මිනිසා යනු කවරෙක්ද? – 09

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

අප බෙහෙතක් මිළදි ගන්නා විට එය කුමන රෝගයක් සඳහා උචිතද‚ පාවිච්චි කළ යුතු ක්‍රමය, එහි මුලික ඖෂධ සුත්‍රය කුමක්ද? එහි අයපත් ඵල කුමක්ද? යනාදී විස්තර  අඩංගු පත්‍රිකාවක් එම ඖෂධයේ නිෂ්පාදකයා විසින් සපයන බව අපි දනිමු. එය අපට එම ඖෂධය පිළිබඳව මගපෙන්වීමක් ලබා දෙයි. භාණ්ඩයක් මිළදී ගන්නා විට  එය ප්‍රයෝජනයට ගත යුතු ආකාරය, ඒ සම්බන්ධව නොකළ යුතු දෑ ආදී විස්තර අඩංගු අත්පොතක් හෝ කැටලොගයක් සපයනු ලැබේ. එහි අඩංගු විස්තර අපට එම භාණ්ඩය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට මග පෙන්වයි. එහෙත් මිනිසා තමා කවුද? පැමිණියේ කුමක් නිසාද? යනාදී ප්‍රශ්නයන්ට පැහැදිළි පිළිතුරු නොදැන මෙලොව පහළ වු මිනිසාට පිළිතුරු සපයන අත්පොතක් හෝ මගපෙන්විමක් ඔහු සමග පැමිණියේ නැත. මේ හේතුවෙන් ජීවිතයේ අත්‍යවශ්‍ය යථාර්ථය නොදන්නා මිනිසා තමා ගැන මිහිතලය හා අහස ගැන විවිධ මත ඇති කරගත්තේය. තමා ගැන බලන කළ මවිත කරවන බුද්ධියක් හා ශාරීරික ශක්තියක් ඔහු දකී. එහෙත් තම උපත ගැන කිසිදු තීරණයකට ඔහු සම්බන්ධ වුයේ නැත. බාහිර ලොව දෙස බල‍න මිනිසා විස්තර කළ නොහැකි තරම් විශාල විශ්වය සහ අසීමිත සම්පත් එහි දකී. මේවා මොනවාද? මේ ප්‍රශ්නවලට පිලිතුරු කිසිවක් ඔහු නොදනී. ඔහුට දෑස් තිබෙන නමුත් සියළු දැයෙහි බාහිර පැත්ත පමණක් ඔහුට පෙනේ. ඔහුට බුද්ධිය තිබෙන නමුත් මිනිසාගේ බුද්ධිය ඔහු ගැන දන්නේ ඉතා අල්පයකි. එමෙන්ම මනසේ ස්වභාවය හෝ එය ක්‍රියා කරන්නේ කෙසේ දැයි මිනිසා නොදනී. මෙවන් නොසෑහෙන ඉන්ද්‍රීය  ශක්තිය ඇති මිනිසා තමා ගැන නිවැරදි නිගමනයකට  බසින්නට හෝ විශ්වය ගැන අවබෝධ කර ගන්නට තම ස්වයං බුද්ධිය පමණක් පදනම් කරගෙන අසමත් වෙයි.

මෙම ප්‍රහේළිකා සියල්ල අල්ලාහ්ගේ ග්‍රන්ථය විද්‍යාත්මක පදනමකින් යථාර්ථයට එකඟ විය හැකි අයුරින් විචාර බුද්ධියට අනුකුලව හා තර්කයට ගෝචර වන අයුරින් පහදා දෙයි. ජීවිතයේ සියළු යථාර්ථයන් ගැන පැහැදිළි දැනුම සැපයිය හැකි එකම ග්‍රන්ථය අල්-කුර්ආනය පමණක් බව සැකයෙන් තොරව පැවසිය හැක. අල්-කුර්ආනයේ මගපෙන්වීමෙන් තොරව මිනිසාගේ මුලික යථාර්ථය හා විශ්වය තේරුම් ගන්නට උත්සාහ කළ අය ඇතෙකුගේ සිරුරේ විවිධ අවයවයන් ස්පර්ශ කරමින් ඇතාගේ ස්වභාවය ගැන විග්‍රහ කරන්නට උත්සාහ කළ අන්ධ පිරිස හා සමානය. විශ්වය හා එහි අඩංගු සියළු දෑ නිර්මාණය කොට පාලනය කරන්නාවු පරම අධිපතිගේ මග පෙන්වීමෙන් තොරව කටයුතු කරන චින්තකයින්ගේ  හා දර්ශනවාදින්ගේ ස්වභාවය ද මෙවැනි වේ.

සත්‍යය, ස්ව උත්සාහයෙන් සොයන්නට තම  මුළු ජීවිත කාලයම කැපකළ අය කිහිපදෙනෙක්  සිටි අතර  ‍තම වෑයම අසාර්ථක වු බව දැක සමහරු තම ජිවිතය පවා අවසන් කරගන්නා තත්ත්වයකට පත්වුහ. තවත් පිරිසක් සත්‍යය සොයන්නට නොහැකිව  අනුමානය හා කල්පිතයන්  මත පමණක් පදනම් වු චින්තන මිශ්‍රණයක් ඉදිරිපත් කළෝය. එක් පිරිසක් වැරදි අනුමානයන් මත ලොවට තම නිගමනයන් ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් තම අසරණභාවය දරාගත නොහැකිව මෙම ගුප්ත ලෝකය හැර දමා ගියහ. මෙම දෙපිරිසට යථාර්ථය සොයා ගත නොහැකි වුයේ ජිවිතයේ සියළු රහසෙහි උල්පතේ හිමිකරුගේ සහාය නොමැතිව එහි අප්‍රකාශිත  කොටස දැනගන්නට උත්සාහ කිරිම නිසාය. මෙය මිනිසාට සිතීමට හා පහදා ගන්නට හැකියාව තිබෙන බව සැබෑ වුවත් දෑස් තිබු නිසාම දැකීමේ හැකියාව නොමැති අතර දැකීමේ හැකියාව ලැබෙන්නේ අන්ධකාරය දුරලන බාහිර අලෝකය ලැබුනහොත් පමණක් වන තත්ත්වය හා සමාන තත්ත්වයකි. ආලෝකය ඇති විට දැකීමේ හැකියාව ඇසට ලැබෙන්නේය. විශ්වයේ නිර්මාතෘගේ  මග පෙන්වීමෙන් තොරව මිනිසාට තම බුද්ධිය පමණක් උපයෝගි කරගෙන ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට නොහැකි අතර එය පෙනීම ඇති දෑසට ආලෝකය නොමැතිව අන්ධකාරයේ සිටගෙන සියල්ල දැකගැනිමට දරන්නාවු ප්‍රයන්තයක් හා සමානය. එහෙයින් මිනිසාට මිහිතලය මත වු තම කෙටි ජිවිතය සාර්ථකව හා අර්ථවත් ලෙසින් වත්මන් හා අනාගත යන කුමන යුගයක වුවත් සකස්කර ගන්නට අල්-කුර්ආනයේ මග පෙන්වීම යල්පැන ගිය එකක් බවට පත්නොවී සදාජීවමාන සහ සදා අර්ථවත් එකක් බවට අනිවාර්යයෙන් ම සකස් වි ඇත. දැනට අවුරුදු 1400ට පෙර පහළ වු මෙම ඉගැන්වීම් හා මගපෙන්වීම් වලින් එකක් වත් නුතනයට නුසුදුසු හෝ  ඔබින්නේ නැති එකක් බවට පත් වි ඇත්දැයි අපි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු. එහි අඩංගු සමහර කරුණු ඔබගේ පාරම්පරික සම්මතයන්ට පටහැණි බව එහි පෘෂ්ඨය පමණක් දකින්නෙකුට හැ‍ගෙන්නට ඉඩ තිබේ. ඉස්ලාමය එක් ප්‍රදේශයකට හෝ නිශ්චිත ජන කොට්ඨාශයට පමණක් සිමා වු එකක් නොවේ. එය විශ්ව දහමකි. එහි නිතිරීති හා මග පෙන්වීම් මිහිතලය මත සියළු ජනයාට එකඟ විය හැකි හා සුදුසු එකක් ලෙසින් සකස් වි තිබිය යුතුය. එහෙයින් ඔබගේ සීමිත කෝණයෙන් නිරික්ෂණය කරන විට එහි ඔබගේ සම්මත චින්තනයට පටහැණි කරුණු තිබෙන බව හැඟෙන්නට ඉඩ තිබේ. නමුත් ඉස්ලාමයේ ඉගැන්වීම්හි හරය නිවැරදිව විද්‍යානුකුලව හා ගැඹුරින්  විමසා බලන්නෙකුට එහි සියළු ඉගැන්වීම්හි නිශ්චිත සදා වලංගුභාවය මෙන්ම හරවත් භාවය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published.