ඉස්ලාම් දහම අනෙක් ආගම් වලින් වෙනස් වන්නේ කෙසේද? (How is Islam different from other religions?)

ඉස්ලාම් අනෙක් ආගම් මෙන්ම මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වී ඇත. එහෙත් ආදම් නබිතුමාගෙන් ආරම්භ වන ඉස්ලාම් ආගම සම්පුර්ණ වන්නේ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය හරහාය. ඒ අනුව කුරානය තුල කුරානයට පෙර පහළ වූ ආගම් ගැනත් සඳහන් වන්නේය. ඒ සෑම ආගමකම දැකිය හැකි ප්‍රධාන කරුණක් වන්නේ දෙවියන්ගේ ඒකීයත්වය යි. කෙසේ වෙතත් ඇතැම් ආගම්වල එම කරුණ පසු කලෙකදී මිනිසුන් විසින් වෙනස් කොට ඇත. මෙම විශේෂ කරුණ හැරුණු විට කාලයෙන් කාලයට දෙවියන් පහළ කල අනෙක් ආගම්වල තිබෙන නීති රීති පමණක් වෙනස් කොට තිබේ. ඉස්ලාම් දහමේ ඇති තවත් ප්‍රධාන වෙනසක් වන්නේ එහි ප්‍රධාන මුලාශ්‍රය වන අල් කුරානය පහළ වූ අකාරයටම අද වන තුරුත් ආරක්ෂා වී තිබීමයි. එහෙත් අල් කුරානය හැර අන් බොහෝ ආගමික පුස්තක කාලයත් සමග බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. තවද ඒවා පහළ වූ භාෂාවන් අද වන විට භාවිතයෙන් ද ඉවත් වී ඇත. මේ නිසා ඉස්ලාම් දහමින් දෙවියන් පහළ කල නිර්මල දහම නිවැරදිව දැන ගැනීමට අවස්තාව උදා වන්නේය.

අල් කුරානය අල්ලාහ් විසින් පහළ කරන ලද පණිවිඩයක් වන අතර එය නබිතුමාගේ දර්ශනයක් නොවේ. මේ නිසා කුරානයේ ඇති කරුණු මිනිසාගේ දැනුමෙන් ඔබ්බට ගිය ඒවාය. එහි විශ්වයේ ආරම්භය සිට අවසානය දක්වා වූ දේවල් ද මරණයෙන් පසු ජීවිතය ගැනද විස්තර කොට ඇත. තවද අල් කුරානය දේව පණිවිඩයක් බව සනාථ කිරීම සඳහා අවශ්‍යකරන හේතු කාරණා එය තුලම අන්තර්ගත වන්නේය. මේ නිසා ඕනෑම කෙනෙකුට අල් කුරානය අධ්‍යයනය කිරීමෙන් එය මිනිස් නිර්මාණයක් නොවන බව තේරුම් ගත හැකිය. අල් කුරානයේ මෙලෙස සඳහන් වේ. “ඔවුන් මෙම කුර්රානය පර්යේෂණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් කෙරෙහි අගුලු දමා ඇත්තේද? ඇත්තෙන්ම කව්රුන් හට ඍජු මාර්‍ගය මෙය යැයි පැහැදිලි වූවායින් පසුව ඔවුන් ආපස්සට හැරී ගියෝද ඔවුන්ගේ වැරදි අදහස් සාතාන් විසින් පුළුල් කොට ඔවුන් හට ඒවා අලංකාරවත් කළේය. මන්ද යත් ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කල (මෙම පුස්තකය) පිළිකුල් කර “අපි සමහර කාරනාවන්හි ඔබවම අනුගමනය කරමු”යි පවසන නිසාය. ඔවුන්ගේ එම රහස් අල්ලාහ් හොඳින් දන්නේය” (කුරානය 47: 24-26). 

අල් කුරානය එක් ජන කොට්ටසයකට පමණක් පහළ වූ ග්‍රන්ථයක් නොවේ. එමගින් මුළු මහත් මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබේ. එබැවින් කුරානයෙන් පෙන්වා දෙන මග පෙන්වීම සමේ වර්ණ අනුව හෝ ජාතිය අනුව හෝ කුලය අනුව හෝ දේශය අනුව හෝ වෙනස් වන්නේ නැත. කුරානය මගින් මිනිස් වර්ගයාට නිවැරදි මාර්ගය කුමක්දැයි පෙන්වා දී තිබේ. එහෙත් එය පිළිගන්නා ලෙස බල කිරීමක් නොමැත. ඒ අනුව තමන් කැමති ඕනෑම ආගමක් පිළිගැනීමේ අයිතිය ඉස්ලාම් දහමින් ලබා දී තිබේ. කෙසේවෙතත් අල්ලාහ් වෙත පිළිගැනෙන ආගම ඉස්ලාම් පමණක් බව කුරානයේ සඳහන් වේ.

ඉස්ලාම් දහමේ විශේෂත්වයක් වන්නේ අල්ලාහ්ට හැර වෙන කිසිවෙකුට නැමදුම් නොකිරීමයි. ඒ හැරුණු විට ඉස්ලාම් දහමේ ඇති සමහර දේවල් ඉස්ලාම් නොවන ආගම්වලද දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් කාමය වරදවා හැසිරීම, සුරා පානය, බොරු කීම, සොරකම් කිරීම ඉස්ලාම් දහමේ මෙන්ම අනෙක් ආගම්වලත් තහනම් කොට ඇත. එහෙත් අනෙක් ආගම්වල මෙන් නොව ඉස්ලාම් දහම එම වැරදි වැළැක්වීම සඳහා විධිමත් නීති රීති හඳුන්වා දී ඇත. එම නීති රීති වලට ශරියාව යැයි කියනු ලැබේ.

ඉස්ලාම් දහමින් මානව අයිතිවාසිකම් වලට ඉහළ වටිනාකමක් ලබා දෙන්නේය. එය මුස්ලිම් සහ මුස්ලිම් නොවන සියළු දෙනාටම එක සමානව ක්‍රියාත්මක කරනු ලැබේ. මේ නිසා නබිතුමා ජිවතුන් අතර සිටියදී යුදෙව්වන් පැමිණ ඇතැම් මුස්ලිම්වරුන්ට විරුද්ධව නඩු පවරා යුක්තිය ඉටුකර ගෙන ඇත. අලි රලි තුමාගේ පලිහයක් සොරා ගත් අවාස්ත්වේදී එය ඔහුගේ බව තහවුරු කිරීමට සාක්ෂි නොමැති වීම නිසා මුස්ලිම් අධිකරණයකදී පවා ඔහුට එය ලබා ගැනීමට හැකිවී නැත.

දහම තුල සිටින මිනිසාට ඔහු කරන වැරැද්ද තේරුම් ගැනීමට තිබෙන මාපකය හෘද ශාක්ෂියයි. ඒ අනුව කෙනෙක් වැරැද්දක් කරන්නේද නැද්ද යන්නට ඔහුගේම හෘදය සාක්ෂි දරන්නේය. විශේෂයෙන්ම මුස්ලිම්වරයෙකු අල්ලාහ් කෙරෙහි ඇති බක්තියේ තරම අනුව වැරදි කිරීමෙන් වැලකී සිටිනු ඇත. කෙසේ වෙතත් නාම මාත්‍රික මුස්ලිම්වරයෙකුගෙන් බොහෝ වැරදි සිදු විය හැකිය. ඒවාට දහම තුල දඬුවම් නියම කොට තිබේ.

ඉස්ලාම් දහම ඕනෑම කෙනෙකුට විවෘත වුවත් පදනම් විරහිතව එය විවේචනය කරන අයට එහි දොරටු වැසි යන්නේය. ඒ අනුව ඔවුන්ගේ හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය. මෙම කුර්ආන් පාඨයෙන් එය විස්තර කොට ඇත.“තමන් වෙත පැවරුණු බලයක් නොමැතිව අල්ලාහ්ගේ කිසිම ආයාවක් ගැන තර්ක කිරීම; අල්ලාහ් වෙතද විස්වාස කල අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. එබැවින් ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය” (කුරානය 40:35)

ඉස්ලාම් දහමින් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දී තිබුනත් මුස්ලිම්වරුන් අතර වැරදි කරන අය සිටිය හැකිය. එය ඕනෑම දහමක අනුගාමිකයින් අතර දැකිය හැකි ලක්ෂණයකි. මේ නිසා කෙනෙක් කරන වැරැද්දට සියළුම මුස්ලිම්වරුන්ගෙන් පලි ගැනීම වරදකි.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.