වංචනිකයින්ගේ ඉරණම කුමක්ද? (What is the fate of the cheat?)

බොහෝ අවස්ථාවන්හිදී වංචනිකයින්ට දෙවියන්ගේ දඬුවම් ගැන කිසිම තැකීමක් නැත. එබැවින් ඔවුන් අනෙක් අයව මුලා කරති. ඉන් අත්වන පාඩුව ඔවුන් නියම වශයෙන්ම දකින්නේ මරණයෙන් පසුවය. මෙවැනි අය ලෞකික වාසි වෙනුවෙන් ඕනෑම අවස්තවකදී මිනිසුන්ව මුලා කරති.
අවංක ලෙස ණය ගන්නා උදවිය එය කෙසේ හෝ ගෙවීමට ක්‍රියා කරති. එහෙත් ඇතැම් අය මිනිසුන්ගෙන් ලබා ගන්නා ණය මුදල් ආපසු නොගෙවා වංචා කරති. ඔවුන් ණය ගන්නා අවස්ථාවේදීම එය නැවත ගෙවීමට අදහස් කරන්නේ නැත. තවත් අය මිනිසුන්ට බොරු පොරොන්දු දෙමින් වංචා කරති. මොන අන්දමින් වංචා කලත් එය බලවත් වරදක්ම බව ඔවුන් තේරුම් ගත යුතුය. මෙම ලිපියෙන් සලකා බලන්නේ ණයක් ගන්නා අවස්ථාවේදීම එය නොගෙවා වංචා කිරීමේ අදහස ඇති පුද්ගලයින් ගැන පමණි. එවැනි අය ණය ගෙවීමට හැකියාව තිබියදීත් එය නොගෙවා ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය කිරීම බලවත් වරදක් බව දැනගත යුතුය.

ඉස්ලාම් දහම අනුව ණයක් ගත්විට එය ගෙවීමට ක්‍රමයක් සකස් නොකොට මිය යාම බලවත් වරදකි. නබිතුමා ණය නොගෙවා මිය ගිය අය වෙනුවෙන් ජනාzසා සලාතය ඉටු නොකිරීමෙන්ම එය පැහැදිලි වන්නේය. එවැනි අය වෙනුවෙන් නබිතුමා සලාතය ඉටු නොකර වෙනත් කෙනෙකුට එම සලාතය මෙහෙය වන ලෙස නියෝග කර ඇත. මින් පැහැදිලිවන්නේ ණය නොගෙවා පැහැර හැරීමේ භයානකකමය.

නබිතුමා පවා දිනපතාම ණයවී සිටීමෙන් ආරක්ෂාව පතා ප්‍රර්ථනා කොට තිබේ. නබි වදනකට අනුව ණය නොගෙව්වේ නම් දෙවියන් වෙනුවෙන් යුද්ධකොට ජිවිත පරිත්‍යාග කලත් ණය ආපසු ගෙවන තෙක් ස්වර්ගය ලබබෙන්නේ නැත.

ණයක් ගන්නා අවස්ථාවේදී එය නැවත ගෙවීමේ චේතනාව තිබුනේ නම් එම ණය ආපසු ගෙවීම සඳහා දෙවියන්ගේ උදව් ලැබෙන බව නබි වදන්වල සඳහන් වේ. එහෙත් ආපසු ගෙවීමට අදහසක් නොමැතිව ණයක් ගන්නේ නම් ඔහු වංචනිකයෙක් වන්නේය.

ඇතැම් අය ණය ගන්නේ අත්‍යවශ්‍ය හේතුවක් නිසාම නොවේ. බොහෝ අවස්ථාවලදී ඇතැමුන් තමන්ගේ තරමට විවාහ මංගල්‍යයක් කල හැකිව තිබියදීත් එය ආඩම්බරයෙන් පැවැත්වීම සඳහා ණය වෙති.  සමහරු ණය ගන්නේ තමන්ගේ තිබෙන වාහනය වෙනුවට අලුත් මාදිලියේ වාහනයක් ගැනීම සඳහාය. එසේ ගත් ණය ආපසු ගෙවීමට නොහැකි වූ විට සිදු වන්නේ පොලියට මුදල් ගැනීමටය. එහෙත් ඉස්ලාම් දහම අනුව එයද අතිශයින්ම බරපතල වරදකි. සැබවින්ම නබිතුමාගේ ආදර්ශය අනුව ජිවත් වන්නේ නම් ණය නොවී ජිවත් වීම ඉතා පහසුය. එහෙත් බොහෝ අය එම ආදර්ශයට පිටින් ක්‍රියා කිරීම නිසා කරදර වලට පැටලෙනු දැකිය හැකිය. ණය වූ තැනැත්තා එය ගෙවා නිමවන තුරු  සියළුම අනවශ්‍ය වියදම් කපා හැරීමට ක්‍රියා කළ යුතුය. එවැනි අයට වෛකල්පික හජ් වන්දනය හෝ උම්රා කිරීම හෝ උළුහියා දීම අවශ්‍ය නැත. ඔවුන් මුලින්ම කළ යුත්තේ තමන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමය.
ඉස්ලාම් දහම අනුව සාධාරණ හේතුවක් නිසා ඉතාමත් අසරණ තත්වයේ සිටින දුගින්ටද, අධික ණයබරින් මිරිකී සිටින්නන්ටද, තම ඥාතියෙකු වෙනුවෙන් (Blood money) දඩයක් ගෙවීමට හැක්යාවක් නොමැති අයටද සදකා හෙවත් පුණ්‍යාධාර ඉල්ලා සිටිය හැකිය.

ණය ලබාගත් බොහෝ අය කරන වරදක් වන්නේ එය ගෙවීමට නොහැකි වූ විට සැගවී සිටීම හෝ ණය දුන් තැනැත්තාගේ දුරකථන අමතුන් මග හැරීමය. මෙය විශාල වරදකි. ණයක් ගන්නා අවස්ථවේදී පොරොන්දු වූ පරිදි ණය ගෙවීමට නොහැකි වූ විට එය ගෙවීම සඳහා වෙනත් දිනයක් ලබා ගැනීම හොඳම ක්‍රමය වේ. එසේ කිරීමෙන් අමතරව දෙන සෑම දිනයක් වෙනුවෙන්ම ණය දුන් තැනැත්තාට සදකා කළ පිනක් ලැබෙන බව නබි වදන්වල සඳහන් වේ.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published.