අපේ සත් ක‍්‍රියාවන් පිළිගනු ලැබීමට නම්!

”අල්ලාහ් අති පාරිශුද්ධය, ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේ පිවිතුරු දේ පමණි. අල්ලාහ් තම ශාස්තෘවරුන්ට කුමක් නියෝග කළේද එයයි ඔහු විශ්වාසවන්තයින්ට ද කරන නියෝගය. ”ශාස්තෘවරුනි! තවද පවිත‍්‍ර දේ අනුභව කරන්න, යහපත් කි‍්‍රයාවන් කරන්න”  තවද ”විශ්වාසවන්තයිනි! අපි ඔබට පිරිනමා ඇති පිවිතුරු දේ පමණක් අනුභව කරන්න” යනුවෙන් සඳහන් කරයි. පසුව නබි (සල්) තුමන් දුරබැහැර ගමනක යෙදී සිටින පුද්ගලයෙකු පිළිබඳ සඳහන් කළේය, අවුල් වූ හිස කෙස්, දුවිලි තැවරුනු සිරුර, ඔහු සිය දෑත් අහස දෙස ඔසවා, හිමියනි! හිමියනි! යනුවෙන් ප‍්‍රාර්ථනා කරයි, නමුත් ඔහුගේ ආහාර, පාන හරාම් වේ (නිත්‍යානුකූල නොවේ), ඔහු ඇඳ සිටින ඇඳුමද හරාම් වේ (නිත්‍යානුකූල නොවේ), ඔහුගේ මුළු ජීවනෝපායම නිත්‍යානුකුල නොවේ, මෙවැනි තත්ත්වයක ඔහුගේ ප‍්‍රාර්ථනාවට කෙසේ නම් පිළිතුරු ලැබෙයිද!” යනුවෙන් පැවසූහ. වාර්තාකරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශය: මුස්ලිම්).

මෙම පුවතෙහි වාර්තාකරු පිළිබඳ කෙටි හැඳින්වීමක්:

අබු හුරෙයිරා (රලි) තුමන්ගේ නම ”අබ්දුර් රහ්මාන් ඉබ්නු සහ්ර් අත්තව්සි”  වේ. එතුමන් කෛබර් කොටුව ජයගත් හිජ්රි 7 වැනි වර්ෂයෙහි ඉස්ලාම් දහම වැළඳගත්හ. සිප් සත හැදෑරීම සඳහා නබි (සල්) තුමන් සමග මුළු කාලයම කැපකළේය. නබි වදන් අධික සංඛ්‍යාවක් වාර්තා කළ නාමයට හිමිකම් කියන්නේ ද එතුමන්ය.

මෙම පුවතෙහි වැදගත්භාවය:

ආගමික නීති රීතින් කිහිපයකින් යුත් මෙම ප‍්‍රකාශය තුළ තවත් සුවිශේෂත්වයන් රාශියක් දැකගත හැක. යහපත් කි‍්‍රයාවන් කිරීම මගිනුයි කෙනෙකු අල්ලාහ්ට සමීපවිය හැක්කේ. නමුත් එම යහපත් කි‍්‍රයාවන් පිළිගනූ ලැබීමට කොන්දේසිය වන්නේ, කෙනෙකුගේ අහාර පාන ඇඳුම් පැළඳුම් සියල්ල හලාල් (අනුමත වූ මාර්ගයෙන් ඉපැයූ දේ) විය යුතුයි යන කරුණ මෙම පුවත මොනවට පැහැදිළි කරයි. තවද හරාම් (නිත්‍යානුකූල නොවන) දෙයින් මුළුමනින් බැහැර විය යුතුය. එසේ නොවන විට එය කෙනෙකුගේ ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ ප‍්‍රතික්ෂේප වේ. ප‍්‍රාර්ථනාව යනු අල්ලාහ් වෙත කෙනෙකු සමීපකරවන බලවත් හා ඉතා ශ්‍රේෂ්ඨ වූ යාඥාවකි.

අල්ලාහ් සියළු අඩු ලූහුඬු කම් වලින් පරිශුද්ධය:

අල්ලාහ් සියළු දුර්වලාතාවන්ගෙන් පරිශුද්ධය.  අල්ලාහ් මෙසේ පවසයි:  ”දයාළුවන්තයා වූ අල්ලාහ් (තමන්ට) පුත‍්‍රයෙකු ගෙන ඇතැයි යනු (කිතුවරුන්) පවසති. නියතයෙන්ම ඔබ මහත් බොරුවක් ගොතා ඇත (යනු ශාස්තෘවරයානනි පවසන්න). (මෙය කෙතරම් බරපතල ප‍්‍රකාශයක් නම්) මෙය හේතුකොටගෙන අහස පිපිරීමටත්, පොළොව වෙන් වී යෑමටත්, කඳු පර්වතයන් සුන් විසුන් වීමටත් යයි. තවද අල්ලාහ්ට පුතෙකු ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත” (ශු අල්කුර්ආනය 19: 88- 92).

තවද අල්ලාහ් සියළු අයුක්තියෙන් පරිශුද්ධ වන්තයාය. ඔහු මෙසේ පවසයි:

 ”නියතයෙන්ම අල්ලාහ් කිසිවෙකුට පරමානූවක තරම් හෝ අයුක්තියක් නොකරයි” (ශු අල්කුර්ආනය 4: 40).

තවද අල්ලාහ් නිද්‍රෝපගත වීමෙන් ද පරිශුද්ධ වන්තයාය. අල්ලාහ් පවසයි:

”ඔහු නිද්‍රෝපගතවන්නේ ද, සුළු නින්දක් ද ඔහුට නැත” (ශු අල්කුර්ආනය 2: 255).

ඔහුගේ ගෞරවයට හා කීර්තියට ආවේනික ආකාරයට ඔහු සියළු දුර්වලතාවන්ගෙන් පරිශුද්ධවන්තයා යනු අල්කුර්ආනය පැහැදිළි කරයි.

”සැබවින්ම අල්ලාහ් පරිශුද්ධ වන්තයාය” යන නබි (සල්) තුමන්ගේ ප‍්‍රකාශය ඔහු සියළු දුර්වලතාවන්ගෙන් සුවිශුද්ධයි යනු මොනවට පැහැදිළි කරයි.

“පිළිගනු ලැබේ” යනුවෙන් අදහස් කෙරෙන්නේ:

”යහපත හැර ඔහු නොපිළිගනි”. යහපත පමණයි ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේ යන්නට ඉතහ සඳහන් ප‍්‍රකාශය සාධක වේ. මේ හැර වෙනත් නබි (සල්) තුමන්ගේ ප‍්‍රකාශයන් තුළින් ද මෙම අදහස ගම්‍යමාන වේ. මෙය පුළුල්ව විග‍්‍රහකරන විට පහත සඳහන් අදහස ඉස්මතු වෙයි: ”යාඥාවන් පිළිගනු ලැබීමට පවතින කොන්දේසි සම්බන්ධව අලස භාවයක් දක්වන විට, ආගමික මූලික කරුණු වල අලස භාවයක් පෙන්වන විට, හරාම් (තහනම්) දේ කරන විට ප‍්‍රාර්ථනාවන් හා යාඥාවන් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබේ.

උදාහරණයට: ”දෝවනය නිෂ්ඵල වූ විට යළි දෝවනය නොකර ඉටු කරන සලාතයන් අල්ලාහ් නොපිළිගන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තාකරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශ‍්‍රය: මුස්ලිම්).

”යහපත හැර නොපිළිගැනේ” යන නබි (සල්) තුමන්ගේ ප‍්‍රකාශය තුළින් ගම්‍යමාන වන්නේ: යහපත් කි‍්‍රයාවන් සඳහාවූ ප‍්‍රසාදය, අල්ලාහ්ගේ තෘප්තිය, දේව දූතවරුන්ගේ පැසසුමට ලක්වීම වැනි යහපත් සියල්ල ඔහුට අහිමි වේ. තහනම් මාර්ගයෙන් ඉපැයූ මිළ මුදල්වලින් කෙරෙන දාන මාන අල්ලාහ් ඉදිරියේ නොපිළිගැනේ යන්නට පහත සඳහන් ප‍්‍රකාශය සාධක වේ:

”පවිත‍්‍රත්වයෙන් තොර කෙරෙන සලාතය හා, ප්‍රෝඩාවෙන් උපයන මුදලින් කෙරෙන දන් දීම අල්ලාහ් අභියස නොපිළිගැනේ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්).

හලාල් (අනුමත දේ) අනුභව කිරීම: 

”අල්ලාහ් තම ශාස්තෘවරුන්ට නියෝග කළේ කුමක් ද එයම විශ්වාසවන්තයින්ට ද නියෝග කළේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ.

තවද අල්ලාහ් මෙසේ පවසයි:

”ශාස්තෘවරුනි පවිත‍්‍ර දේ අනුභව කරන්න, තවද යහපත් කි‍්‍රයාවන් කරන්න” (ශු අල්කුර්ආනය 23: 51).

”විශ්වාසවන්තයිනි! මා ඔබට පිරිනමා ඇති පරිශුද්ධ දෙයින් අනුභව කරන්න.” (ශු අල්කුර්ආනය 2: 172).

”ඔබට තහනම් කළ ඇත්තේ ස්වභාවයෙන්ම මැරුන, ලේ, ඌරු මස්, අල්ලාහ්ගේ නාමයෙන් තොර වෙනත් නම් පවසා කැප කරන ලද දෙයයි” (ශු අල්කුර්ආනය 2: 173).

අල්ලාහ් තහනම් කළ දේ ඉතා අල්පය නමුත් ඔහු අනුමත කළ දේ බහුලය. එබැවින් යමෙකු තම ආහාර, පාන, ඇඳුම් පැළඳුම් සියල්ලෙහි අනුමත දේ පමණක් තෝරාගත  යුතුයි. මන්ද තහනම් කළ දේ ඔහුගේ යාඥාවන්, ප‍්‍රාර්ථනාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබීමෙන් වළක්වන ලොකුම බාධකය වේ.

යාඥාවන් පිළිගනු ලැබීමට පවතින කොන්දේසි :

ඔහු මෙසේ පවසයි:

 ”කවුරුන් තම හිමියන්ගේ හමුව අපෙක්‍ෂා කරයිද ඔහු යහපත් කි‍්‍රයාවන් කරත්වා” තවද හිමියන්ට කරන යාඥාවන්හි කිසිවෙකු සමාන නොකරත්වා” (ශු අල්කුර්ආනය 18: 110).

යහපත් කි‍්‍රයාවන් අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබීමට විවිධ කොන්දේසි පවතී: නබි (සල්) තුමන්ගේ ඉහළ ප‍්‍රකාශයෙන් ගම්‍යමාන වන තවත් කරුණක් නම්: හලාල් (අනුමත දේ) දාන මාන පමණක් නොව සෙසු සියළු යාඥාවන් පිළිගනු ලැබීමට කොන්දේසිය වේ. අල්ලාහ් අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් කරයි:

 ”පරිශුද්ධ වචනයන් ඔහු වෙත ඉහළ නැෙඟ්. තවද යහපත් කි‍්‍රයාවන් එය (අල්ලාහ් කරා) ඉහළට ඔසවයි” (ශු අල්කුර්ආනය ෆාතිර් 35: 10).

අපේ යහපත් කි‍්‍රායවන් සැමවිටම අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් පැවතිය යුතුය. එසේ නොවන විට එයින් ලෞකීක ලාභාපේක්ෂාවන්, අන් අයගේ පැසසුම අරමුණු කරගන්නා විට එයට කිසිදු වටිනාකමක් අල්ලාහ් ඉදිරයේ නැත. එය ඔහු ඉදිරයේ ප‍්‍රසාදයන් වෙනුවට දඬුවම ගෙනදීම නිසැකය.

ප‍්‍රාර්ථනාවට මූලිකත්වය හිමිවන කරුණු:

1- දිගු ගමන :

මෙයට සාධක වශයෙන් නබි (සල්) තුමන්ගේ දිගු ගමනක යෙදුනු පුද්ගලයා පිළිබඳ ප‍්‍රකාශය, මගියෙකුගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට ඇති හේතු කාරණා පිළිබඳ අල්ලාහ් හොඳින් දන්නේය. මන්ද මගියෙකු තම ගමනෙහිදී බොහෝ දුරට වෙහසට පත්වෙයි, තවත් බොහෝ අසීරුතාවයන් ඔහුට ඇත, මෙය ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීම සඳහා ඇති වැදගත් සාධකයකි.

මෙයට සාධක වශයෙන් තවත් නබි වදනක් පවති:  ”සැකයෙන් තොර තිදෙනෙකුගේ ප‍්‍රාර්ථනාවන් පිළගනු ලැබේ. අසාධාරණයට ලක්වූ තැනැත්තාගේ ප‍්‍රාර්ථනාව, මගියෙකුගේ ප‍්‍රාර්ථනාව, දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනාව” (තිර්මිදි, අබූදාවුද්).

2- ඔහුගේ භාහිර පෙනුමෙහි දක්නට ලැබෙන සංවරභව:

අවුල් වූ හිස කෙස්, දූවිලි තැවරුනු සිරුර.

3- දෙ අත් අහස දෙසට එසවීම :

”ඔහුගේ දෙඅත් අහස කරා ඔසවා හිමියනි! හිමියනි! යන වචනයෙන් තහවුරු වේ. තවද නබි (සල්) තුමන් පැවසූහ: ”සත්‍ය වශයෙන්ම අල්ලාහ් ජීවමානය, සදාතනිකය, දාන පතිය කව්රුන් හෝ ඔහු කෙරෙහි තම දෑත් ඔසවා ප‍්‍රාර්ථනා කරයිද එම දෑත් හිස්ව යවන්නට ඔහු ලැජ්ජා වෙයි” (මූලාශ‍්‍ර: අහ්මද්, අබූදාවූද්, තිර්මිදි).

 “නබි (සල්) තුමන් වැසි පතා සලාතය කළ විට තම දෑත් කිසිල්ල පෙනෙන තෙක් ඉහළට එසෙව්වේය”. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).

4- මුළු හදින්, බැගෑපත්ව ප‍්‍රාර්ථනා කිරීම :

”යා රබ්, යා රබ්” (හිමියනි! හිමියනිය!) යන ඔහුගේ ඇමතුමෙන්ම මෙයි පිළිබිඹු වෙයි. මාගේ අවශ්‍යතාවන් ඔහු විසින් පමණයි ඉටු කර දිය හැක්කේ යන අපේක්‍ෂාව, දැඩි විශ්වාසය උඩ ඔහු ප‍්‍රාර්ථනා කරයි.

මෙයට තවත් නිදසුනක් වශයෙන්: “නබි (සල්) තුමන් ප‍්‍රාර්ථනා කරන විට තෙවරක් ප‍්‍රාර්ථනා කරයි, ඉල්ලන විට තෙරවක් ඉල්ලයි, කුරෙයිෂ්වරුන්ගේ වගකීම ඔබම භාරගනු” යනුවෙන් නබි (සල්) තුමන් තෙවරක් ප‍්‍රාර්ථනා කළහ. (මූලාශ‍්‍රය: මුස්ලිම්).

5- තම සිතුම් පැතුම් අල්ලාහ් අභියස පිළිගනු ලැබීමට ආහාර, පාන, ඇඳුම්, පැළඳුම් ආදි සියල්ල අනුමත වීම.

නබි (සල්) තුමන්ගේ ඉහත සඳහන් ප‍්‍රකාශය මෙය පසක් කරයි. එනමුත් ඔහුගේ ආහාර, පාන හරාම්වේ (නිත්‍යානුකුල නොවේ), ඔහු ඇඳ සිටි වස්ත‍්‍රද හරාම් වේ නිත්‍යානුකුල නොවේ, ඔහුගේ මුළු ජීවිතයම නිත්‍යානුකුල නොවේ, මෙවැනි තත්ත්වයක් තුළ ඔහුගේ ප‍්‍රාර්ථනාවට කෙසේ  නම් පිළිතුරු ලැබෙයිද! යන නබි (සල්) තුමන්ගේ ප‍්‍රශ්නකිරීම තුළින්ම ඔහුගේ ප‍්‍රාර්ථානව පිළිගනු ලැබීමට කිසිදු ඉඩ කඩක් නැත යනු ගම්‍යමාන වෙයි.

නබි (සල් තුමන් වරක් මෙසේ පැවසූහ: “ජනයා අතර කාලයක් උදාවෙයි, එවිට ඔවුන් තමන් මුදල් උපයන මාර්ගය අනුමතද තහනම්ද යන කිසිදු තැකීමක් නොකරයි. විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).

අපි ජීවත්වන වත්මන් ලෝකය තුළ බහුතරයක් අතර මෙම අවාසනාවන්ත තත්ත්වය දකිමු. නමුත් මෙය සර්ව බල සම්පන්න අල්ලාහ් සමග පිවිතුරු සම්බන්ධතාවයක් ගොඩනැගීමට ලොකු බාධකයක් වන්නේය. අපි සැමවිටම දේව භක්තිකයින් වශයෙන් ඔහු අනුමත කළ මාර්ගයින් පමණක් අපේ ජීවනෝපාය පවත්වාගමු. එය වෙනුවෙන් අපි නිරතුරුව අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කරමු.

සැකසුම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.