ඉඩ නොදිය යුතු යැයි කිසිසේත්ම කියැවෙන්නේ නැත. ඒ දෙකෙහි සමබර ඇති කර ගැනීමෙන් වඩා හොඳ ප්‍රතිපල අත්විඳිය හැකිය. දැනුම නොමැතිව පින් දහම් කිරීම පිහිනීමට නොදැන වතුරට පැනීමට සමානය.

ලුක්මාන් තුමා සිය පුතුට දුන් උපදේශය අල් කුරානයේ මෙලෙස සඳහන් වේ.

“මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු කිරීම උග්‍ර පාපයක් වන්නේය” (කුරානය 31:13).

දෙවියන්ට සමානයන් තැබීම මහා පාපයක් වේ. ඒ අනුව කෙනෙක් දැනුවත්ව එවැනි වරදක් කිරීමෙන් ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. එවැනි කෙනෙක් මරණයට පෙර නැවත ඉස්ලාම් දහම තුලට ඇතුලත් නොවුයේ නම් දෙවියන්ගෙන් සමාවක් නැති බව කුරානයේ සඳහන් වේ. මේ නිසා සෑම දෙමව්පියෙකුම දරුවන්ට විශ්වාසයේ මුලික කරුණු ඉතා හොඳින් කියා දිය යුතුය.

ළමයින්ට දාර්මික ජිවිතයක් පෙන්වා දීම දෙමව්පියන්ගේ වගකීමක් වුවත් එසේ කිරීම ඔවුන්ට විශාල ආයෝජනයක් ද වේ. ළමයින් කරන පින් දහම් නිසා දෙමව්පියන්ට මෙලොවදී පමණක් නොව ඔවුන්ගේ මරණයට පසුත් පින් ලැබෙන්නේය.  එබැවින් එය ඔවුන්ට විශාල ආයෝජනයක් වන්නේය.

ඉස්ලාමයේ සෑම කරුණක්ම යම් ස්ථිර පදනමක පිහිටා ඇති බැවින් ඒවා ගැන නිවැරදිව දැනගැනීම වැදගත් ය. ඒ අනුව ළමුන්ට ඉස්ලාමයේ මුලික කරුණු ගැන ඉගැන්විය යුත්තේ එහි පදනමත් සමගය. නැතහොත් ඒවා කරන්නං වාලේ සිදු කොට වැඩිවියට පත්වන විට අත්හැරීමට ඉඩ තිබේ. මෙය කල හැක්කේ දහම ගැන ලියවුනු පොත පත පරිශීලනය  කිරීමෙන්ය. මේ නිසා සෑම නිවසකම ඉස්ලාම් දහම පිළිබඳව නිවැරදිව ලියවුනු පොත් පත් තිබීම ඉතා වැදගත් කරුණකි. එවිට විශ්වාසයේ කරුණු ස්ථිර පදනමකින් පිළිපදින අතරම ඉස්ලාමයේ අනිවාර්ය කුළුණු පහ නිවැරදි අවබෝදයකින් සිදු කරනු ඇත.

නීතිවලින් කල නොහැකි බොහෝ දේවල් අල්ලාහ් කෙරෙහි නිවැරදි විශ්වාසය තුලින් කල හැකිය. අද බොහෝ ළමයින් මත්කුඩු වලටත් වෙනත් නරක වැඩවලටත් ඇබ්බැහි වී සිටින්නේ අල්ලාහ් ගැන හෝ මරණයෙන් පසු ජවිතය ගැන හෝ දැඩි විශ්වාසයක් නොමැති කම නිසාය. එබැවින් දරුවන් ගැන හොඳ බලාපොරොත්තු තැබීමට නම් ඔවුන්ට නිසි මග පෙන්වීම අනිවාර්ය වේ.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.