මිනිස් සිත පිලිබඳ ඉස්ලාමිය මතය කුමක්ද? (What is Islam’s view of human mind?)

පියෙවි ඇසින් දකින සමහර භෞතික දේවල් පවා තේරුම් ගැනීමට නොහැකි වන අවස්ථාවන් තිබේ. උදාහරණයක් වශෙයන් ආලෝක කිරණයක් ගැන කිව හැකිය. එය සමන්විත වන්නේ තරංගයකින්ද නැතහොත් අංශුවලින්ද යන්න ස්ථිර වශයෙන්ම කිව නොහැකිය. එසේම මිනිස් සිත සහ කය අතර සම්භන්දය කුමක්දැයි තේරුම් ගැනීමට අපහසු අකාරයකට එය ගොඩ නැගී ඇත.

මිනිස් මොලය පරිගනකයක දෘඩ ඩිස්කයකට උපමා කළ හැකි වුවත් මිනිස් සිත උපමා කිරීමට දෙයක් නොමැත. එහෙත් මිනිස් මොළය සහ සිත අතර මනා සම්භන්දයක් දැකිය හැකිය. එබැවින් මොලයේ ක්‍රියාකාරිත්වයට මනස ඉතා සුක්‍ෂම අන්දමින් දායක වන බව නොරහසකි. එසේ තිබියදී මනස භෞතික ලොවට අයත් වන්නේද නැතහොත් ආත්මීය ලොවට අයත් වන්නේද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට විද්‍යාඥයින් මෙතෙත් පැමිණ නැත. කෙසේ වෙතත් නවීන පර්යේෂණ මගින් කෘතීම බුද්ධිය පිලිබඳ පර්යේෂණ සිදු කරමින් පවතී. එහෙත් එම පර්යේෂණ මේ දක්වා සාර්ථක වී නොමැත.

12 වන සියවසේදී ජීවත්වූ ඉස්ලාමයේ වඩාත්ම කැපී පෙනෙන හා බලසම්පන්න දාර්ශනිකයෙක් වුද දේවධර්මවාදීයෙක් වුද නීතිවේදියෙක් වුද ඉමාම් ගzස්සාලි දක්වන අදහස් අනුව මිනිසාගේ වැදගත්ම හරය වන්නේ සිතයි. ඔහුට අනුව සිත අධ්‍යාත්මික වස්තුවක් වන අතර එය ශරීරය තුල සිටිමින් භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වන්නේය. මිනිස් සිත සහ (භෞතික) හදවත අතර සම්බන්දකමක් ඇති බැවින් එතුමාගේ අදහස අනුව එය හදවත ලෙසද හඳුන්වන්නේය. ඉමාම් ගzස්සාලිගේ අදහස අනුව ආත්මය සිව් අකාරයකට හැඳින්විය හැකිය. එනම් සිත (කල්බ්), ආත්මය (රූහ්-soul), ආශාව (නෆ්ස්, desire-nature) සහ බුද්ධිය (අක්ල්, intellect) වශයෙනි. මෙම විග්‍රහය අනුව ආත්මය මෙලොවට අයත් වන්නේ නැත.

මිනිසාගේ ශරීරය මෙන්ම මනසත් රෝගී හෝ නිරෝගී විය හැකිය. සෑම පුද්ගලයෙකුගේම මානසික සුවය එකම ක්‍රමයකට මැනිය නොහැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ අප අවට ඇති පරිසරය එක් එක් පුද්ගලයාට විවිධාකාරයෙන් බලපාන නිසාය. මානසික සුවය මැනිය හැකි එක් ක්‍රමයක් වන්නේ ඔහු කොතරම් හොඳින් ජිවත් වන්නේදැයි පිරික්සා බැලීමෙනි. එය කල හැක්කේ කෙනෙක් කොතරම් සතුටින් ජිවත් වන්නේද, ඔහු සාමන්‍ය මානසික ආතතියකට ඔරොත්තු දෙන්නේ කෙසේද, යහළු මිත්‍රයන් සමග හැසිරෙන්නේ කෙසේද, ස්වාදීන දිවියක් ගතකරන්නේ කෙසේද, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේදැයි පරික්ෂා කොට බැලීමෙන් ය.
අල් කුරානයට අනුව මිනිස් මනස සැනසුම ලබන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ය. “අල්ලාහ්ව සිහි කිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබන්නේය. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුලින් සිත් සැනසුම ලබන්නේය (කුරානය 13:28). ඒ හැර භෞතික වස්තුවලින් එය සිදු කල නොහැකිය. මෙය පැහැදිලිව දැකිය හැක්කේ ඇතැම් විශාල ධනවතුන් මෙන්ම බලය හොබවන උදවිය මානසික පිඩනය නිසා සිය දිවි හානිකර ගැනීම සලකා බැලීමේදීය. ඒ අතරම දහම තුල ජිවත්වන බොහෝ මුස්ලිම්වරු ධනය සහ බලය නැතත් විශාල මානසික සුවයකින් සිටිනු දැකිය හැකිය. මේ හේතුවෙන් ලෝකයේ අඩුම සිය දිවි නසා ගැනීම වාර්තා වන්නේ මුස්ලිම්වරුන් අතරය.
සාතාන් ද භෞතික ලෝකයට අයත් නොවන බැවින් ඔහුට මිනිසාගේ සිත තුලට නොයෙකුත් අදහස් ඇතුලත් කල හැකිය. මේ පිළිබඳව නබි වදන් මෙන්ම කුරාන් පාඨයන්ද තිබේ. කෙසේ වෙතත් දැහැමි ජිවිතයක් ගත කරන අය කෙරෙහි සාතන්ට බලපෑම කිරීමට හැකි වන්නේ නැත.

මිනිස් සිත පිළිබඳව අල්-කුරානයේ මෙලෙස සඳහන් වී තිබෙනු දැකිය හැකිය.

“ඉන් පසුවද ඔබගේ හදවත් දැඩිවිය. එය ගල් පර්වත මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. (මන්දයත්) සමහර පර්වතවලින් උල්පත් ඇති වී සැමදා ජලය වැහෙන්නේය. තවත් සමහර පර්වත පැලී දෙබෑ වී එයින් ජල දහරා වැහෙන්නේය. ඉන් සමහරක් අල්ලාහ්ට බියෙන් පහලට ඇද හැලෙන්නේය. අල්ලාහ් ඔබ කරන දැය නොදන්නේ නොවේ” (කුරානය 2:74).
“(අල්ලාහ්ගෙන්) තමන්ට පැමිණි කිසිම සාදකයක් නොමැතිව අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුනේ) තර්ක කිරීම අල්ලාහ් වෙතද විස්වාස කළ අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. මෙසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය. (එබැවින් ඔවුන්ට ස්වයංව ඍජු මාර්ගය අත්කර ගත නොහැකි වන්නේය)” (කුරානය 40:35).

ඉහත දැක්වෙන වැකිවලින් පෙනී යන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිත්වල දැඩිබව ඇතිවන බවයි. එවැනි සිතකට දෙන අවවාද වලින් ප්‍රයෝජන අත්වන්නේ නැත.

මිනිස් කය මරණයෙන් පසු පොලවට එකතු වුවද මිනිස් ආත්මය දෙවියන් වෙත යන්නේය. මේ නිසා මිනිසාට මෙලොව ජීවිතය ජය ගැනීමට නම් අල්කුරනයේ උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.