ඉස්ලාම් ධර්මය සහ ධනවාදය

ධනවාදය ඉස්ලාමීය ලෝකයේ ආරම්භ වූවක් නොවේ. එහ අහම්බෙන් සිදු වූ යන්ත‍්‍ර නිෂ්පාදනයෙන් පසු යුරෝපයේ බිහි වූවකි.

ධනවාදය ඉස්ලාමීය ලෝකයට ගෙන ආවේ එම ලෝකය යුරෝපීය ආධිපත්‍ය යටතේ පවත්නා අවධියකදී ය. එය දිළිඳු බව, නූගත්කම, ලෙඩදුක් හා නොදියුණු බව යන මේවායින් පීඩාවට පත්ව සිටි ඉස්ලාමීය ලෝකයට සංවර්ධන තරංග පංතීන් සමඟ ඇදී ආවේය. මේ නිසා ඉස්ලාම් ධර්මය, හොඳ නරක දෙකින් ම යුත් ධනවාදය හොඳ දෙයක් සේ අනුමත කරනාව යයි සිතීමට ඇතැම්හු පෙළඹුනාහ. ඉස්ලාමීය නීති හෝ රෙගුලාසිවල ධනවාදය හා ගැටෙන සුළු විධිවිධාන කිසිවක් නොමැති බව ද ඔවුහු කියති. ඉස්ලාම් ධර්මයෙන් පෞද්ගලික අයිතයට ඉඩ ලැබෙන්නා සේ ම ධනවාදයට ද ඉඩ ලැබෙනවා විය යුතු යයි ඔහුහු තර්ක කරති.

පොළිය හා ඒකාධිකාරය යන මේ දෙකින් තොරව ධනවාදයට දියුණු විය නොහැකිය. මේ දෙකම ධනවාදය ඇති වීමටත් අවුරුදු දහසකට පමණ පෙර ඉස්ලාම් ධර්මය විසින් තහනම් කර තිබුණු දේවල්ය. ඉහත සඳහන් චෝදනාවට පිළිතුරු වශයෙන් මේ කාරණය ඉදිරිපත් කිරීම වූව ද ප‍්‍රමාණවත් වනු ඇත.

එහෙත් මේ ප‍්‍රශ්නය තරමක් විස්තර සහිත ව විමසා බලමු. යන්ත‍්‍ර සූත‍්‍ර බිහිවූයේ ඉස්ලාමීය ලෝකයේ නම්, එබඳු යන්ත‍්‍ර සූත‍්‍රවල ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි වූ ආර්ථීක සංවර්ධනයට ඉස්ලාම් මුහුණ දිය හැකි ව තිබුණේ කෙසේද? ඉස්ලාමීය අණපනත් හා නීතිවලින් ශ‍්‍රමය හා නිෂ්පාදනය සංවිධානය විය හැකි ව තිබුණේ කෙසේ ද?
යටත් විජිත වාදයේ ආරම්භය
ධනවාදයට විරුද්ධ වූ කාල් මාක්ස් ද ඇතුළු ආර්ථික විද්‍යාඥයින් අතර එක් අදහසක් ගැන එකඟත්වයක් පවතී. ආරම්භයේ දී ධනවාදයෙන් මිනිස් වර්ගයාට විශාල දියුණුවක් හා සැලකිය යුතු සේවාවක් සැලසුණු බව පැවසෙන අදහසයි ඒ. එම අවධියේ දී නිෂ්පාදනය වැඩිවිය. සංදේශන මාර්ග දියුණු විය. ජාතික සම්පත් වැඩි වශයෙන් නැතහොත් මුළුමනින් ම පාහේ කෘෂිකර්මය මත රැුඳී සිටි අවධියේ දී ම වඩා එම පන්ති අතරේ ජීවන තත්ත්වය ද දියුණු විය.

එහෙත් එකී සුන්දර තත්ත්වය වැඩිකල් පැවතුණේ නැත. ඔවුන් කියූ පරිදි ඊට හේතුව ධනවාදය ස්වාභාවිකව වැඩි දියුණු වීම හේතු කොට ගෙන ධනේශ්වරයන් ළඟ ධනය එක්රැුස්වීමත් අනෙක් අතට කම්කරු පන්තිය සතුව තිබුණු දේපළ අනුක‍්‍රමයෙන් පිරිහී යාමත් ය. මේ නිසා කොමියුනිස්ටි දෘෂ්ටිය අනුව සැබෑ නිෂ්පාදකයන් වන කම්කරුවන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය සැලකිය යුතු අන්දමින් වැඩි දියුණු කර ගැනීම සඳහා යොදා ගැනීමට ධනේශ්වරයන්ට හැකි විය. එහෙත් කම්කරුවන්ට ගෙවන ලද්දේ ඉතා අඩු වැටුප් ය. ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඒ වැටුප් ප‍්‍රමාණවත් නොවී ය. ලාභ සියල්ල උපයාගත් ස්වාමි පක්‍ෂය ඒවා සැප සම්පතින් පිරුණු ¥ෂිත ජීවිත ගත කිරීමට උපයෝගි කර ගත්හ.

මේ හැරුණු විට කම්කරුවන්ට ගෙවන ලද්දේ සුළු වැටුප් නිසා ධනවාදී රටවල නිෂ්පාදන සියල්ල පරිභෝජනය කිරීමට ඔවුන්ට නුපුළුවන් විය. මේ නිසා අවශ්‍ය ප‍්‍රමාණයට වැඩි වූ නිෂ්පාදන ගොඩගැහෙන්නට පටන් ගත්තේ ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ වැඩිපුර නිෂ්පාදනය විකිණීම සඳහා අලූත් අලූත් වෙළෙඳ පොළවල් සොයන්නට ධනවාදී රටවල් පටන් ගත්තේ ය. මෙයින් සිදුවූයේ වෙළෙඳ පොළවල් හා අමු ද්‍රව්‍ය සම්පත් ගැන විවිධ ජාතීන් අතර නොකඩවා සිදුවූ ගැටුම් සහිත යටත් විජිතවාදය බිහිවීමය. මේ සියල්ලේම අනිවාර්ය ප‍්‍රතිඵලය වූයේ ව්‍යසනකාරී යුද්ධ ඇතිවීමය.

මේ හැරුණු විට අඩු වැටුප් ද ලෝකයේ වැඩි වන නිෂ්පාදනය අනූව බලන විට අඩුවන පරිභෝජනය ද හේතු කොට ගෙන ඇති වන පීඩනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ධනවාදී ක‍්‍රමය නිතර ම වරින් වර පරිහානිවලට පාත‍්‍ර වේ.

ධනවාදී ක‍්‍රමයේ ගැටළු සියල්ලට හේතුව වශයෙන් භෞතිකවාදයේ ඇතැම් ප‍්‍රචාරකයන් දක්වන්නේ සූරා කෑම කෙරෙහි ධනේශ්වරයන් දක්වන දුෂ්ට චේතනාව හෝ ආශාව නොව ධනය හා සම්බන්ධව පවත්නා ස්වභාවය මය. එබඳු විශ්මය දනවන තර්ක විතර්කවලින් අදහස් වන්නේ විවිධාකාර ආවේගවලින් චින්තනවලින් යුත් මිනිසා ධනයේ බලය ඉදිරියේ අසරණ සත්වයෙක් වන බවයි.

යුක්තිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම
ධනවාදය සිය මුල් අවධියේ දී බිහි කළ යහපත් ප‍්‍රගතිශීලි ප‍්‍රතිඵලවලට ඉස්ලාම් ධර්මයෙන් ධෛර්යයක් ලැබෙන්නට ඇතුවාට සැකයක් නැත. එහෙත් ධනවාදය සංවිධානය කිරීමටත් සේවායෝජකයන්ගේ දුෂ්ට චේතනාවෙන් හෝ ධනයේම ස්වභාවයෙන් ඇති වන සූරාකෑම් වැළැක්වීමටත් ඉස්ලාම් ධර්මය නීති රීති නොපනවා සිටින්නට නැත. මීට අදාළ ඉස්ලාම් මූලධර්මයෙහි සඳහන් වනුයේ උපයන ලාභ කම්කරුවන් ද ඔහුගේ සේවායෝජකයන් සමග බුක්ති විඳිය යුතු බවයි. ඇතැම් නීති වේදියෝ ලාභයෙන් හරි අඩක්ම සේවකයාට දීමට තරම් යුහුසුලූ වූහ. සේවායෝජකයා අවශ්‍ය සියලූම ප‍්‍රාග්ධනය සපයයි. කම්කරුවා අදාළ කාර්යය කරයි. මේ ප‍්‍රයත්න දෙකම එක සමානය. මේ අනූව ඔවුහු ලාභයද සම සම ව බුක්ති විදීමට හිමිකම් දරති.

යුක්තිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා ඉස්ලාම් ධර්මය දක්වන ඉමහත් සැලකිල්ල ඉහත සඳහන් මූලධර්මයෙන් නිරූපනය වේ.

යුක්තිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙහි ලා දක්වන එම සැලකිල්ල ඉස්ලාම් ධර්මයෙන් ඉදිරිපත් වී ඇත්තේ ස්වේච්ඡුා පදනමක් මතය. එය යම් කිසි ආර්ථික අවශ්‍යතාවක් නිසා බලයෙන් නියම කරන ලද්දක් නොවී ය. ඒ ආර්ථික සම්බන්ධතා සංවර්ධනය කිරීමෙහි ලා එකම ප‍්‍රබල හේතු සාධකය වශයෙන් ඇතැම් ආර්ථික න්‍යායවල ප‍්‍රචාරකයන් විසින් සලකන ලද පන්ති අතර ඇති වූ සටනේ ප‍්‍රතිඵලයක් ද නොවී ය.

ආරම්භයේ දී, කර්මාන්තවලට ඇතුළත් වූයේ අතින් කරන ලද සරල වැඩය. එම වැඩට අවශ්‍ය වූයේ සරල කර්මාන්තශාලාවල සේවය කළ සුලූ කම්කරුවන් සංඛ්‍යාවකි. යුරෝපයේ කවදාවත් නොතිබුණු අන්දමේ සාධාරණ පදනමක් මත වැඩ හා ප‍්‍රාග්ධනය අතර සම්බන්ධය ගොඩ නැගෙන්නට ඇත්තේ ඉහත සඳහන් මූලධර්මයෙනි.

ධනවාදය එහි මුල් ම කරුණා සහගත අවධියේ සිට වර්තමාන ¥ෂිත, කෲර අවධිය දක්වා සංවර්ධනය වීමත් සමගම එය ජාතික ණය මුදල් මත වැඩි වැඩියෙන් රැුඳී සිටීමද සිදු වූ බව ආර්ථික විද්‍යාඥයෝ කියති. මෙයින් සිදු වූයේ මුදල් කටයුතු කරගෙන ගිය බැංකු ඇති වීමය. එම බැංකුවලින් යම්කිසි පොලියකට ණයට මුදල් දෙන ලදී. එයින් තොරවූ කල් හි එබඳු ණය මුදල් මෙන් ම බැංකු කටයුතු රාශියක් ද පදනම් වී පවතින්නේ ඉස්ලාම් ධර්මයෙන් පැහැදිලිව ම තහනම් කර ඇති පොලි පිට ය.

අනෙක් අතට ධනවාදයේ තවත් ලක්ෂණයක් වන දැඩි තරඟකාරීභාවය නිසා සුළු එක්කෝ විනාශ වී ගියේය. එසේ නැතහොත් ඒවා මහා සමාගම්වලට එකතු විය. මේ තත්වය නිසා ඒකාධිකාරය බිහි විය. ඒකාධිකාරය ද ඉස්ලාම් ධර්මයෙන් තහනම් වූවක් බව අනාගත වක්තෘ වරයාණන්ගේ ඇතැම් කියමන් වලින් ඔප්පු වේ. ”ඒකාධි කාරය ඇති කරන්නා වරදකරුවෙකි” යි එතුමෝ පැවසූහ. ඉස්ලාම් ධර්මයෙන් පොලිය ඒකාධිකාරයන් තහනම් වූ නිසා සූරාකෑම, විජිතවාදය හා යුද්ධය යන මේවා බහුල ව පවතින වර්තමාන කෲර අවධිය තෙක් ධනවාදයට දියුණුවන්නට ඉඩප‍්‍රස්ථා ඉස්ලාම් ධර්මය යටතේ නම් නොලැබිය හැකිව තිබිණි.

ඉස්ලාමීය පාලනය යටතේ කර්මාන්ත ආරම්භ වූයේ නම්  එහි ඉරණම කුමක් විය හැකිව තිබුණේ ද?
ලාභ සේවා යෝජකයාත් සේවකයාත් අතර බෙදා ගන්නා කුඩා කම්හල්වලට කර්මාන්ත සීමා කිරීමක් ඉස්ලාම් ධර්මයෙන් කිසිසේත් නො සිදු විය හැකිව තිබිණි. නිෂ්පාදනය නම් වැඩි දියුණු වන්නට තිබිණි. එහෙත් සේවායෝජකයාත් සේවකයනුත් අතර සම්බන්ධය වැඩි දියුණු විය හැකිව තිබුණේ දහ වැනි හා විසිවැනි සියවස්වල යුරෝපයේ සේවායෝජක – සේවක සම්බන්ධතාව වර්ධනය වූවාට වඩා වෙනස් ආකාරයකිනි. එම සම්බන්ධතා වර්ධනය විය හැකිව තිබුණේ සේවකයන් හා සේවායෝජකයා අතරේ එක සමාන ලෙස ලාභය බෙදීමට ඉඩකඩ සැලසෙන ඉහත සඳහන් මූල ප‍්‍රතිපත්තිය වැනි ඉස්ලාමීය මූලික ප‍්‍රතිපත්ති වලට අනුකූලවය. එබඳු කි‍්‍රයාවලියකට තුඩු දෙන ඉස්ලාම් ධර්මයෙන් පොලී ක‍්‍රමයට හෝ ඒකාධිකාරයට ඉඩක් නොලැබේ. එසේ ම සේවකයන් සූරා කෑමත් දරිද්‍රතාවන් ගර්හිතභාවයන් ගොදුරු කරගත් ධනවාදය යටතේ පැවති අසාධාරණකම් ද වැළැක්වේ.

අවසානයේ දී නීති සංශෝධනයට පවා තුඩු දිය හැකි දුෂ්කර කි‍්‍රයා, පන්ති ගැටුම් හා ආර්ථික පීඩන යන මේවාට මුහුණ නොදී එම යුක්ති ධර්මය ස්ථාවර කළ නොහැකි වනු ඇතැයි සිතීම මෝඩකමකි. වහල් භාවය, වැඩවසම් ක‍්‍රමය හා ආදී ධනවාදය පිළිබඳ ප‍්‍රශ්න නිරාකරණය කිරීමෙහිලා ඉස්ලාම් ධර්මය සෙසු සියලූ ම ජාතීන්ට වඩා ප‍්‍රමුඛස්ථානයක් ගෙන ඇති බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වී තිබේ. මෙසේ ක‍්‍රියා කිරීමේ දී ඉස්ලාමීය ජනතාව කිසිදු බාහිර බලපෑමක් යටතේ ක‍්‍රියා නොකළහ. ඔවුන් කි‍්‍රයා කළේ ස්වාධීන කැමැත්ත පිට සදාකාලික සාධාරණත්වයක් යුක්ති ධර්මයන් පිළිබඳ සිය සිතැඟිවලට අනුකූලවය. මේ වූ කලී කොමියුනිස්ට්වාදී ලේඛකයන් සමච්චලයට ලක් කළ ධර්මතාවකි. අනෙක් අතට ආදර්ශවත් කොමියුනිස්ට් රාජ්‍යයක් වන රුසියාවත් අතුරුමැද ධනවාදී අවස්ථාවට නො එළඹ වැඩවසම් ක‍්‍රමයෙන් කෙළින්ම කොමියුනිස්ට්වාදය කරා එළඹුණු බව පැහැදිලි සත්‍යයකි. මේ ආකාරයෙන් කාල් මාක්ස්ගේ දර්ශනය අනුගමනය කරන රුසියාව, හැම අවස්ථාවකටම ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන් මුහුණ දිය යුතුව ඇතැයි මාක්ස් සඳහන් කරන සංවර්ධන අවස්ථා පිළිබඳ ඔහුගේ න්‍යාය බොරු කර ඇති බව පෙනේ.

යටත් විජිතවාදය, යුද්ධ හා ජනතාව සූරා කෑම මෙන් ම ධනවාදය නිසා හටගන්නා වෙනත් අධාර්මික කි‍්‍රයා සියල්ලට ඉස්ලාම් ධර්මය විරුද්ධ වන බව පෙන්වා දිය යුතුව තිබේ. අනෙකුත් ජනතාවන් යටත් විජිත බවට පත් කර ගැනීම හෝ සූරා කෑමේ පරමාර්ථයෙන් වෙනත් ජනතාවන්ට විරුද්ධ ව යුද්ධ ප‍්‍රකාශ කිරීම හෝ ඉස්ලාම් ධර්මයේ ප‍්‍රතිපත්තියක් නොවේ. ඉස්ලාම් ධර්මය අනුමත කරන එකම යුද්ධය නම් ආක‍්‍රමණවලට විරුද්ධ ව කරන යුද්ධය හෝ දෙවියන් වහන්සේගේ ධර්මය සාමකාමී අන්දමින් ප‍්‍රචාරය කළ නොහැකි අවස්ථාවල එම ධර්මය ප‍්‍රචාරය කිරීමේ අපේක්‍ෂාවෙන් කරන යුද්ධය යි.

ඉස්ලාම් දහම සකල විධ යුද්ධෝප ක‍්‍රමවලින් පාරිශුද්ධය
යටත් විජිතවාදය මනුෂ්‍ය සංවර්ධනයේ නොවැළැක් විය හැකි අවස්ථාවක් යයි කොමියුනිස්ට්වාදීහූත් ඔවුන්ගේ හිතවත්තුත් කියති. කාර්මික රටවල නිෂ්පාදනය අතිරික්ත වීමෙන් හා එම අතිරික්ත නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා විදේශිය වෙළෙඳ පොළවල් අවශ්‍ය වීමෙන් හටගන්නා අනිවාර්ය ආර්ථික ලක්‍ෂණයක් බැවින් යටත් විජිතවාදය කිසියම් න්‍යාය ධර්මයකින් හෝ සදාචාර මූලධර්මයකින් වැළැක්විය නොහැකි යයි ද ඔවුහු තව දුරටත් කියති.

යටත් විජිතවාදයේ අනිවාර්ය භාවය ගැන එබඳු නිරර්ථක මත ඉස්ලාම් ධර්මය නොපිළිගන්නා බව අමුතුවෙන් කිය යුතු නොවේ. මේ හැරුණු විට, වැඩ කරන කාලයත් නිෂ්පාදනයෙහි ලා සේවකයාගේ වැඩ කොටසත් අඩු කිරීමෙන් රුසියාව මෙම නිෂ්පාදන අතිරික්තය පිළිබඳ ප‍්‍රශ්නය විසඳනු ඇතැයි කොමියුනිස්ට්වාදීහු කියති. නැතහොත් දේශනා කරති. සොයා ගනු ඇතැයි කොමියුනිස්ට් වාදය දේශනා කරන විසඳුම වෙනත් පාලන ක‍්‍රම මගින්ද උපයෝගී කර ගනු ඇත.

යටත් විජිතවාදය පුරාණයේ මානව නැඹුරුවක් වී ඇති බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. නූතන විනාශකාරි අවි ආයුධ නිසා ධනවාදය වඩ වඩා දරුණු වී ඇති නමුත් යටත් විජිතවාදය ආරම්භ වුණේ ධනවාදය සමග නොවේ. පයග‍්‍රාහකයන් කරන සූරාකෑම් ගැන සලකා බලන විට සූරා කෑමෙහි යෙදී සිටින වර්තමානිකයන්ට වඩා රෝමන් විජිතවාදීන් බෙහෙවින් අකාරුණික හා දරුණු ද වූහ.

ඉස්ලාම් ආගම සකල විධ යුද්ධෝපක‍්‍රමවලින් ඉතා පරිශුද්ධ වූ ආගම වන බවට ඉතිහාසය දෙස් දෙයි. ඉස්ලාමීය යුද්ධ සූරාකෑම්වලින් මෙන් ම අන්‍යයන් යටත් කරගැනීමෙන් තොර වූ ඒවා යි. එහෙයින් කාර්මික විප්ලවය ඉස්ලාමීය රටවල සිදුවූයේ නම් යුද්ධයකට හෝ විජිත ඇති කර ගැනීමට නොපෙළඹි අතිරික්ත නිෂ්පාදනවලින් ප‍්‍රයෝජන ගැනීම පිළිබඳ ගැටළුව එම රටවලට නිරාකරණය කළ හැකිව තිබිණි. තව ද වර්තමනා ස්වරූපයෙන් පවත්නා ධනවාදයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ම අතිරික්ත නිෂ්පාදනය පිළිබඳ පැන නැගී ඇති බව ද කිය හැකි ය. වෙනත් වචනවලින් කියතොත්, ධනවාදයේ මූලික ප‍්‍රතිපත්ති වෙනස් කරනු ලැබේ නම් මේ ගැටළුව ඉස්මතු නොවනු ඇත.
ධනය ඒකරාශී වීම ඉස්ලාම්හි තහනම් ය
මෙහිලා තව ද කිව යුත්තක් නම් වැඩි දෙනෙකු දිළිඳු බවින් හා අගහිඟකම්වලින් පෙළෙද්දී ස්වල්ප දෙනෙකුගේ අතේ ධනය ඒකරාශී වීමේ ප‍්‍රශ්නය කෙරෙහි ඉස්ලාමීය රාජ්‍යයේ පාලකයා උදාසීනව සිටින්නේ නැති බව යි. එබඳු විශාල ධනස්කන්ධයක් ගොඩ ගසා ගැනීම ඉස්ලාමීය මූලධර්ම වලට විරුද්ධ ය. ධනය පොහොසතුන්ට ම සීමා වීමට ඉඩ නොදී සියලූ ම ජනයා අතර එය සාධාරණ අන්දමින් බෙදිය යුතු යයි එම ධර්මයෙහි නියම කර තිබේ. ”ෂරීයා” නම් ඉස්ලාමීය නීතිය කිසිම කෙනෙකුට අයුක්තියක් හෝ පීඩාවක් නොසිදුවන අයුරින් කි‍්‍රයාත්මක කිරීමේ කාර්යභාරය ඉස්ලාමීය පාලකයා වෙත සර්ව ප‍්‍රකාරයෙන් ම පැවරෙන්නේය. දේව නීතියෙන් එනම් ධනය ඒකරාශී වීම වළක්වන නීතියෙන් නියම වී ඇති සීමා ඇතුළත පරිපූර්ණ හා අසීමිත බලතල මේ සම්බන්ධයෙන් පාලකයා වෙත පැවරී තිබේ. එක් එක් පරම්පරාව හැර තබා යන ධනය නිසි පරිදි බෙදා හැරිය යුතු යයි දැක් වෙන දේපළ උරුම නීතිය මේ සම්බන්ධයෙන් නිදසුන් කොට දැක්විය හැකිය. මූල ධනයෙන් සහ ලාභයෙන් සියයට 2 1/2 ප‍්‍රමාණයක් අවුරුදු පතා දිළිඳු ජනයා වෙනුවෙන් වෙන් කළ යුතු යයි දැක්වෙන අස් සකාත් නීතිය ද මෙහි ලා සලකා බලනූ වටී. මීට අමතරව සඳහන කළ යුතු තවත් දෙයක් නම් ධනය සඟවා තබා ගැනීම ඉස්ලාම් ධර්මයෙන් පැහැදිලිව ම තහනම් කර ඇති බවයි. ධනය එක් රැුස්වීමට මූල සාධකය වූ පොලියට මුදල් දීම ඉස්ලාම් ධර්මයෙන් තහනම් වේ. තව ද ඉස්ලාමීය සමාජයේ සාමාජිකයන් අතර සම්බන්ධතාව සූරාකෑම මත නොව අන්‍යෝන්‍ය වගකීම මත පදනම් වේ.

මුහම්මද් නබි (සල්* තුමාණෝ රාජ්‍ය නිළධාරීන් සඳහා ඇතැම් අයිතිවාසිකම් හා ජීවිතයේ මූලික අවශ්‍යතා ද සපුරා දීමට වග බලා ගෙන ඇත. ”අප (එනම් රජය* වෙනුවෙන් සේවය කිරීමට නියම ව සිටින පුද්ගලයෙකු භාර්යාවක් නොමැත්තේ නම් ඔහුට එවැන්නියක ලබා දෙනු ඇත, ඔහුට වාසස්ථානයක් නැත් නම් වාසස්ථානයක් සැපයෙනු ඇත, ඔහුට මෙහෙකරුවෙකු නැත්නම් මෙහෙකරුවෙකු ලබා දෙනු ඇත, ඔහුට සතෙක් නැත්නම් සතෙකු (වාහනයක්* ලබා දෙනු ඇත.”

මෙබඳු සහතික කිරීම් රජයේ නිළධාරීන්ට පමණක් සීමා වූ ඒවා නොවේ. මෙබඳු මූලික අවශ්‍යතා හැම පුද්ගලයෙකුටම වුවමනා කරන දේවල්ය. රජයේ සේවයේ යෙදෙන විට ඊට ප‍්‍රත්‍යුපකාර වශයෙන් හෝ සමාජයට යහපත සලසන  ඕනෑම වෘත්තියක් හෝ රැුකියාවක් මගින් එම අවශ්‍යතා ලබා ගත හැකිය. රජය සිය නිළධාරීන්ට මේ මූලික අවශ්‍යතා සපුරා දෙන්නේ නම් රජය තුළ වැඩ කරන හැම පුද්ගලයෙකුටමත් එම අවශ්‍යතා සපුරා දිය යුතුව ඇත. මහලූ වයස, ලෙඩ රෝග හෝ ළමා විය නිසා වැඩ කළ නොහැකි පුද්ගලයන්ට ආධාර කිරීමේ වගකීම රාජ්‍ය භාණ්ඩගාරයට පැවරී තිබීමෙන් මේ බව මොනවට පැහැදිළි වේ.

ප‍්‍රමාණවත් සම්පත් නොමැති කම නිසා මේ අවශ්‍යතා සපුරා ගත නොහැකි වන පුද්ගලයන්ට ද එම මූලික අවශ්‍යතා ලබා දීමේ වගකීම ද රාජ්‍ය භාණ්ඩාගාරය පිට පැවරෙන්නේය.

සේවකයන් සඳහා මූලික අවශ්‍යතාවන් සපුරා දීම සම්බන්ධයෙන් රජය සර්වප‍්‍රකාරයෙන් ම වගකිව යුතු බව ඉහත සඳහන් කරුණුවලින් අවධාරණය වේ. සේවකයන්ට මෙම අවශ්‍යතා සපුරා දිය යුත්තේ කවර මාර්ගවලින් ද යන්න එතරම් වැදගත් නොවේ. වැදගත් වන කාරණය නම් ලාභය මෙන් ම අලාභයද ජාතියේ සියලූ ම සාමාජිකයන් සමසේ බෙදා ගත යුතුය. යන මූල ධර්මයයි. සේවකයන්ට එම අවශ්‍යතා සපුරා දීමෙන් ඉස්ලාම් ධර්මය උත්සාහ කරන්නේ සියලූ දෙනාටම ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දීම හැරුණු විට ඔවුන් සූරාකෑම්වලින් බේරා ගැනීමටත්ය.

අද ”ශිෂ්ටාචාරය” යයි කියන අපරදිග පවත්නා විනාශකාරී ස්වරූපයෙන් ධනවාදයට වැඩෙන්නට ඉස්ලාම් ධර්මයෙන් නම් ඉඩක් නොලැබේ. ආරම්භයේ දී පනවන ලද ඉස්ලාමීය ෂරීයා නීතියෙන් හෝ ෂරීයා රාමුව තුළ ම නූතන සංවර්ධනයෙන් ම යෝග්‍ය වන අයුරින් අලූතින් පනවා ඇති ඉස්ලාමීය නීතියෙන් සේවක ජනතාව සූරා කෑමටවත් ඔවුන්ගේ ශ‍්‍රමයෙන් අනිසි අයුරින් ප‍්‍රයෝජන ගැනීමටවත් ධනවාදීන්ට ඉඩක් ලැබෙන්නේ නැත. යටත් විජිතවාදය, යුද්ධය හා ජනතාව දාසයන් බවට පත් කර ගැනීම යන මේවා ඇතුළත් ධනවාදෙය් සියලූම අනර්ථ වළක්වාලීමට ඉස්ලාම් ධර්මයෙන් ඉඩ ප‍්‍රස්ථා සැලසේ.
සදාචාරය හා ආධ්‍යාත්මික ගුණ වර්ධනය කිරීම
ආර්ථික නීති රීති පැනවීමෙන් පමණක් ඉස්ලාම් ධර්මය සාමාන්‍යයෙන් සෑහීමට පත් නොවේ. නීති පැනවීමට අමතරව ඉස්ලාම් ධර්මයෙන් සදාචාරය හා ආධ්‍යාත්මික දිරිගැන්වීම් ද සැලසි තිබේ. මෙබඳු සාරධර්මයන්ගේ ප‍්‍රායෝගික අගයක් යුරෝපයේ නැති නිසා කොමියුනිස්ටිවාදීහු මේවා උපහාසයට ලක් කරති. එහෙත් ඉස්ලාම් ධර්මය සදාචාරමය හා ආධ්‍යාත්මික සාරධර්ම ප‍්‍රායෝගික අංශයෙන් වෙන්කර නොදක්වයි. ආධ්‍යාත්මික පාරිශුද්ධියත් ප‍්‍රජා සංවිධානයත් යන මේ දෙක ම ඒකාබද්ධ කොට සමහම් කිරීමේ අසහාය ක‍්‍රමයක් ඉස්ලාම් ධර්මයෙහි දිස් වේ. දෘෂ්ටිය ප‍්‍රායෝගික අංශය සමඟ සැසදෙන්නේ කෙසේ දැයි පුද්ගලයාට මවිත වීමට ඉඩක් එයින් නොලැබේ. ඉස්ලාම් ධර්මය ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ සදාචාරමය පදනමක් මතය. එහෙයින් සදාචාරමය සාරධර්ම ව්‍යවස්ථා සමඟ මැනවින් සැසඳේ. මේ ආකාරයෙන්, කිසිදු ගැටුමක් හෝ භේදයක් නොමැතිව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් පරිපූර්ණය වේ.

ස්වල්ප දෙනෙකු ළඟ ධනය ඒක රාශීවීමේ අනිවාර්ය ප‍්‍රතිඵල වන සුඛෝපභෝගී හා කාමභෝගී ජීවන ක‍්‍රම සියල්ලම ඉස්ලාමීය සදාචාර ධර්මයෙන් තහනම් වන අතර ඒවාට අනුබලයක් ද නොලැබෙයි. ඒ සමඟ ම සේවකයන්ට අයුක්තිසහගත වීමත් ඔවුන්ට අඩු වැටුප් ගෙවීමත් ඉස්ලාමීය ධර්මයෙන් තහනම් වේ. ධනය එක් රැුස් කිරීම සේවකයන්ට අයුක්ති සහගත වීමේ ප‍්‍රතිඵලයක් බැවින් ඊට ද අනුලබයක් නොදිය යුතු යයි නිරායාසයෙන්ම අදහස් වේ. පුද්ගලයෙකු සතු දේපල සියල්ල වැයවී ගිය ද ඉස්ලාම් ධර්මය ජනතාවට නියම කරන්නේ දෙවියන් වහන්සේ දක්වා ඇති ආකාරයෙන් ස්වකීය මුදල් වියදම් කරන ලෙසය. පොහොසත් පුද්ගලයන් දෙවියන් වහන්සේ නියම කර ඇති ආකාරයට නොව තමාගේම සුභසිද්ධිය සඳහාම ඔවුන්ගේ මුදල් වියදම් කිරීම බහුතර ජනතාවගේ දරිද්‍රතාවට හා අසරණ භාවයට තුඩු දී තිබේ.

මිනිස්සු තුළ ඉස්ලාම් ධර්මය නිසා ඇතිවන ආධ්‍යාත්මික අභ්‍යුදය ඔවුන්ට අල්ලාහ් කරා ළඟා වීමට හේතු වේ. ලෞකිකි ආශා සියල්ල තුරන් කර ගැනීමටත් අල්ලාහ්ගේ ප‍්‍රසාදය කරා ළංවීමටත් පර ලොවේ දී ඔහුගේ අනුග‍්‍රහය ලබා ගැනීමටත් හේතු වේ. අල්ලාහ් කෙරෙහි භක්තියෙන් ද, පරලොව, දෙව්ලොව හා අගය පිළිබඳ විශ්වාසයකින් ද යුතු පුද්ගලයා ධනය රැුස් කිරීමට හෝ සූරා කෑමට හෝ ස්වකීය ආත්මාර්ථකාමි පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා අසාධාරණ වීමට තරම් උමතු නොවන්නේය.

මේ අන්දමට ඇති වන සදාචාරමය හා ආධ්‍යාත්මික උන්නතියේ ප‍්‍රතිඵලයක් වශයෙන් ධනවාදයේ අනිෂ්ට විපාක වැළැක්වීම පරමාර්ථ කර ගත් ආර්ථික ව්‍යවස්ථා සම්පාදනයට මග පෑදෙන්නේය. මේ හේතු කොට ගෙන එබඳු ව්‍යවස්ථා සම්පාදනය කළ කල්හි ඒවා මහජනයා පිළිපදිනු නොඅනුමානය. ඔවුන් එසේ පිළිපදිනුයේ දඬුවමකට බියෙන් නොව ඔවුන්ගේම ස්වච්ඡුන්දයෙන් කි‍්‍රයා කරන නිසාය.

ඉස්ලාම් ලෝකයේ දැනට පවත්නා ව්‍යසනකාරී ධනවාදය ඉස්ලාම් අයත් නොවන්නාක් බවත් එබැවින් ධනවාදයේ දුර්විපාක සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මය වග නො කිය යුතු බවත් අවසාන වශයෙන් මෙහිලා පැහැදිලිවම සඳහන් කළ යුතු ව තිබේ.

කතෘ :
මහාචාර්ය මුහම්මද් කුතුබ්
පරිවර්තනය:
ආර්. ඒ. ඒ. රණසිංහ
බී. එන්. ආර්. ජයසේන

Leave a Reply

Your email address will not be published.