කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉස්ලාමිය මඟ පෙන්වීම (Islamic way to protect against corona virus)

ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් කොරෝනා වෛරසයෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රයෝජනවත් වේ. එහෙත් ඒවා ගැන නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා මුහුණු ආවරණ වැනි දේවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මිට පෙර ඇතැමුන් පෙන්වා දුන්නෝය. කෙසේ වෙතත් මුහුණු ආවරණය කිරීමෙන් විෂබීජවලින් ආරක්ෂා විය හැකි බව අද විද්වතුන්ගේ මතය වේ. එපමණක් නොව කෑම අනුභව කිරීමට පෙර අත් දෙක සහ මුඛය හොඳින් සෝදා ගැනීම, නැමදීමට පෙර දිනපතා පස්වතාවක් මුහුණ, කට, නාසය, අත්දෙක සහ පාද දෙක සෝදා ගැනීම මුස්ලිම්වරුන් දෛනික ජිවිතයේ අංගයකි. මේවාට අමතරව ආහාරය පිණිස ශරීරයට අහිතරකර නොවන හලාල් දේවල් පමණන් යොදා ගැනීමට ඉස්ලාම් දහමින් නියම කොට තිබේ. මෙම නියෝග වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා කොරෝනා වෛරස සත්වයෙකුගෙන් මිනිසාට අසාදනය වූ බවට අනුමාන කරනු ලැබේ.

අද අපි කොරෝනා වෛරස් වසංගතයකට මුහුණ දී සිටියත් වසංගත රෝග ලෝකයට අළුත් දෙයක් නොවේ. ඒ අනුව මිට පෙරද මිනිසා විසින් නොයෙකුත් වසංගත රෝග වලට මුහුණ දී ඇත. නබිතුමා ජිවතුන් අතර සිටියදී මදිනා නගරයේ වසංගත රෝග තත්වයන් හට ගෙන තිබේ. එම නිසා වසංගතයක් පැතිරී යාමේදී ක්‍රියා කල යුතු අන්දම ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇත. යම් කිසි තැනක වසංගත රෝගයක් හටගෙන තිබේ නම් එය තව දුරටත් පැතිරී යාම වැළැක්වීම සඳහා රෝගය පැතිරෙමින් තිබෙන පළාතේ ජිවත් වන අය ඉන් පිටතට යාමෙනුත් ඉන් පිට ජිවත් වන අය රෝගය ඇති ප්‍රදේශයට යාමෙනුත් වලකින ලෙස නබිතුමා උපදෙස් දී ඇත. එසේ කලත් රෝගයක් වැළඳීම හෝ නොවැළඳීම දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව මුස්ලිම්වරයෙකු විශ්වාස කල යුතුය. එය ඉස්ලාමිය විශ්වාසය හා සම්බන්ද කරුණකි.

දෙවියන්ගේ කැමැත්ත නොමැතිව දෙයක් සිදු නොවන බව පෙන්වීම සඳහා නබිතුමා එක්තරා අවස්ථාවකදී ලාදුරු රෝගියෙකු සමග එකම භාජනයේ අතදමා අහාර අනුභව කොට තිබේ. එහෙත් දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් නොමැති කෙනෙකුට එවැනි දෙයක් කල නොහැකිය. මේ නිසා සෑම කෙනෙක්ම ඉහතදී සඳහන් කල අන්දමට රෝගය පැතිරීම වැළැක්වීමට උපරිමයෙන් උත්සාහ කල යුතුය. මේ නිසා ඇතැම් විට මක්කාවේ දේවස්ථානයට පිටතින් පැමිණෙන බැතිමතුන් සිමා කිරීමට සිදු වනු ඇත. එසේම සිකුරාදා දේව මෙහෙය සඳහා පිට පළාත්වලින් පැමිණෙන අයට සිමා පැනවීමට සිදු වනු ඇත. එසේ තිබියදීත් යම් කෙනෙකුට රෝගය වැලඳුනේ නම් එය දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වූ බව විශ්වාස කල යුතුය. ඇයිද යත් මුල්ම කෙනාට එම රෝගය වැළඳුනේත් තවත් කෙනෙකුගෙන් නොවේ. එය දෙවියන්ගේ සැලැස්ම අනුව සිදු වූ දෙයකි. එහෙත් ඇතැම් අයගේ නොදැනුවත් කම නිසා  ඔවුන් සිතන්නේ මෙම රෝගය නිසා දෙවියන් අසරණ වී ඇති බවයි. එහෙත් එය ඔවුන්ගේ මුග්ධ කම මිස වෙන කිසිවක් නොවේ. මෙම රෝගය යවා ඇත්තේ ද ඊට සුවය ලබා දෙන්නේද දෙවියන් ය. මිනිසාට කල හැක්කේ ප්‍රතිකාර කොට බලා සිටීමටය. ඒ අනුව එකම බෙහෙතින් ඇතැම් අය සුවය ලබන අතර තවත් අය මිය යන්නේය.

උමර් රලි තුමා ඉස්ලාමයේ දෙවන කලීෆාය. ඔහු ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් ද විය. එතුමාගේ ජිවිත කාලයේදී කොරෝනා වෛරසයට සමාන වසංගතයක් සිරියාවේ පැතිර ගියේය. ඒ බව නොදැන උමර් රලි තුමා සිරියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහු එසේ යමින් සිටින අතර මගදී හමුදාවේ අණදෙන නිලධාරියෙක් වන අබු උබෙයිදා ඉබ්නු ජර්රා රලි තුමා සිරියාවේ වසංගතයක් පැතිරෙමින් තිබෙන බව උමර් රලි තුමාට දැනුම් දී ඇත. අබු උබෙයිදාගෙන් එම පුවත සැලවූ වහාම උමර් රලි තුමා ඔහුගේ ගමන එම ස්ථානයේදීම නතර කොට ඔහු සමග ගිය අනෙකුත් සගයන් දෙස බලා, “මා හෙට උදෑසන ආපසු හැරී යන්නෙමි, ඔබලාත් එසේම කරනු” යනුවෙන් පවසා ඇත. එවිට අබු උබෙයිදා රලි තුමා උමර් රැලි තුමාගෙන්, “ඔබ අල්ලාහ්ගේ නියමය දැක පලා යන්නේදැ”යි විමසා ඇත්තේ ඔහුට එය අදහාගත නොහැකි වූ නිසාය. එවිට උමර් රලි තුමා, “ඔව්, අබු උබෙයිදා අපි අල්ලාහ්ගේ එක් නියෝගයකින් තවත් නියෝගයක් කරා දුව යන්නෙමු”යි පවසා තිබේ (සහිහ් අල් බුහාරි 5397).

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.