තමන්ගේ අනන්‍යතාව වසන් කර ගැනීමට සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය පැළඳ විවිධ සොරකම් සිදු වූ හෙයින් මුහුණු ආවරණ හෙල්මටය තහනම් කිරීමේ නීති ගෙන ඒම පිළිබඳ යෝජනා හා අදහස් පසුගිය කාලවකවානුව තුළ අසන්නට ලැබිණි. 

මුහුණු ආවරණ හෙල්මටය යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂක මෙවලමකි. පොලිස් වාර්තා අනුව මාර්ග අනතුරු වැඩිහරියක් ම සිදු වී ඇත්තේ යතුරුපැදි ගැටීමෙන් මෙන්ම වැඩි මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව ද වාර්තා වී ඇත්තේ මෙමගින් බව සඳහන් වේ. මෙම කරුණු සියල්ල කෙරෙහි බුද්ධිමය වශයෙන් සළකා බැලීමේ දී යෝජනා විය යුත්තේ යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය අනිවාර්ය කිරීමය.

සොරුන් මෙය ඔවුන්ගේ අනන්‍යතාව සඟවා ගැනීමට උපයෝගී කරගන්නේ නම් එය මුහුණු ආවරණ හෙල්මටයේ වැරැද්දක් නිසා සිදුවන්නක් නොවේ. ප්‍රශ්නයක් වී ඇත්තේ යතුරු පැදිය පදවන අවස්ථාවේ අවශ්‍ය වන මෙම හෙල්මටය මහ මග ඇවිදීන විට හා ගොඩනැගිලිවලට ඇතුළුවීමේ දී පැළඳීමයි. මේ පිළිබඳව විසඳුමක් ලබා නොදී සම්පුර්ණයන්ම මුහුණු ආවරණ හෙල්මටය තහනම් කිරීමට කළ යෝජනාව මහදැනමුත්තා විසින් මුට්ටිය හිසේ හිරවුණු එළුවාගේ ප්‍රශ්නය විසඳීම සඳහා එළුවාගේ හිස ගසා දමන්නට තීන්දු කළා හා සමාන යැයි අපට සිතේ.

මෙම හෙල්මට් තහනම් යෝජනාව අනුව අනිසි අතුරු ඵල ඇති සෑම ඖෂධයක් ම තහනම් කළ යුතු වෙයි. අනිසි අතුරු ඵල නොමැති ඖෂධ වර්ග නොමැති තරම් ය. ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගත් මාරක අවිය සඟවාගෙන ආවේ චීවරය තුළ බව අපි සැවොම දන්නා කරුණකි. මෙය පදනම් කරගෙන චීවරය තහනම් කිරීමට කෙසේ නම් යෝජනාවක් ගෙන ඒමට හැකි දැයි අසන්නට කැමැත්තෙමු.

අප කළ යුත්තේ අසාධාරණ නීති පැනවීමට කරන්නා වූ යෝජනාවන්ට එරෙහිව හඬ නැගීම විනා එකී අසාධාරණය තවත් අසාධාරණයකින් විසඳුම් සෙවීම නොවේ. අපරාධ මැඩලීම සඳහා යැයි පවසමින් මුහුණට හා හිසට ආරක්ෂාව ලබා දුන් සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මට තහනම් කිරීම අනුමත කළ නොහැකිවා සේම එකී කාරණාව සඳහාම යැයි පවසමින් තමන්ගේ මුහුණ වසන්නට තමන්ට ඇති අයිතිය උල්ලංඝණය කිරිම ද කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ඉස්ලාමීය විද්වතුන් අතරේ කාන්තා මුහුණු ආවරණය පිළිබඳ මත දෙකක් දක්නට ඇත. එක් පාර්ශවයක් එය අනිවාර්ය යැයි පවසන අතර තවත් පාර්ශවයක් එය අනිවාර්ය නොවන වෛකල්පිත (optional) එකක් යැයි පවසති. අනිවාර්ය යැයි පවසන විද්වතුන් ද තමන්ගේ අනන්‍යතාව අවශ්‍යවන සෑම අවස්ථාවකම ඒ සඳහා මුහුණ නිරාවරණය කොට පෙන්වීම පිළිගනිති. එහෙයින් ඉස්ලාමීය කාන්තා මුහුණු ආවරණය ආරක්ෂක තර්ජනයක් යැයි පැවසීම සත්‍යයෙන් බැහැරවුවකි.

මෙලෙස අපරාධ මැඩලිය හැකි නම් කුඩු ගංජා ප‍්‍රවාහනයට බහුලව යොදා ගනු ලබන කාන්තා හා පිරිමි යට ඇඳුම් තහනම් කිරීමෙන් කුඩු ගංජා ප‍්‍රවාහනය වැළකිය හැකිය. හමුදා නිල ඇඳුම් අවභාවිතා කරමින් මංකොල්ල කෑම්වල සමහරු නිරත වුවා අපට අමතක නැත. එසේ නම් එකි නිල ඇඳුම් ද තහනම් කළ යුතුය. එවිට අපරාධ මැඩලීම හරිම පහසුය. අපරාධකරුවන් යනු තම අරමුණ වෙනුවෙන් විකල්පයන් සොයා යන කණ්ඩායමකි. තහනම් වූ සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය වෙනුවට ඔවුනට හෙට විකල්පය සපයන්නේ රෙදි කඩක් නම් මේ රටේ රෙදි කඩත් තහනම් වේවිද?
ඉහත අදහස් දැක්වීම් තුළින් උත්සාහ කළේ ගෙන ඒමට යෝජිත සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මට් තහනම කිසිසේත්ම ප‍්‍රයෝගික නොවන බව සේම එම තහනම ගෙන එනවා නම් නිකාබය හා බුර්කාව ද තහනම් කළ යුතු යැයි කරන්නාවූ බොළඳ තර්කයද ප‍්‍රායෝගික නොවන බව පැහැදිලි අයුරින් පෙන්වා දීමට ය. ගෙන ඒමට යෝජිත නීතිය අවනීතියක් නම් එය තර්කානුකූලව පෙන්වා දී එයට එරෙහිව හඬ නගනවා මිස තවත් අවනීතියක් නීතියක් බවට පත් කිරීමට අනුබල දිම කිසිසේත්ම සුදුසු නොවේ.

අපගේ ආරක්ෂාව හා අයිතීන් වෙනුවෙන් අප සටන් කළ යුත්තේ වාර්ගිකත්වය හෝ දහම අනුව නොව වැරැද්ද නිවැරැද්ද කුමක්ද යන පදනම මත පිහිටාය. එසේ නම් මනුෂ්‍ය අයිතින් උල්ලංඝනය කරන, කිසිසේත්ම ප‍්‍රායෝගික නොවන මුහුණු ආවරණ හෙල්මට් තහනම් කිරීමට එරෙහිව සාමකාමිව හඬ නගමින් අපගේ විරෝධය දක්වන අතරම තවත් පිරිසකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට අනුබල දෙමින් බුර්කාවට නිකාබයට විරුද්ධව ගෙන යන්නා වූ පහත් ප‍්‍රචාරද හෙළා දකිමු.

නිකාබය හා බුර්කාව සදාචාරය සහතික කරන සාරධර්ම සපිරි ඇඳුමක් වන අතර යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂක මෙවලමක් වූ සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය මේ සමග පටලවා ගැනීම බුද්ධිමත් කිසිවෙකු අනුමත නොකරන්නක් බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. කාන්තාවක් තමන් වෙත යොමුවන පීඩාකාරී කාමුක නෙත් වලින් තමන් ව ආරක්ෂා කර ගැනීම සඳහා පළඳින නිකාබය හෙල්මට් තහනම් යෝජනාවට ඈඳීම වෛරය පදනම් කරගත්තක් මිස අන් කිසිවක් නොවේ.

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *