ඔබ ඔබේ දරුවාට මෙම අනුශාසනාව කළාද?

 “අල්ලාහ්ට කෘතඥ වන්න. (අල්ලාහ්ට) කෘතඥ වන්නා තමන්ට ම කෘතඥ වේ. යමෙක් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් අවශ්‍යතාවලින් තොර වූවකි ප්‍රශංසනීය කෙනෙකි යි (පවසා) අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු“.

ප්‍රඥාව එතුමන්ට පිරිනැමූ අල්ලාහ්, අල්ලාහ්ට කෘතඥවීමටයි නියෝග කලේ අපි සැම විට අල්ලාහ්ට කාතඥවිය යුතුයි. එවිටයි ඔහු අපට පිරිනැමූ සෞභාග්‍යයන් අඛණ්ඩව පවතින්නේ.

ආදර්ශමත් පියෙකු වූ ලුක්මාන් අලෙයිහිස් සලාම් තුමන් තම පුතුනුවන්ට කළ අගනා ඔවදන් පෙල එකිනෙක දැන් විමසා බලමු.

මුල්ම ඔවදන: මාගේ දයාබර පුතුනුවනි! අල්ලාහ්ට කිසිවක් සමාන නොකරන්න, සමාන කිරීම සැබවින්ම බරපතල අයුක්තියකි. දෙමාපියන් මුලින්ම තම දරුවන්ට ඉගැන්විය යුත්තේ අල්ලාහ් වෙනුවෙන් කළ යුතුකම් පිළිබඳවයි. ඒක දේව විශ්වාසය නිසි ලෙස එම කුඩා සිත් තුළට ඇතුල් කරන අතර, ෂිර්කයේ භයානකත්වය ද පහදා දිය යුතුයි. අල්ලාහ් වෙනුවෙන්වූ යුතුකම් නිසි ලෙස ඉටු කරන දරුවන් තමයි දෙමාපියන්ට හා සමාජයේ සෙසු අයට ඉටු කළ යුතු යුතුකම් නිසි අයුරින් ඉටු කරන්නේ.

දෙවැනි ඔවදන: මාගේ පුතුනුවනි! අබ ඇටයකට සමාන දෙයක් වූවද එය ගල් පර්වතයක හෝ අහස්හි හෝ මහ පොළොවෙහි හෝ  තිබුණද අල්ලාහ් එය ගෙන එන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සෙනෙහවනත්ය, ඥානාන්විතය.

අපි කරන යහපත හෝ අයහපත ඉතා කුඩාවූවද අල්ලාහ් ඉදිරියේ එයට ප්‍රතිඵල හිමිවනු ඇත. එය කවුරු අමතක කළත් අල්ලාහ් අමතක කරන්නේ නැත. එබැවින් අපි අන් අයට කිසිදු හිරිහැරයක් නොකර ජීවත් විය යුතුයි. තවද අල්ලාහ් සියල්ල නිරීක්ෂණය කරයි. ඔහුගේ නිරීක්ෂණයෙන් කිසිවෙකුට වසංවිය නොහැක යන විශ්වාසය කුඩා සිත් තුළ ජනිත කරවිය යුතුය. එවිට දරුවන් තම දෙමාපියන්, ගුරුවරුන් නොදකින විට පවා හොඳ ළමයි සේ ජීවත් වීමට පුරුදු වෙති.

තෙවැනි ඔවදන: මාගේ පුතුනුවනි! සාලතය ඉටු කරන්න.

හත් වැනි වියට පා තබන විට සලාතය දරුවන්ට නියෝග කිරීම, දහ වැනි වියට පා තැබීමෙන් පසුවද සලාතය නොකරන විට ඔවුන්ට දඬුවම් කර හෝ සලාතයට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමකි. එය අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමන්ගේ ආදර්ශයකි. දරුවන් සලාතය කරන විට නරක පුරුදු වලින් ඈත්වෙයි. අල්ලාහ්ට අවනතවීම තුළින් දෙමාපියන්ට ද අවනතව ක්‍රියා කරයි. යහපත් ගති පැවතුම් සලාතය තුළින් වැඩි දියුණු වෙයි.

සිව්වැනි ඔවදන: යහපත අණ කර අයහපත වළක්වන්න.

මෙයින් යහපත ප්‍රිය කරන අයහපත පිළිකුල් කරන මානසිකත්වය උදාවන අතර තමන්වද අයහපතින් ආරක්ෂා කරගත හැක. නරක මිතුරන් ඇසුරු කිරීමෙන් තමන්ව ආරක්ෂා කරගත හැකි අතර, හොඳ මිතුරන් ඇසුරු කිරීමට මෙය මහඟු රුකුලක් වනු ඇත.

පස්වැනි ඔවදන: ඔබට සිදුවන (කරදර වලදී) ඉවසීමෙන් සිටින්න, නියත වශයෙන්ම එය තිරසාර කාර්යයන්ගෙන් වේ.

සමහර දරුවන් පරාජය විඳ දරාගත නොහැකිව මානසිකව වැටෙන බොහෝ අවස්ථා ඇත, තවත් සමහර දරුවන් දිවි නසාගන්නා ශෝචනීය සිදුවීම්ද වාර්තා වේ. මෙයට හේතුව පරාජයට මුහුණ දිය යුතු ආකාරය, එය බාරගත යුතු ආකාරය පිළිබඳ නිසි දැනුමක් ඔවුන්ට නොමැති වීම හා දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි මග පෙන්වීම නොලැබීම විය හැක.  දරුවන්ට ජයග්‍රහණය පමණක් දිරිගන්වන දෙමාපියන්, පරාජයේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු ආකාරය ද ඉගැන්විය යුතුය.

හයවැනි ඔවදන: අහංකාරයෙන් යුතුව ඔබේ කම්මුල (රුව) මිනිසුන්ගෙන් හරවා නොගන්න.

හත්වැනි ඔවදන: උඩඟු ලෙස පොළොවෙහි නොඇවිදින්න. ගර්වයෙන් උඩඟු වන කිසිවෙකු අල්ලාහ් නියත වශයෙන්ම ප්‍රිය නොකරයි.

උඩඟු කම යනු නරක ගුණාංගයකි. සමහර දරුවන් ලොකු මහත්වුණාට පස්සේ, තමන්ව ලොකු මහත් කළ දෙමාපියන්ගෙන්ම මුහුණ හරවා ගනිති. ඔවුන්ව සේවකයන් සේ නඩත්තු කරති. ඔවුන්ව තම දෙමාපියන් වශයෙන් සමාජයේ හැඳින්වීමට පවා ඇලි මැලි කමක් දක්වති. මේ සියල්ල උඩඟු කමේ නරක ප්‍රතිඵල බව අපි කොයි කවුරුත් අමතක නොකළ යුතුයි. කුඩා වියෙහි සිටම නරක ගුණාංගවලින් ළමා මනස පිරිසිදු කළ යුතුයි. එසේ නොවන විට අනාගතයේ එය නෙලන්න සිදුවන්නේ දෙමාපියන්ටයි.

අටවැනි ඔවදන:  ඔබ ඇවිදින විට (පියවර තබන විට) මධ්‍යයස්ථ බව සුරකින්න.

මහ පොළොවෙහි ඇවිදින විට විනීතව ගමන් කිරීම, වත්කම්, සම්පත්වලට හිමිකම් කීවද, සැප පහුස වාහනවල ගමන් කළද ඔවුන් යටහත් බව ආරක්ෂා කරයි නම් ඔවුන්ව සැබවින්ම අල්ලාහ්ගේ ප්‍රිය භාවයට අයත් අයවෙයි.

නමවැනි ඔවදන:  ඔබේ කටහඬ පහත් කරන්න, සැබවින්ම සියලු හඬ වලින් ඉතා පිළිකුල් වන්නේ බූරුවාගේ හඬයි.

කථා කරන විට උසස් විනයකින් යුතුව කථා කළ යුතුයි. හඬ අවශ්‍යයතාවන්ට අනුකූලව පාලනය කර ගත යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය ශ්‍රවණය කරන විට නිහඬව එය ශ්‍රවණය කළ යුතුයි. දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ඉදිරියේ හඬ උස් කොට කථා නොකළ යුතුයි. සමහරු තම හඬ තුළින් අන් අයව බිය වැද්දීම පුරුද්දක් කරගෙන සිටිති. එය පිළිකුල් සහගත ක්‍රියාවකි. නබි සල්ලලාහු අලෙයිහි වසල්ලම් තුමන් දේශණ පවත්වන විට සේනාධි නායකයකුසේ එතුමන්ගේ හඬ පවති යනුවෙන් එතුමන්ගේ මිතුරන් පවසති. ඒ ඒ අවස්ථාවන්ට අනූව හඬ පාලනය විය යුතුයි. එම උතුම් ආදර්ශය අවසාන දූතවරයාගේ ජීවිතයෙන් අපට ලබාගත හැක.

මෙම වටිනා ඔවදන් පෙළ සෑම දෙමාපියෙකුම සිය දරුවන්ට කළ යුතු අගනා ඔවදන් පෙළකි. ඔවුන්ගේ වයස් සීමාවන්ට අනූව, අවශ්‍යයතාවන්ට අනුකූලව දෙමාපියන් දරුවන්ට යහපත අනුශාසනා කළ යුතුය. ඉහත සදහන් මෙම වටිනා ඔවදන් පෙළ ශුද්ධවූ අල්කුර්ආනයේ ලුක්මාන් නම් 31 පරිච්ඡේදයෙහි 12  වැනි පාඨයේ සිට 19 වැනි පාඨය දක්වා ඔබට කියවිය හැක.

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.