‘දයාව, කරුණාව’ පිළිබඳ ඉස්ලාමීය ඉගැන්වීම් – 4 වන කොටස

නීතිගරුක බව:

මිනිස් අයිතිවාසිකම් සුරැකෙන අයුරු සියලු කටයුතු සිදුකළ යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම් නබි තුමාණන් විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල් කුර්ආනයේ වැකි කිහිපයක් සියලු දෙනාගේම අවධානය පිණිස ඉදිරිපත් කිරීම මගේ වගකීම බව සලකන්නෙමි.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5:32) විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙසද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8)

“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8 : 61)

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60 : 8)

(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7 : 199)

සතුන් හා පරිසරය:

නබි තුමාණන් මිනිස් අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් සතුන්ගේ හා පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳවද මනුෂ්‍ය වර්ගයා ව දැනුවත් කළේය. සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බව අප සැවොම හොඳින් දන්නා සත්‍යයකි. මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙස ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනා නම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔහුමය (අල්ලාහ්මය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (අල් කුර්ආන් 35:39)

මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත් හි දරා ගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය.

“මිනිසුන්ගේ දෑත් වලින් උපයා ගත් (සිදු කළ) දෙයින් මිහිතලයේ හා සාගරයේ දුෂණය (කලහකම්) දෘශ්‍යමානවී ඇත. ඔවුන් ආපසු හැරී (යහ මඟට) එනු පිණිස (අල්ලාහ්) ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කොටසක් භුක්ති විඳින්නට ඉඩ හරිනු ඇත” (අල් කුර්ආන් 30:4)

“ගසක් සිටු වීමෙන් හෝ බීජ අස්වැද්දීමෙන් එහි ඵලය කුරුල්ලන්, සතුන් හෝ මිනිසුන් අනුභව කරන්නේ නම් එය ඔහුට දන් දීමේ යහ විපාක ගෙන දෙන්නක් වන්නේය (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

“කිසිවෙකුට අයත් නැති ඉඩමක් යමෙක් වගා කරෙන්නේද, ඔහුට එම ඉඩමට අයිතිය කියා පෑමට උරුමකම් ඇත්තෙක් වන්නේය” (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

එක තැන රැඳුනු ජලය මත හා මිනිසුන්ට සෙවණ ලබා දෙන ගස් යට මුත්‍රා කිරීමෙන් වළකින ලෙස එතුමාණන් උපදෙස් දුන්නේය.

වයෝවෘධයෙක් ගසක් සිටුවා එයින් ඵල බුක්ති විඳින්නට මේලොවේදී නොහැකි වුවද, එම ගසින් බුක්ති විඳින්නන් හේතුවෙන් ඔහුට මරණින් පසුත් කුසල් ලැබෙන බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

මෙවන් ඉගැන්වීම් රාශියක් ඇති අතර මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ මිනිසා පරිසරය සුරැකීමේ වගකීම දරන්නා බවත්, එය නිසි ලෙස කළමනාකරණය කොට මතු පරපුරට සුරක්ෂිත කර දීමේ වගකීමද ඔහු වෙත පැවරී ඇති බවත්ය.
සත්ව ප්‍රජාව පිළිබඳවද නබි තුමාණන්ගේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් විමසා බැලීම මෙම අවස්ථාවේදී වැදගත් යැයි සිතමි.
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)

සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වෙයි. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබි තුමාණන්ගේ ප්‍රකාශයක් විමසා බලමු.

“මෙයට පෙර ජීවත් වූ නබි වරයෙක්ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇති වූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුලුස්සා විනාශ කරන්නට එම නබි වරයා උපදෙස් දීම නිසා දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත් වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)

ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමි වී තිබුණද එය ඔහු විසින් යුක්තිය හා සාධාරණය මත පදනම් වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කළ යුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් සියල්ල විස්තර කරන්නට මෙම ලිපියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳව තවත් කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

සතුන් සම්බන්ධව හිංසනය, කෲරත්වය හා දැඩිභාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහර දීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නා වූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිට මත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් අරගැනීම, මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත.
සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමු වී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ කර ඇඹීමද ඉස්ලාමය තහනම් කර ඇත.

සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් දෙස අපගේ අවධානය යොමු කරමු.

“පිපාසයෙන් පීඩිතව මිය යන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබා දුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)

එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට දුන්නා වූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත් වීම සඳහා වූ අවවාදයක් ලෙසිනි.

“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර සොයා ගන්නට ද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).

ඉහත අල් කුර්ආන් වැකි හා නබි වදන් අපට මතක් කර දෙන්නේ පරිසරය මිනිසාගේ භාරකාරත්වයේ පවතින්නක් වන හෙයින් ඔහු එහි යහ පැවැත්මට වගකීම් දැරිය යුතු බවය. අවාසනාවට, මිනිසාගේ දෑත් විසින් සිදුකරන්නා වූ නොමනා ක්‍රියා මගින් මිහිතලයේ හා සාගරයේ නොසන්සුන්තාවන් ඇති වී තිබෙන බවද අපට මතක් කර දෙන්නේය. මිහිතලය උණුසුම්වීම හා දේශගුණික වෙනස්වීම් අද අප අත් විඳින්නේ මෙම වැරදි ක්‍රියාකාරකම් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එක් පරම්පරාවක් තුළ සිය ජීවිත කාලයේදීම එතුමාණන් සාර්ථක ලෙස එම විශ්වාසය ගොඩ නගමින් අරාබිකරයේ ජනාතාවට යහපත් සංස්කෘතියකට මග පෙන්වූයේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතුමාණන්, මා දෙවිඳුන්ගේ සේවකයෙකි, මා එක් ගුරුවරයෙක් පමණි, යැයි පැවසුහ. ශ්‍රමණ, තාපස, බ්‍රහ්මචාරී හා අනගාරික ජීවිතයක් අනුගමනය කිරීමෙන් තම අනුගාමිකයින් ව වැළක්වීය. දේව සවිඤාණකත්වයෙන් යුත් යහකමින් පිරුණු ගිහි ජීවිතයකට ඔවුන්ව දිරිගැන්වීය. එතුමාණන්ගේ ඉගැන්වීම් වලින් බිඳක් විමසා බලමු.
මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්) .

“(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ටද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී) .

“පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාර වූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහකි) .

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”.

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “(මරණින් මතු) අවසාන විනිශ්චය දිනයෙහි අල්ලාහ් අසන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගේ කිසිම ගැත්තෙකුට (මනුෂ්‍ය වර්ගයාට) තමා සිටි තැනින් පය ඔසවන්නට හැකි වන්නේ නැත. ඔහුගේ ආයු කාලය, ඔහු එය කෙසේ ගත කළේද? ඔහුගේ දැනුම, එයින් කෙතරම් තම ජීවිතයේ ක්‍රියාකාරකම් බවට පත් කර ගත්තේද? ඔහුගේ ධනය, එය තමා කෙලෙස උපයා ගත්තේද? එය කෙලෙස වියදම් කළේද? ඔහුගේ ශරීර සුවය, එය කෙලෙස තමා ප්‍රයෝජනයට ගත්තේද? (යනාදිය එම ප්‍රශ්න 5 වේ) (මුස්ලිම්) .

Leave a Reply

Your email address will not be published.