සුවිශේෂිවූ දහම ඉස්ලාම්

මුළු ලොව වාසි ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමය වූ ඉස්ලාම් දහම මිනිස් ආකල්ප තුළින් බිහිවූ දහමක් නොව අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට දායාද කරන ලද ජීවන සැලැස්මකි.

සකල ලොව හිමියන් ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම්: ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි:
“නියත වශයෙන්ම අල්ලාහ් ඉදිරියේ (පිළිගැනුනු) දහම ඉස්ලාම් වේ. ධර්ම ග්‍රන්ථය අනාවරණය කරනු ලැබූවන් (මෙයයි සත්‍ය ධර්මය යන) පැහැදිළි ඥානය ඔවුන්ට ලැබුනු පසුද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන්ම (මෙයට) වෙනස්කම් දැක්වූහ. යමෙකු අල්ලාහ්ගේ වැකියන් ප්‍රතිෙක‍ෂ්ප කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා සීඝ්‍ර බව (ඔවුන්) වටහා ගත යුතුය”. (ශුද්ධවූ අල්කුර්ආනය 3: 19).

“කවුරුන් ඉස්ලාම් හැර වෙනත් දහමක් පිළිගනිවී ද ඔහුගෙන් එය කිසි විටෙක නොපිළිගැනේ. තවද ඔහු අවසාන දිනයෙහි පාඩු විඳින්නෙකු ද වේ.” (ශුද්ධවූ අල්කුර්ආනය 3: 85).

“ඔවුන් සොයන්නේ අල්ලාහ්ගේ දහම නොවන දහමක් ද? අහස් ගැබන්හි හා මහ පොළොවේ පවතින සියල්ල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටහත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු ගෙන එනු ලබන්නේ ඔහු වෙතමය.” (ශුද්ධවූ අල්කුර්ආනය 3: 83).

ඉස්ලාම් සම්පූර්ණවූ ජීවන සැලැස්මකි:

“මා අද දින ඔබලා වෙනුවෙන් ඔබලාගේ දහම සම්පූර්ණ කළෙමි, තවද මා ඔබලාට මාගේ දායාදයන් ද පරිපූර්ණ කළෙමි, තවද ඉස්ලාම් ඔබගේ දහම ලෙස මා පිළිගත්තෙමි.” (ශුද්ධවූ අල්කුර්ආනය 5: 3).

මෙලොව පවතින බොහෝ සංකල්ප තවත් ශාස්තෘවරයකුගේ පැමිණීම අපේක‍ෂා කරමින් සිටී, එවැනි අනාවැකි ඔවුන්ගේ ආගමික ඉගැන්වීම වල පවතින බැවින් ඔවුන් අනාගත ගැලවුම් කරුවෙකු පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටිති. මේ තුළින් ගම්‍යමාන වන ඉතා වැදගත් කරුණක් නම් ඔවුන් සතුව පවතින දහම සම්පූර්ණ නොවන බවයි. සම්පූර්ණ නොවූ දහමක් තුළින් කෙසේ නම් කෙනෙකු ජයග්‍රහණය අපේක‍ෂා කළ හැකි ද? මදක් මේ පිළිබඳ ඔබ සිතා බැලියු යුතුයි නොවේ ද? නමුත් ඉස්ලාම් සම්පූර්ණවූ ජීවන ක්‍රමයක් බව ශුද්ධවූ අල්කුර්ආනය පැහැදිළිව සඳහන් කරයි.

මිනිසාගේ භාහිර හා අභ්‍යන්තර අවශ්‍යතා මැනවින් අධ්‍යයනය කර මිනිසාට ඉතා සුදුසු මඟ පෙන්වීමක් ඉස්ලාම් ලබා දෙයි. මන්ද, සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් මානවයාගේ මැව්ම් කරුවා බැවින් ඔහුට පමණයි එවැනි මඟ පෙන්වීමක් ලබා දිය හැක්කේ. මිනිසා සතු ඥානය ඉතා සීමිත බැවින් සම්පූර්ණවූ ජීවන සැලැස්මක් මිනිස් බුද්ධියෙන් පිරිනැමිය නොහැක.

ඉස්ලාම් ස්වභාවිකවූ ජීවන සැලැස්මකි:

“(ශාස්තෘවරයානනි!) ඔබේ රුව නිර්මල (ඉස්ලාම්) දහමෙහි ස්ථීරව තබනු. අල්ලාහ් මිනිසාව කුමන (දහමෙහි) නිර්මාණය කළා ද එයයි ඔහුගේ (නිත්‍යවූ) ස්වභාවික මග. ඔහුගේ නිර්මාණයෙහි කිසිදු වෙනසක් නැත, එයයි නිත්‍යවූ මග. නමුත් මිනිසුන්ගෙන් බහුතරයක් (මෙය) නොදනිති.” (ශුද්ධවූ අල්කුර්ආනය 30: 30).

“උපතින් සෑම දරුවෙකුම ඉස්ලාමීය ස්වභාවිකත්වය තුළ උපන්නේය. නමුත් ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව යුදෙව්වරු, කිතුවරු, ගින්නට පුදන්නන් බවට පත්කරන්නෝය.” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. වාර්තාකරන්නේ: අබූහුෙරෙරා (රලි), (මුලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

සෑම මනුෂ්‍යයෙකුම උපත ලැබූ ස්වභාවිකවූ මඟ ඉස්ලාම් යනු ශුද්ධවූ අල්කුර්ආනය හා නබි (සල්) තුමන්ගේ ප්‍රකාශ තුළ පැහැදිළිව සඳහන් වෙයි. මනුෂ්‍ය වර්ගයාගෙන් බහුතරයක් මේ යථාර්ථය අවබෝධ නොකර ජීවත්වීමේ අවාසනාවන්ත තත්ත්වය ද එම වැකිය අවසානයෙහි සඳහන් වීම කොයි කවුරුත් අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කාරණයකි.

ඉස්ලාම් ඉතා පහසු හා ප්‍රායෝගික වූ දිවි පෙවතකි:

“තවද අල්ලාහ් (තම නියෝගයන්) ඔබට ඉතා පහසුකරන්නටම සිතයි. මන්ද, මිනිසා ඉතා දුර්වලව මවනු ලැබ ඇත්තේය.” (ශුද්ධවූ අල්කුර්ආනය 4: 28).

“අල්ලාහ් ඔබලාට පහසුව පි්‍රය කරන අතර අපහසුව ඔබලාට ඔහු පි්‍රය නොකරයි.” (ශුද්ධවූ අල්කුර්ආනය 2: 185).

“අල්ලාහ් කිසිදු ආත්මයකට එහි ශක්තියට වඩා බලකරන්නේ නැත.” (ශුද්ධවූ අල්කුර්ආනය 2: 286).

“ඔබලාට හැකි අයුරින් අල්ලාහ්ට බියවන්න.” (ශුද්ධවූ අල්කුර්ආනය 64: 16).

“මේ දහමෙහි අල්ලාහ් ඔබලාට කිසිදු අපහසුතාවක් ඇති නොකළේය.”  (ශුද්ධවූ අල්කුර්ආනය 22: 78).

අවසන් දූතවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයන් වෙත මදකට අපේ අවධානය යොමු කරමු:

“සැබවින්ම (ඉස්ලාම්) දහම ඉතා පහසුවූ (දිවි පෙවෙතකි)” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි), (මූලාශ්‍රය: බුහාරි).

වරක් නබි (සල්) තුමන්, තම මිතුරන් අමතා ‘(ජනයාට) පහසු කරන්න, අපහසු නොකරන්න, සුභ පතන්න (ජනයාව) ඵළවා නොහරින්න” (විස්තර කරන්නේ: අනස් (රලි), මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

තවත් වරක් නබි (සල්) තුමන් තම මිතුරන් අමතා “ඔබලාව එවනු ලැබ ඇත්තේ ජනයාට පහසු කිරීම පිණිසයි, අපහසු කිරීම පිණිස නොවෙයි.”  (මූලාශ්‍රය: බුහාරි).

ඉස්ලාම් දහම දැඩි නීති රීතීන්ගෙන් සමන්විත දහමකි යන වැරදි මතයක සිටින සහෝදරවරුන් ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් මැනවින් කියවා බලා එම මතය තමන්ගෙන් තුරන් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. මිනිස් ශක්තිය ඉක්මවා කිසිදු ඉගැන්වීමක් ඉස්ලාම් තුළ නොමැත. මන්ද, සර්ව බල සම්පන්න අල්ලාහ් අසීමිත දයාළු වන්තයා හා අපරිමිත කරුණා වන්තයාය. ඔහු මානවයාට යහපත පමණයි ප්‍රිය කරන්නේ.

ඉස්ලාම් ඉතා සුරක‍ෂිත වූ දහමකි:

ඉස්ලාම් දහමෙහි මූලාශ්‍රයන් වන ශුද්ධවූ අල්කුර්ආනය හා අවසන් දූතවරයාගේ ජීවිතය ඉතා සුරක‍ෂිතව පවති. එය කිසිදු විකෘති කිරීමකින් තොරව ඉතා පිවිතුරුව පවති. එබැවින් මානවයා සුරක‍ෂිත නොවූ දහමක් පිළිපදිමින් අතරමං වීමට අවශ්‍ය නැත.

“අපියි මෙම ග්‍රන්ථය අනාවරණය කළේ අපිම මෙය ආරක‍ෂා කරමු” (ශුද්ධවූ අල්කුර්ආනය 15: 09).

ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය වී ශත වර්ෂ 14 ක් ගතවී ගොස් අවසන්ය. නමුත් මෙම පොරොන්දුව කිසිවෙකුට තවමත් අභියෝගයට ලක් කිරීමට නොහැකි විය. මේ තුළින් ඔප්පුවන්නේ සැබවින්ම ශුද්ධවූ අල්කුර්ආනය දේව ග්‍රන්ථයකි යනු නොවේ ද?. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මෙම පොරොන්දුව ලෝක අවසානය තෙක් කිසිවෙකුට අභියෝගයට ලක් කළ නොහැක.

3 comments

Leave a Reply to Burhan Cancel reply

Your email address will not be published.