“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම මිනිසුන්ගේ මනසේ තැන්පත් වී තිබෙන ස්වාභාවික විශ්වාසයක්. මෙම විශ්වාසය ඔවුන්ට ලැබී තිබෙන්නේ උපතින්මයි. මනෝවිද්‍යා විද්වතුන්ද මේ බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා.

2008 ජුලි 26 වැනි දින ඕස්ට්‍රේලියාවේ පළ කෙරුණු “The Age” නම් පුවත්පතට ලිපියක් සපයමින් බාර්නි ස්වාට්ස් නම් ලේඛකයා පහත සඳහන් අයුරින් ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා. (https://www.theage.com.au/national/infants-have-natural-belief-in-god-20080725-3l3b.html).
“ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසුව අත්කර ගන්නක් බවයි. බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මගින් ‘දහම හා මනෝවිද්‍යාව’ යන තේමාව යටතේ පවත් වන ලද සම්මන්ත්‍රණයකදී, පෙර පාසැල් දරුවන් පවා ඔවුන්ගේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධය තුළ දේවධර්ම සංකල්පයන් නිර්මාණය කළ බවද ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියාය. දහම් පිළිබඳ මනෝවිද්‍යාත්මක විශේෂඥවරියක් වන ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ මිනිසාගේ ස්වභාවිකත්වය දේව විශ්වාසය ද නැතිනම් අදෙවත්වය ද යන්න පිළිබඳ  මනෝවිද්‍යාඥයින් අතරේ විවාදයක් තිබු අතර ඇගේ මතය වුයේ දේව විශ්වාසය උගන්වනු ලබන්නක් නොව ස්වභාවයෙන් ම වර්ධනය වන්නක් බවයි. ‘The Age’ සඟරාව වෙත ඇය පවසා සිටියේ දේව විශ්වාසය මිනිස් චෛතසිකයට ඉතා තදින් ම බැඳී ඇති බවයි. ආචාර්ය පෙට්‍රොවිච් පවසා සිටියේ තම නිගමනයන් විවිධ අධ්‍යයනයන් මත අපදනම් වූවක් වන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 4 සිට 6 දක්වා වූ ජපාන දරුවන් අතරේ හා ආගමික විශ්වාසයන් හතකට අයත් වූ වයස අවුරුදු 5 සිට 7 දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන් 400 අතරේ කළ අධ්‍යයනයන් මෙම නිගමනයට ඒමට උපකාරී වූ බවයි. අදේවත්වය සහතික වශයෙන්ම තමන් විසින් අත්කර ගන්නා ස්ථාවරයක් වන අතර මිනිස් සහජත්වයේ කොටසක් නොවන බව ඇය විසින් තරයේම පවසා සිටින ලදී”. මේ පිලිබඳ වැඩි විස්තර ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච්ගේ “Child’s Theory Of The World” නම් පොතේ සඳහන් වෙයි [Dr. Olivera Petrovich, “Childs Theory of World”].
බ්‍රිතාන්‍ය ‘ටෙලිග්‍රාෆ්’ පුවත්පතේ ආගමික කටයුතු පිළිබඳ වාර්තාකරු මාටින් බෙක්ෆොඩ් විසින් එම පුවත්පතට 2008 නොවැම්බර් 24 දින ඉදිරිපත් කළ වාර්තාවක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. (https://www.telegraph.co.uk/news/religion/3512686/Children-are-born-believers-in-God-academic-claims.html).
ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) ද මිනිසුන් තුළ තිබෙන මෙම සහජ දේව විශ්වාසය පිළිබඳව මෙසේ පවසයි:
“පසුගිය දශකයක පමණ කාලයක් තුළ ඒකරාශී වූ විද්‍යාත්මක සාක්ෂීන් විමසුමකට ලක් කිරීමේදී තවත් වැදගත් කරුණක් අනාවරණය වෙයි. එනම් අපි පෙර සිතුවාට වඩා බොහෝ දේවල් ළමා මනසේ වර්ධනය තුළ සහජයෙන්ම අන්තර්ගත වී තිබෙනවා. ස්වාභාවික ලෝකය නිර්මාණය වූ එකක් හා එයට අරමුණක් ඇති බවත් යම් ආකාරයක ඉහල බුද්ධියක් මෙම අරමුණ පසුපස සිටින බවත් පිළිගැනීමේ හුරුපුරුදු බවක්  ළමා මනසේ ස්වාභාවිකවම ඇති වී තිබෙන බව දැකගන්න පුළුවන්”
ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) පවසන අන්දමට යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන නිසා ඔවුන් අතර උත්තරීතර දෙවිකෙනෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් තිබෙනවා. එනම් කෙනෙක් දෙවිව(නිර්මානකරුවාව) විශ්වාස කරන්නේ මිනිස් මනස එසේ විශ්වාස කිරීමට ස්වාභාවිකවම හැඩ ගැසී තිබීම නිසයි. ජස්ටින් බැරට් පවසන්නේද මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නාවූ නිර්මාණකරුවෙකු සිටිනවා යන විශ්වාසය සමාජයේ බලපෑමෙන් කෙනෙකුගේ සිත තුළ ඇති නොවන බවයි [Dr. Justin L. Barrett, Jonathan A. Lanman, “The Science of Religious Beliefs”]. දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්‍යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසාන තීරණයයි.
“අපි ළමුන් කිහිපදෙනෙක් එක් දූපතකට දැමුවාට පසු ඔවුන් එහි ඔවුන් විසින්ම ස්වාභාවිකව හැදී වැඩුනා නම් ඔවුන් දෙවියන්ව (නිර්මානකරුවාව) විශ්වාස කරනවා” [Dr. Justin L. Barrett, “Why Would Anyone Believe in God?”].
මෙම පරීක්ෂණ වලින් අපට පෙනී යන්නේ මිනිසා සහජයෙන් අදේවවාදියෙකු හෝ නාස්තිකවාදියකු නොව දෙවිකෙනෙක් විශ්වාසකරන්නෙක්, දේවවාදියෙක් ලෙස උපදින බවයි. මුහම්මද් ﷺ ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා ඔහු ව යොමු කර වන බවයි [Sahih Muslim, Hadees No:2658]. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එම සත්‍යය විශ්වාසයට පටහැණි ආදේශකයන් තබා ගැනීමයි අද සිදුවෙමින් පවතින්නේ. එනම් සමාජයේ කිසිම බලපෑමකින් තොරව මිනිසුන් හැදී වැඩුනා නම් ඔවුන් එක් දෙවි කෙනෙකු විශ්වාස කරන පිරිසක් ලෙස සිටිනවා නියතයි. මෙය ඇතැම් ගවේෂකයන්ගේ ගවේෂණ ප්‍රතිපල වලින්ද සනාත වෙනවා.
‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොරව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත්වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරු කරුණු විග්‍රහ කොට තිබෙනවා.
“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ.” [W. S. F. Pickering, “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975].
මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතරේ කිසිඳු පරස්පරතාවක් නැහැ. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකුල ව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරු බව කිසිම සැකයක් නැහැ. මෙම කරුණු මගින් සනාථ වන්නේ ‘දේව විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවෙයිද? මෙලොව ජනිත වන සෑම මිනිසෙකුම මෙම ප්‍රතිඥාව ‘පරමාධිපති’ දෙවිඳුන් වෙත ලබා දී බිහි වී ඇති හෙයින් ඔවුන්ට කුමන සංස්කෘතික හා සමාජයීය තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වුවත් තම චෛතසිකයේ නොමැකිය හැකි ආකාරයෙන් සනිටුහන් වී ඇති දේව විශ්වාසයෙන් බැහැර විය නොහැකියි. ඉහත උදාහරණය මෙයට ඉතා උචිත නිදසුනකි.
කෙසේනමුත් සහජයෙන් හිමිවෙන මෙම දේව විශ්වාසය, සමාජයේ විවිධ බලපෑම් නිසා මිනිස් මනසේ සැඟවෙන්න පුළුවන්. මෙම සමාජ බලපෑම නිසා කෙනෙක් සබැ දෙවිඳුන් වෙනුවට වෙනත් දෙවිවරුන් විශ්වාස කිරීමට යොමු වෙනවා. දෙවිවරුන් ප්‍රතික්ෂේප කලත් කෙසේ හෝ තමා උසස් යැයි සලකන දෙයකට වහල් වී එය තම පරමාධිපති ලෙස පිළිගැනීමටද මිනිසුන් යොමු වී තිබෙනවා. එසේ මිනිසුන් යොමු වන්නේ ස්වාමියෙකුට නමස්කාර කිරීමේ, නොඑසේනම් අවනත වීමේ ස්වභාවය මිනිස් මනස තුළ සහජයෙන්ම තැන්පත් වී තිබීම නිසයි. නිදසුනක් ලෙස දේවවිශ්වාසය බැහැර කළ ස්ටාලින්, මාඕ සේතුං වැනි පුද්ගලයන්ටම ප්‍රතිමා ඉදිකර, එම ප්‍රතිමා වලට මාල දැමීම ගරු බුහුමන් දැක්වීම යනාදී ක්‍රියාකාරකම් තුළින් පෙනී යන්නේ මිනිසා තුළ තිබෙන මෙම වහල්භාවයයි. ඇතැම් විට මිනිසා වහල් වන්නේ සමාජය විසින් ඉදිරිපත් කර තිබෙන විවිධ මතවාද හා සංකල්ප වලටයි. ඇතැම් විට, කෙනෙකු සිතිය යුතු ආකාරය, ඇඳිය යුතු ඇඳුම්, සදාචාරය යනාදී දේවල් තීරණය වෙන්නේ සමාජීය මතවාද වලින් බව සමාජය දෙස අවධානයෙන් බලන්නෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී සිදු වී තිබෙන්නේ තමාගේ සැබෑ ස්වාමියා වන සර්වබලධාරී දෙවියන් වෙනුවට අන් දේවල් වලට වහල් වී කටයුතු කිරීමයි.
කෙසේනමුත් මනසේ සැඟවී තිබෙන සැබෑ සහජ දේව විශ්වාසය අවදි කිරීමට ඇතැම් සාධකයන් උපකාර වෙනවා. මින් එකක් වන්නේ හදිසි අපදාවන්ය. හදිසි ආපදාවක් අනතුරක් ඇති වූ විට මිනිසා විසින් විශ්වයේ සත්‍ය වූ ශක්තිය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ආදේශකයන් අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් මතු වී එන්නේ සත්‍යයේ හඬයි. ගසකට පිළිරුවකට මිනිසෙකුට තැබූ ආදේශය අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් විශ්වයේ සැබෑ ශක්තියට ආමන්ත්‍රණය කිරීමේ හඬ ඉස්මතු වී එන හැටි අප විවිධ අවස්ථාවන් හි දැක තිබෙනවා. අදේවත්වයේ මග අනුගමනය කරන්නන් පවා මෙලෙස අසරණ වූ අවස්ථාවන් හි සරණ පතා හඬ නගන හැටි අප දැක තිබෙනවා. මීට අමතරව සඟරාවක සඳහන් වූ ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වූ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයින් පිරිසක් තමන් තෝරා ගත් විෂය ධාරාවක් ඔස්සේ ආචාර්ය උපාධිය වෙත යොමු වූ පර්යේෂණාත්මක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වුණා. මෙම ශිෂ්‍යයින්ගේ අයදුම්පත් පරීක්ෂාකර බැලු මහාචාර්ය මණ්ඩලයට එක් පොදු ලක්ෂණයක් මෙම අයදුම්පත් හි දකින්නට තිබුණා. එනම් එක් ශිෂ්‍යයෙකු හැර අන් සියල්ලම ‘දහම’ යන කොටුව සඳහා ලබා දී තිබුණේ තමන් අදේවවාදී යන අර්ථය ඇති පිළිතුරුයි. මෙම අයදුම්පත් පරීක්ෂා කර බැලූ මහාචාර්ය මණ්ඩලය ශිෂ්‍යයින්ගේ මෙම පොදු සාධකය පදනම් කර ගෙන පර්යේෂණයක් කරන්නට සැලසුමක් සකස් කර ගත්තා. මෙම විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍යයින් හට තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙස පහතින් පියාසර කළ හැකි හා පිනුම් ගැසිය හැකි ගුවන් යානයක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය පිහිටා ඇති නගරයේ සංචාරයක යෙදී ආපසු පැමිණියායින් පසු මහාචාර්ය මණ්ඩලය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ආරාධානා කරනු ලැබූවා. ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු යානයේ පාලනය තමන් වෙත නොමැති බව නිවේදනය කරන ලෙස මහාචාර්යවරුන් විසින් ගුවන් යානයේ නියමුවාට උපදෙස් දී තිබුණා. ‘කරුණාකර අවධානය යොමු කරන්න! ගුවන් යානයේ පාලනය මාගෙන් ගිලිහී ගොස් ඇත! කරුණාකර ආසන පටි පැලඳ අසුන්ගෙන සිටින්න!’ මෙවන් නිවේදනයක් ගුවන් යානයක් මගීන් සමග ගුවන්ගත වූවායින් පසු නියමුවා විසින් නිකුත් කළ විට සියලුම ගුවන් මගීන්ගේ සිතෙහි ඇති විය හැකි එකම හැඟීම නම් ගුවන් යානය කඩා වැටී සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වීමේ තත්ත්වයට පත් වනු ඇතැයි යන්නයි.
ඉහත ගුවන් යානයේ එක් අයෙකු හැර සියල්ලන්ම අදේවාදීන්ය. අදේවවාදියෙකුට මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඔහුට මරණය යනු බියක් ජනිත කළ යුතු කාර්යයක් නොවේ. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටී විවිධ ආකාරයේ බරපතළ කායික පීඩා ඇති විය හැකි බව හැඟෙන්නට ඉඩ තිබෙනවා. මෙවන් බියකරු තත්ත්වයක් තුළ ගුවන් යානයේ සිටි මගීන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි මොහොතකට ආවර්ජනය කර බලන ලෙස ඔබගෙන් අප කාරුණික ව ඉල්ලා සිටිනවා. මහාචාර්යවරුන්ගේ උපදෙස් පරිදි ගුවන් යානය තුළ සිදු වන දෑ සටහන් කර ගැනීම පිණිස වීඩියෝ කැමරා සවිකර තිබූ නිසා නියමුවාගේ පාලනයෙන් ගුවන් යානයේ පාලනය ගිලිහී ගියා යැයි පැවසු මොහොතේ සිට සිදු වූ සියල්ල වාර්තා වී තිබුණා. තමන්ගේ අයදුම්පත භාරදෙන මොහොතේ වීරයින් ලෙසින් තමන් අදේවවාදීන් යැයි පැවසු සැවොම ගුවන් යානය තුළ හඬා වැටෙමින් ‘අහෝ දෙවියනි! අපව ආරක්ෂා කරනු මැනව!’ වැනි වදන් පවසමින් කන්නලව් කළ ආකාරය සැබැවින්ම හද කම්පා කරවන සුළුයි. අදේවවාදීන් ලෙස වහසිබස් දොඩවන්නන් භයානක තර්ජනයකට මුහුණ දෙන අවස්ථාවක තම හදවතේ ජන්මයෙන්ම සනිටුහන් වී  ඇති ඒක දේවත්වය ඉස්මතු වී මෙලෙස  එම විශ්වයේ අධිපති දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලමින් කන්නලව් කරන තත්ත්වයන් අප දැක තිබෙනවා.
By: එම්. අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.