මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි.

ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා කටයුතු නොකළහ. නමුත් නූතන අන්තවාදී මුස්ලිම් ප්‍රජාව අරාබි සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කරමින් සංස්කෘතික ආක්‍රමණයක නියැලී සිටිති. විශේෂයෙන් ම වර්තමාන මුස්ලිම් කාන්තා ඇඳුම සමාජයට නොගැලපෙන හෙයින් කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. 

ඉහත ප්‍රශ්නයෙන් මතුකොට ඇත්තේ සමාජමය වශයෙන් අතිශයින් වැදගත් මාතෘකාවක් හෙයින් උද්වේගය පසෙක ලා අවංක සිතින් සමාජ යහපත අරමුණු කොට ගෙන පූර්ව නිගමනයන්, පාරම්පරික විශ්වාසයන්, විචාරයෙන් තොර වූ පක්ෂපාතිත්වය ආදියෙන් මිදී විවෘත මනසකින් යුක්ත ව යථාර්ථය, විචාරය, බුද්ධිය හා විද්‍යාව පදනම් කර ගෙන කරන්නා වූ සත්‍යය ගවේෂණකයට අවංක සිතින් අප හා එක්වන ලෙස ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.

ඉහත ප්‍රශ්නයෙන් මුස්ලිම් ඇඳුම් පැළඳුම් සංස්කෘතික ආක්‍රමණයක් ලෙස හුවා දක්වන්නට ප්‍රයත්නයක් දරා ඇති හෙයින් පළමුව ‘සංස්කෘතිය’ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි අදහස් කරන්නෙමු. සංස්කෘතිය පිළිබඳ ව රාජකීය පණ්ඩිත ගෞරවණීය බද්දේගම විමලවංශ නාහිමියන් විසින් රචිත ‘අපේ සංස්කෘතිය’ නම් වූ ග්‍රන්ථයේ උන්වහන්සේ ‘සංස්කෘතිය’ අර්ථ දක්වා ඇති ආකාරය පිළිබඳ ව අපගේ අවධානය යොමු කරමු.

“සංස්කෘතිය නම් සකස් කොට ගත් දෙයයි. වෙන වචන වලින් පැහැදිලි කරතොත් එහි තේරුම හැඩගැස්ම යනුයි. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් යම් හැඩගැස්මක් ඇත්නම් එය සංස්කෘතියයි. සමාජයක පවත්නා පොදු සිතුම් පැතුම් හා බාහිර ක්‍රියා පරම්පරාවේ විශේෂ ලක්ෂණ ඇත්නම් එබඳු ලක්ෂණ සංස්කෘතිය නමින් හැඳින් විය හැක. විශ්වයෙහි ජීවත් වන සත්ව ගණයා අතුරින් සංස්කෘතියක් ඇත්තේ මනුෂ්‍යයා ට පමණකි. සමාජයක ජීවත් වන තනි පුද්ගලයෙකු වෙන් කොට ගත් විට ඔහු ළඟ සංස්කෘතික ලක්ෂණ දැක්ක හැකිය. ඒ පුද්ගලයා ළඟ තිබෙන සංස්කෘතික ලක්ෂණ ඔහු අයත් සමාජයට හෝ ජාතියට අයත් යැ’යි නිගමනය කළ යුතුය. සමාජයක ඇති දේ, කරන දේ, සිතන දේ යන මේවා සියල්ල සංස්කෘතියක් විග්‍රහ කර බැලීමෙන් සොයා ගත හැකි ය. එසේම සෑම සංස්කෘතියක් ම අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් වෙනත් සංස්කෘති වල ආභාසය ලබා ඇත. අමිශ්‍ර සංස්කෘතියක් ලෝකයේ කිසි රටක නැත. සංස්කෘතිය වෙනස් වී යයි. එහෙත් බලයෙන් හෝ උපක්‍රමයෙන් හෝ සංස්කෘතියක් වෙනස් කිරීම ට උත්සාහ දැරීම මහ අපරාධයකි. ලෙහෙසියෙන් කළ නොහැක්කකි.” (රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් විසින් රචිත ‘අපේ සංස්කෘතිය’ පිටු 1 – 4)
‘සංස්කෘතිය’ පිළිබඳව ඇති ජාත්‍යන්තර විද්වත් මතයක් දෙසට ද අපගේ අවධානය යොමු කරමු.

“සංස්කෘතිය යනු දැනුවත්, සමාජමය ලෙස විකාශනය වී ඇති චාරිත්‍රවල, දැනුමේ, භෞතික වස්තුවල සහ චර්යාවේ සමස්තයයි. ජන කණ්ඩායම්වල සංකල්පයන්, ඇගයුම්, චාරිත්‍ර මානවකෘති එයට අයත් වේ”. (‘සමාජ විද්‍යාත්මක දැනුම – න්‍යාය සහ ව්‍යවහාරය’ මහාචාර්ය රිචර්ඩ් ටී. ශයෙෆර් – පිටු අංක 54)

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් එනම් පෙර විසූ ලාංකේය මුස්ලිම් ප්‍රජාව ඔවුන්ටම ආවේනික වූ සංස්කෘතියක් අනුගමනය කළ බව ඉහත විවේචකයින්ගේ ප්‍රශ්නයෙන් ඔවුන් පිළිගෙන ඇති බව පැහැදිලි ලෙස දක්නට ඇත. එම සංස්කෘතිය පිළිබඳ ව ඔවුන්ට ගැටළුවක් නොමැති බව ද සඳහන් කරති. ඉහත විද්වත් විග්‍රහයන් අනුව සෑම සංස්කෘතියක් ම වෙනස්වීම්වලට භාජනය වන බව පිළිගත් සංකල්පයකි. මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය තම දහමේ ඉගැන්වීම් මත පදනම් වී සාරධර්ම සපිරි සදාචාර සම්පන්න දිශාවකට ගමන් කරමින් තිබෙන බව සැබෑවකි. ශ්‍රී ලාංකේය අනෙකුත් සංස්කෘතීන් ද වෙනස්වීම්වලට භාජනය වී ඇති බව පැහැදිලි ලෙසම දකින්නට ඇති සත්‍යයකි. මෙසේ අනෙකුත් සංස්කෘතීන් කුමන දිශාවක් වෙත යොමු වී ඇත්තේ දැයි විමසන්නට කැමැත්තෙමු.

වර්තමාන සැමගේ ආකර්ෂණය ට ලක් වී ඇති එමෙන් ම සංස්කෘතිය පදනම් කර ගෙන මුස්ලිම් වරුන් ට චෝදනා නගමින් මුස්ලිම් පිළිකුලක් ගොඩ නගන්නට වෙර දරන්නන්ගේ අවධානය ට ලක් නොවන බටහිර අනුකරණයෙන් ගොඩ නැගුණු ‘ජනප්‍රිය සංස්කෘතිය-Popular Culture’ පිළිබඳ ව අදහස් දැක්වීම මෙම මාතෘකාව ට අදාළ යැයි සිතන්නෙමු. මේ පිළිබඳ ව ගුණසිරි වීරසූරිය මහතා විසින් රචිත “සිංහල සමාජය හා සංස්කෘතිය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්න ට කැමැත්තෙමු.

“නූතන සමාජය තුළ ආකර්ශනීය වශීකරණයන් එමටය. එයට කියන්නේ ‘ජනප්‍රිය සංස්කෘතිය’ කියාය. ප්‍රිය සම්භාෂණ වැනි උත්සව මහෝගයන් සමාජය තුළට මෝදු වෙයි. සමාජ සංස්ථාවන් කිති කවන්නට සමත් වෙයි. සංගීත සැඳෑවන් සමාජය තුළ වැහි වැහැලාය. බර්ත්ඩේ පාටි ද විශ්‍රාම යෑමේ පාටි ද අර පාටි ද මේ පාටි ද සුපිරි හෝටල් අංගනයන් තුළ මුලු දෙයි. සමාජ ඇවැතුම් පැවැතුම් උඩු යටිකුරු වෙමින් පවතියි. විප්ලවකාරී වෙනස්වීම් සමාජය තුළට කැන්දන්නට ජනප්‍රිය සංස්කෘතිය උත්සුක වෙයි. සමාජ මිමි විප්ලවකාරී වෙනස්වීම් වලින් ආකර්ෂිත වෙයි. හණමිටි ඉවත දැමෙයි. ඒ වෙනුවට මොකක් හෝ අතට අහුවෙන දෙයක් සමාජය තුළ රුවන්නට කැස කැවෙයි. ඒ දෙය විෂම වුවද කම් නැත. සමාජය නිමක් නැති ලෙස දුවන්නට, හති වැටෙන තුරු දුවන්නට ඒ අරුම දෙය උදව් වේ නම් එහි අග මුල සොයන්නේ කුමට ද?

රෑට හෝටලයෙන් කෑම මිනිසුන්ට අභිමත වෙයි. සුමානයකට දවස් දෙක තුනක් ප්‍රිය සම්භාෂණයකට එකතු වූ විට සියල්ල ඇඟට නොදැනී ඉටු වෙයි. නැටුම් ගැයුම් සමග කෑම බීම ද ලැබෙයි. මෙහිදී පුරසාරම් දෙඩුමට අවස්ථාව ද ලැබෙයි. උජාරුකම් කියන්නට ද අවස්ථාව ලැබෙයි. ඇඳගත් ඇඳුම් පැලඳුම් ප්‍රදර්ශනය කිරීමට ද ඉඩප්‍රස්ථා ලැබෙයි. ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි.

උගත් යැයි සම්මත දෙමාපියන් ම තම දූවරුන් ට හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ඇඳුම් පැලඳුම් අඳින්න ට අවස්ථාව දෙයි. මේ හෙලුවැලි ඇඳුම් ඇඳගෙන ඔවුන් සමාජගත වන විට කාමාතුර නෙත් දහස් ගණනක් මොවුන් දෙස ඔරවා ඔජවඩමින් ලිංගික උත්තේජනයට පත්වී බලන විට එය නොදකින දෙමාපියන්, ආගමික නායකයින්, සමාජ ශෝධකයින්, ඇත්නම් සත්‍යය වශයෙන්ම එය මානසික ව්‍යාධියමය තත්ත්වයකි. මේ හෙලුවැලි දසුන පළමුවෙන්ම දකින්නේ දෙමාපියන්මය. තම දූ සිඟිත්තන්ගේ අඟපසඟ ඔවුන්ටද යම් සුන්දර දසුනක් වනවා විය යුතුය. එය ඔවුන්ට අසුන්දර දසුනක් වේ නම් එය නවත්වන්නට ඔවුන් පෙලඹෙනු ඇත. එහෙත් සමාජයේ බහුතරයක් දෙමාපියන් මේ හෙලුවැලි රූප තම ගෙදර ඉදිරි දොරෙන් එළියට දමයි. එය මහා ගෞරවයක් යැයි ඔවුන් සිතති. සමාජය යන දිසාවට අපිත් යනවා යැයි ඔවුහු නොකියා කියති.

බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. සරම කමිසය ඇඳ එසේ විය නොහැක. නව ඉසවු සොයා යා යුතුය. රෙද්ද හැට්ටෙ ඇඳ ජාත්‍යන්තරකරණය විය නොහැක. ඒවා අවශ්‍ය නම් යම් හෙලුවැලි ස්වරූපයක් ඒවාට ආදේශ කළ යුතු වෙයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. දැනුම ජාත්‍යන්තරකරණය විය යුතුය. මාධ්‍ය ක්‍රමවේදයන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. එහෙයින් බෞද්ධ ගීතයකට වූවත් රුපවාහිනී පෙට්ටියේ පස්ස ගස්සමින් උඩ දමමින් නටන ගැහැනුන්ගේ භාව ප්‍රකෝපිත නැටුම් ජනතාවට පෙන්වීම ඇතැම් අඥානයෝ මහා කෙරුවාවක් යැයි සිතති. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. රූපවාහිනී තිරයන් මත වැටෙන ගෝලීයකරණ උන්මාදය ඇතැම් විට ව්‍යාධිත ස්වරූපයක් බව විවරණය කළ හැකි වෙයි.

හැම තැනම ඇත්තේ ඉඳුරන් අවුස්සන, පීඩනයට පත්කරන වශීකරණයන් ය. මෙය හොඳ දෙයක් නම් නොවන්නේය. එය ව්‍යසනයටම හේතුවකි. සිංහල සොසේජස් සංස්කෘතිය අනුව ඔහුගේ පුරුෂාර්ථයන් ආරක්ෂා කර ගැනීම යම් අර්බුදකාරී දෙයක් වුවත් ඒ දෙය ඔහු කළ යුතු වෙයි. එසේ නොවූවහොත් ජාත්‍යන්තරකරණය පස්සේ ගොස් සිංහල සමාජය ව්‍යනුකලනයට පත්වීම සහතික වෙයි.

සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි. ආත්මීය සමෘධියට සරල සිංහල ජීවන ක්‍රමය අතිශයින් ම අත්වැලක් වූයේය. විස්තීර්ණ භාවයට පත් කාමභෝගී බහු භාණ්ඩික ජීවන ක්‍රමය ආධ්‍යාත්මික සමෘධියට මෙන්ම සංස්කෘතික සමෘධියට හේතු නොවන්නේය. එයින් අත් වන්නේ විපරීත භාව ප්‍රකෝපනයක් පමණි. භාව විශෝධනයකට ආත්මීය හර පද්ධතීන් හා පුරුෂාර්ථයන් අවශ්‍ය වෙයි. ආගම් ඇසුරු කිරීම, සෞන්දර්යාත්මක කලාවන් හා මානව ශාස්ත්‍රයන් ඇසුරු කිරීම භාව විශෝධනයකට හේතු වෙයි. ජීවිතයේ දැකිය යුත්තේ එවන් හරවත් දෙයකි”. (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී).

මුළු මහත් ලාංකේය සමාජයම සදාචාර සෝදාපාලුවකට ලක් කරමින් වර්ධනය වෙමින් පවතින ‘ජනප්‍රිය සංස්කෘතිය’ නමින් හැඳින්වෙන මෙම හෙලුවැලි සංස්කෘතිය පිළිබඳ ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ ඇතිකරන්නට කටයුතු කරන්නන්ගේ නිහැඬියාව සත්‍යය වශයෙන් ම අතිශයින් මවිතකරය, අදහාගත නොහැක්කකි.

මව, දියණිය, සහෝදරිය, බිරිය යනාදී ගෞරවනීය මිනිස් බැඳියාවන්ට උරුමකම් පෑමට හැකියාව ඇත්තේ කාන්තාවකට පමණි. ඇයව වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ලිංගික සන්තර්පණයේ මාර්ගයක් පමණක් බවට පත් කළ විට සිදු විය හැකි සමාජ ව්‍යසනය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු නොවන්නේ ද? අද සිදුවෙමින් පවතින්නේ කුමක් ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳින විට ඇතැම් සමාජ නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිති. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක් ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර විනාශයකට ලක් වී ඇති බව නොවේ ද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදනට අනුව වර්තමාන ඇතැම් ඉස්ලාම් විවේචකයින් සදාචාර සම්පන්න කාන්තා ඇඳුමට අවලාද නගමින් සදාචාර විරෝධී කාන්තා ඇඳුම පිළිබඳ නිහැඬියාවෙන් පසුවෙන්නේ තමා සම්මතයේ පිහිටා නොමැති නිසාදැයි විමසන්නට කැමැත්තෙමු.

වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත් වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ඇඳුමින් සැරසී සමාජගත වන විට මතු කරන්නා වූ අවලාදයන් ගැනය. මෙවන් සදාචාර විරෝධී හඬ තමන් ව සමාජ නායකයින් යැයි පවසා ගන්නා පිරිසකගෙන් එන විට මුළු සමාජයම පත් වන්නේ කුමන තත්වයකට ද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නා වූ වෑයමක් ලෙස මෙය හඳුන්වා දිය නොහැකි ද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක් ද? කාගේ හෝ සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකේය ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරහිත වෛරය නිසා හෝ යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහීමට දිරි දෙන අයුරින් කටයුතු නොකළ යුතු යැයි ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු. නූතන වාණිජ සමාජය විසින් ස්ත්‍රියව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර තිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැත. ශරීරයෙන් 5% ක් පමණ වසා ගත් තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම් වලට යොදා ගැනීම ගැන සමාජ ප්‍රශ්න ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්දනයක යෙදී සිටින්නේදැයි අසන්නට තරම් කාරණයක් බවට පත්වී ඇත. කසාය බිව් ගොළුවා සේ මෙම උදවිය කටයුතු කරන්නේ මන්ද? මෙවන් රූප රාමු වලට තම මව, බිරිය, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරු වී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්න ලෙස වසාගන්නා වූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරු වී සිටිති. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ඊනියා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද යන්න මෙයින් පැහැදිලි නොවන්නේ ද?.

කාන්තා විමුක්තියක් පිළිබඳ බටහිර අදහස් දැක්වීම් සැබැවින්ම කාන්තාවගේ ශරීරය අයුතු පරිහරණයකට ලක් කිරීමක්, ඇගේ ආත්මීයභාවයට නිග්‍රහයක් හා ඇගේ ගෞරවනීයත්වය අහිමි කිරීමක් විනා අන් කිසිවක් නොවේ. බටහිර සමාජය කාන්තාවගේ තත්ත්වය අභිවෘධියට පත් කොට ඇතැයි පවසයි. එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අයුරින් කලාව, නූතනත්වය හා විලාසිතා නමැති වර්ණවත් කඩතුරා උපයෝගී කර ගනිමින් ස්ත්‍රියව අනියම් භාර්යාවන් මෙන්ම තාවකාලික ලිංගික සන්තර්පණය සොයන්නන්ගේ හා ලිංගික වෙළඳසැල් හිමියන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ඇත.

පියා තම දියණිය දූෂණය කරයි, පුතා මව දූෂණය කරයි, සහෝදරයා තම සොයුරිය දූෂණය කරයි, සීයා තම මිනිබිරිය දූෂණය කරයි, පුජකයා අවුරුදු දොළහක දැරිවිය ලිංගික අපයෝජනය ට ලක් කරයි, අවුරුදු 42 ක කාන්තාව සමුහ දූෂණයක ට ලක් වේ, මෙවන් නිමක් නොමැති පුවත් දෛනික ව පුවත්පත් මගින් කියවන්නෙමු. පාරම්පරික හා වර්තමාන මුස්ලිම් වරුන් පිළිබඳ ව කතා කරන සැවොම මෙවන් අති භයානක සමාජ පිරිහීම පිළිබඳ ව ගොළුවත රකිති. මෙය ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. මුස්ලිම් කාන්තාව තම සිරුර සම්පුර්ණයෙන් වැසෙන පරිදි ඇඳුම් අඳින විට ඔවුන් එය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස දකිති. බහුතරයක් තරුණ පිරිස විශේෂයෙන් තරුණියන් බටහිර සංස්කෘතිය ට වහල්වී තම ශරීරයේ හැඩය තම ඇඟ ට ඇලෙන පරිදි ඇඳ ඇති ඇඳුමින් ඉස්මතු වී පෙනෙන එක පිළිබඳ ව මෙම නායකයින් මුනිවත රකිති. මෙවන් තත්ත්වයක් දකින තරුණයින්ගේ සිත් හි ඇති වන කැලඹිලි සහගත හැඟීම ඔවුන් ව ලිංගික අපචාරයන් ට දිරිගන්වන්නක් බව ඔවුන් නොදැන සිටින්නේ ද කියා අසන්නට කැමැත්තෙමු.
මහා පරිනිබ්බාන සුත්‍රයේ (සුත්‍ර පිටකය – දීඝ නිකාය) ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් හැසිරිය යුතු ආකාරය පිළිබඳව බුද්ධ භාෂිත දේශනය මෙන්ම මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා නාහිමි විසින් රචිත ‘කෙලෙස් එක් දහස් පන්සියයක්’ නම් වූ ග්‍රන්ථයෙන් කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“අනඳ තෙර : ‘ස්වාමීනි, අප ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු ද’?
භාග්‍යවතුන් වහන්ස : ‘ආනන්ද, හැකිනම් නොදැක සිටීම යෙහෙකි’
අනඳ තෙර : ‘ස්වාමීනි, දැක්කොත් පිළිපදින්නේ කෙසේ ද’?
භාග්‍යවතුන් වහන්ස : ‘ආනන්ද, කතා නොකර සිටීම යෙහෙකි’
අනඳ තෙර : ‘ස්වාමීනි, කතා කළොත් කෙසේ පිළිපැදිය යුතු ද’?
භාග්‍යවතුන් වහන්ස : ‘ආනන්ද, සිහි පෙරදැරි කර ගැනීම යෙහෙකි’” (මහා පරිනිබ්බාන සුත්‍රය – දීඝ නිකාය)
“රාගාදී කෙලෙසුන් ඇතිවීමට හේතු වන රූපාදී (රූප දසුන්) ආරම්මණයන් ලද කල්හි කෙලෙසුන් ඇති වන්නේ ඒවා ඒ පුද්ගලයාගේ සන්තානයෙහි යටපත් ව තිබීම නිසාය. පෘතග්ජන පුද්ගලයන්ට ලස්සන තරුණියන් ගැන ඇසු පමණින් වුව ද කාම රාගය ඇති වේ. එයට හේතුව ඔවුන් තුළ කාම රාගය නමැති ක්ලේශය යටපත් ව තිබීම ය. ශෝභන තරුණිය දුටු තරුණයා කෙරෙහි තරුණිය ගැන ආදරයක් ඇති වේ. ඇය නැවත නැවත දැකීමේ ආශාවක්, ඇය හා කතා කිරීමේ ආශාවක්, ඇගේ සිත් ගැනීමේ ආශාවක් ඇයට සංග්‍රහ කිරීමේ ආශාවක් ඇති වේ. තරුණයා තුළ ඇතිවන ඒ ආදරය හා ආශා රාශිය කාමරාගය නමැති ක්ලේශය ය. ඔහු දුටු තරුණිය වෙත යන්නේ ය. ඇය හා කතා කරන්නේ ය. එයට විරුද්ධ වන අය හා කලහ කරන්නේ ය. පත්ලෙහි මඩ ඇති ලිඳේ ජලය නො කැළඹෙන තෙක් පිරිසිදු ය. සියලු ම පව් කෙරෙන්නේ නැඟී සිටියා වූ කෙලෙසුන් නිසාය”. (‘කෙලෙස් එක් දහස් පන්සියයක්’ – මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා නාහිමි – 5 වැනි පිටුව)

පළමුව මහා පරිනිබ්බාන සුත්‍රයේ අඩංගු බුද්ධ දේශනය වෙත අවධානය යොමු කරමු. එහි වැදගත් හා තේරුම් ගැනීමට පහසු උපදෙස් තුනක් දක්නට ඇත.
1. ස්ත්‍රීන් නොදැක සිටීම
2. ස්ත්‍රීන් සමග කතා නොකර සිටීම
3. ස්ත්‍රීන් සමග කතාබහක යෙදුනොත් සිහි පෙරදැරිව කටයුතු කිරීමේ අවශ්‍යතාව
ඉහත පළමු උපදේශය පැවිදි පාර්ශවයට පමණක් නොව ගිහියන්ට ද එකසේ බලපාන්නක් බව රේරුකානේ චන්ද විමල මහ නාමියන්ගේ විග්‍රහය වෙත අවධානය යොමු කිරීමේ දී පැහැදිලිව අවබෝධ වෙයි. තව ද මෙය පිටස්තර ස්ත්‍රීන් සම්බන්ධ ව කළ එකක් යන්න ද පැහැදිලිය. තම මව, සහෝදරිය, දියණිය, බිරිඳ වැනි පිරිස නොදැක සිටීමක් ගැන මෙහි අර්ථවත් විය නොහැක. මෙයට අදාළ ඉස්ලාමීය ඉගැන්වීමක් දෙස ද අවධානය යොමු කරමු.

“(නබිවරය), තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කර ගන්නා මෙන් ද විශ්වාසවන්තයින්ට පවසවූ. එය නුඹලාට ඉතාමත් පිවිතුරු ය”. (අල් කුර්ආන් 24 : 30)

ඉහත අල් කුර්ආන් පරිච්චේදයේ ඊළඟ වැකියෙන් ස්ත්‍රීන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ දීර්ඝ අලංකාර විස්තරයක් දැක ගත හැක. ඉස්ලාමයේ ‘මහ්රම්’ සංකල්පය ගොඩ නැගී ඇත්තේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම එකිනෙකා සමග සම්බන්ධතාවන් පවත්වා ගැනීමේ දී තම කාම රාගය උද්දීපනය වීමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන්ම වලක්වාලමිනි.

ආදී කාලීන සමාජයේ තුනී ජනගහන ඝනත්වයක් තුළ පිටස්තර ස්ත්‍රීන් නොදැක සිටීම පහසුවුවා විය හැක. වර්තමානයේ එවැන්නක් අති දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත යන්න කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. පිටස්තර ස්ත්‍රීන් අභිමුවට යෑමට සිදු වූ විට පිරිමින් ක්‍රියා කළ යුතු ආකාරය ඉහත අල් කුර්ආන් වැකිය පැහැදිලි කරයි. මෙයින් නොනැවතී සමාජ සාරධර්ම හා සදාචාරය සුරැකීම අරමුණු කොට ගෙන ඉතා ප්‍රායෝගික අන්දමින් ස්ත්‍රීන් ට පිටස්තර පිරිමින් අභිමුවට හෝ ඔවුන් ඉන්නා තැන් වලට යෑමට සිදුවුවහොත් ඇඳිය යුතු ඇඳුම් පිළිබඳ උපදෙස් ඉදිරිපත් කොට ඇත්තේ මේ සියලු තත්ත්වයන්ට සුදුසු වන පරිදිය.

ඉස්ලාමයේ කාන්තා ඇඳුම සැකසී ඇත්තේ බාහිර පිරිමින්ට තමන් ව දැකීය නොහැකි ආකාරයකිනි. කාන්තාවගේ වඩාත් ආකර්ෂණීයත්වයක් ඇත්තේ ඇගේ වතෙහිය. ඇතැම් මුස්ලිම් කාන්තාවන් තමන්ගේ මුහුණු ආවරණය කර ගන්නේ ප්‍රධාන වශයෙන් ම හේතු කිහිපයක් පදනම් කර ගෙනය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පිට ස්ත්‍රීන් නොදැක සිටීම සුදුසු යැයි වදාරා ඇති හෙයින් පිටස්තර පිරිමින්ගෙන් තමන්ව ආරක්ෂා කර ගැනීම පිණිස ඇගේ වඩාත් ආකර්ෂනීයත්වයක් ඇති මුහුණ ඇතුළුව ශරීරය වසා ගැනීම මුස්ලිම් ස්ත්‍රීන් කරන විට එම පිළිවෙතට විරුද්ධ වීමට දැහැමි බෞද්ධයෙකුට හැකි වන්නේ දැයි වීමසන්නට කැමැත්තෙමු. රේරුකානේ මහ නාහිමියන්ගේ විග්‍රහය අනුව ද සියලු කාම රාග ක්ලේශයන්ගේ උල්පත වන්නේ සිතෙහි ආශාව උපදවන දසුන් දැකීමෙන් යන්න ඉතාමත් ම පැහැදිලිය. එසේනම් සාරධර්ම සපිරි සදාචාර සම්පන්න යහ සමාජයක් ගොඩ නැගීමට නම් මෙම ආගමික ඉගැන්වීම් ඉවත ළා කටයුතු කළ හැකි වන්නේදැයි කරුණාකර සිතා බලන්න.
ඉහත බුද්ධ දේශනයේ ස්ත්‍රීන් සමග කතා නොකර සිටීම යෙහෙකැයි වදාරා ඇත. මෙයත් සත්‍යය වශයෙන් ම පිටස්තර ස්ත්‍රීන් සමග විය යුතුය යන්න ඉතාම පැහැදිලිය.

“නබිවරයාගේ භාර්යාවනි, නුඹලා (අනෙක්) ස්ත්‍රීන් අතුරින් කිසිදු කෙනෙකු මෙන් නොවන්නේය. නුඹලා බියබැතිමත් වන්නේ නම් (අන්‍ය පිරිමින් සමග) කතා කිරීමේදී මුදු මොලොක් හඬින් කතා නොකරවු. මක්නිසාද යත් කවරෙකුගේ සිතෙහි (නරක සිතුවිලි වලින් යුත්) ව්‍යාධියක් ඇත්තේ ද ඔහුට (එමගින් පාප ක්‍රියාවන් කෙරෙහි) ආශාවක් ඇති වන්නේය. තවද නුඹලා (මිහිරි බවින් තොර) යහපත් වදනින් කතා කරවු”. (අල් කුර්ආන් 33:32)

අවසාන උපදේශයෙන් ස්ත්‍රීන් සමග සිහි පෙරදැරිව කටයුතු කිරීමේ අවශ්‍යතාව දක්වා ඇත. ස්ත්‍රිය තමන් ව ආවරණය කර ගැනීම තුලින් තමන්ව ආරක්ෂා කර ගන්නා අතර තමන් අභිමුවට එන පිටස්තර පිරිමින්ගේ චිත්ත තැන්පත්භාවයට ද තර්ජනයක් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. එහෙයින් යමෙක් ආගමික ඉගැන්වීම් කෙරෙහි අවධානයක් දක්වන්නේ නම් හා සමාජ සාරධර්ම පිරිහීම කෙරෙහි තැකීමක් ඇත්තේ නම් ඉස්ලාමීය කාන්තා ඇඳුම හා අනෙකුත් වත්පිළිවෙත් කෙරෙහි විවේචන ඉදිරිපත් කිරීම කොතෙක් අවංකත්වය මත පදනම් වී ඇති දැයි තමන්ගෙන්ම විමසා බැලිය යුතු නොවන්නේ ද?

ඇතැම් මුස්ලිම් විරෝධී කණ්ඩායම් නුතන මුස්ලිම් වරුන් ත්‍රස්තවාදීන් හා ශ්‍රී ලාංකේය බහුතර සිංහල බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කරන්න ට වෙර දරන්නන් ලෙස හඳුන්වා දීමට වෙර දරති. මෙම මතය අලෙවි කිරීම සඳහා ඉස්ලාමීය කාන්තා ඇඳුම පළමුවෙන් විවේචනය කළ මෙම උදවිය මුස්ලිම් පිරිමි පාර්ශවයේ රැවුල මෙන්ම ඇඳුම ද විවේචනය කරන්න ට පෙලඹී සිටින බවක් පෙනෙන්නට ඇත. සිංහල රජදරුවන් කිහිප දෙනෙක් ද යටි රැවුල ඇති ව සිටිය බව මෙම පිරිස ට අමතක වී ඇති බවක් පෙනෙන්න ට ඇත. ‘කන්ඩ හිතුනා ම කබරගොයාත් තලගොයා කර ගැනීම’ වැනි යැයි පැරැන්නන් පැවැසුවේ මෙවැනි ක්‍රියාකාරකම් වලට විය හැක.

අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයකය. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඉස්ලාමිකයින් ඌරු මස් අනුභව නොකරති. එහෙත් කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිති. බහු ආගමික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේ ද? බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේ ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.

3 – 14. (1) “සෑම පුරවැසියකුටම – ( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; හිමිකම ඇත්තේ ය”.

මෙම කරුණු ගෙන හැර දැක්වුයේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් ඇති බව පවසමින් මුස්ලිම් විරෝධී හඬ ඉස්මතු කරන්නට වෙර දරන්නන් හට සමාජ යථාර්ථය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම අරමුණු කොට ගෙනය. ඉස්ලාමීය සංස්කෘතිය වර්ෂ 1400 කට පමණ පෙර සදාචාර සම්පන්න හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම් අරමුණු කර ගෙන දෙවිඳුන් විසින් පහළ කරන ලද අල් කුර්ආනයේ හා මුහම්මද් ධර්ම දුතයාණන් ගේ අලංකාර පුර්වාදර්ශය පදනම් කර ගෙන ගොඩ නැගුන කි. ඉතිහාසයේ විවිධ සංස්කෘතීන් අතරින් ආ ගමන් මඟ තුළ අන් සංස්කෘතීන්ගෙන් සිදු වූ බලපෑම් මත තම අලංකාර සංස්කෘතිය යම් වෙනස්කම් වලට භාජනය වන්න ට ඇතැයි යන්න මුස්ලිම් වරුන් පිළිගන්නා සත්‍යයකි. එලෙස වෙනස් වූ දුෂිත සංස්කෘතිය සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය ලෙස හඳුන් වන්නට ඉස්ලාම් විරෝධීන් උත්සාහ දරති. මුස්ලිම් ජනයා තමන්ගේ සදාචාර සම්පන්න අලංකාර ඉස්ලාමීය සාම්ප්‍රදායික සංස්කෘතිය වෙත සැබැවින් ම වර්තමානයේ නැඹුරු වෙමින් සිටින බව අප දකිනා කරුණකි. කාන්තා ඇඳුම ස්ත්‍රියගේ ගෞරවය රැකෙන පරිදි සකස් කර ගෙන තිබීම, අප අපගේ සාම්ප්‍රදායික ඉස්ලාමීය සංස්කෘතිය වෙත ගමන් කිරීමකි. මෙය අන්තවාදයක් හෝ සංස්කෘතික ආක්‍රමණයක් ලෙස වපර ඇසින් නොබලා මෙම වෙනස් වීම සමාජය සදාචාර සම්පන්න එකක් බවට පරිවර්තනය කරන්න ට කෙතරම් උපකාරී වී ඇති දැයි කරුණාකර මධ්‍යස්ථ මනසකින් යුතු ව විමසා බලා තීරණයක ට එන ලෙස ඉතා කාරුණික ව ආරාධනා කරන්නෙමු.

සෑම දහමක්ම කටයුතු කරන්නේ සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙනය. මෙම මූලික අදහස මත පිහිටා දහම් අතරේ විවේචන සඳහා අපගේ ශක්තිය හා හැකියාවන් නාස්ති නොකොට මුළු සමාජයේම සාරධර්ම පිරිහීමට හේතු සාධක වන කරුණු කෙරෙහි අපගේ සාමුහික අවධානය යොමු කරමින් එම භයානක තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත හැකි යහ පියවරයන් වෙත අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ඉදිරිපත් වෙමු. ඔවුනොවුන්ගේ ආගමික පිළිවෙත් හා චර්යාවන් කෙරෙහි වැටහීමකින් යුක්තව ආගම් අතර සාමයික සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීමට ඉදිරිපත් වීම වඩාත් යෝග්‍ය ක්‍රියාවක් බව අපි දකින්නෙමු.

ඉස්ලාමීය ඉගැන්වීම් හි යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව නගන්නාවූ චෝදනා පදනම් විරහිත බව මෙම සත්‍යය තොරතුරු විමර්ශනය කිරීමෙන් ඔනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අනවබෝධය තුරන් කරමු. අන්‍යෝන්‍ය අවබෝධය තුළින් එකිනෙකාගේ වත්පිළිවෙත් වලට ගරු කරමින් සුහදත්වය හා සහෝදරත්වය මත පදනම් වූ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සාමුහිකව කටයුතු කරමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *