සzකාත් – ඉස්ලාමයේ තුන්වන ස්ථම්භය – (The third pillar of Islam )

ඉස්ලාමයේ තුන්වන ප්‍රධාන කුළුණ සකාත් ය. එය සලාතයෙන් පසුව ඇති ඊළඟ ප්‍රධාන වගකීම වේ. ඒ අනුව කුරානයේ බොහෝ තැන්වල සලාත් සහ සකාත් එකට සඳහන් කොට ඇත. “ඔවුහු සලාතය සහතික කරන්නෝය. සකාතයද දෙන්නෝය. තවද, ඔවුහුම එලොව ගැනද ස්ථිරව විශ්වාස කරන්නෝය” (කුරානය 27:3). මින් පැහැදිලි වන්නේ සකාත්, සලාතය තරම්ම වැදගත් තැනක් උසුලන බවයි. මෙය හොඳින් තේරුම් ගත් ඉස්ලාමයේ පළමු කලීෆා වරයා වන අබුබක්කර් සිද්ධික් රලි තුමා සකාත් ගෙවීම ප්‍රතික්ෂේය කල පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගෙන තිබේ. ඒ අනුව නබිතුමාගේ අභාවයෙන් පසු සකාත් ගෙවීම ප්‍රතික්ෂේප කල අය සමග සටන් කිරීමට ක්‍රියා කොට ඇත.

ඉස්ලාම් ලොව ඇති සමාජවාදී සහ ධනවාදී ක්‍රමවලට වඩා බොහෝ වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්නේය. ඒ අනුව ඉස්ලාම්, මිනිසාගේ හැකියාවන් ගැන හොඳින් තේරුම් ගෙන සමාජවාදී ක්‍රමවල මෙන් ධනය ඉපයීම සඳහා ඇති නිදහසට තහංචි පනවා නොමැත. එසේම ධනවාදී ක්‍රමවල මෙන් තනි පුද්ගලයින් අතර ධනය එක්රැස් වීම අනුමත කරන්නේද නැත. ඒ අනුව හැකියාව ඇති ඕනෑම කෙනෙකුට තම ධනය ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීමේ නිදහස ස්ථාපනය කොට තිබේ. එහෙත් ඉන් ලැබෙන ආදායම තමන් ළඟ පොදි බැඳගෙන සිටීමට අවසර දෙන්නේ නැත. ඒ අනුව ධනවතුන් සඳහා සකාත් ගෙවීම අනිවාර්ය කොට තිබේ.

සකාත් වලින් බලාපොරොත්තු වන්නේ ධනවතුන්ගේ මුදල් දුගීන් වෙත ගලා යාමට සැලැස්වීමයි. මෙය ඇති නැති පරතරය අවම කිසිම සඳහා ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති ප්‍රායෝගික වැඩ පිළිවෙලකි. මෙම ක්‍රමය ලොව පුරා සිටින ධනවතුන් විසින් ක්‍රියාත්මක කරන්නේ නම් ලෝකයේ ඇති දුප්පත්කම තුරන් කල හැකි වනු ඇත. මෙවැනි ක්‍රමයක් මුස්ලිම් නොවන අය අතර නොමැති කම නිසා ලෝකයේ ඇති සම්පත් වලින් වැඩිම ප්‍රමාණයක් රඳා පවතින්නේ ලෝක ජනග්‍රහණයෙන් 8% තරම් වන ඉතා සීමිත පිරිසකගේ අතේය. මේ නිසා බොහෝ අය එදා වේල කෑමට නොහැකිව ඉතා අසරණ තත්වයට පත්ව ඇත.

සකාත් ගෙවීම සඳහා සුදුසුකම් ලබන අය:  දහමින් නියම කොට ඇති අවම ප්‍රමාණය වන නිසාබ් ඉක්මවා ධනයට හිමිකම් කියන සෑම ධනවතෙක්ම සකාත් ගෙවිය යුතුය. නිසාබ් යනු: රත්‍රන් ග්‍රෑම් 85 ක වටිනාකම හෝ රිදී ග්‍රෑම් 595 ක වටිනාකම වේ. සකාත් ගෙවිය යුතු භාණ්ඩ වන්නේ: ව්‍යාපාර වස්තු, රන්, රිදී, මුදල්, ධාන්‍ය වර්ග, එළු බැටළු වැනි සිව්පා සතුන් ආදිය වේ.

සකාත් ගෙවිය යුතු කාලය: ව්‍යාපාරිකයින් තම ව්‍යාපාරයක් ආරම්භ කොට චන්ද්‍ර වර්ෂයක් සම්පුර්ණ වූ පසු ව්‍යාපාරයේ මුල ධනයේ වටිනාකම බලා සකාත් ගෙවිය යුතුය. ධාන්‍ය සඳහා ඒවා නෙලාගත් පසු සකාත් ගෙවිය යුතුය. රන්, රිදී සහ මුදල් සඳහා ඒවාට වසරක් පිරුණු පසු එහි වෙළඳ පොළ වටිනාකම අනුව සකාත් ගෙවිය යුතුය. සිව්පාවන් සඳහා වසරක් පාසා දහමින් නියම කොට ඇති ප්‍රමාණය ඉක්මවූ පසු සකාත් දිය යුතුය.

සකාත් ලැබීමට සුදුසුකම් ලබන අය: සදකා මෙන් නොව සකාත් ලැබීමට සුදුසුකම් ලබන්නේ කුරානයෙන් නියම කොට ඇති කාණ්ඩවලට අයත් පුද්ගලින් පමණි. ඔවුන් ගැන කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

“(සකාත් නමැති අනිවාර්ය වූ) දානය දිලින්දන්ටද, දුප්පතුන්ටද, එම කාර්ය සඳහා සේවය කරන්නන්ටද, (ඉස්ලාමය වෙත) සිත් ඇදී සිටින්නන්ටද, වහලුන්ව නිදහස් කිරීමටද, ණයකරුවන්ටද, අල්ලාහ්ගේ මගෙහි සිටින්නන්ටද, මගියාටද අයත් වේ” (කුරානය 9:60).

සකාත් ලැබිය නොහැකි අය: තමන්ගෙන් යැපෙන්නන්ට හෝ තමන් උදව් කිරීමට බැඳී සිටින තම භාර්යාවට හෝ දෙමව්පියන් වෙනුවෙන් සකාත් මුදල් ලබා දීමට නොහැකිය. දෙමව්පියන් සහ යැපෙන්නන් වෙනුවනේ වියදම් කළ යුත්තේ තම පෞද්ගලික ධනයෙන් ය. එහෙත් ධනවත් භාර්යාවකගේ සකාත් මුදල් ඇයගේ ස්වාමි පුරුෂයා සකාත් ලැබීමට සුදුසු තත්වයේ පසු වන්නේ නම් ඔහු හට ලබා දීමට හැකිය.

සකාත් ගෙවීම නිසා කෙනෙක් දුප්පත් වන්නේ නැත. අල්ලාහ් එය වර්ධනය කරන්නේය. එහෙත් පොලිය විනාශ කරන්නේය. “අල්ලාහ් පොලිය විනාශ කර සදකාවන් වර්ධනය කරයි” (කුරානය 2:276). ඒ අනුව ලොව සිටින බොහෝ මුස්ලිම් ව්‍යාපාරිකයින් වාර්ෂිකව විශාල මුදල් සම්භාරයක් සකාත් ලෙස දුගීන් හට  ලබා දෙනු ලැබුවත් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමට ලක්වන්නේ නැත. ඒ වෙනුවට ඒවා තව තවත් දියුණු වන්නේය.

සකාත් ගෙවිය යුතු ප්‍රමාණය: ධනවතුන් විසින් වාර්ෂිකව ඔවුන්ගේ වත්කම් ගණන් බලා එහි වටිනාකමින් 2.5% ක් සකාත් ගෙවිය යුතුය. සදකා මෙන් නොව සකාත් එළිපිට දීමට හැකිය.

අනිවාර්ය සකාත් වලට අමතරව ඉස්ලාම් දහමින් කැමති අයට සදකා දීම දිරිමත් කොට ඇත. සදකා යනු ස්වෙජ්ජාවෙන් දෙනු ලබන දීමනාවකි. ඊට සීමාවන් පනවා නොමැත. තවද එය ඕනෑම කෙනෙකු වෙනුවෙන් ලබා දිය හැකිය. එහෙත් එය රහසිගතව දෙන තරමට උතුම් වේ. මෙය අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරෝතුවෙන් ඉතා රහසිගතව දෙනු ලබන දීමනාවකි. එසේ කිරීමෙන් එය ලබා ගන්නා තැනැත්තාගේ ගෞරවය ද රැකෙන්නේය. එම නිසා මුස්ලිම්වරුන් කොපමණ සදකා දෙනු ලැබුවත් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වන්නේ නැත. තමන් දෙන දේවල් වල නම ප්‍රසිද්ධ කරන්නේ ද නැත. සමරු ඵලක හදන්නේද නැත. එසේ තිබියදී යම් කෙනෙක් ප්‍රසිද්ධිය වෙනුවෙන් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සදකා දෙනු ලැබුවේ නම් ඔහුට මරණයෙන් පසු ඒ සඳහා කිසිවක් ලැබෙන්නේ නැත. මේ නිසා අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන සදකා එය දුන් තැනැත්තාට මරණයෙන් පසු විශාල ආයෝජනයක් වන්නේය. මුස්ලිම්වරුන් බලාපොරොත්තු වන්නේද එයයි.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.