ප‍්‍රාණ ඝාතනය සහ ඉස්ලාම්!

ඉස්ලාම් සත්ත්ව ආහාර අනුභව කිරීම තහනම් නොකර ඇත්තේ මන්ද? එසේත් නොමැති නම් ඉස්ලාම් නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම අනුමත නොකළේ මන්ද? මෙය අද බොහෝ අන්‍ය ආගමිකයින් විසින් මතු කරනු ලබන ප‍්‍රශ්නයකි. එබැවින් මේ ප‍්‍රශ්නයට විද්‍යානුකූල හා තර්කාන්විත පිළිතුරක් දීම කාලෝචිත යැයි සිතුණි.

මුලින්ම හා කෙළින්ම අප කියන්නට  ඕනේ ඉස්ලාම් එක් අංග සම්පූර්ණ ප‍්‍රයෝගික ජීවන ක‍්‍රමයක් බව. එබැවින් අන්‍ය ආගම්වල හෝ වෙනත් වෙනත් සිද්ධාන්තවල ඇති කරුණු, අදහස්, අවවාද, උපදෙස් වැනි කිසිවක් ඉස්ලාමයට ඈඳා ගැනීමට හෝ කුලියට ගෙන ඉස්ලාමයට ඇතුළත් කිරීමට කිසිදු උවමනාවක් නොමැත. එය විශ්ව සාධාරණ විශ්වීය දහමකි, ජීවන ක‍්‍රමයකි.

මේ බව අල්ලාහ් අල් කුර්ආනයේ 5 වැනි පරිච්ඡේදයේ 3 වැනි පාඨයෙන් මෙසේ අවධාරණය කර සිටියි.

”අද දින ඔබ වෙනුවෙන් ඔබගේ දහම අංග සම්පූර්ණ කළෙමි. තවද මම ඔබ වෙනුවෙන් මගේ අනුග‍්‍රහය, ආශිර්වාද අංග සම්පූර්ණ කළෙමි. තවද ඔබ වෙනුවෙන් ඉස්ලාම් දහම ඔබගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තෙමි.”

එසේ නම් ඉස්ලාම් ධර්මය, මේ ලෝකයේ  ඕනෑම අස්සක මුල්ලක ජීවත්වන  ඕනෑම මිනිසෙකුට කිසිදු සැකයකින් හා අපහසුතාවයකින් තොරව අනුගමනය කිරීමට හැකි විය යුතුයි. අරාබියේ කාන්තාර පරිසරයක ජීවත් වන ජනයන්ට මෙන්ම, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික පරිසරයක ජීවත්වන ජනයන්ටත් කිසිදු සැකයකින් තොරව හෘදය සාක්‍ෂියට එකඟව ඉස්ලාම් අනුගමනය කිරීමට හැකි විය යුතුය.

මේ නිසා අල්ලාහ්, නිර්මාංශ ආහාර පමණක් අනුභව කළ යුතු යැයි සීමාවක් ඇති කොට ඉස්ලාම් ධර්මය අනුගමනය කරන මුස්ලිම්වරුන් අපහසුතාවයට පත් කළේ නැත.

මිනිසා නම් සත්වයා සර්ව භක්ෂක සත්වයෙකි. එම නිසා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ශාක ආහාරයට මෙන්ම මාංශ ආහාරයට ද උචිත වන පරිදි නර්මාණය වී ඇත. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය වී ඇත්තේ හුදෙක් නිර්මාංශ ආහාරයට උචිත වන පරිදිය. එමෙන්ම ඔවුන්ගේ මුඛයේ පිහිටා ඇති දන්ත පද්ධතිය ද සර්ව භක්ෂක මිනිසාගේ දන්ත පද්ධතියට වඩා ඉඳුරාම වෙනස්ය. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් උචිත වන පරිදිය.

එනමුත් මිනිසාගේ දන්ත පද්ධතිය විවිධ දත් වර්ග වලින් සමන්විත වේ. එනම් ආහාර කැබැලිවලට කැපීම සඳහා කෘන්තක දත් ද ආහාර කුඩා කැබලිවලට ඉරීම සඳහා රදනක දත් ද ආහාර තැලීමට හා ඇඹරීමට සුදුසු වන පරිදි චාර්වක හා පුරශ්චාර්වක දත් ද වැඩුණු මිනිසෙකුගේ දන්ත පද්ධතියේ දකින්නට ලැබේ. කෘන්තක හා රදනක දත් තියුණු වන අතර, චාර්වක හා පුරශ්චාර්වක දත් පැතැලි පෘෂ්ඨයන්ගෙන් යුක්ත වේ.

මිනිසා හුදෙක් නිර්මාංශ – ශාක භක්ෂක ජීවියෙකු වූයේ නම් – මිනිසාගේ දන්ත පද්ධතිය ශාක භක්ෂක සතුන් යන හරකුන්ගේ එළුවන්ගේ මෙන් දත් පද්ධතියක් විය යුතුයි. එනම් ආහාර ඇඹරීමට හා තැලීමට පමණක් සුදුසු දත් පද්ධතියක් මිනිසා සතු විය යුතුයි. නමුත් ඊට වෙනස් වූ දත් ද ඔහුට ඇත.

මේ අනූව බලන කල මිනිසා සත්ව මාංශ අනුභව කිරීම විද්‍යානුකූලයි. එය මිනිස් ස්වභාවයට පටහැනි නොවේ. එනමුත් ඉස්ලාම් සෑම සතෙකුම ආහාරයට ගැනීමට අනුමැතිය ලබා දී නැත. සූකර මාංශ ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දඩයම් කර අනුභව කරන සතුන්ගේ මාංශ (කොටි, වලසුන්, සිංහයන්, වැනි සතුන්ගේ මාංශ) අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. මේ නිසා සත්වාහාර ගැනීමෙන් තිරිසන් රෞද්‍ර ගති ගුණ මිනිසා තුළ ඇති වේ යැයි ඇතැමුන් නගන තර්ක ද බිඳ වැටේ.

මේ විශ්වය මැවූ අල්ලාහ් මිනිසාගේ ප‍්‍රයෝජනය සඳහා විශ්වයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම මවා ඇත. ඒවායින් සමහරක් දේවල් අනුභව කිරීමටත්, සමහරක් දේවල් භුක්ති විඳීමටත්, අල්ලාහ් මිනිසාට අනුමැතිය ලබා දී ඇත. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල අවධාරණය කෙරේ.

“සිව්පාවූන් මැව්වේත්, (අල්ලාහ්) ඔහුය. එහි ඔබට උණුසුම් (ඇඳුම්) ද අනේක විධ ප‍්‍රතිලාභ ද ඇත. තවද එහි ඔබට බුදින්නට ආහාර ද ඇත.” (ශු අල්කුර්ආනය 16- 5).

“තවද ඔහු ඔබට ගමන් කිරීම පිණිස මනස්කාන්ත ලෙස අශ්වයන්, කොටළුවන්, බූරුවන් මැව්වේය. තවද ඔහු ඔබ නොදන්නා බොහෝ දේ මවා ඇත.” (ශු අල්කුර්ආනය 16- 8).

“තවද ඔහුය, (ඔබට) සාගරය භුක්ති විඳින්නට සැළැසුවේ. එයින් ඔබ නැවුම් මෘදු මාංශ (මත්සයන්) අනුභව කරන්නේය. තවද වටිනා පළඳනාවන් එයින් ඔබ මතු කර ගන්නේය….” (ශු අල්කුර්ආනය 16 14).

මෙලෙස සත්වාහාර අනුභව කිරීමට ඉස්ලාම් අනුමත කළා පමණක් නොව, අනුභව කිරීම සඳහා සුදුසු සත්වයන් කුමක්ද? ඒවායින් කිනම් කොටස් ද අනුභව කළ යුත්තේ? ඒවා අනුභව කිරීම සඳහා සකස් කරගන්නේ කෙසේද? යනාදි සියල්ල ඉතා සුපැහැදිළිව ඉස්ලාම් උගන්වයි.

”(ඉබේම ස්වාභාවික ලෙස) මිය ගිය (සතුන්) ලේ කැටිති, සූකර මාංශ, අල්ලාහ්ගේ නාමයෙන් තොරව කුර්බාන් (ඝාතනය) කරන ලද ගෙල මිරිකා මැරුණු, පහර කා මැරුණු, බිම වැටී මැරුණු, අංවලින් ඇන මැරුණු, වන සතුන් සපා කෑමෙන් මැරුණු සතුන්ගේ මාංශ අනුභව කිරීමට තහනම්ය. නමුත් නිසි ලෙස කුර්බාන් කරන ලද ඒවා හැර.” (ශු අල්කුර්ආනය 5: 3).

නියපොතු ආධාරයෙන් දඩයම් කර ජීවත් වන පක්‍ෂීන් අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: රාජාලියා, උකුස්සා, ගිරවා, බකමූණා ආදී පක්ක්‍ෂීන්.

දඩයම් දත් ඇති සතුන් අනුභව කිරීම ද ඉස්ලාම් තහනම් කොට ඇත. උදා: බළලා, බල්ලා, කොටියා, සිංහයා, වඳුරා ආදී සතුන්.

ගවයා සහා ඔටුවා හැර ප‍්‍රවාහනය සඳහා භාවිතා කරන සතුන් අනුභව කිරීමට ද ඉස්ලාම් අනුමැතිය දී නැත. උදා: බූරුවා, කොටළුවා, අලි ඇතුන් ආදිය.

හූනන්, කැරපොත්තන්, කුහුඹුවන් වැනි මේ සතුන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත.

නයි, සර්පයන්, කබරගොයන්, කිඹුලන්, වැනි උරගයන් ද අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. එමෙන්ම දිය ගොඩ දෙකෙහිම ජීවත් වන උභය ජීවීන් අනුභව කිරීමට ද ඉස්ලාම් හි අනුමැතියක් නැත.

මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප‍්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප‍්‍රාණ ඝාතනය වූ කලී ප‍්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප‍්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි‍්‍රයාවක් බව ඔවුහු තර්ක කරති.

එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප‍්‍රාණ නැසී යන බැවිනි. (පනු) බෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) බෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි. හිසේ උකුණන් මරා දැමීම පවකි. ඒ ප‍්‍රාණ ඝාතනයක් සිදුවන බැවිනි. ධීවර කර්මාන්තයේ නියැලීම පවකි. මන්ද ප‍්‍රාණ ඝාතනයට සෘජුවම හවුල් වන බැවිනි. යුද්ධ කිරීම පවකි. මන්ද යුද්ධය නිසා විශාල මිනිස් ඝාතනයක් සිදුවේ. මෙසේ එකින් එක කීවොත් ඔවුහු අපට අන්තවාදී යයි හංවඩු ගැසිය හැක. නැතිනම් මූලධර්මවාදීන් යයි කියන්න හැකිය. නැතිනම් චේතනාව අනූව ඒවා පවක් නොවන බව තර්කයන් ගෙන හැර දැක්විය හැකිය.

තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි. ඔවුන්ගේ මනසට අනූව මත්සයන් (මාළුන්), කුකුළන්, එළුවන් වැනි සතුන් ඝාතනය කිරීම හෝ ඒවා අනුභව කිරීම හෝ මහා පවක් ලෙස නොපෙනේ. ඉවුන් ඉදිරිපත් කරන තර්කය නම්, ගවයා ගොවිතැනට උදව් වන සත්වයෙකි, උගේ මල අපි පොහොර ලෙස භාවිතා කරමු. ඒ නිසා ගව ඝාතන ඔවුහු හෙළා දකින අතර ඇතැමුන් ගව මස් වර්ජනය කරති.

සැබවින්ම අපි සාවධානව කල්පනා කර බැලූවොත්, ගවයා අපට – මිනිසාට යැයි කියා කිසිවක් නොදෙන නමුත් මිනිසා විසින් ඒවා ගවයා ගෙන් විවිධ ක‍්‍රමෝපායන් හරහා ලබා ගන්නා බව පෙනේ. උදාහරණ වශයෙන් කිරි ගත්තොත්, මිනිසා ගවයාගෙන් කිරි ලබාගැනීම සඳහා ගවයන් අභිජනනය කරයි. කිරි නිෂ්පාදනය සඳහා විශේෂිත ආහාර ගවයාට ලබාදෙයි. එමෙන්ම කිසිම ගවයෙක් මිනිසා ගැන සිතා, මිනිසා උදෙසා මල පහ කරන්නේ නැත. නමුත් මිනිසා ඒවා රැස් කොට ගොම පොහොර වශයෙන් භාවිතා කරති.

සාමාන්‍යයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී බහුලව භාවිතා කරන්නේ මී හරකුන්ය. නූතනයේ දී ඒ සඳහා ට‍්‍රැක්ටර් වැනි යන්ත‍්‍ර භාවිතයට ගැනේ. මේ අනූව කල්පනා කර බලන කල ගව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන ඊනියා තර්ක විතර්ක පවා නිරර්ථක නිස්සාර එකක් බව මනසින් උසස් මනුෂ්‍යයාට තේරුම් යනු ඇත. අනෙක් අතට ගව ඝාතනය කිරීම නිසා ගවයා වඳ වීමේ තර්ජනයට ලක් වී නැත. ලක් වන්නේ ද නැත.

නූතන විද්‍යාවට අනූව මිනිසා, සතා සිවුපාවුන්ට පමණක් නොව ගස් කොළන් වලට ද ප‍්‍රාණය ඇති බව ඔප්පු කර ඇත. නමුත් මේ බව දැනට වසර 1426 පෙර ඉස්ලාම් පවසා ඇත. මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට ද ජීවත් වීම සඳහා ආහාර, ජලය, වාතය, ආලෝකය, විටමින්, ඛනිජ ලවන යනාදිය අවශ්‍ය වේ.

එමෙන්ම ශාකවලට ද ජීවත් වීම සඳහා ඒ සෑම එකක්ම අවශ්‍ය වේ. මිනිසා ඇතුළු සතා සිවුපාවුන් මෙන් ගස් කොළන් ද තම වර්ගයා බෝ කරයි. එමෙන්ම මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට මෙන් ගස් කොළන්වලට ද හැඟීම් ඇති බවත්, දැනෙන බවත්, නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. ගස් කොළන්වලට ද ශ‍්‍රවණය කළ හැක. වේදනාවන් දැනේ. නමුත් වෙනසකට ඇත්තේ ගස් කොළන්වලට අනෙකුත් සතුන් මෙන් සැරිසරන්නට නොහැකි වීම පමණි.

මේ අනූව ශාක යනු පණ ඇති ජීවියකි. ඒවාට ආයුෂ කාලයක් ඇත. ටික කලක් මේ ලෝකේ ජීවත් වී මිය යයි. මේ අනූව කල්පනා කර බැලූවොත් ගස් කොළන් කැපීම ද ප‍්‍රාණ ඝාතනයක් වනු ඇත. නමුත් සතුන්ට මෙන් ගස් කොළන් වලට ප‍්‍රබල ඉන්ද්‍රියයන් නොමැති නිසා ඒවා අනුභව කිරීමෙහි වරදක් නැහැ! යි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙම නම් ඇවිදින්නට බැරි, අංග විකල, අඳ බිහිරි, ගවයන් ඝාතනය කොට අනුභව කිරීම එවැන්නන්ගේ තර්කයට අනූව පවක් නොවන්නේය.

ඇතැම් ආගමික ලබ්ධිකයන් ශාකවලට ප‍්‍රාණ ඇතැයි විශ්වාස නොකරති. මෙම මත වාදය හරියට ”කන්න  ඕනෑ වුනහම කබරයාත් තලගොයා කරගන්නා වගේ” කතාව හා සමානය. එසේ නමුත් එම ආගමේ පූජකවරු ස්වකීය දහම, නවීන විද්‍යාවට අනුකූල බවත්, විද්‍යානුකූල බවත් ලෝකයාට ඒත්තු ගැන්වීමට ජන මාධ්‍ය හරහා විශාල පරිශ‍්‍රමයක යෙදී සිටිති.

මිනිසා ඇතුළු සෑම සත්වයෙකුම තම පැවැත්ම සඳහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ප‍්‍රාණ ඝාතනයේ නියැලි සිටින බව උසස් මනසක් ඇති මිනිසාට වැටහිය යුතුය. මෙය නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇති සත්‍යයකි. නමුත් ඉස්ලාම් පමණයි මේ ප‍්‍රාණ ඝාතනය කළ යුත්තේ කෙසේද? කුමක් සඳහාද? කිනම් සතුන් ඝාතනය කළ යුත්තේද? යනාදි වශයෙන් කිසියම් මග පෙන්වීමක් සීමාවක් ලබා දී ඇත්තේ. මේ නිසා කිසිදු වග විභාගයකින් තොර, දකින දකින සතුන් විනෝදාංශයක් ලෙස දඩයම් කොට ඝාතනය කිරීම ඉස්ලාම් ඉඳුරා තහනම් කොට ඇත. සතුන් පමණක් නොව ගස් කොළන් පවා අනවශ්‍ය ලෙස කපා කොටා විනාශ කිරීමට ඉස්ලාම් අනුබල නොදෙයි.

මේ අනූව උසස් මනසක් ඇති මනුෂ්‍යයෙකුට පසක් වෙනවා ඇති නූතන ලෝකයේ  ඕනෑම රටක ජීවත් වන  ඕනෑම පුද්ගලයෙකුට කිසිදු පැකිලීමකින් තොරව විශ්වාසයෙන් යුතුව ප‍්‍රායෝගිකව අනුගමනය කළ හැකි මාර්ගෝපදේශය ඉස්ලාම් බව. දැන් ඉතින් වත දුරටත් නිස්සාර තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ගතානුගතිකව මුඛ පරම්පරාවෙන් පැවත එන ආරම්භයක්, මුලාශ‍්‍රයක් නැති පිළිවෙතක් දහමක් අනුගමනය කරනවාද? නැතිනම් ස්වභාවයට එකඟ වූත්, පිළිපැදීමට පහසු වූත් දහමක් අනුගමනය කරනවාද?

උසස් මනසක් ඇති කවුරුත් මේ ගැන හුදකලාව සිතා බැලීමට වටී.
සකස්කිරීම: අබූ අරෆාත්

Leave a Reply

Your email address will not be published.