මිනිසා යනු කවරෙක්ද? – 12

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

කුර්ආනයේ අඩංගු තවත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් විමසා බලන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා  කරන්නෙමු. අවුරුදු 1400ට පෙර කිසිම අයුරකින් මෙම කරුණු දැන ගැනිමේ හැකියාවක් මිනිස් දැනුමට නොතිබු අතර සැබැවින්ම මෙම සියළු කරුණු  ඉතා  නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මෙවැනි භෞතික සාක්ෂි 1000 කට ආසන්න ප්‍රමාණයක් කුර්ආනයේ අඩංගු වි ඇත. මෙම අතිවිශාල භෞතික සාධක වලින් එකක්වත් නුතන විද්‍යාත්මක සොයා ගැනිම් වලට කිසිම පරස්පරතාවයකින් තොරව පැවතිම මෙම දේව ග්‍රන්ථයේ විශාලතම  ප්‍රාතිහාර්යයි. මිනිස් ඉන්ද්‍රයන්ට ගෝචර නැති කුර්ආනය පවසන පාර භෞතික කරුණු (දෙවිදුන්‚ මරණින් මතු ජිවිතය‚ ස්වර්ගය‚ නිරය වැනි කරුණු) විශ්වාස කිරිමට හා සත්‍යයැයි පිළිගැනිමට මෙම භෞතික කරුණු පිළිබදව ඇති ප්‍රාතිහාර්යය ජනක සත්‍යය අපට නියත වශයෙන්ම උපකාර වන්නේය. අවුරුදු 1400ක හෝ එයට වඩා පැරණි කිසිම ග්‍රන්ථයක මේ ආකාරයෙන් කිසිම වැරැද්දකින් හෝ නුතන සොයා ගැනිම් වලට පරස්පර වන අයුරකින් තොරව භෞතික කරුණු මෙතරම් විශාල සංඛ්‍යාවක් සදහන් එකම ග්‍රන්ථයක්වත් මිහිපිට නිශ්චිත වශයෙන්ම නොමැත. මෙම කරුණත් අපට සාක්ෂි දරන්නේ කුර්ආනය මනුෂ්‍ය නිර්මාණයක් නොව‚ සහතික වශයෙන්ම සර්වඥානි මුලාශ්‍රයකින් ලැබුන පණිවිඩයක් බව නොවේද? අල්කුර්ආනයේ වැරදි‚ මතභේද හෝ පරස්පරයන් නොමැති බව අල්කුර්ආනයම සාක්ෂි දරයි. එපමණක්ද නොව එසේ පරස්පරතාවයන් ඇත්නම් මෙම ග්‍රන්ථය දේව පණිවිඩයක් නොවන බවද නිර්භයව හා අභියෝගාත්මකව අල්කුර්ආනය ලෝකයාට හඩනගා පවසයි. මේ සම්බන්ධව ඇති අල්කුර්ආන වාක්‍යය විමසා බලමු.

“ඔවුන් (විශ්වාස නොකරන්නෝ) මෙම අල්කුර්ආනය ගැඹුරින් අධ්‍යායනය කළ යුතු නොවේද?මෙය අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන්  පහළ වු පුස්තකයක් නම්  මෙහි අන්තර්ගතයේ (වැරදි හා ) පරස්පරයන්ද ඔවුන් විසින් දකින්නට තිබුණි”. (අල්කුර්ආනය 4 වන පරිච්ඡේදය 82 වැනි වාක්‍යය)

මෙවන් අභියෝගාත්මක අල්කුර්ආන් ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරමින් එහි අඩංගු විද්‍යාත්මක කරුණු කිහිපයක් පමණක් විමසුමට ලක් කරමු.

ලොව බොහෝ විශ්ව විද්‍යාල වල භුවිද්‍යාව හදාරණ සිසුන් භාවිතා කරන පෙළපොතක් වන පෘථිවිය (The Earth) ග්‍රන්ථයේ එක් කර්තෘවරයෙකු  වු මහාචාර්ය ෆ්‍රෑන්ක් ප්‍රෙස් (Frank Press) හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ විද්‍යා උපදේශකයාව සිටි අතර ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ (National Science Academy of U.S.A.) සභාපති ලෙස අවුරුදු 12 ක් කටයුතු කළ අයෙකි. මෙම පෘථිවය නම් ග්‍රන්ථයේ 435 වන පිටුවේ  සදහන් වන්නේ  විශාල කඳු වැටි  වලට පොළොව අභ්‍යන්තරයට  දිව යන මුල් ඇති බවය. මෙම මුල් ඉතා තදින් පොළොව හා බැඳී ඇති අතර එය කුඤ්ඤයක් (peg) ලෙස කටයුතු කරමින් පොළොවෙහි ස්ථායිභාවයට උපකාරි වන බවයි. ටර්බක් (Tarbuck) හා ලුට්ජෙන්ස් (Lutgens) විසින් ලියන ලද භූ විද්‍යාව (Earth Science) නැමැති ග්‍රන්ථයේද 157 පිටුවෙහි මෙවැනිම අදහසක් මහා කඳු සම්බන්ධ සදහන් කොට ඇත. පෘථිවි තැටි (Plate Tectonics) භු විද්‍යාඥයින් විසින් පෘථිවිය සම්බන්ධව සොයා ගත් ඉතා නුතනම දැනුමයි. මෙම තැටි ස්ථායි තත්ත්වයේ තබා ගැනිමටත් කදු උපකාරිවන බව විද්‍යාඥයින්ගේ මතයයි.

“ඔබ හා පොළොව කම්පා නොවන පරිදි විශාල කඳුද පිහිටෙව්වේය” (අල් කුර්ආනය 16 වන පරිච්ඡේදය – 15 වන වගන්තිය )

“අප පොලොව ඇතිරිල්ලක් ලෙසද කඳු කුඤ්ඤයක් ලෙසද (නොකළෙම්ද?) (අල්කුර්ආන් 78 වන පරිච්ඡේදය 6-7 වැනි වගන්තිය)

කුර්ආනය පහළ කරන ලද 7 වන සියවසේ මිනිසාගේ විශ්වාසය වුයේ අහස පොළොව අද්දර පිහිටි කුළුණු  දෙකක් බඳුවු කඳු දෙකක් මත පිහිටා ඇති අතර පොළොව සමතලා එකක් බවත්ය. එම යුගයේ මිනිසාගේ අවිද්‍යාත්මක පිලිගැනිම් ප්‍රතික්ෂේප කොට නිවැරදි මතයක් ස්ථාපිත කරන්නටද කුර්ආනයේ පණිවිඩය කටයුතු කොට ඇත.

“ඔහු ඔබ දකින කුළුණු කිසිවක් නොමැතිව අහස් නිර්මාණය කළේය.  පොළොව ඔබ හා නොසැලෙනු පිණිස ඔහු තිරසාර හෙල් ස්ථාපිත කලේය”. (අල්කුර්ආන් 31 වන පරිච්ඡේදය -10 වැනි වැකිය)

මිහිතලයේ හැඩය කුමන ආකාරයේ එකක්ද යන්න විද්‍යාඥයින් නිශ්චිතව සනාථ කර ගන්නේ ඉතිහාසයේ ශතවර්ෂ පහකට අඩු කාලයක් ඇතුළතය. කුර්ආනය හැරෙන්නට කිසිම ආගමික හෝ ආගමික නොවන ග්‍රන්ථයක් හෝ දහමක් ඉදිරිපත් කළ අයෙක් ඉතාමත් විද්‍යානුකුල ආකාරයට මිහිතලයේ හැඩය විග්‍රහ කොට නොමැත. විවිධ වැකියන් මගින් නිශ්චිත වශයෙන් ම පෘථිවිය පැතලි එකක් නොවන බව  පැහැදිලි වන ආකාරයට කරුණු ඉදිරිපත් කොට ඉන් පසුව එක් වැකියකින්  එහි නිශ්චිත හැඩය විග්‍රහ කොට ඇත. විනිශ්චය දිනයේ  පෘථිවිය කුමක් බවට  පත්වන්නේද යන්න පහත වැකියෙන් පැහැදිළි කොට ඇත.

“පොළොව සමතලා තත්ත්වයට පත් කළ කල්හි“  (අල් කුර්ආනය 84 වන පරිච්ඡේදය 3 වැනි වැකිය)

පොලොව දැනට සමතලා තත්ත්වයේ තිබේ නම් විනිශ්චය දිනයේදි නැවත එම තත්ත්වයට පත් කිරිමේ අවශ්‍යතාවයන් පැන ‍නොනගි. මෙම වැකියෙන් ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ දැනට පෘථිවිය පැතලි එකක් නොවන බවය.

“ඔහු (අල්ලාහ්) අහස්ද පොළොවද සත්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කළේය. ඔහු දවාල රැයෙහි ඇතුළු කරන්නේය. රැය දවාලෙහි ඇතුළු කරන්නේය”. (අල් කුර්ආන් 39 පරිච්ඡේදය -5වන වැකියෙන් කොටසක්)

දවාල රැයෙහිද රැය දවාලෙහිද ඇතුළු කරන්නේය‚ යන්න පියවරෙන් පියවර සෙමින් සිදුවන ක්‍රියාවලියකි. පැතලි සමතලා පොළොවක එය එසේ සිදුවිය නොහැක. මෙයිනුත් අපට පැහැදිළි කර දි ඇත්තේ පොළොව සමතලා එකක් නොවන බවය. මේ සියල්ලටම වඩා වැදගත් ඉතා නිශ්චිත හා විද්‍යානුකුල ලෙස  පොලවේ හැඩය පැහැදිළි කරන වැකිය දෙස අපගේ අවධානය යොමු  කරමු.

“ඉන්පසු ඔහු (අල්ලාහ්) භුමිය ව්‍යාප්ත කළේය.” (අල් කුර්ආන් 79 වන පරිච්ඡේදය-30 වැනි වාක්‍යය)

ව්‍යාප්ත කළේය යන වචනය සදහා උපයෝගි කොට ඇති ආරාබි වචනය වන්නේ “දහාහා” ය. මහාචාර්ය මොහමඩ් මොහර් අලි තම “The Quran and the Orientalist” යන ග්‍රන්ථයේ විග්‍රහයක් කරමින් දහාහා යන වචනයට ව්‍යාප්ත කළේය, දිග හැරියේය, පැතිරෙව්වේය, යනාදි අර්ථ ඇති අතර එහි වඩාත්ම නිවැරදි අර්ථය වන්නේ බිත්තරයක හැඩය යන්නය. මෙම වචනයේ නාම පදය වු දහියාහ් යන්නෙහි අර්ථය බිත්තරය වේ. මෙහි වඩාත් සුවිශේෂි තාවය නම් දහියාහ් යන්න යොදන්නේ පැස්බරාගේ බිත්තරයට වීමය. පෘථිවිය කිකිළි බිත්තරයක හැඩයකින් නොමැත. විද්‍යානුකුල භුගෝලිය හැඩය වන්නේ නිරක්ෂය ප්‍රදේශයෙන් ටිකක් නෙරා ගොස් උත්තර හා දක්ෂිණ ධ්‍රැවයන්හි පැතලි ස්වභාවයක් තිබිමයි. පැස්බරාගේ බිත්තරයේ නිශ්චිත ස්වභාවයත් මේ ආකාරයේ එකකි. මෙයින් පැහැදිළි වන්නේ නුතන විද්‍යාව මිහිතලයේ හැඩය නිවැරදිව සොයා ගන්නට ශත වර්ෂ   ගණකට පෙරම එහි නිර්මාතෘ විසින් ඉතා නිවැරදි ආකාරයෙන් අපට එහි හැඩය දන්වා තිබිම නොවේද? එසේ නම් අල්කුර්ආනයේ අඩංගු අනෙකුත් සත්‍යයන් අපි කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙමුද? 

Leave a Reply

Your email address will not be published.