මිනිසා යනු කවරෙක්ද? – 10

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

අල්-කුර්ආනය සදා වලංගු පණිවිඩයක් වීමට අත්‍යවශ්‍ය දෙවන කරුණ වන්නේ එය පහළ කරනු ලැබු භාෂාව සදා ජීවමාන එකක් විය යුතුය යන්නය. එය පහළ කරනු ලැබු භාෂාව ක්‍රමයෙන් ජනවහරින් ඉවත් වෙමින් හෝ ඉවත් වුවක් ලෙස හෝ ඇති නම් එම පණිවිඩය ජනයාට සදා ප්‍රයෝජනවත් ලෙසින් අවබෝධ කරගෙන එමගින් තම ජිවිතය සකස් කරගැනිමට හැකි එකක් බවට පත් නොවනු ඇත. අල්කුර්ආනය පහල කරනු ලැබූ භාෂාව ගැන පමණක් විචාරාත්මක විමසුමක යෙදෙන්නෙකුට එහි ඇති ප්‍රාතිහාර්යජනක ස්වභාවය අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. අල්-කුර්ආනය හැර පැරණි දහම් බිහි වු භාෂා සියල්ලම වාගේ මිනිස් භාවිතයෙන් ඉවත් විමෙන් අනතුරුව ඓතිහාසික ලේඛණාගාරයන්ට පමණක් නුතනයේදී සිමා වි ඇත. හීබෲ, ඇරමයික්, ලතින්, කොයිනේග්‍රීක්  (ශුද්ධ වු  බයිබලයේ  නව ගිවිසුමේ මුල් පිටපත් ලියා ඇති භාෂාව) මෙන්ම මගධ, පාලි,හා සංස්කෘත භාෂාවන් දැනට මිනිස් භාවිතයෙන් ඉවත් වි මිය ගිය භාෂාවන්ගේ ඝණයට වැටී ඇත.

මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සදහා එක් උදාහරණයක් පමණක් සළකා බැලීම ප්‍රමාණවත් යැයි සිතන්නෙමු. ජේසු තුමා කථා කළ භාෂාව ඇරමයික් වුවත් ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ මුල් පිටපත් තිබෙන්නේ එම භාෂාවෙන් නොව ග්‍රීක බසින්ය. එනම් අද තිබෙන කිතුණු මුලාශ්‍රයන්  ග්‍රීක බසින්  කළ සටහන් පමණක් වන අතර එම ග්‍රීක බසද නුතන ග්‍රීක  බසට හාත් පසින්ම වෙනස් වු එකක් ද වන්නේය. මෙම භාෂාව හැඳින්වුයේ කොයිනේ ග්‍රීක භාෂාව වශයෙනි. මෙම භාෂාව මිනිස් භාවිතයෙන් ඉවත් වු එකක්ව තිබු හෙයින් ශුද්ධ වු  බයිබලයේ නව ගිවිසුමෙහි වචන 550 කට පමණ එනම් සම්පුර්ණ ග්‍රන්ථයේ 12% පමණ අර්ථය කිසි‍වෙක් දැන නොසිටියේය. ඇඩෝල්ෆ් ඩෙයිස්මන් නම් ජර්මන් ජාතික විශේෂඥයෙක් ඊජිප්තුවේ පැරණි සෙල්ලිපි කිහිපයක් සොයා ගත්තේය. බයිබලයේ මුලාශ්‍රයන් ලියා ඇති බස උසස් සාහිත්‍යමය ග්‍රීක භාෂාව නොව කථා ව්‍යවහාරයට භාවිතා කරන එකක් පමණක් යැයි එම සෙල්ලිපි වලින් හෙළිදරව් වුනි. සැබැවින්ම මෙම බස පළමු වන සියවසේ පලස්තීනයේ  භාවිතා කරන ලද බවද  සොයා ගන්නා ලදී. තේරුම් නොදන්නා වචන රාශියකට අර්ථ යොදන්නට ඩෙයිස්මන්ට හැකි වු නමුත් අර්ථය නොදන්නා  වචන 50 ක් පමණ එහි තවමත් ඉතිරිව ඇත. මෙම විස්තර උපුටා ගනු ලැබුවේ-“The Gospels and the Jesus of History” by Xavier Leon Dufour- යන ග්‍රන්ථයෙනි.

ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ වචන 50 ක පමණ අර්ථය එහි ග්‍රික මුලාශ්‍රයන්ගෙන් අවබෝධ කර ගැනිමට අදටත් නොහැකිව තිබේ නම් බයිබලයේ පරිපුර්ණ පණිවිඩය ජනයාට ලබා ගැනිමට හැකි වී තිබේද යන්න ගැන ඔබටම නිගමනය කර ගැනීමට හැකි වනු ඇතැයි සිතන්නෙමු. තම මුලාශ්‍රයන් ලියු භාෂාව මිය ගිය භාෂාවක් බවට පත් වුවාවායින් පසුව විවිධ අනුමාන කිරීම් හා අර්ථ නිරුපණයන් පදනම් කරගෙන නුතන භාෂාවන්ට පරිවර්ථනය කරන ලද්දක් බවට ශුද්ධවු බයිබලය තිබේ නම් එය කෙරෙහි පරිපුර්ණ විශ්වාසයකින් යුක්තව කටයුතු  කිරීමට කෙසේ නම් හැකිවන්නේද යන්න    අප විසින් සිතා බැලිය යුතු නොවන්නේද?

භාෂා ගැටළුව නිසා ආගමික මුලාශ්‍රයන්ට සිදු වි ඇති හානිය පිළිබදව තවත් උදාහරණයක් පහතින් ගෙන හැර දක්වන්නට  කැමැත්තෙමු. “ චිත්ත ධර්ම විද්‍යා” 2007 අප්‍රියෙල් කලාපයට බෞද්ධ පර්යේෂණ ලිපි මාලාවේ “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කුමක්ද”? යන මාතෘකාව යටතේ  විශ්‍රාම ලත්  නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි. එම් ගුණපාල මහතා විසින් ලියා පළ කොට තිබු ලිපියෙන් පහත දැක්වෙන කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ත්‍රිපිටකය අයත් පොත් 2580 පාලි භාෂාවෙන් ලිව්වේ  බුද්ධඝෝෂ  හා ඔහුගේ අනුගාමික හතරවේදය උගත්  හින්දු බමුණන් විසිනි.  හෙළ බසින්  එදා තිබු “කුරුන්දි”අටුවාව “පච්චරී” අටුවාට හා  “මහා අටුවාව” යන පොත් තුනක ලියා තිබු බුද්ධ ධර්මය ආශ්‍රය කරගෙනය ඔවුන් එම පරිවර්තනය සිදු කළේ. එම පරිවර්තනය ගැන මහා විස්තරයක් “2005  මැයි මස චිත්ත ධර්ම විද්‍යා ” සඟරාවේ 14 වැනි පිටුවේද 2005 ජුනි සඟරාවේ 18 වැනි පිටුවේද “බුද්ධ බමුණු මහා සටන”යන ලිපියෙන්ද විස්තර කර ඇත. එය නැවත කියවා බලන්න. බුද්ධ ඝෝෂ විසින් නියම බෞද්ධ ත්‍රිපිටකයේ තිබු “නිවන් මග හා අභිධර්ම”විකෘති කොට ඊට හින්දු අභිධර්ම  ඇතුළත් කොට පාලි භාෂාවෙන් නව  ත්‍රිපිටකය ලිව්වේය. එවකට මහා විහාරයේ සිටි බෞද්ධ හිමිවරුන් හෙළ බසේ කෙළ පැමිණි අය වුවත් පාලි භාෂාවේ මහා දැනීමක් ඇති අය නොවුහ. එබැවින් විකෘති කොට පරිවර්තනය කළ ත්‍රිපිටකය හිස් මුදුනින් පිලිගත්හ. බුදුරජාණන් වහන්සේ ශ්‍රි මුඛ භාෂාව වු පාලි භාෂාවෙන්ම බුද්ධ ධර්මය උගන්වන්නටත් ඉගෙන ගන්නටත් කැමැති වු අප සංඝ රත්නය. හෙළ  බසින්  රචනා  කර තිබු  “මහා අටුවාව‚ පච්චරි අටුවාව‚ හා කුරුන්දි අටුවාව” නුගන්වා නොසළකා හරින ලදී. බුද්ධ ඝෝෂ කළ හරිය හොඳින් දන්නා සිවුරු පොරවා ගෙන පාලි ඉගැන්වීමේ යෙදීසිටි බමුණෝ මහා විහාරයේ තිබු පැරණි හෙළ අටුවා  ග්‍රන්ථයෝ ක්‍රම ක්‍රමයෙන් විනාශ කර දැමුහ. ඔවුන් එසේ කළේ යම් විදියකින් අනාගයේදි බුද්ධ ඝෝෂ කළ ඒ මහා වංචාව හෙළිවෙතැයි යන බිය සැකයෙනි. ලක්දිව හෙළ බසින් තිබු අටුවා තුන (ග්‍රන්ථ තුන) මහා ග්‍රන්ථ 2580 ක් කොට ත්‍රිපිටකය ලියා ඇත. එයින්ම ඔබට පෙනෙනවා ඇති කො‍තෙක් හින්දු මිත්‍යා ධර්මයන් මෙම ත්‍රිපිටකය ට ඇතුළත් කර ඇද්ද කියා.

Leave a Reply

Your email address will not be published.