දෙවිඳුන් විශ්වය මිනිසා-12

මිනිසා සහ මිනිස් ජීවිතය

ජීවිතය යනු ක්‍රියාකාරකම්ය. සියලු ක්‍රියාකාරකම් සමග එක්තරා ප්‍රමාණයක ගැටලු හා ප්‍රශ්න ඈඳී ඇත. මිනිස් ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම උදෙසා මෙම ගැටලු හා ප්‍රශ්න සාර්ථක අයුරින් විසඳීමට මිනිසා වෙහෙසෙමින් සිටියි. මිනිස් ජීවිතයේ ප්‍රශ්න පිළිබඳ ව ඉතා පළල් කෝණයකින් විමසන විට ඒවා කොටස් දෙකකට වර්ග කළ හැක. මෙම පළල් වර්ගීකරණය අනුව මිනිසාගේ ප්‍රශ්න ලෞකික ජීවිතයේ ප්‍රශ්න හා ලෝකෝත්තර ජීවිතයේ ප්‍රශ්න වශයෙන් බෙදා වෙන් කළ හැක.

ලෞකික ජීවිතයේ මිනිසා මුහුණ පාන ප්‍රශ්න අතුරින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජීවනෝපාය, පවුල් ජීවිතය, සමාජ සම්බන්ධතාවන්, පරිපාලනය, රාජ්‍යය පාලනය, නීතිය හා අධිකරණමය කටයුතු මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවන් ආදී ක්ෂේත්‍රයන්ගෙන් මතු වන කරුණු වැදගත් ස්ථානයක් ගනියි. මිහිතලය මත ජීවත් වන සෑම මිනිසෙකුටම කුමන අයුරකින් හෝ මෙවන් ප්‍රශ්නයන්ට මුහුණ දීමට සිදුවීම වැළැක්විය විය හැකි කරුණක් නොවේ. මෙවන් ප්‍රශ්නයන් පිළිබඳ ව විසඳුම් සෙවීමේදී මිනිසා දක්වන ප්‍රායෝගිකත්වය, කාර්යක්ෂමතාව හා බුද්ධි ගෝචර භාවය මත මිනිසාගේ සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ සැකසී ඇත.

ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳ ව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය විචාරයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි. අපට අවශ්‍යතාව තිබේ නම් ලෞකික ජීවිතයේ සිදු වන වැරදි නිවැරදි කරගන්නටත්, එලෙසම අකුසලයන්ට ප්‍රතිකර්ම යොදා ගන්නටත් අවස්ථාවන් විවෘත ව ඇත. මෙවන් අවස්ථාවක් ලෝකෝත්තර ජීවිතයේ තිබේ යැයි කිසිම දහමක් උගන්වන්නේ නැත. ලෝකෝත්තර ජීවිතය අපගේ ලෞකික ජීවිතයේ ඵල නෙළාගන්නා ස්ථානය ලෙසයි අප දකින්නේ. ලෝකෝත්තර නැතිනම් මරණින් මතු ජීවිතයක් සැබැවින්ම තිබේ ද? මරණින් මතු ජීවිතයක අවශ්‍යතාව කුමක් ද?  අප මෙම කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.

සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිළිගැනිමට අවශ්‍ය වන සහේතුක සාධක  කිහිපයක්  ඇත. අප මෙහි  ආරම්භයේදි  සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි. නමුත් මෙම දුරාචාරයන්  තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව  අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට  ආශා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නා වු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා  විශේෂිත වු ප්‍රයත්නයක මිනිසාට නියැළෙන්නට සිදු වේ. අනිවාර්යයෙන්ම මෙම අධිෂ්ඨානශීලි ප්‍රයත්නය සඳහා යහ විපාක ප්‍රදානය කිරිමක් මිනිසාට සිදු විය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රදානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන්  මිනිසාගේ යහ ක්‍රියාවන් සඳහා වු නැඹුරු ව  වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ  විපාක ප්‍රදානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි සිදු වන්නක් නොවේ. එලෙසින්ම දුරාචාරයෙහි නියැළෙමින් තම හැගිම් වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දීමක් සිදු විය යුතුය. මෙය ද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේ දි නිසි පරිදි සිදුවන්නක් නොවේ.

ඇතැම් දුරාචාර කටයුතු වැළැක්විම සඳහා මිනිසා විසින් නීති සකස් කර තිබුණ ද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද අපි ඉතා හොදින් දනිමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරි දෙන ඔහුට ඒ සඳහා මානසික ව හා කායික ව උනන්දු කරවන හා පොලඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සඳහා යහ විපාක ලබා දෙන තැනක් අනිවාර්යයෙන්ම තිබිය  යුතුය. මෙය නිසි ලෙස මිහිතලය මත වු ජිවිතයේ දි  සිදු නොවන නිසා මරණින් මතු ජිවිතයේ දි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රදානය කිරිමක් පිළිබඳ ව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු  සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිඳී යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ට ද ඔවුන් ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොවේ සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විඳින්නට සිදු වන තත්ත්වය අමතක  කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත්  මිනිස්  සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටීමය.

“(නබිවරය) තම ආශාවන් (තෘෂ්ණාවන්) තමන්ගේ දෙවිඳුන් වශයෙන් කව්රුන් පත්කර ගත්තේ ද ඔහු ව නුඹ දුටුවෙහි ද? නුඹ ඔහුට ආරක්ෂකයෙකු ලෙස සිටින්නෙහි ද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (නුඹගේ මග පෙන්විම් වලට) සවන් දෙන්නේ යැයි ද  නැතහොත් එය වටහා ගන්නේ යැයි ද නුඹ සිතන්නෙහි ද? ඔවුන් තිරිසනුන් ලෙස මිස වෙන කිසිවක් නොමැත. නැත, ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් ලෙස සිටින්නන් ය”. (අල් කුර්ආන් 25:43-44)

මෙයින් අදහස් වන්නේ තම සිතෙහි උත්පාදනය වන්නා වු පහත් හා දුරාචාර හැඟීම් වලට යටත් වන්නා නියත වශයෙන්ම තිරිසනුන්ට වඩා පහත් තත්ත්වයකට පත් වන බවය. මෙම තත්ත්වය වෙනස් කරන්නට නම් මිනිසාගේ සිත් සතන්හි මරණින් මතු ජිවිතයක් ඇති බවත් එහිදි තමන්ගේ මිහිතලය මත වු ජිවිතයේ සියලු ක්‍රියාවන් සදහා විපාක  විඳින්නට  සිදු වන බවත් ඔහුට ඒත්තු ගැන්විය යුතුය. මරණින් මතු ජිවිතය පිළිබඳ විශ්වාසය නිශ්චිත වශයෙන්ම මිනිසා ව නිවැරදි විශ්වාසයකින් හා යහ ක්‍රියාවන්ගෙන් පරිපුර්ණ වු අයෙකු බවට පත් කරන්නට මග සලස්වයි.

අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳ නීති රීති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයකට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම් ලබා දෙන තැනක් තිබිය යුතු බව පිළිගැනිමට මිනිසාට අපහසුතාවක් තිබිය නොහැක. එය ද සිදු විය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදු වේ. එයට ප්‍රධාන හේතුව පරම සාධාරණීය යුක්තිය පසිඳලීමේ පිළිවෙතක් සකස් කිරීමේ හැකියාව මිනිසාගේ ශක්තියට පරිබාහිර වුවක් වන අතර පවතින  පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේදී වුවද මිනිසාටම ආවේණික වූ බොහෝ දුර්වලතාවන් හේතුවෙන් ම  එහි සර්ව පරිපුර්ණ සාධාරණත්වයක් හා සාර්ථකත්වයක් සහතික කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

මෙම දඬුවම් දිම සඳහා සියලුම දහම් අපායක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. මෙය පාරභෞතික සංකල්පයකි. අවාසනාවට ඇතැම් දහම් මෙම පාරභෞතික සංකල්පය භෞතික එකක් බවට පත් කොට ඇත. අපාය පිහිටා ඇත්තේ පොළොව යට මෙතරම් ගැඹුරකින් බව පවසන විට  එය භෞතික තත්ත්වයට පත් වෙයි. මෙමගින් එම සංකල්පය මිත්‍යාවක් බව සිතන්නට බොහෝ විට ඉඩ ඇත. මේ හේතුවෙන් ම මිනිසාගේ සදාචාර සම්පන්න ජීවිතයට බෙහෙවින් උපකාරී වන සාධකයක් වූ මරණින් මතු ජීවිතය අර්ථ ශුන්‍ය දෙයක් බවට පත් ව ඇත.

මරණින් මතු විපාක විඳින්නට සිදු වන බව නිශ්චිත ව විශ්වාස කරන්නා දුරාචාරයෙන් හා අපරාධයන්ගෙන් වැළකි සිටිමට ප්‍රයත්නයක යෙදීම යථාර්ථයකි. නමුත් මරණින් මතු ජිවිතයක් ඇති බව පවසන අතර එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත් කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැති ව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් වන්නේ කෙලෙස ද?

අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමා ම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විඳින පුද්ගලයා තමා නොවන බවත් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේ දි ඔහු ව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත් කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත්  තම මරණින් පසු සිදු වන්නේ  අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන් වන විට අප ඇදී යන්නේ කුමන දිශාවකට ද? තම මරණින් පසු උපදින්නේ තමා ම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියලු ආශාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරයේ පසුපස දුව යන්නට දිරි දීමක් මෙයින් සිදුවෙනවා නොවේ ද?

කරන ලද කිසියම් අකුසලයක් සඳහා මරණින් මතු නැවත ඉපදී විපාක විඳින්නේ නම් තමා විසින් සිදු කරන ලද අකුසලය සඳහාම තමා විපාක විඳින්නේ දැයි අදාළ තැනැත්තාට අවබෝධ වේ ද? පෙර ජීවිතයක දී කරන ලද අකුසලයක් සඳහා නැවත ඉපදුණේ සුනඛයෙකු ලෙස නම් එකී සුනඛයාට තමා සුනඛයෙකු ලෙස ඉපදුණේ තමා විසින් පෙර ජීවිතයේදී කරන ලද අකුසලයක් නිසා දැයි දනියි ද? දැනේ ද?

සුනඛයෙකු ලෙස නැවත ඉපදී එකී සුනඛයා ලද අහර අනුභව කර ගසක සෙවණේ සැනසිල්ලේ හිඳ සිටීම හෝ නිදා සිටීම බොහෝ විට අපි සියලු දෙනා දැක ඇත්තෙමු. කිසිදු විඳවීමක් නොමැතිව සුනඛ සුවයෙන්ම කල්ගත කරයි. ඌට තමා සුනඛයෙකු ලෙස හෝ සුනඛ වේදනාවන්ට මුහුණ දී සිටින්නේ පෙර ජීවිතයක දී කරන ලද අකුසලයක් නිසාවෙනි යන්න නියත වශයෙන්ම නොදනී යන්න බුද්ධි ගෝචර සියලු දෙනා එකහෙළාම පිලිගනිතියි හුදෙක්ම විශ්වාස කරන්නෙමු.

සුනඛ උපහැරණය මිනිසාට වූවද උචිත යැයි සිතන්නෙමු. මෙම ජීවිතයේ දඬුවම් ලබන්නා වූවද තිලිණ ලබන්නා වූවද තමාගේ පෙර ජීවිතයේ ඵලවිපාකය නිසාම තමාට හිමි දේ ලැබී ඇතැයි යන චේතනාව දැනිය යුතුය යන්න සඳහන් කළ යුතුය. අපට එසේ දැනේ ද යන්න ගැන කරුණාකර මොහොතකට සිතා බලන්න.

මිනිසාගේ හෝ අන් ජීවියෙකුගේ හෝ ක්‍රියා පිළිබඳ මරණින් මතු විපාක දීම සිදු කිරීමේ යාන්ත්‍රණය කුමක් ද යන්න බොහෝ දහම් හි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට නොමැත. ජීවියෙකුගේ ජීවිත කාලයක හොඳ නරක සටහන් හෝ වාර්තා තිබෙන්නේ කොහේ ද? මෙය සිදුවන නියාමයක් පිළිබඳ සඳහනක් ඇත. මෙම නියාමය හෝ සිද්ධාන්තය ඉබේ ඇති වී ක්‍රියාත්මක විය හැකි ද? ඵලයක් ඇති වීමට පාදක වූ හේතුව විග්‍රහ නොකොට එම හේතුව අහඹුවක් ලෙස දැක්වීමට උත්සාහ කිරීම පිළිගත හැක්කේ කෙලෙස ද?

ඉස්ලාමය මෙයට හාත්පසින්ම වෙනස් වු ආකාරයකින් මෙම සංකල්පය ඉදිරිපත් කරයි. එය මිනිසාගේ විචාර බුද්ධියට එකඟ විය හැකි මෙන්ම නුතන විද්‍යාත්මක සාධක පදනම් කර ගෙන කරන්නා වු ඉදිරිපත් කිරීමක් ලෙස ඔබට දැකිය හැකිද යන්න පිළිබඳ ව කරුණාකර විමසුමක යෙදෙන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. නිවැරදි විශ්වාසය මෙන්ම සදාචාර සම්පන්න ජිවිතයකට ඉස්ලාමීය මරණින් මතු ජිවිතය පිළිබඳ ව වු සංකල්පය දිරිගැන්විමක් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව නිගමනය කළ යුතු ව ඇත්තේ ඔබමය. පළමු ව මරණින් මතු ජිවිතයක් සහතික වශයෙන් ම ඇති බවත් එහි දී මිහිතලය මත කළ ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල් කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති  ආකාරය විමසා බලමු.

“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල  අපි එක් රැස් (කොට ඔහු ව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහි ද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙර තිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75:2-4)

මිනිසාගේ සිත් තුළ නළියන නිරන්තර සැකයක්, එනම් තමා මියගොස් දිරාපත් වී පස් බවට පත් වුවායින් පසුව කෙසේ නම් ඔහු ව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින්  මිනිසාට  ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිත ව අල් කුර්ආනය පිළිතුරු සපයන ආකාරය සැබැවින්ම සෑම මිනිසෙකුගේම අවධානයට ලක් විය යුතු කරුණක් බව අපි දකින්නෙමු. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිලි තුඩට සමාන නොවන බව පළමු වරට සොයා ගනු ලැබුවේ 1880 දී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. ඇඟිලි තුඩෙහි ඇති මෙම සුවිශේෂත්වය කෙසේ නම්  අවුරුදු 1400 කට පෙර පහළ වු අල් කුර්ආනය අපට දක්වන්නේ ද යන්න සිතා බැලිය යුතු වැදගත් කරුණක් නොවන්නේ ද? අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමා ම බව සනාථ කරන වෙනස් කළ නොහැකි ප්‍රබලතම සාක්ෂියයි. මෙම ප්‍රාතිහාර්යජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳ ව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේ ද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ  මිය ගිය මිනිසා ම  බව සහතික කරන පණිවිඩයත් මෙම කුර්ආන් වැකිය තුළ  ගැබ් වි තිබෙනවා නොවේ ද? එසේ නම් මිහිතලය මත වු තමාගේ ජිවිතය සම්බන්ධ ව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේ ද යන්න ගැන අප අනිවාර්යයෙන්ම සිතා බැලිය යුතු නොවන්නේ ද? සදාචාරය සම්බන්ධ ව අසාර්ථක රටක් යන තත්ත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටින්නා වූ අපගේ මාතෘ භුමිය අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මත්පැන් පරිභෝජනය, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් වැනි දුරාචාරී ක්‍රියා පිළිබඳ ව ලෝක වාර්තා පිහිටු වන තත්ත්වයකට ආසන්න ව ඇත්තේ කුමක් නිසා ද යන්න අප සැවොම සිතා බැලිය යුතු ව තිබෙනවා නොවේ ද? අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් හි අඩුපාඩුවක් පිළිබඳ පැහැදිලි මග සලකුණක් මෙයින් හෙළිදරවු නොවන්නේ ද?

අපාය නිශ්චිත ස්ථානයක් ‍පිහිටා ඇති බව නොකියන අල් කුර්ආනය එය පාරභෞතික වුවත් මිනිසාට අපහසුතාවකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්‍යාත්මක සාධකයන් අපාය පිළිබද ව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.

“කවුරුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්‍රතික්ෂේප  කරන්නේ ද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේ දි) අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ  සම (එම ගින්නෙන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සීමේ වේදනාව (නිරන්තරයෙන්) දැනීම සඳහා ඒ වෙනුවට අලුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්‍රඥාවන්තය.” (4:56)

ඉහත අල් කුර්ආන් වැකිය දැනුම් දෙන්නේ පිලිස්සිමේ වේදනාව දැනෙන්නේ සමෙන් බවය. ඉතා නුතන ශරිර ව්‍යුහ විද්‍යාත්මක  (Anatomy) සොයා ගැනිමක් නම් සමෙහි වේදනා ග්‍රාහකයන්  (Pain Receptors) ඇති බවත් සම සහමුලින්ම විනාශ වි ගියායින් පසු වේදනාව නොදැනෙන බවත්ය. ලෝක ප්‍රසිද්ධ ව්‍යුහ විද්‍යාඥයෙකු වු තායිලන්තයේ චියෑංමායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තගතත් තෙජසන් හට (Prof. Tagatat Tejesen) මෙම අල් කුර්ආන් වැකිය මුස්ලිම් විද්‍යාඥයින් විසින් පෙන් වු අවස්ථාවේදි අල් කුර්ආනය අවුරුදු 1400 ක් පැරණි යැයි දැන ගත් විට මවිතයෙනුත් මවිතයට පත් විය. ඉතා නුතන විද්‍යාත්මක සොයා ගැනීමක් කෙසේ නම් අවුරුදු 1400කට පෙර අල් කුර්ආනයට ඇතුළු විය හැකි වන්නේ දැයි ඔහු විසින් විමසා සිටින ලදී. අල් කුර්ආනයේ ‍ඓතිහාසික පසුබිම පැහැදිලි කිරිමෙන් පසු එහි ඉංග්‍රිසි පිටපතක් ලබා ගත් මෙම මහාචාර්ය වරයා අවුරුද්දක් මුළුල්ලේ  අල් කුර්ආනය හදාරා සෞදි අරාබියේ රියාද්  නුවර පවත්වනු ලැබු අට වැනි වෛද්‍ය  සම්මන්ත්‍රණයේදි ප්‍රසිද්ධියේම ඉස්ලාමය වැලඳ ගත්තේය. ඉස්ලාමය වැලද ගනිමින්  එතුමා ප්‍රකාශ කළේ පාර භෞතික සාධක මෙවන් නුතන විද්‍යාත්මක සත්‍යයන් සමග මිනිසාගේ අවධානයට  ඉදිරිපත් කිරිමෙන් එය විශ්වාස කිරිමට හා පිළිගැනීමට මිනිසාට පහසුවක් ඇති වන බවයි. එතුමා මෙම සම්මන්ත්‍රණයේ දි කළ කථාව අදත් youtube.com වෙබ් අඩවියෙන් සැමට  දැක අසා ගන්නට හැකියාව ඇත. අප මෙම ලිපියෙන් සාකච්ඡා කළේ තර්කයට නුතන විද්‍යාවට බුද්ධියට හා විචාරයට පිළි ගත හැකි අයුරින් මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ ව විශ්වාස කිරීමට පාදක වන්නා වූ කරුණු ඔබගේ බුද්ධිමය අවධානය පිණිස ඉදිරිපත් කිරිමය.

(මතු සම්බන්ධයි)

www.yayuthumaga.com

සකස් කිරීම: ඉබ්නු මන්සූර්

Leave a Reply

Your email address will not be published.