රමළාන් උපාවාසය!

රමළාන් උපාවාසය

ගැන ඔබ දැන ගත යුතු කරුණු …

කතෘ:

මාහිර් රම්ඩීන්

සෝදුපත් කියවීම:

මුහම්මද් අසාද්

صوم رمضان

معلومات لابد من معرفتها

< سنهالية >

اسم المؤلف

ماهر رمدين

ترجمة:

مراجعة:محمد آساد

රමළාන් උපාවාසය

ගැන ඔබ දැන ගත යුතු කරුණු …

 මාහිර් රම්ඩීන්

ප්‍රකාශනය : islamhous.com 

 රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු .

මාතෘකා :

  • උපවාසයේ මහිමය සහ රමළාන් මාසයේ මහිමය්‍
  • රමළානයේ උපවාසය අත්හළ පුද්ගලයින්ගේ නීතිය
  • අර්කානුස් සියාම් හෙවත් උපවාසයේ මූලිකාංග
  • උපවාසය අනිවාර්යය වනුයේ කා හට ද
  • උපවාසයේ විනය
  • උපවාසය ශීලය සමග තහනම් කරන ලද ක්‍රියාවන්ගෙන් වැළකීම
  • උපවාසය අවලංගු කරන දෑ
  • උපවාසය අවලංගු වූ විටෙක පිළිපැදිය යුතු විනයන්
  • කළා (අතපසු වූ දෑ නැවත) කිරීමේ නීතිය, කෆ්ෆාරා හෙවත් වන්දි ලබා දීමේ ක්‍රමය
  • උපවාසයේ අනුමත දෑ
  • උපවාසයේ නිරත වීමට තහනම් කරන ලද දිනයන්
  • අතිරේක උපවාස
  • zකාතුල් ෆිත්ර්
  • රමළාන් මාසයේ රාත්‍රී කාලයේ නැමදුම් ඉටු කිරීම
  • අල් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටීම

 

උපවාසයේ මහිමය

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කළ බව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ.

ආදම්ගේ සෑම දරුවකුගේම ක්‍රියාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්‍රතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සතු ව ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. උපාවසය රකින්නකුගේ කටින් හැළෙන කෙළ අල්ලාහ් අබියස කස්තූරි සුවදට වඩා සුවඳැතිය. උපාවස රකින්නා සතුටට පත් වන සතුටුදායක අවස්ථාවන් දෙකක් ඔහුට ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට සතුටු වෙයි. එමෙන්ම ඔහුගේ පරමාධිපති ව හමු වන විට ඔහුගේ උපවාසය හේතුවෙන් සතුටු වෙයි.

වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා, මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.

ආදම්ගේ සෑම දරුවකුගේම ක්‍රියාවන් ඔහුටය: යනුවෙන් අදහස් කරනුයේ උපවාසය හැර සෙසු ක්‍රියාවන්හි කොටසක් ලෞකික වශයෙන් ඔහුට ද හිමි වන බැවිනි. එනම් ඔහු කරන දැහැමි ක්‍රියාවන් හේතුවෙන් ජනයා ඉදිරියේ ඔහු ගෞරවයට පත් වීම,  ගරු බුහුමන් ලැබීම, ප්‍රශංසාවට ලක් වීම යන කරුණු පෙන්වා දිය හැක.

පලිහ : එය ආරක්ෂාව සලසා ගන්නා උපකරණයකි. එමෙන්ම උපවාසය පාපයන්ගෙන් ආරක්ෂා කරයි.

අශීලාචාර ලෙස කතා නොකරනු: කතා කරන විට අසභ්‍ය වචන හෝ නොමනා වචන භාවිත කර කතා කිරීමෙන් වැළකී සිටිය යුතු ය. තවත් වාර්තාවකට අනුව අඥාන ලෙස කතා නොකරනු යැයි සඳහන් ව ඇත. එනම් උපවාසය රකින්නෙකු ව සිටිය දී අඥාන ක්‍රියාවන් නොකරනු යන්නයි.

උස් හඬින් කතා නොකරනු: එනම් තර්ක කරමින් මහා හඩින් කතා කිරීමෙන්ද කෑකෝ ගසා කතා කිරීමෙන් ද වැළකී සිටිය යුතුය යන්නයි.

අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ් මට ප්‍රයෝජනය සලසා දෙන කරුණක් පිළිබඳ මට නියෝග කරන්නැයි පවසා සිටියෙමි. එවිට එතුමාණෝ ඔබ උපවාසය රකින්න. සැබැවින්ම එයට උපමා කළ හැකි කිසිවක් නොමැත. යැයි පැවසුහ.

  • රමළාන් මාසයේ මහිමය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අභිවෘද්ධිමත් මාසය වන රමළානය ඔබ වෙත පැමිණ ඇත. සර්ව බලධාරී අති කීර්තිමත් අල්ලාහ් එහි උපවාසය අනිවාර්යය කළේය. එහි ස්වර්ග උයන්හි දොරටු විවෘත කරනු ලැබේ. නිරයේ දොරට වසා දමනු ලැබේ. තවද එහි ෂෙයිතානුන්ගේ කැරලිකාරී ක්‍රියාවලට විලංගු දමනු ලැබේ. එහි රාත්‍රියක් ඇත. එය මාස දහසකට වඩා උතුම්ය. කවරෙකු එහි යහපත කිරීම වළක්වා ගනු ලැබුවේ ද. ඔහුට (එම යහපත) වළක්වනු ලැබීය.                මූලාශ්‍රය : අහ්මද්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

රමළාන් මාසයේ ආරම්භක රාත්‍රිය උදා වූ විට ෂෙයිතානුන්ට හා ජින්නුන්ගේ කැරලිකාර ක්‍රියාවලට විලංගු දමනු ලැබේ. නිරයේ දොරටු වසා දමනු ලැබේ. එනම් එහි කිසිදු දොරටුවක් වීවෘත කරනු නොලැබේ. ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. එනම් එහි කිසිදු දොරටුවක් වසා දමනු නොලැබේ. නිවේදකයකු මෙසේ නිවේදනය කරනු ඇත. අහෝ යහපත සොයන්නනි, (යහපත) ඉදිරිපත් කරනු. අහෝ අයහපත සොයන්නනි, (අයහපත) මැඩ පවත්වා ගනු. නිරයෙන් (ජනයා) මුදවා ගැනීම අල්ලාහ් සතුය. එය මුළු රාත්‍රියෙහිම පවතී.                 මූලාශ්‍රය : තිර්මිදි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කවරෙකු විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තු වෙන් යුතුව රමළානයේ උපවාස ශීලය රකින්නේ ද ඔහුට ඔහු කළ ඔහුගේ පෙර පාපයන් වලට සමාව දෙනු ලැබේ.                 (මූලාශ්‍රය: බුහාරි, මුස්ලිම්)

ඉමාම් අහ්මද් සතු තවත් වාර්තාවක, පසු පාපයන් වලට ද සමාව දෙනු ලබන බව වාර්තා වී ඇත.

  • රමළානයේ උපවාසය අත්හළ පුද්ගලයින්ගේ නීතිය

රෝගී භාවය හෝ නොහැකියාව හෝ එයට අදාළ යම් කරුණක් වැනි ෂරීආ ව අනුමත කළ හේතුවක් මත උපවාසය අත් හළේ නම් ඒ සඳහා උපවාසය අත් හැරීමට අනුමැතිය ඇත. ඔහු වෙනත් දිනවල උපවාසයේ නිරත විය යුතුය. නමුත් ඔහුගේ නොහැකියාව දිගටම පවතින්නේ නම් හෝ සුව නොවන රෝගී භාවය අඛණ්ඩ ව පවතින්නේ නම් උපවාසයෙන් මිදිය හැකිය. එවිට ඔහු උපවාසය අත් හළ සෑම දිනයක් වෙනුවෙන්ම වන්දියක් ලබා දිය යුතුය. එම වන්දිය වනුයේ දිළිඳුන්ට ආහාර සැපයීමය.

කිසිදු හේතුවක් නොමැති ව උපවාසය අත් හළේ නම් ඔහු පාපියෙකු වෙයි. එම මාසයේ ගරුත්වයට අගෞරවය කළ හේතුවෙන් ඔහු වන්දි සමඟ උපවාසය ද නැවත ඉටු කළ යුතුය. එමෙන්ම ඔහු පශ්චාත්තාප විය යුතුය. එම පාපයෙන් මිදීම සඳහා පව් සමාව අයැද සිටිය යුතුය.

කෙනෙකු උපවාසයේ අනිවාර්යය භාවය ප්‍රතික්ෂේප කරන්නේ නම්, එසේ ඔහු තමන් කළ වරද වෙනුවෙන් පශ්චාත්තාපයේ නිරත නොවූයේ නම්, ඔහුට අදාළ නීතිය වනුයේ රිද්දත් හෙවත් ආගම අතහැර ගිය කෙනෙකුට හිමි වන නීතියයි.

  • අර්කානුස් සියාම් හෙවත් උපවාසයේ මූලිකාංග

උපවාසයේ මූලිකාංග දෙකකි.

  1. අලුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් උපවාසය අවලංගු වන කටයුතු වලින් වැළකී සිටීම.

එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල පැහැදිලි වන තෙක් අනුභව කරනු පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු.  (අල් කුර්ආන් 2:187)

  1. නිය්යත් හෙවත් චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන බවට අදිටන් කර ගැනීම

දහම් ක්‍රියාවන්හි (ඉහ්ලාස් හෙවත්) චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව (අයහමගින් යහමඟට) නැඹුරු වෙමින් අල්ලාහ් ව නැමදීමට මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. (අල් කුර්ආන් 98 : 5)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

සියලු ක්‍රියවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු සිතන දෑ හිමි වනු ඇත.  මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්

රමළාන් මාසයේ සෑම රාත්‍රියකම හිරු අවරට යැමේ සිට ෆජ්ර් හෙවත් අලුයම උදාවට පෙර (සුබ්හු වේලාවට පෙර) නිය්යත් තැබිය යුතුය. මෙහි අවශ්‍යතාව පිළිබඳ ව හෆ්සා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය අවධාරණය කරයි. එනම් කවරෙකු ෆජ්රයට (සුබ්හු වේලාවට) පෙර උපවාසය සඳහා අදිටන් නොකළේ ද ඔහුට උපවාසය නොමැත යැයි අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කර ඇති බවයි.

රාත්‍රියේ කුමන වේලාවක එය ඉටු කළ ද නිවැරදිය. එය කටින් පැවසිය යුතුය යන කොන්දේසියක් නොමැත. හේතුව එය මානසික ක්‍රියා දාමයක් වන බැවිනි. එහි යථාර්ථය වනුයේ අති ගෞරවනීය අල්ලාහ්ගේ තෘප්තිය පතමින් ඔහුගේ නියෝගයන් පිළිපදිමින් එම ක්‍රියාව අදිටන් කර ගැනීමයි. කවරෙකු අල්ලාහ්ට සමීප වීම සඳහා තහනම් කරුණු වලින් වැළකී සිටීමට රාත්‍රියෙහි උපවාසය සඳහා අදිටන් කරන්නේද ඔහු නිය්යත් තැබූ (අදිටන් කළ) පුද්ගලයකු වෙයි. එමෙන්ම කවරෙකු අල්ලාහ්ට චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව දහවල් කාලයේ උපවාසය කඩ කරන කරුණු වලින් වැළැකීමට අදිටන් කරන්නේ ද ඔහු එය රාත්‍රියේ අදිටන් නොකළ ද ඔහු ද උපවාසය සඳහා නිය්යත් තැබූ (අදිටන් කළ) පුද්ගලයකු වෙයි.

  • උපවාසය අනිවාර්යය වනුයේ කා හට ද?

පහත සඳහන් කොන්දේසි පූර්ණ වූ අය කෙරෙහි රමළාන් උපවාසයෙහි නිරත වීම අනිවාර්යය වේ.

  1. මුස්ලිම්වරයකු වීම
  2. වැඩිවියට පත්වීම: ළමුන් සඳහා උපවාසය අනිවාර්යය නොවන අතර ගැටවර වියේ පසුවන එනම් හොඳ නරක තේරුම් ගත හැකි උදවියට උපවාසය පිළිබඳ ඇල්මක්, ආශාවක්, අල්ලාහ්ට අවනතභාවයක් ඇති කරවාලනු පිණිස සලාතයට අණ කරන්නාක් මෙන් උපවාසය පිළිබඳව ද ඔවුනට අණ කළ හැකිය. ගැටවර වයස යනු වයස අවුරුදු හය හෝ හතට පිවිසුනු උදවියයි.
  3. මනා සිහියෙන් පසුවීම: මන්ද බුද්ධික අය කෙරෙහි උපවාසය අනිවාර්යය නොවෙයි. ඔහු උපවාසයේ නිරත වූයේ නම් එය නිවැරැදි නොවනු ඇත. හේතුව ඔහුගේ සිහිය විකල් වී ඇති බැවිනි.
  4. හයිල් හෙවත් ඔසප් හා නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන තත්ත්වයෙන් පිරිසිදුව සිටීම. හයිල් හා නිෆාස් තත්ත්වයේ පසුවන කාන්තාවන් එයින් පිරිසිදු වන තෙක් උපවාසයේ නිරත වීම සුදුසු නැත. පිරිසිදු භාවයට පත් වූ පසු තමන් අත්හළ දින ගණන් බලා වෙනත් දිනයන්හි උපවාසයේ නිරත විය යුතුය.
  5. උපවාසයේ නිරත වීමට ශක්තිය තිබීම: වයෝවෘද්ධභාවය හේතුවෙන් හෝ සුව නොවන රෝගී භාවය හේතුවෙන් හෝ උපවාසයේ නිරත වීමට නොහැකි උදවියට ද උපවාසය අනිවාර්යය නොවේ. නමුත් සුවය අපේක්ෂිත රෝගියා හා මගියා තම ජීවිතයට හෝ තම දරු ගැබට හානියක් ඇති වේවි යන බියෙන් පසු වන ගර්භිණී කාන්තාව, කිරි දෙන මව වැනි උදවියට උපවාසයෙන් මිදීමට අනුමැතිය ඇත නමුත් ඔවුන් අතපසු වූ උපවාස දින ගණන් බලා වෙනත් දිනවල උපවාසයේ නිරත විය යුතුය.
  • උපවාසයේ විනය

සහර් කිරීම: උපාවසයේ නිරත වන්නා සහ්ර් කිරීම සතුටු දායකය. ඔහු එය අතහැරිය ද ඔහු කෙරෙහි පවක් ඇති නොවේ. එක් අවස්ථාවක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘නුඹලා සහර් කරනු. සැබැවින්ම සහර් කිරීමෙහි අභිවෘද්ධිය ඇත.‘ යනුවෙන් ද තවත් අවස්ථාවක සහර් ආහාරය නුඹලා ගත යුතුයි. ‘සැබැවින්ම එය අභිවෘද්ධියට ලත් ආහාරයකි‘ යනුවෙන් ද පවසා ඇත. එම අභිවෘද්ධියේ බලපෑම වනුයේ උපවාසය රකින්නා, එමගින් ශක්තිය ධෛර්යය හා උපවාසයේ නිරත වීමට පහසුව ලබා ගැනීමයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ. ‘දහවල් කාලයේ උපවාසයේ නිරත වීම සඳහා සහර් කාලයේ ආහාරයෙන් උපකාර ලබන්න. රාත්‍රිය නැමදුමින් ජීවමාන කිරීම සඳහා කයිලූලා (ලුහර් වේලාවට පෙර විවේකය සඳහා ගන්නා) නින්දෙන් උපකාර ලබන්න.‘

උපවාසයේ චේතනාවෙන් කවර දෙයක් අනුභව කළ ද එම සහරය නිවැරදි වේ. එය ජල උගුරකින් හෝ කම් නැත. ‘නුඹලා සහර් ගනු. එය ජල උගුරකින් හෝ වේවා යැයි ද නුඹලා සහර් ගනු එය ආහාර කටකින් හෝ වේවා යැයි ද හදීස් වල සඳහන් ව ඇත.

සහර් හි වේලාව : මධ්‍යම රාත්‍රියෙන් පසු එම කාලය උදා වේ. ‘මාගේ සමූහයා සහර් ආහාරය ප්‍රමාද කර උපවාසයෙන් මිදීම ඉක්මන් කරන තාක් යහපත ලැබීමෙන් ඉවත් නොවනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහර් ආහාරය හා ෆජ්ර් (සුබ්හු වේලාව) අතර වූ කාල පරතරය, අල්-කුර්ආන් වැකි 50ක් පාරායනය කරන තරමට විය.

උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම: මාගේ සමූහයා උපවාසයෙන් මිදීම ඉක්මන් කරන තාක් යහපත ලැබීමෙන් ඉවත් නොවනු ඇත. යන නබි වදනට අනුව හිරු අවරට යාමත් සමඟම උපවාසයෙන් මිදීම වඩා යහපත් වෙයි. ඉඳුණු රට ඉඳි ගෙඩි හා රට ඉඳි මඟින් උපවාස මිදීම වඩාත් සුදුසු වේ. එසේ රට ඉඳි නොලැබුණු විටක ජලය මගින් උපවාසයෙන් මිදිය යුතුය. නබි තුමාණන් නුඹලා අතුරින් කිසිවකු උපවාසයෙන් මිදුණු විට රට ඉඳි වලින් උපවාසයෙන් මිදෙන්න. එසේ නොලැබුණු විටක ජලය මගින් උපවාසයෙන් මිදෙන්න. සැබැවින්ම එය ඉතා පිවිතුරුය.

මග්රිබ් සලාතය අතර හා උපවාසය මිදුණු පසු ආහාර ගැනීම අතර කාලය වෙන් කිරීම සතුටු දායකය. මග්රිබ් සලාතය ඉටු කළ පසු රාත්‍රී ආහාරය ගන්න. සලාතයට පෙර රාත්‍රී ආහාරය ඉක්මන් කළේ නම් එහි වරදක් නැත. නමුත් මග්රිබ් සලාතය ඉෂා සලාතයට කිට්ටු කරමින් එය ප්‍රමාද කිරීම සුදුසු නොවෙයි. උපවාසයෙන් මිදෙන විට ප්‍රාර්ථනාවෙහි නිරත වීම ද සතුටු දායකය

එමෙන්ම උපවාසයේ නිරත වන්නා කවර අවස්ථාවක ප්‍රාර්ථනා කළ ද එය සතුටුදායකය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ.

තිදෙනෙකු සිටිති ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නේ නැත. (ඔවුන්) (පළමුවැන්නා) උපවාසයේ නිරත වන්නා, ඔහු උපවාසයෙන් මිදෙන තුරු. (දෙවැන්නා) යුක්ති ගරුක නායකයා, (තුන්වැන්නා) අපරාධයට ලක් වූ පුද්ගලයාගේ ශාපය.

  • උපවාසය ශීලය සමග තහනම් කරන ලද ක්‍රියාවන්ගෙන් වැළකීම:

තම ආත්මය පිරිසිදු කර ගැනීමටත් එයට යහපත ඇතුළත් කිරීමටත් ෂරීආහ්වෙහි අල්ලාහ් සඳහන් කොට ඇත. ඒ අනුව උපවාසය රකින්නා පාපකම් වලින් ද තහනම් කරනු ලැබූ දැයින් ද අල්ලාහ් මෙනෙහි කළ තක්වා ව (බියබැතිමත්කම) ලබා ගැනීමට එරෙහි වන සියලු කටයුතු වලින් ද දුරස්විය යුතුව ඇත. උත්තරීතර අල්ලාහ් තක්වා  පිළිබඳ ව මෙසේ පැහැදිලි කරයි.

විශ්වාස කළවුනි! නුඹලා බිය භක්තිමත් වීම පිණිස නුඹලාට පෙර වූවනට අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්මය (උපවාසය) අනිවාර්යය කරනු ලැබ ඇත. (අල්-කුර්ආන් 2: 183)

හදීස් ෂරීෆ් හි මෙසේ සඳහන් වේ. නිරාහාර ව පිපාසයෙන් සිටීම පමණක් උපවාසය නොවේ. පුහු කටයුතුවලින් හා පාපකාරී කටයුතු වලින් වැළකී සිටීම උපවාසය වේ. එබැවින් ඔබට යම් කෙනෙකු බැණ වැඳුණේ නම් හෝ ඔබ ව මෝඩයකු බවට පත් කරන්නේ නම් හෝ සැබැවින්ම මම උපවාසයේ නිරත වෙමි යැයි පවසනු.

තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ. කවරෙකු නොමනා කතාවන් හා නොමනා ක්‍රියාවන් අත් නොහළේ ද ඔහු ආහාර ගැනීම හා පානය ගැනීම අතහැර දැමුව ද එහි කිසිදු අවශ්‍යතාවක් අල්ලාහ්ට නොවේ.

තවත් වාර්තාවක උපවාස රකින්නන් කොපමණ දෙනෙක් සිටියත් ඔහු කුසගින්නට පමණක් සීමා වන අතර ඔහුගේ උපවාසයෙන් ඵලක් නොවෙයි. එමෙන්ම රාත්‍රි ජීවමාන කරන්නන් කොපමණ දෙනෙක් සිටියත් ඔහු රාත්‍රියේ අවදි වී සිටීමට පමණක් සීමා වන අතර සහර් හි ප්‍රතිඵල හිමි නොවේ.

මිස්වාක් කිරීම: උපවාසය අතරවාරයේ උපවාසය රකින්නා මිස්වාක් (කට පිරිසිදු කිරීම) සතුටුදායකය. එය දවසේ ආරම්භය හා එහි අවසානය යනුවෙන් වෙනසක් නැත.

දානමාන කිරීම අල් කුර්ආනය හැදෑරීම යන දෙකම සෑම අවස්ථාවකම සතුටුදායකය. නමුත් රමළාන් මාසයේ ඒවා විශේෂ තැනක් හිමි කර ගනී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජනයා අතුරින් දන් දීමෙහි මහත් දානපතියා විය. එමෙන්ම රමළාන් මාසයේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එතුමාණන් ව මුණ ගැසුණු අවස්ථාවේ ඊටත් වඩා මහත් දානපතියා විය. ඔහු එතුමාණන් ව රමළාන් මාසයේ සෑම රාත්‍රියකම මුණ ගැසුණු අතර එතුමාණන්ට අල් කුර්ආනය ද ඉගැන්වූයේය.

රමළාන් උපවාසයේ විනයන් අතුරින් තවත් වැදගත් කරුණක් වන්නේ නැමදුම් කටයුතු කැපවීමෙන් ඉටු කිරීමය. විශේෂයෙන්ම එහි අවසන් දින දහයේ වඩාත් කැපවීමෙන් නැමදුම් කටයුතු ඉටු කළ යුතු වේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන මෙසේ සඳහන් කර සිටියාය.

එතුමාණන් අවසන් දින දහය උදා වූ විට රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. (නැමදුම සඳහා) තම යටි කය තදින් බැඳ ගත්හ.

  • උපවාසය අවලංගු කරන දෑ
  1. උපවාසය රකින්නා පහත සඳහන් ක්‍රියාවන් දැනුවත්වම උවමනාවෙන්ම සිදු කරන්නේ නම් ඔහුගේ උපවාසය අවලංගු වනු ඇත.
  • සංසර්ගයේ නිරත වීම, ශුක්‍රාණු පිට නොවූව ද.
  • ස්වයං වින්දනයකින් හෝ අඹු සැමි පහස විඳීමෙන් හෝ ශ්‍රක්‍රාණු පිටවීම.
  • කට පිරෙන තරමට වමනය ගැනීම.
  • ආහාර පාන ගැනීම.
  • ස්වභාවයෙන් පිහිටුණු කට, නාසය, කන, පසුපස, යෝනිය වැනි සිදුරුවලින් යමක් ඇතුළත් කිරීම. එය දුම, බෙහෙත් වැනි සාමාන්‍ය දෑ වුව ද කාසි, ගල් වැනි අසාමාන්‍ය දෙයක් වුව ද එක සමානය.
  • උපවාසයේ අදිටන වෙනස් වූ විටක එනම් උපවාසය කඩ කරන කිසිදු දෙයක් අනුභව නොකළ ද ඔහු සිතින් උපවාසයෙන් මිදුණෙමි යැයි සිතූ විටක.
  • හිරු අවරට ගොස් ඇතැයි හෝ තවමත් ෆජ්ර් උදා වී නැතැයි සිතා යම් ආහාරයක් හෝ පානයක් ගෙන පසුව එයට පටහැණි දෑ හෙළි වීම.
  1. බොහෝ විද්වතුන්ගේ මතය අනුව තමන් උපවාසයේ නිරත ව සිටින බවට අමතක වී ඉහත සඳහන් යමක් කළ විට උපවාසය අවලංගු නොවන බවය. එමෙන්ම

කට සේදීමේදී ජලය පෙවීම වැනි වැරදීමකින් හෝ බලකිරීමකින් හෝ ඔහුට උපවාසයෙන් මිඳෙන්නට සිදු වූ විට ඔහු පාපියෙකු බවට පත් නොවනු ඇත.

මහමඟ ගමන් කරන්නාට දූවිලි ද, පාන් පෝරණුවේ වැඩ කරන්නාට පෝරණු දුම ද, අරක්කැමියාට කෑම සුවඳ ද වැනි සාමාන්‍ය පොදු කටයුත්තක දී ශරීර ගත වන දෑ ද  උපවාසය බිඳ නොදමයි. හේතුව එය වැළැක්විය නොහැකි කරුණක් හා උවමනාවෙන් සිදු වන දෙයක් නොවන බැවිනි.

කස්තූරි, අන්බර්, රෝස, වතුසුද්ද වැනි ස්වභාවික බාහිර බලපෑමක් ඇති නොකරන සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් උපවාසය නොබිඳෙන අතර සාම්බ්‍රාණි හඳුන්කූරු වැනි බලපෑමක් ඇති කරන වස්තු වල සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් වැළකී සිටිය යුතුය. හේතුව බොහෝ විද්වතුන් අතර ඒවා උපවාසය කඩ කරන කරුණු වෙයි.

  1. වැළැක්විය නොහැකි තරමට මිනිසාට වමනය ඇති වූයේ නම්, එය අධික ව සිදු වූව ද උපවාසයට කිසිදු හානියක් සිදු නොවේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ. කවරෙකුට වමනය ඇති වූයේද ඔහුට එය කළා කිරීමට අවශ්‍ය නොවේ. කවරෙකු උවමනාවෙන් වමනය ගන්නේ ද ඔහු නැවත උපවාසය ඉටු කරත්වා !
  1. උපවාසයේ නිරත වූ කාන්තාවකට ඔසප් තත්ත්වය හෝ නිෆාස් තත්ත්වය ඇති වූ විටෙක ඇයගේ උපවාසය බිඳෙනු ඇත. එය හිරු අවරට යෑමට මද මොහොතකට පෙර සිදු වුවත් ෆජ්ර් උදාවීමට පසුව දහවල ආරම්භයේ දී නතර වූවත් එය ඉතා ස්වල්ප වේලාවක් වූවත් ඇයගේ උපවාසය බිඳෙනු ඇත.
  • උපවාසය අවලංගු වූ විට පිළිපැදිය යුතු විනයන්

පළමුවැන්න:  කෆ්ෆාරා සමග කළා කිරීම අනිවාර්යය වනුයේ

කිසිදු හේතුවකින් තොරව ආහාර පාන ගැනීමෙන් හා අඹු සැමි ඇසුරෙහි නිරත වීමෙන් උපවාසය කඩ කළ අය කෙරෙහිය.

දෙවැන්න : කෆ්ෆාරා දීමෙන් තොරව කළා කිරීම අනිවාර්ය වනුයේ

සුවය අපේක්ෂිත රෝගයක්, ගමනක් වැනි අනුමත හේතුවකින් උපවාසය ශීලය බිඳුණු අය කෙරෙහි ද

ඔසප්, නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු ගලන රුධිර අවස්ථාව, කිරි පෙවීම, ගැබ්ගෙන සිටීම වැනි හේතූන් මත උපවාසය ශීලය බිඳුණු අය කෙරෙහි ද

කට සේදීමේදී ජලය ගිලීමෙන් හෝ හිරු අවරට ගොස් ඇතැයි සිතා ආහාර ගැනීමෙන් හෝ තවමත් හිරු උදා වී නොමැතැ යි සිතා ආහාර ගැනීමෙන් උපවාස ශීලය බිඳුණු අය කෙරෙහි ද

බලකිරීම් හේතුවෙන් උපවාස ශීලය බිඳුණු අය කෙරෙහි ද වේ.

තුන්වැන්න: වැළකී සිටීම අනිවාර්යය වනුයේ එනම් ශුද්ධ වූ මාසයේ මහිමය සැලකිල්ලට ගෙන රමළාන් දහවල් කාලයේ කෑමෙන් බීමෙන් වැළකී සිටීම අනිවාර්යය වනුයේ

කිසිදු හේතුවකින් තොරව උපවාස ශීලයෙන් මිදුණු අය කෙරෙහි ද

බලපෑමක් හේතුවෙන් උපවාස ශීලයෙන් මිදුණු අය කෙරෙහි ද

වැරදීමක් හේතුවෙන් උපවාසයෙන් මිදුණු අය කෙරෙහි ද වේ.

නමුත් හයිල්, නිෆාස් හා ගමනක් හේතුවෙන් උපවාසය මිදුණු අය කෙරෙහි එසේ වැළකී සිටීම අනිවාර්යය නොවේ.

  • කළා (අතපසු වූ දෑ නැවත) කිරීමේ නීතිය

කළා කිරීමට බැඳුණු අය උපවාසය කඩ කළ දිනයන් ගණන් කර එම දිනයන් සඳහා වෙනත් දිනයන් හි උපවාසයේ නිරත වීම අනිවාර්යය වේ.

කළා කිරීමට බැඳුණු අය රමළානයට පසුව එය ඉටු කිරීමට යුහුසුලු විය යුතුය. කළා කිරීමේ වේලාව ඊළඟ රමළානය දක්වා හෝ ඔහුගේ මරණය දක්වා පිහිටයි.

ඊළඟ රමළානයට පසුව ද කෙනෙකු කළා කිරීම ප්‍රමාද කරන්නේ නම් එමෙන්ම ඔහු එය කිසිදු හේතුවකින් තොරව ප්‍රමාද කළේ නම් ඔහු පාපියෙකු බවට පත් වේ. බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ ඔහු ෆිද්යා ලබා දිය යුතු බවයි. ප්‍රමාද කිරීමට හේතුවක් ඇති වූ විටෙක එසේ ප්‍රමාද කිරීමෙහි වරදක් නොවේ.

  • කෆ්ෆාරා හෙවත් වන්දි ලබා දීමේ ක්‍රමය

රමළාන් මාසයේ උවමනාවෙන්ම උපවාසය කඩ කිරීම හේතුවෙන් අනිවාර්යයෙන්ම දිය යුතු වන්දිය කරුණු තුනින් එකක් මත පැවරේ. එනම්

  1. වහලෙකු නිදහස් කිරීම
  2. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීම
  3. දුගියන් හැට දෙනකුට ආහාර සැපයීම

මේ අතුරින් ඔහු වෙත පැවරෙන මුල්ම කරුණ වනුයේ වහලෙකු නිදහස් කිරීමය. ඒ සඳහා හැකියාව නොලැබූ විටෙක දෙවැනි කරුණටත් එයට ද හැකියාව නොලැබූ විටෙක තුන් වැනි කරුණටත් යන පිළිවෙළට පැවරෙනු ඇත.

ආහාර සැපයීම යන්නෙන් අදහස් වනුයේ රටේ ප්‍රධාන ආහාරයෙන් මුද්දු එකක ප්‍රමාණයක් දුගියකුට ලබා දීමයි. මුද්දු යනු සාමාන්‍ය දෝතක් පුරවන තරම් වූ ප්‍රමාණයයි.

කාන්තාවකට ඔසප් ඇති වීම හා දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වැගිරීම අඛණ්ඩත්වය බිද නොදමයි.

උපවාසය අනිවාර්යය වූ තත්ත්වයේ එය ඉටු නොකරම මිය ගිය උදවිය

උපවාසය අනිවාර්යය වූ තත්ත්වයේ මිය ගිය අය වූ කලී රෝගී බව හේතුවෙන් හෝ ගමනක් හේතුවෙන් හෝ උපවාසය නැවත ඉටු කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණු විටෙක ඔහු කෙරෙහි කිසිදු වගකීමක් නොපැවරෙන බව විද්වතුන් බොහෝමයකගේ මතයයි.

නමුත් උපවාසය අනිවාර්යය වී එය නැවත ඉටු කිරීමට ශක්තිය ඇතත් එය ඉටු නොකරම මිය ගිය අය වූ කලී අත්හළ සෑම දිනයක් සඳහාම ඔහු වෙනුවෙන් දිළින්දන්ට ආහාර සැපයීම හෝ ඔහු අත්හළ උපවාස දින ගණන් බලා ඔහු වෙනුවෙන් උපවාසය රැකීම ඔහුගේ භාරකරු වෙත පැවරෙන වගකීමකි.

  • උපවාසයේ අනුමත දෑ

උපවාසය රකින්නා ජලයට බැස ඒ තුළ පිහිනා ස්නානය කිරීමට අනුමැතිය ඇත. හේතුව අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ මෙසේ වාර්තා කළහ. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උපවාසය රකින්නෙකු ව සිටිය දී පිපාසය හේතුවෙන් හා උෂ්ණත්වය හේතුවෙන් තම හිසට ජලය වක්කර ගත්හ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටින්නීය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ  ජුනුබ් (ස්නානය අනිවාර්ය වූ) තත්ත්වයේ අවදි වන්නෙකු ව සිටියහ. එවිට එතුමා උපවාසයේ නිරත වී පසුව ස්නානය කළහ.

ඇසට ජල බිඳු යෙදීම හෝ සුරුමා ගැල්වීම යන සියල්ල අනුමැතිය ඇති කරුණුය. නමුත් ඇස් සිදුරට වැටුණේ නම් ඒ දෙක උපවාසය කඩ කරනු ඇතැයි යනුවෙන් පවසන අයගේ ප්‍රකාශයද අවධානයට ගෙන සීමාව ඉක්මවා යාමෙන් තොරව එසේ සිදු කර ගැනීමට අනුමැතිය ඇත.

තමන්ගේ ආශාවන් මැඩ පවත්වා ගත හැකි උදවිය සිප ගැනීමට අනුමැතිය ඇත. හේතුව උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ දිනක් මම උද්යෝගයෙන් යුතුව අවදි වූයෙමි පසුව මම උපවාසයේ නිරත ව සිටිය දී ම මම සිප ගතිමි. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙතට පැමිණ අද මම අති බැරෑරුම් කටයුත්තක් කළෙමි. මම උපවාසයේ නිරත ව සිටියදී සිප ගතිමි යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ ජලයෙන් කට කළත්වා සේදුවහොත් ඔබ උපවාස රකින්නෙකු වෙත්දැ යි විමසා සිටියහ. එවිට මම එය වරදක් නොවේ යැයි පැවසුවෙමි එසේ නම් ඔබ මෙසේ අසනුයේ මන් දැයි පැවසූහ.

වඩාත් නිවැරදිම ප්‍රකාශය වනුයේ තම කාමාශාව ඇවිස්සෙන අය සිප ගැනීම පිළිකුල් සහගත වන බවය. නමුත් වඩාත් යෝග්‍ය වනුයේ එයින් වැළකී සිටීමය. එසේ නොවන උදවිය සිප ගැනීම වරදක් නොවනු ඇත. එම විෂයෙහි තරුණයා හා මහල්ලා යන්නෙහි වෙනසක් නොමැත. මෙහි අවධානයට ගත යුත්තේ කාමාශාව හට ගැනීමත් ශුක්‍රාණු පිටවීමත්ය. තරුණයකුගේ හෝ ශක්තිමත් මහල්ලෙකුගේ කාමාශාව ඇති වූයේ නම් එය පිළිකුල් සහගතය. නමුත් මහල්ලාට හෝ දුර්වල තරුණයාට එසේ ඇති නොවූයේ නම් පිළිකුල් සහගත නොවෙයි. නමුත් වඩාත් යෝග්‍ය වනුයේ එය අතහැර දැමීමයි. අතිනතට දීමෙහි හා වැලඳ ගැනීමෙහි නීතිය ද සිප ගැනීමේ නීතියම වේ.

ආහාරය පිණිස වුව ද වෙනත් කරුණක් සඳහා වුව ද එන්නත් විඳීමත් එය නහරයන් තුළ වුව ද සම යටින් වුව ද පිහිටුනත් එය උපවාසය බිඳ නොදමයි. හේතුව එය සාමාන්‍ය සිදුරු වලින් නොව අසාමාන්‍ය ලෙසින් ශරීරගත වීමය.

තවද කට ජලයෙන් කළත්වා සේදීමටත් නාසය ජලයෙන් පිරිසිදු කිරීමටත් අනුමැතිය ඇත. නමුත් එම කටයුත්තෙහි සීමාව ඉක්මවා නොයා යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. නුඹ ජලයෙන් නාසය පිරිසිදු කරන්නේ නම් හොඳින් සෝදන්න. නමුත් උපවාසය රකින අයෙකු වී නම් මිස.

උපවාසකරුට රමළාන් රාත්‍රියෙහි අලුයම උදා වන තෙක් ආහාර පාන ගැනීමටත් අඹු සැම ඇසුරෙහි නිරත වීමටත් අනුමැතිය ඇත. අලුයම උදා වන විට ඔහුගේ කටේ ආහාර තිබේ නම් එය එළියට ගැනීමත් ඔහු අඹු සැමි ඇසුරෙහි නිරතව සිටින්නේ නම් එයින් ඉවත් වීමත් ඔහුට අනිවාර්යය වේ.

  • උපවාසයේ නිරත වීමට තහනම් කරන ලද දිනයන්

පළමුව: තහනම් උපවාසයන් හා වැළකී සිටිය යුතු උපවාසයන්

  1. ඊදුල් අල්හා හා ඊදුල් ෆිත්ර් යන අවුරුදු දෙදින උපවාසයේ නිරත වීම තහනම් බවට ඉස්ලාමීය නීති විද්වතුන් ඒකමතික ව තීරණයට එළැඹ ඇත. උමර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසය මේ සඳහා සාධක වශයෙන් ඔවුහු ගෙන හැර පාති. එනම් සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම දෙදින උපවාසයේ නිරත වීම තහනම් කළහ. අල්හා දිනය වූ කලී එදින නුඹලා කරන කුර්බාන් මස් අනුභව කරන්නෙහිය. ෆිත්ර් දිනය වූ කලී එදින නුඹලා නුඹලාගේ උපවාසයෙන් මිදෙන්නෙහුය.
  1. අය්යාමුත් තෂ්රීක් දිනයන්හි උපවාසය:

යවුමුන් නහ්ර් නම් ඊදුල් අල්හා අවුරුදු දිනට පෙර ව පවතින දින තුන වේ. මෙම දිනයන්හි උපවාසයේ නිරත වීම තහනම් යන්නට සාධක වශයෙන් කඃබ් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය ගෙන හැර දක්වා ඇත. එනම් සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු හා අවුස් ඉබ්නු අල් හද්දසාන් යන දෙදෙනා ව අය්යාමුත් තෂ්රීක් යන දිනයන්හි එවා දේව විශ්වාසවන්තයා හැර වෙන කිසිවෙකු ස්වර්ගයට ඇතුළු නොවන බවත් එම දිනයන් මිනාවෙහි රැඳී සිටින දිනයන් බවත් එය ආහාර පාන ගන්නා දිනයන් බවත්   නිවේදනය කර සිටියහ.

  1. විසාල් උපවාසය එනම් දින දෙකක් හෝ ඊට වැඩි දින ගණනක් සාමාන්‍ය පරිදි කිසිවක් අනුභව නොකොට අඛණ්ඩ ව උපවාසයේ නිරත වීමයි. එම කටයුත්ත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පමණක් ආවේණික වූ නීතියකි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසාල් කිරීම තහනම් කළේය. එවිට සහාබිවරු අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ තුමා විසාල් ක්‍රමයට උපවාසයෙහි නිරත වන්නෙහිය. යැයි පවසා සිටියහ. එවිට එතුමාණෝ  නුඹලාත් මා මෙන් ද? සැබැවින්ම මම රාත්‍රිය ගත කරමි. මාගේ පරමාධිපති මට ආහාර සපයයි. මට පානය සපයයි.

තවත් වාර්තාවක එතුමාණෝ නුඹලාට විසාල් කිරීම ගැන මම අවවාද කරමි යැයි දෙවතාවක් පවසා සිටියහ. එවිට ඔබ එසේ විසාල් කරනවා නොවේදැ යි විමසනු ලැබූ විට සැබැවින්ම මම මාගේ පරමාධිපති අබියස රාත්‍රිය ගත කරමි. එවිට ඔහු මට ආහාර සපයයි. පානය සපයයි. එබැවින් නුඹලාට හැකියාව ඇති ක්‍රියාවන් පමණක් උසුලන්නැයි පවසා සිටියහ.

දෙවනුව : පිළිකුල් සහගත උපවාසයන්

  1. ජුමුආ දිනයට පමණක් උපවාසය සීමා කිරීම.

ඉස්ලාමීය විද්වතුන් බොහෝමයක මතය වනුයේ ජුමුආ දිනයේ පමණක් උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවය. ඒ සඳහා පහත සඳහන් හදීසය ඔවුහු සාධක කර ගත්හ.

මුහම්මද් ඉබ්නු උබ්බාද් ඉබ්නු ජඃෆර් තුමා විසින් වාර්තා කරන ලදී. ජුමුආ දිනයේ උපවාසයේ නිරත වීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළේ දැ යි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් මම විමසා සිටියෙමි. එයට ඔහු එසේය යැයි පිළිතුරු දුන්නේය.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දුන් වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජුමුආ දිනයේ පමණක් නුඹලා උපවාසයේ නිරත නොවන්නැයි පවසා සිටි බව සඳහන් වී ඇත.

ජුමුආ දිනයට පෙර දින හෝ පසු දින සමඟ එකතු කොට උපවාසයේ නිරත වූයේ නම් හෝ සිරිතක් වශයෙන් ඉටු කරන උපවාසයක් භාරයක් වශයෙන් ඉටු කරන උපවාසයෙක් හෝ අනිවාර්යය උපවාසයක් එයට සාපේක්ෂිත ව පිහිටුණු විට ජුමුආ දිනයේ උපවාසයේ නිරත වීමට අනුමැතිය ඇත.

  1. සෙනසුරාදා දිනයට පමණක් උපවාසය සීමා කිරීම:

ඉස්ලාමීය විද්වතුන් බොහෝමයක මතය වනුයේ ද සෙනසුරාදා දිනයේ පමණක් උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවය. ඊට පෙර දින හෝ පසු දින සමඟ එකතු කොට උපවාසයේ නිරත වූයේ නම් එය පිළිකුල් සහගත නොවනු ඇත.

ඒ සඳහා සාධයක් ලෙස ගනුයේ අබ්දුල්ලාහ් ඉබ්නු බෂර් තුමා ඔහුගේ සහෝදරිය අස්-සමාආ විසින් වාර්තා කළ හදීසයයි. එය මෙසේය. නුඹලා කෙරෙහි අනිවාර්යය වූ උපවාස අවස්ථාවක හැර සෙනසුරාදා දින පමණක් උපවාසයේ නිරත නොවනු. මිදි වැලක කෝටුවක් හෝ ගහක පොත්තක් හැර වෙන කිසිවක් නුඹලාගෙන් කිසිවෙකුට නොලැබුණේ නම් එය විකන්න. යැයි අල්ලාහ්ගේ දූතයණන් ප්‍රකාශ කර සිටියහ.

  1. කාලය පූරාම උපවාසයේ නිරත වීම:

එනම් උපවාසයෙන් මිදීමකින්, විවේකයකින් තොරව අඛණ්ඩ ව උපවාසයේ නිරතවීමයි.

ඇතැම් විද්වත්හු පුරා කාලයක් අඛණ්ඩ ව උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත යැයි පවසති. ‘අඛණ්ඩ ව උපවාසයේ නිරත වන්නාට උපවාසය නොමැත. අඛණ්ඩ ව උපවාසයේ නිරත වන්නාට උපවාසය නොමැත.‘ යන හදීසය  ඒ සඳහා සාධකයක් වශයෙන් ගෙන ඇත.

නමුත් විද්වතුන් බොහෝමයක මතය වනුයේ අය්යාමුත් තෂ්රීක් දිනයන්හි හා අවුරුදු දෙදින වැනි උපවාසය තහනම් කළ දිනයන් හි උපවාසයෙන් මිදී අනෙකුත් දින වල අඛණ්ඩ ව උපවාසයේ නිරත වීමට අනුමැතිය ඇති බවය.

  1. යව්මුෂ් ෂක් හෙවත් සැක සහිත දින උපවාසයේ නිරත වීම එය ෂඃබාන් මස 30 වැනි දිනයයි.

එදින උපවාසයේ නිරත වීම වළක්වා ඇති බවට සාධක වශයෙන් ගෙන හැර දක්වනුයේ අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයයි. එනම් කවරෙකුට (එදින ෂඃබන් හි ආරම්භක දින ද රමළාන් හි අවසාන දින ද යන්න ගැන) සැකය ඇත්තේ ද එදින උපවාසයේ නිරත වන්නා අබූ කාසීම්ට පිටුපැවේය යන හදීසයයි.

  • අතිරේක උපවාස

ෂව්වාල් මාසේ දින හයක් උපවාසයේ නිරත වීම

මෙම උපවාසය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනයාට දිරිදෙමින් මෙසේ ප්‍රකාශ කළහ.

කවරෙකු රමළාන් මාසයේ උපවාසයේ නිරත ව පසුව එයට පසු ව ෂව්වාල් මාසයේ දින හයක් උපවාසයේ නිරත වූයේ ද ඔහු පුරා කාලයක් උපවාසයේ නිරත වූ අයකු මෙනි. හේතුව රමළාන් මාසයේ උපවාසය මාස දහසකින් ප්‍රගුණ වන අතර ෂව්වාල් මාසය මාස දෙකකින් ප්‍රගුණ වන බැවිනි.

  • zකාතුල් ෆිත්ර්

රමළාන් මාසයේ අවසන් කාලය පැමිණි විට තමන්ගේ උපවාසය හා තමන් කළ ක්‍රියාවන් අල්ලාහ් පිළි ගත යුතුයි යන අපේක්ෂාවෙන් මුස්ලිම්වරු පසු වෙති. රමළාන් මාසයේ සිදු වූ වැරදි හා නොමනා ක්‍රියාවන්ගෙන් උපවාසකරු පිවිතුරු වී මිදීමක් ලෙස ද අවුරුදු දින දිළින්දන් සඳහා වූ ආහාරයක් ලෙස ද අල්ලාහ්  සzකාතුල් ෆිත්රා ව ආගමානුගත කළේය.

අවුරුදු සලාතයෙන් පසු එය ලබා දීම සඳහා ප්‍රමාද කිරීම සුදුසු නොවේ. අවුරුදු දිනට පෙර එය ඉටු කිරීමට අනුමැතිය ඇත.

මුස්ලිම්වරයකු තමන් වෙනුවෙන් තමන්ගෙන් යැපෙන පවුලේ සෑම සාමාජිකයකු වෙනුවෙන් ද ඔහුගේ සේවකයින් වෙනුවෙන්ද සzකාත් ෆිත්රා ලබා දීම අනිවාර්යය වේ. එය රටේ ප්‍රධාන ආහාර වේලෙන් කි.ග්‍රෑම් 2.5 කට සමාන වන සේ ආහාර වශයෙන් හෝ එහි වටිනාකම මුදලින් හෝ නිකුත් කළ හැක.

  • රමළාන් මාසයේ රාත්‍රී කාලයේ නැමදුම් ඉටු කිරීම

රමළාන් මාසයේ රාත්‍රි සලාතයන්හි නිරත වීම හෝ තරාවීහ් සලාතය ඉටු කිරීම කාන්තා හා පුරුෂ යන දෙපිරිසටම සුන්නාහ්වක් වේ. එය ඉටු කරනු ලබන්නේ ඉෂා සලාතයෙන් පසු විත්ර් සලාතයට පෙර රකආත් දෙක දෙක බැගිනි. විත්ර් සලාතයට පසුව පවා එය ඉටු කළ හැක. නමුත් එය ඉතා යෝග්‍යතම ක්‍රියාවට පටහැණිය. රාත්‍රිය අවසානය තෙක් එම කාලය පවතී. අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් කණ්ඩායමක් විසින් මෙසේ ප්‍රකාශ කර තිබේ. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තිර ව නියෝග කිරීමකින් තොරව රමළාන් මාසයේ රාත්‍රි සලාතයන් හි නිරත වීම ගැන දිරිගැන්වූහ. එතුමාණෝ මෙසේ පවසා සිටියහ. කවරෙකු විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන්  රමළාන් මාසයේ රාත්‍රි සලාතයන්හි නිරත වන්නේ ද ඔහු කළ පෙර පව් වලට ඔහුට සමාව දෙනු ලැබේ.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරන්නීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ සලාතය ඉටු කළහ. ජනයා අතුරින් බොහෝ දෙනා ද එතුමාණන් සමඟ සලාතය ඉටු කළෝය. පසු දිනත් එතුමාණෝ සලාතයේ නිරත වූහ. එවිට ඔවුහු තවත් අධික වූවෝය. තුන් වැනි දින ඔවුහු ඒ සඳහා එක්රැස් වූවෝය. නමුත් නබි තුමාණන් නිවසින් පිටතට ආවේ නැත. පසුදින උදෑසන උදා වූ කල්හි නබි (සල්) තුමාණන් මස්ජිදයට පැමිණ “නුඹලා කළ දෑ මම දුටුවෙමි. නිවසින් පිට වී නුඹලා වෙත පැමිණීමට මා වළක්වාලීයේ නුඹලා කෙරෙහි මෙය අනිවාර්යය වේ දෝ යි යන බිය හැඟීමයි.“ යනුවෙන් වදාලහ.

  • අල් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටීම

විද්වතුන්ගේ ඒකමතික තීරණය වනුයේ ඉඃතිකාෆ් නමැති ක්‍රියාව ආගමානුගත කළ එකක් බවය. සෑම රමළාන් මාසයකම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දින දහයක් ඉඃතිකාෆ් හි කල් ගත කළහ. එතුමාණන් මරණයට පත් වූ වසරේ දින විස්සක් ඉඃතිකාෆ් හි කල් ගත කළහ. (මූලාශ්‍රය : බුහාරි අබූදාවූද් හා ඉබ්නු මාජා) එතුමාණන්ගේ සගයන් හා බිරියන් එතුමාණන් සමඟ ඉඃතිකාෆ්හි කල් ගත කළ අතර එතුමාණන්ගෙන් පසුව ද මොවුන් එම කටයුත්තෙහි නිරත වූහ.

ඉඃතිකාෆ් හි සිටින්නා අතිරේක නැමදුම් ඉටු කිරීම,   අතිරේක සලාත් ඉටු කිරීම, අල්කුර්ආන් පාරායනය කිරීම, තස්බීහ් (අල්ලාහ් ව සුවිශුද්ධ කරමින් සුබ්හානල්ලාහ් යැයි) පැවසීම, තහ්මීද් (අල්ලාහ්ට ප්‍රශංසා කරමින් අල්හම්දු ලිල්ලාහ් යැයි) පැවසීම, තහ්ලීල් (අල්ලාහ්ගේ ඒකීය භාවය තහවුරු කරමින් ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි) පැවසීම, තක්බීර් (අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් අල්ලාහු අක්බර් යැයි පැවසීම, පාප ක්ෂමාවෙහි නිරත වීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට සලාම් හා සලවාත් පැවසීම ප්‍රාර්ථනාවන්හි නිරත වීම වැනි මැවුම්කරු වෙත සමීප විය හැකි, ඔහු සමඟ වූ සම්බන්ධතාව වර්ධනය කර ගත හැකි, තම අවනතභාවය පෙන්වා දෙන කටයුතු වල නිරත වීම සතුටුදායකය.

 

Contents

 

الصفحة العنوان م
1 උපවාසයේ මහිමය සහ රමළාන් මාසයේ මහිමය 1
  රමළානයේ උපවාසය අත්හළ පුද්ගලයින්ගේ නීතිය 2
   අර්කානුස් සියාම් හෙවත් උපවාසයේ මූලිකාංග 3
  උපවාසය අනිවාර්යය වනුයේ කා හට ද 4
  උපවසයේ විනය 5
   උපවාසය ශීලය සමග තහනම් කරන ලද ක්‍රියාවන්ගෙන් වැළකීම 6
  උපවාසය අවලංගු කරන දෑ 7
  උපවාසය අවලංගු වූ විටෙක පිළිපැදිය යුතු වින 8
  කළා (අතපසු වූ දෑ නැවත) කිරීමේ නීතිය, කෆ්ෆාරා හෙවත් වන්දි ලබා දීමේ ක්‍රමය 9
  උපවාසයේ අනුමත දෑ 10
  උපවාසයේ නිරත වීමට තහනම් කරන ලද දිනයන් 11
   අතිරේක උපවාස 12
  zකාතුල් ෆිත්ර් 13
  රමළාන් මාසයේ රාත්‍රී කාලයේ නැමදුම් ඉටු කිරීම 14
   අල් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටීම 15

 

Leave a Reply

Your email address will not be published.