ඔබට නියම සැනසීම අවශ්‍යද?

ඉහත ප්‍රශ්නයට අවිවාදයකින් තොර ඔබ සපයන පිළිතුර ‘ඔව්’. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට පෙර ඔබ කවුදැයි මුලින්ම හඳුනාගත යුතුය. එවිටයි ඔබට නියම සැනසීම ළඟා කරගැනීමට හැකිවනු ඇත්තේ. ඔබව හඳුනාගැනීමට නම් ඔබ මවන ලද ස්වභාවිකවූ මග කුමක්දැයි සොයාගත යුතුයි.  

ශුද්ධවූ අල්කුර්ආනය ඔබට මෙසේ පිළිතුරු සපයයි: “(ශාස්තෘවරයානනි!) ඔබේ රුව පිවිතුරු (ඉස්ලාම්) දහම වෙත මුළුමනින් හරවා ස්ථීරවනු! කුමන (දහමෙහි) අල්ලාහ් මානවයා නිර්මාණය කළාද එයයි ඔහුගේ (සැබෑවූ) ස්වභාවිකවූ මග, අල්ලාහ්ගේ නිර්මාණයන්හි වෙනසක් නැත, එයයි සදාතනිකවූ දහම. නමුත් බහුතරයක් (මෙය) නොදනිති’. (ශු අල්කුර්ආනය 30: 30).

ඔබ මවනු ලැබුවේ කුමක් සඳහා ද?

ශුද්ධවූ අල්කුර්ආය ඔබට මෙසේ පිළිතුරු සපයයි:

‘මා ජින් හා මිනිසා නිර්මාණය කළේ මා හට යාඥා කිරීම පිණිසයි’ (ශු අල්කුර්ආනය 51: 56).

ඉහත පාඨයේ සඳහන් ‘ජින්’ යනු, ගින්නෙන් මවන ලද නිර්මාණයකි. මැටියෙන් මිනිසා මැවූ සර්ව බලසම්පන්න අල්ලාහ්ට ගින්නෙන් තවත් නිර්මාණයක් මැවීම යනු සුළු කාර්්‍යයකි. මිනිසා සේම ඔවුන් ද අල්ලාහ්ට අවනතව ජීවත් විය යුතුය.

‘මරණය හා ජීවිතය නිර්මාණය කළේ ඔබලා අතුරින් කවුරුන් යහපත කරන්නේ යනු පරීක‍ෂණය කිරීම සඳහායි’  (ශු අල්කුර්ආනය 67: 02).

‘සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතුය. අවසන් විනිශ්ච දිනයෙහි ඔබලාගේ (ක‍්‍රියාවන්ට) ප්‍රතිඵල මුළුමනින් හිමිවනු ඇත, එබැවින් කවුරුන් (නිරයෙහි) ගින්නෙන් ආරක‍ෂාවී ස්වර්ගයට ප්‍රවිශ්ට කරනු ලබයි ද ඔහු සැබවින්ම ජය ගත්තේය. මෙලොව ජීවිතය මායාවක් දෙන (සුළු වින්දනයක්) මිස වෙන කිසිවක් නැත’ (ශු අල්කුර්ආනය 3: 185).

ඔබ වටා ඇති මෙතරම් සුවිශාල විශ්ව සැලැස්ම කුමක් සඳහා ද?

ශුද්ධවූ අල්කුර්ආනය ඔබට මෙසේ පිළිතුරු සපයයි:

‘අහස් ගැබන්, පොළෝ තලයන් හා ඒ අතර පවතින දේ අපි නිකමට නිර්මාණය නොකළෙමු’. (ශු අල්කුර්ආනය 21: 17).

‘අහස් ගැබන්, පොළෝ තලයන් හා ඒ අතර පවතින දේ අපි නිකමට නිර්මාණය නොකළෙමු. මේ දෙක සත්‍ය (හේතුවක් මත) මිස අපි නිර්මාණය නොකළෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් (මෙය) නොදනිති. සැබවින්ම විනිශ්ච දිනයයි ඔවුන් සියල්ලන්ට නියම කරනු ලැබූ වේලාවයි’ (ශු අල්කුර්ආනය 44: 38-40). 

ඔබේ ගමනේ අන්තය කුමක් ද?

ශුද්ධවූ අල්කුර්ආනය ඔබට මෙසේ පිළිතුරු සපයයි:

‘ඔබලා ඵළායන මරණය නියතයෙන්ම ඔබලා හමුවනු ඇත, පසුව ඔබලා අදෘශ්‍යමාන හා ප්‍රසිද්ධ දේ හොඳින් දන්නා (අල්ලාහ් වෙත) යළි පමුණුවනු ලැබ, ඔබලා කරමින් සිටි දේ ඔබට ඔහු දන්වන්නේය යනුවෙන් (දූතවරයානනි) පවසන්න.’ (ශු අල්කුර්ආනය 62: 8).

“අපි ඔබලාව නිකමට නිර්මාණය කළ බව හා ඔබලා යළි අප වෙත නොපැමිණෙන බව සිතාගෙන සිටිනවා ද?” (ශු අල්කුර්ආනය 23: 115).

“ඔබලා යළි අල්ලාහ් වෙත පමුණුවනු ලබන දිනයට බියවන්න, සෑම ආත්මයක්ම ඉපැයූ දෙයට ප්‍රතිඵල දෙනු ලැඛෙයි, ඔවුන් (කිසිම අයුරකින්) අයුක්තියට නොලක්වෙයි”  (ශු අල්කුර්ආනය 2: 281).

“සියල්ලෙහි බලය සතු (හිමියන්) පරිශුද්ධය. සියල්ල ඔහු වෙත යළි හැරෙන්නේය” (ශු අල්කුර්ආනය 36: 83).

පැය කිහිපයක සාමාන්‍ය ගමනක් යන විට පවා ඕනම බසයකට ඔබ ගොඩවන්නේ නැත. නියමිත ස්ථානයට සේන්දු විය හැකි බසයකටයි ඔබ ගොඩවන්නේ. එසේ නම් අවුරුදු හැටක, පනහක දීර්ඝ වූ ජීවිත ගමන තුළ කෙසේ නම් ඔබ ඕනම බසයක නැග ගමන් කළ නොමග යා හැක්කේ? ඉහත සඳහන් ශු අල්කුර්ආන් පාඨයන් යළි වරක් විවෘත සිතකින් කියවන්න.

ඔබ ප්‍රිය කරන්නේ තාවකාලික සැනසීමක් ද? සැබෑ වූ සදාතනික සැනසීමක් ද?

ඉහත ප්‍රශ්නයට නිසැකයෙන්ම ඔබේ පිළිතුර වනුයේ මා අපේක‍ෂා කරන්නේ සදාතනික සැනසීමකි. එසේ නම් ඔබ මෙලොව ජීවිතයේ යථාර්ථය හරි හැටි අවබෝධ කරගත යුතුය.

එසේ නම්, ඔබට හැඟෙනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා සිටින හිත මිතුරන්, පවුලේ ඥාතීන් ඔබගේ නියමිත මරණය වළක්වයි කියා හෝ, ඔබේ මරණින් පසු සරණ වෙයි කියා හෝ ඔබ සිතනවාද? ඔබ බොහෝ ලැදිව සුරැකී ඔබේ මිළ මුදල් ඔබට නියත මරණය වළක්වයි කියා, මරණින් පසු සරණවෙයි කියා ඔබ සිතනවාද? ඔබ සෑහෙන මුදල් කන්දරාවක් වැයකර ඉදිකළ ඔබේ නිවසෙහි, මාළිගාවෙහි ඔබව භුමිදාන කරයි කියා ඔබ සිතනවාද? මෙලොව පවතින්නාවූ භාග්‍යන් සදාතනිකයි කියා ඔබට හැෙඟනවාද? ඔබ මෙලොවින් සමුගැනීමෙන් පසු ඔබේ බිරිඳ, දුදරුවන්, හා ඥාතීන් ඔබ පිළිබඳවම තැවුලෙන් පසුවී ලෞකීක කටයුතු අමතක කරයි කියා ඔබ සිතනවාද? ඔබේ හෙට පිළිබඳ ස්ථීර විශ්වාසයක් ඔබට තබාගත හැකිද? මෙම ජීවිතය සදාතනික නොවූ, තාවකාලික වූ පැවැත්මක් පමණයි.

දැන් ශුද්ධවූ අල්කුර්ආනය වෙත මදකට ඔබ අවදානය යොමු කරන්න:

(ශාස්තෘවරයානනි!) ඔබ පවසන්න: “මෙලොව සැප අල්පය, මතු ලොව (සැප) බිය බැතිමතුන්ට ඉතා උසස්ය.” (ශුඅල්කුර්ආනය 4: 77).

“මිනිසුනි! සැබවින්ම (සර්ව බල සම්පන්න) අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. එබැවින් මෙලොව ජීවිතය කිසිවිටක ඔබව මුළා නොකළ යුතුය. තවද (දුෂ්ඨ ෂෙයිතාන්) මුළා කරන්නා ඔබව අල්ලාහ්ගෙන් මුළා නොකළ යුතුය.” (ශු අල්කුර්ආනය 35: 5).

“වරක් නබි (සල්) තුමන් අල්ලාහ් මත දිවුරා සැබවින්ම මෙලොව ජීවිතය මතු දිවියත් සමග සසඳන විට සංඥා ඇඟිල්ල දිගුකර මෙය සාගරය තුළට දමා යළි ගත් විට එහි තැවරී ඇති ජලය කොපමණ ද? ඒ තරම් අල්පය” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

වරක් නබි (සල්) තුමන් තම මිතුරන්ගෙන් “ඔබලා අතුරින් යමෙකු තම ධනයට වඩා තම පරම්පරාවට අයිති ධනයට ප්‍රිය කරයිද? එයට රැස්ව සිටී මිතුරන් (තම පරම්පරාවේ ධනයට වඩා) අපි ප්‍රිය කරන්නේ අපේ ධනයට බව එක හඬින් පිළිතුරු දුන්හ. එනම් කෙනෙකු (මිය යෑමට පෙර අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කළ ධනයයි ඔහුට අයිතිවන්නේ. ඔහු (මිය යන විට) හැර යන ධනය ඔහුගේ පරම්පරාවට අයිති වේ” යනුවෙන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), (මූලාශ්‍රය: බුහාරි).

මෙලොව ජීවිතයේ සැනසීම යනු තවකාලිකය. අපි කැමත්තෙන් හෝ අකැමත්තෙන් මෙලොව ජීවිතයට සමු දිය යුතුය. නමුත් මතු ලොව ජීවිතය යනු සදාතනිකය, එහි ලැඛෙන සෞභාග්‍යයන් ද සදාතනිකය.

ඔබ සර්ව බල සම්පන්න අල්ලාහ්ට අවනතව ජීවත් වන විට ඔබට දෙලොවෙහිම සැනසීම  ළඟා කරගත හැක. ශ=ද්ධවූ අල්කුර්ආනය තුළින් ඔහු ඔබට මෙසේ පොරොන්දු වෙයි:

“කවුරුන් විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරයිද ඔවුන්ට (සියළු) සෞභාග්‍යයන් ඇත, තවද යහපත් නවාතැන ද ඇත.” (ශු අල්කුර්ආනය 13: 29).

“විශ්වාසවන්තයින්ගේ අභ්‍යන්තර සැනසීම අල්ලාහ් සිහිකිරීම තුළින්ය. දැනගන්න අල්ලාහ් සිහිපත් කිරීම තුළින් සිත් සැනසෙනු ඇත” (ශුඅල්කුර්ආනය 13: 28).

‘පිරිමීන් හා කාන්තාවන් අතුරින් කවුරුන් විශ්වාසවන්තයින් ලෙස යහපත් කි්‍රයාවන් කරයිද ඔවුන්ට අපි සෞභාග්‍යමත් ජීවිතයක් පිරිනමමු’ (ශු අල්කුර්ආනය 16: 97).

ඔබට සදාතනික සැනසීම උදෙසා වූ මං පෙත් විවර කිරීමට ඔබ ඉදිරියේ පවතින එකම මඟ ඉස්ලාම් වේ. එය සකල ලොව හිමියන් විසින් මානවයාට දායාද කරනු ලැබූ ජීවන සැලැස්ම වේ.

සකස් කිරීම: අස්හර් යූසුෆ්

Leave a Reply

Your email address will not be published.