ඉස්ලාම් සහ මුස්ලිම්වරු

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

   විශ්වය මවා පරිපාලනය කරන්නාවූ දෙවියන් වන අල්ලාහ් විසින් මුළු මිනිස් වර්ගයාට අනුමත කරන්නාවූ එකම දහම ඉස්ලාම් දහම පමණි. ඉස්ලාම් යන පදය අරාබි භාෂාවෙහි භාවිතා වන පදයකි. එහි තේරුම නම් අල්ලාහ්ට සම්පුර්ණයෙන් කීකරු වීම, යටහත් වීම, විනීත බව වේ. මෙහි සාමය යන අර්ථයද වේ.

   මුස්ලිම් යන පදයද අරාබි භාෂාවේ භාවිතා වන පදයකි. එහි තේරුම නම් අල්ලාහ්ට සම්පුර්ණයෙන් කීකරු වී ඔහුට පමණක් වන්දනාමානය කර ඔහුගේ මග පෙන්වීම හා අවසාන දූත මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ මග පෙන්වීම අනුව තම ජීවිතය හැඩගස්වා ගන්නාවූ පුද්ගලයන් මුස්ලිම් නම් වේ.

   ඉස්ලාම් ධර්මය, ලොව ප්‍රථම මිනිසා වන ආදම් අලෛහිස්සලාම් තුමාගේ පටන් පැවත එන දහමයි. එම ධර්මය පිළිපදින්නන් අද දක්වා විශාල පිරිසක් වේ. මෙම අල්ලාහ්ගේ ධර්මය අදහනු ලබනුයේ මුස්ලිම්වරු පමණි. ඒ විතරක් නොව, අද ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නාවූ දහම ඉස්ලාම් වේ.

   නමුත් ඉස්ලාම් දහම ලොව ව්‍යාප්ත වන්නා සේම එම ධර්මය ඉතා කුරිරු ධර්මයක් යැයි නූගත් මිනිසුන් වටහාගෙන ඇත. එයට හේතුව එහි ඇති නීතිරීති නිසා වේ. අනෙක් පැත්තෙන් නූගත් මුස්ලිම්වරයාගේ ක්‍රියා කලාපය නිසා වේ. ඉස්ලාම් දහමෙහි එන සමහර නීතිරීති වන එනම් උදාහරණයක් ලෙස ඝාතනයට ඝාතනය ද විවාහක කෙනෙකු අනාචාරයේ හැසිරීමේදී ගල් ගසා මැරීම ද සොරකම, මත්පැන් භාවිතය, සූදුව, කේලම් ඇතුළුව තවත් බොහෝ දේවලට ඉස්ලාම්හි දඩුවම් කිරීමට නීති පනවා ඇත. මෙසේ කිරීමෙන් කෙනෙකු වැරදි කිරීමට බොහෝ සේ පසුබට වේ. නමුත් වැරැද්දට දඩුවම් කිරීමේදී සාක්‍ෂි අනිවාර්ය වේ. හිතුමතේ කෙනකු වැරද්දක් නොකර වැරැද්ද පටවා ඔහුට හෝ ඇයට දඩුවම් කල නොහැක. මෙම දඩුවම් පැනවීමට අල් කුර්ආනයේ හෝ අල් හදිස්හි සඳහන් වූ දේ පමණක් පිළිපැදිය යුතුය. ඉන් ඔබ්බට ගොස් කෙනකුට සිතූ මතේ ක්‍රියා කළ නොහැක. මන්ද ඉස්ලාම්හි අලුතින් ඇති කරගන්නා සියල්ල අපාය දක්වා ඇදගෙන යයි.

       මුස්ලිම්වරයෙක් සෑම අවස්ථාවකම තම දෙවියා එනම් අල්ලාහ් සිහිකළ යුතුය. මන්ද තමා මැරෙන මොහොත තමා නොදන්නා නිසාවෙනි. අනෙක අල්ලාහ් ඉස්ලාම් දහම හැර අන් කිසිම දහමක් අනුමත නොකරයි. එනිසා අල්ලාහ්ගේ මතකයේ ජිවත් වන්නාට ස්වර්ගයට යන පාර ඉතා සීග්‍ර වෙයි. එසේ නොවුන හොත් ඔහු අපාය කරා ඇදගෙන යැයි.

   මුස්ලිම්වරයෙක් සෑම විටම අන් ආගමිකයන් සමඟ සුහදව ඇසුරු කළ යුතු අතර කිසිම අවස්ථාවක තම ආගමට පටහැනි දේ අනුමත හා ක්‍රියා නොකළ යුතුය. මුස්ලිම්වරයාට එදිනෙදා ජිවිතයේ විශාල වැඩ කොටසක් පැවරී ඇත. තම පවුල, අසල් වැසියා, මගියා, සතුන්, ගස් කොළන් හා විශ්වයේ සියල්ල වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ කළ යුතුවේ. එපමණක්ද නොව තම ආහාරය, ඇදුම් පැළදුම්, රැකියාව ඇතුළුව සියල්ල ඉස්ලාමය අනුව සොයා ගත යුතුවේ. යම් කෙනෙකු සොරකමින් මුදල් උපයා තම දෙමාපියන්ට හෝ දරුවන්ට, දානය කිරීම වැනි දේ කිරීමෙන් තමාට පිනක් නොව පවක් එකතු වේ. මරණින් මතු ජිවිතයටද එය බලපානු ලබයි. නමුත් ඔහු එයින් වැලකී තම දෙවියාගෙන් පව් සමාව ඇයද ඔහු එම වැරැද්දෙන් සම්පුර්ණයෙන් මිදුනේ නම් ඔහුට අල්ලාහ්ගෙන් සමාව ලැබේ. මෙනිසා මුස්ලිම්වරු සෑම විටම හරී දේ තෝරා ගත යුතු අතර ශෙයිතාන්ගේ ක්‍රියාවන් නොකළ යුතුය.

   මිනිසා විවිධ නරක ක්‍රියාවන්වලට පොලඹවන්නේ ශෙයිතාන් වේ. අල්ලාහ් විසින් ඔහුව ගින්නෙන් නිර්මාණය කරන ලදී. ඔහු සෑම අවස්ථාවකම බලනුයේ මිනිසා විවිධ වැරදි ක්‍රියාවන් කරා යොමු කරවීමටයි. ඔහු කිසිම අවස්ථාවක මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන අතර ඔහු මිනිසාගේ සෑම අවස්ථාවකදීම ඔහු සමඟ සිටී. මිනිසාගේ ශරීරයේ ගමන් කරන රුධිර නාළයන්හි පවා ශෙයිතාන් ගමන් කරයි. මෙනිසා, මිනිසා විසින් විශාල අරගලයක් තම ලොකුම සතුරා එනම් ශෙයිතාන්  සමඟ කළ යුතුවේ. ශෙයිතාන් විසින් අල්ලාහ් පමණක් අදහන්නන් වන මුස්ලිම්වරු නොමග යැවීමට සෑම විටම උත්සහ දරයි. නමුත් අල්ලාහ්  නොවන අන් දෙවිවරු අදහන අයට අල්ලාහ් ස්වර්ගය තහනම් කර ඇත. එනිසා ශෙයිතාන්ට ඔවුන් සමග වැඩි අරගලයක් කිරීමට අවශ්‍ය නැත. පාපයන්ගෙන් විශාල පාපය අල්ලාහ් හැර අන් දේ නැමදීමයි. ඉතින් ශෙයිතාන්ට කුමකට ඔවුන් සමඟ වෑයම් කරන්නද? ඔහු සෑම විටම මුස්ලිම්වරයා ඉතා සුළු වැරද්දකදී හෝ හසු කර ගැනීමට ඉතා සූක්ෂම ලෙස මාන බලයි. ඉන් බේරී සිටීමට මුස්ලිම්වරයා අවධාණයෙන් තම දෙවියා සිහිකල යුතුය. ඉන් ශෙයිතාන් පරාජයට පත්කළ හැකි සේම තමාටද ස්වර්ගය ස්ථිර වේ.

   මේ අනුව අල්ලාහ් විසින් පිළිගන්නා වූ එකම දහම ඉස්ලාම් පමණි. එය මිනිසාට ජීවන මගකි. ඉස්ලාම් දහම මුළු මිනිස් වර්ගයාටම පොදු දහමයි. අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි.

“කිසිවකු ඉස්ලාම් නොවන මගක් තෝරා ගන්නේ නම්, කිසි විටෙකත් එය පිළිගනු නොලැබේ. එමෙන්ම (මරණින්) මතු ජීවිතයේ ඔහු පරාජිතයන් අතරට එක් වේ.” (3:85)

සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිවේ!!!

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.