ඉබ්නු ෂිමාසා (රලි) තුමන් විසින් දැනුම් දෙන ලදී. අම්රු බින් ආස් (රලි) තුමන්ගේ මරණාසන්න අවස්ථාවේ අපි එහි රැස්වී සිටියෙමු. ඒ අවස්ථාවේ එතුමා අධික වේලාවක් ඇඬුවේය. තම මුහුණද බිත්තිය දෙසට හරවාගත්තේය. එවිට එතුමාගේ පුතෙකු මගේ ආදරණීය පියාණනි! ඔබට නබි (සල්) තුමන් අසවල්, අසවල් දේ පිළිබඳ සුභ පැතුවේ නැද්ද? කියා (දෙවරක්ම) ඇසීය. (නබි තුමා ස්වර්ගය පිළිබඳව සුභ පතා තිබිණි) එවිට එතුමා තම මුහුණ කෙලින් හරවා බලා මම (පරලොව සඳහා) සූදානම් කර ඇති දේවල්වලින් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ “ෂහාදතු අන් ලා ඉලාහ ඉල්ලල්හු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. මුහම්මද් (සල්) තුමන් අල්ලාහ්ගේ දූතවරයා වේ.) යන පරිශුද්ධවූ වාක්‍යයයි. මම මගේ ජීවිතයේ කඩඉම් (අදියර) තුනක් පසු කළෙමි.

(පළමු කඩඉම) මම මා ගැන බලමි. ඒ අවස්ථාවේ නබි (සල්) තුමන් කෙරෙහි මට වඩා බලවත් වෛරයකින් සිටී වෙනත් කෙනෙකු නොවීය. අවස්ථාව ලැබුණොත් එතුමා ඝාතනය කිරීම මාගේ එකම අරමුණ විය. මා එවැනි මානසික තත්ත්වයකින් සිටියදී මිය ගියේ නම් මම අපාගත වන්නෙමි.

(දෙවැනි කඩඉම) අල්ලාහ්ගේ මාගේ හදවතේ ඉස්ලාමය පිළිබඳ ආශාව ඇති කළ අවස්ථාවේ (ඉස්ලාමය වැළඳ ගැනීමට මගේ හිතේ ආශාව ඇතිවූ විට) මම නබි (සල්) තුමන් අමතා දූතවරයානනි! ඔබ තුමා සමග ප‍්‍රතිඥාව ගැනීම සඳහා ඔබේ දකුණු අත දික්කරන්න යැයි කීවෙමි. එතුමාණෝ තම දකුණු අත දික් කළහ. මම මගේ අත පස්සට ඇද ගත්තෙමි. එවිට එතුමාණෝ  ඕ අම්ර්! ඔබට කුමක් සිදුවූයේ දැයි ඇසූහ. මා (ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර) කොන්දේසියක් ඉදිරිපත් කරන්න සිතන්නේ යැයි කීවෙමි. ඔබේ කොන්දේසිය කුමක්ද? යනුවෙන් එතුමන් ඇසීය. මගේ පාපයන්ට සමාව ලබාගැනීම යැයි කීවෙමි. එතුමාණෝ “නියත වශයෙන්ම ඉස්ලාම් එයට පෙර පව් සියල්ල නැති කර දමන්නේය. හිජ්රත් ගමන එයට පෙර පව් සියලල් නැති කර දමන්නේය. හජ් කර්තව්ය එයට පෙර පව් සියල්ල නැති කර දමන්නේය” යැයි ප‍්‍රකාශ කළහ.

(පසුව) නබි (සල්) තුමන්ට වඩා ප‍්‍රිය වෙනත් කිසිකෙනෙකු මට නොවීය. මාගේ දෙනෙත්වලට එතුමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනත් නොවීය. එතුමා කෙරෙහි මා තුළ පවතින ගරුත්වය නිසා එතුමාව මම එක එල්ලේ නොබලමි. (එතුමා දෙස සාමාන්ය බැල්මක් හෙලා බිම බලා ගනිමි). එතුමා දෙස කෙලින්ම නොබැලූ නිසා එතුමාගේ (අංග ලක්ෂ‍ණ පිළිබඳ) වර්ණනා කරන ලෙස (දැන්) මාගෙන් ඇසුවොත් මම එයට අසමත්වෙමි. එවැනි අවස්ථාවක මා මරණයට පත්වූයේ නම් මා ස්වර්ගවාසීන්ගෙන් කෙනෙකු වන්නේ යැයි සතුටු වෙමි.

(තෙවැනි කඩඉම) අපි විවිධාකාර කටයුතු සඳහා (පරිපාලන) වගකීම්වලට යොමුවුනෙමු. (අම්රු බින් ආස් (රලි) තුමන් ඊජිප්තුවේ ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළේය.) ඒවායෙහි මගේ තත්ත්වය කෙසේදැ?යි මම නොදනිමි. මා මිය ගිය පසු විලාප නගන ගැහැණුන් හෝ ගින්දර හෝ මා පසු පස නො ආ යුතුය. මාව ඔබලා භූමිදානය කළ පසු මා උඩට ටිකින් ටික පස් තල්ලු කරන්න. පසුව ඔටුවෙකු මරා (උගේ මස) බෙදා වෙන්කරන තරම් වේලාවක් මා වටා රැඳී සිටින්න. මා ඔබලා කෙරෙහි සෙනෙහස ඇතිකරගැනීමටත් මගේ පරමාධිපතිගේ දූතයින් හට (මුන්කර්, නකීර් දෙදෙනාට) දියයුතු පිළිතුරු සිතාගන්නටත් (මාව තනි නොකර මඳ වේලාවක් මා වටා රැඳී සිටින්න) යනුවෙන් ප‍්‍රකාශ කළේය. (මූලාශර්ත ය: මුස්ලිම්).

හිජ්රත් ගමන යනු: කෙනෙකු ජීවත්වන පෙදේසයෙහි ඉස්ලාම් අනූව ජීවත්වීමට නොහැකි වාතාවරණයක් ඇතිවූ විට ඉස්ලාමීය වටපිටාවක් ඇති පෙදේසයක් බලා අරඹන ගමනයි.

කෙනෙකු තමන් ගෙවමින් සිටින ජීවතය වෙත මඳක් ආපසු හැරී බැලීමත්, ඒ තුළින් සිය ජීවිතය නිසි අයුරින් හැඩගස්සා ගැනීමත් මෙම දිවිය තුළම සිදුවිය යුතුය. මුලු ජීවතියම නිර්මලවූ ඉස්ලාම් දහම වෙනුවෙන් කැප කළ නබි (සල්) තුමන්ගේ ශ්‍රේෂ්ඨවූ මිතුරන් කොතරම් මහඟු ආදර්ශයන් අප ඉදිරියේ තබා ගොස් ඇත්ද?

පරිවර්තනය: සෙයියද් මුහම්මද්