මිනිසා යනු කවරෙක්ද? – 13

සකස්කිරීම, ඉබ්නු මන්සූර්

සාගරය පිළිබදව කුර්ආනය පවසන කරුණු කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය හැක. මේ බව Elder සහ   Pernetta විසින් ලියන ලද “The Oceans”  නම් ග්‍රන්ථයේ 27 වන පිටුවේ සදහන් වේ. මිනිසාට කිමිදුම් උපකරණයන්හි ආධාරය නොමැතිව මීටර් 40 කට වඩා කිමිදිය නොහැකිය. විද්‍යාඥයින් ඉතා මෑතකදි සබ්මැරින් හා අධිතාක්ෂණ උපකරණයන්හි ආධාරයෙන් ගැඹුරු සාගරයේ මෙම අන්ධකාරය සොයාගත් අතර එයට අමතරව ගැඹුරු සයුරේ අභ්‍යන්තර ජල රළ ඇති බවද සොයා ගන්නා ලදි. මේවා සියල්ල නුතන විද්‍යාත්මක සොයා ගැනිම්ය. මේ සම්බන්ධව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“(ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වය) ගැඹුරු මුහුදේ අන්ධකාරය බඳුය. එය රළෙන් වැසි ඇත. ඒ මත රළකි. ඒ මත වලාකුළුය. එකක්  මත එකක් වනසේ අන්ධකාරයය. යමෙක් ඔහුගේ හස්තය දික් කරන්නේද ඔහු එය නොදකින්නේය. අල්ලාහ් යමෙකුට ආලෝකය නොදෙන්නේද ඔහුට ආලෝකයක්  නොමැත”. (අල්කුර්ආන් 20 වන පරිච්ඡේදය – 40 වැනි වාක්‍යය)

නුතන විද්‍යාව පරික්ෂණය‚ නිරික්ෂනය හා නිගමනය යන ක්‍රම වේදයන් උපයෝගි කරගෙන විද්‍යාත්මක සිද්ධාන්තයන් ස්ථාපිත කරගන්නා අතර  නිශ්චිත වශයෙන් ඔප්පු කර නොගන්නා යමක් සත්‍යය ලෙස පිලිගැනිම ප්‍රතික්ෂේප කරයි. අල් කුර්ආනය ද මෙම විද්‍යාත්මක ආකල්පය අනුවම සිතන්නට මිනිසාව දිරිගන්වයි. පහතින් දක්වා ඇති කුර්ආන් වැකියෙන් මිනිසා සත්‍යය යැයි පවසන්නාවු කරුණු පිළිගැනිමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි.

“කිතුණුවන් හෝ යුදෙව්වන් හෝ හැර (අන්) කිසිවෙකුත් ස්වර්ගයට ඇතුළු නොවන බව ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ පදනම් විරහිත විශ්වාසයක් (මිස සත්‍ය නොවන්නේය) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාක්ෂින් ගෙන එවු යැයි (නබිවරයාණෙනි) පවසවු”. (අල්කුර්ආන් 2 වන පරිච්ඡේදය 111 වන වැකිය.)

එහෙයින් ඉස්ලාමය මිනිසාගේ විචාර බුද්ධියට ගෝචර වන පරිදි පිලිගත හැකි සාක්ෂින් පදනම් කරගෙන ඔප්පු කළ හැකි හා ඔප්පු කරනු ලැබු සත්‍යයන් බවට ආගමික විශ්වාසය තිබිය යුතු යැයි  පවසයි.

“කව්රුන් අල්ලාහ් සමග අන් දෙවියෙකු අයැදීද ඔහු වෙත එයට අවශ්‍ය සාක්ෂි කිසිවක් නොමැත”. (අල්කුර්ආන් 23 වන  පරිච්ඡේදය – 117 වැනි වාක්‍යය)

අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කරන ලෙස මනුෂ්‍ය වර්ගයාට අල්කුර්ආනය උපදෙස් දෙයි. අප දහම් තොරා ගෙන ඇත්තේ තමන් උපන් පවුල අනුව බව නොරහසකි. දෙමව්පියන්ගේ දහම කිසිදු විමසුමකින් තොරව පරම සත්‍යය ලෙස පිළිගෙන  කටයුතු කිරිම අල්කුර්ආනය ප්‍රතික්ෂේප කරයි.

“අල්ලාහ් පහළ කළ (අල්කුර්ආනය) වෙතද රසුල්වරයා වෙතද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත් අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේ දැයි අප දැක්කෙමුද, එයම (අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත් ව‍න්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත්වද සෘජු මාර්ගයෙහි නොවි සිටියදි ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ?) (අල් කුර්ආන් 5 වන පරිච්ඡේදය 104) වැනි වැකිය.

ඉහත විද්‍යාත්මක සාධක ගෙනහැර දැක්වූයේ‚ නුතන විද්‍යාව ඉතා මෑතකදි සොයාගත් කරුණු අල්කුර්ආනයට අවුරුදු 1400 කට පෙර ඇතුළත් වි තිබේ නම් නිශ්චිත වශයෙන්ම අල්කුර්ආනය මනුෂ්‍ය බුද්ධියේ නිර්මාණයක් විය නොහැකි බවටත් එහි මූලාශ්‍රය සහතික වශයෙන්ම සර්වඥාණීය එකක් විය යුතු බවටත් සනාථ කිරිමටය. කුර්ආනයේ සඳහන්  විද්‍යාවට ගෝචර භෞතික කරුණු සියයට සියයක්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට  අනුකුලව හා  සත්‍යය බව ඔප්පු වන්නේ නම් විද්‍යාවට ගෝචර නැති පාර භෞතික කරුණුද (මරණින් මතු ජිවිතය, නිරය, ස්වර්ගය වැනි) සත්‍යයන් බවට අපට පිලිගන්නට සිද්ධ වෙනවා නොවේද?

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිලිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වන්නේය. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්ඳනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්ඳනයට හා තෘප්තියට  ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශීලි ප්‍රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර හා නිශ්චිත යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැඟීම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නීති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද අපි ඉතා හොඳින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සදහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිතවම තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය  යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි  සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබදව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දීමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදුවන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.

“(නබිවරයාණෙනි) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිඳුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහිද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහිද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයිද  නැත හොත් එය වටහා ගන්නේ යැයිද නුඹ සිතන්නෙහිද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගිය වුන් ලෙස සිටින්නන්ය”. (අල් කුර්ආන් 25 වන  පරිච්ඡේදය -43/44 වාක්‍යයන්)

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නාවු පහත් හා දුරාචාර හැඟීම්වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියළු ක්‍රියාවන් සඳහා විපාක  විදින්නට සිදුවන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබදව විශ්වාසය‚ නිශ්චිත වශයෙන්ම මිනිසාව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සළස්වන්නේය.

අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳව නිතිරිති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයකට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිලිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිලිබඳ සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි. අවාසනාවට සමහර දහම් මෙම පාර භෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත්වන්නේය.

Leave a Reply

Your email address will not be published.