කොරෝනා වෛරසය මිනිසාට දෙන පණිවිඩය කුමක්ද? (What message does corona-virus send to man?)

මෑත ඉතිහාසයේ කවරදාවකවත් නොදුටු මෙවන් දෙයක් සිදු වීමට හේතුව මිනිසා දහමින් ඈත්වී භෞතික දේවල් වෙත ඇදී යාම විය හැකිය. ලෝකයේ බලවත් රටවල් සිතා සිටියේ ආයුධ බලයෙන් සියළු දේවල් ජය ගත හැකි බවයි. ඒ අනුව මිනිස්කමට වටිනාකමක් ලැබුනේ නැත. මුදල්වලට දේවත්වයෙන් සැලකීමට පටන් ගත්හ. ආගමක් අවශ්‍ය නැතැයි සිතූහ. මිනිසුන්ගේ ආගමික අනන්‍යතාවයට තහංචි දැම්මේය. එසේ තිබියදී කිසිවෙකුවත් නොසිතු මොහොතක කොරෝනා වෛරසයක් පැමිණ ඒවාට විරුද්ධව සටන් කිරීම ආරම්භ කොට ඇත.
කොරෝනා වෛරසය එවන ලද්දේ කව්රුන්දැයි බලවත් රටවල් වලට තවමත් විශාල ප්‍රහේලිකාවකි. ඒ අනුව ඇතැම් බලවත් රටවල් අතර සිතල යුද්ධයක්ද හටගෙන තිබේ. ඒ කෙසේ වෙතත් කොරෝනා වෛරසය මගින් ප්‍රහාරක ජෙට් යානාවලට හෝ පරමාණුක බෝම්බ වලට හෝ කල නොහැකි බොහෝ දේවල් සිදු වෙමින් තිබේ. ඒ අනුව මේ මොහොත වන විට කොරෝනා බලකාය මුළු ලෝකයම භීතියට පත් කොට හමාරය. මේ අතර චීනය, ඉතාලිය, ස්පාඥය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය, ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය, කොරියාව, රුසියාව වැනි ඉතා දියුණු රටවල්ද තිබීම සුවිශේෂී කරුණකි.

මේ වන විට කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයට මරු පහරක් වැදී ඇත. තවද ජිවිත විශාල සංඛ්‍යාවක් බිල්ලට ගෙන තිබේ. එපමණක් නොව තවත් ජිවිත විශාල ගණනාවක් නිරෝදනයට ලක් කොට ඇත. මෙතරම් විශාල බලයක් ඇසට නොපෙනෙන කොරෝනා වෛරසයට ලබා දුන්නේ කව්රුන්දැයි අප විසින් සිතා බැලිය යුතු නොවේද?

මෙම වෛරසය එක් පැත්තකින් ලෝක ආර්ථිකයට විශාල ප්‍රහාරයක් එල්ල කරත් තවත් පැත්තකින් මිනිසාට මිනිස් කමේ අගය තේරුම් කර දෙමින් සිටින්නේය. ඒ අනුව එක් කලකදී ආගම මුල්කරගෙන කුලල් කාගෙන සිටි බොහෝ අය එකාමෙන් ජනතාට උදව් උපකාර කරමින් සිටින්නේය. එය අතිශයින්ම අගය කල යුතු කරුණකි. මිනිසා කුමක් කලත් ඔහු කල හොඳ හෝ නරක පමණක් මරණයන් පසු ගෙන යන බව මතක තබා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. මේ නිසා බොහෝ ධනවතුන් විශාල ලෙස නැති බැරි අයට උදව් කිරීමට ඉදිරිපත් වී සිටිති. එය මින් පසුවටත් පුරුද්දක් කර ගැනීමට අමතක නොකළ යුතුය.

මිනිසා මෙම අවස්ථාවේදී කල යුත්තේ තමන්ගෙන් සිදුවුණු වැරදි හදාගෙන දෙවියන්ට ලඟා වීමය. තවද මෙම උවදුරින් බේරීමට දෙවියන්ට ලඟා වෙමින් ඔහුගෙන් උදව් පැතිය යුතුය. ඒ හැර වෙන කල හැකි දෙයක් මිනිසා ඉදිරියේ නොමැත. මිනිසා වස්තුව පසුපස හඹා ගියත් මුදල්වලින් හෝ ආයුද බලයෙන් කල නොහැකි දේවල් තිබෙන බව කොරෝනා වෛරසය පෙන්වා දී ඇත.

ලෝකයේ ඇති සෑම ආගමක්ම මිනිසාට උගන්වා ඇත්තේ පින් දහම් කිරීමටය. එය වටහාගැනීමට මෙය හොඳ අවස්ථාවකි. මිනිසා දෙවියන්ට ලඟා වන විට දෙවියන්ගේ ආශීර්වාදය ලොවට පහළ වනු ඇත. පලදාව වැඩිවනු ඇත. මිනිසුන් අතර සාමය සහ සංහිඳියාව ගොඩ නැගෙනු ඇත. මෙය කාගේ කාගේත් අවධානයට යොමු විය යුතුය.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.