අල් වලා වල් බරා – අල්ලාහ් වෙනුවෙන් වූ සෙනෙහස හා අල්ලාහ් වෙනුවෙන් වූ ප්‍රතික්ෂේපය

‘අල් වලා වල් බරා’ යන සංකල්පය පිළිබඳ ව විවිධ අර්ථ නිරුපනයන් සමාජ ගතවී තිබෙන බව දකින්නට ඇත. විශේෂයෙන් ම පාර්ලිමෙන්තුවෙදී මහජන ආරක්ෂක අමාත්‍යය සරත් වීරසේකර

 මහතා විසින්  2021 අප්‍රියෙල් 5 වැනිදින ප්‍රකාශ කරන ලදැයි අන්තර්ජාලයේ මෙම  (https://www.youtube.com/watch?v=49gdj1yh_xw) වෙබ් අඩවියේ සඳහන් පරිදි එයින් අර්ථවත් වෙන්නේ ලොව පැවතිය යුත්තේ ඉස්ලාම් දහම පමණක් බවත් අනෙකුත් සියළු දහම් විනාශ කළ යුතු බවත් යන්නය. මේ සඳහා තොරතුරු අන්තර්ජාලයේ දකින්නට ඇති බවත් එතුමා විසින් දන්වා තිබුණි. අපි ඉස්ලාමීය සංකල්ප පිළිබඳ ව නිගමනයකට එන්නේ  මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් වූ අවසන් දිව්‍යමය පණිවිඩය වූ ‘කුර්ආනය’ හා එම පණිවිඩය ලොවට ඉදිරිපත් කළ අවසන් ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන, ක්‍රියා හා අනුමත කළ දෑ අඩංගු  ‘සුන්නාහ්’ යන්නෙන් හැඳින් වෙන මෙම ප්‍රධාන ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රයන් පදනම් කරගෙනය.  ‘අල් වලා වල් බරා’ යන්නෙන් අදහස් වන්නේ ඉස්ලාමය හැරෙන්නට අනෙකුත් සියළු දහම් විනාශ කළ යුතුය යන මතය මෙම මුලාශ්‍රයන් දෙකෙහි කොහෙත්ම සඳහන් වී නොමැත. එහෙයින් මෙම අර්ථ දැක්වීම කොහෙත්ම ඉස්ලාමීය එකක් නොවන බව නිගමනය කරන්නට සිදුවෙයි. වලා, වලි, අව්ලියා යන අරාබි පදයන් බිහිවී ඇත්තේ එකම මුලක්ෂර වලිනි. මෙයින් සෙනෙහස, ආදරය, භාරකාරත්වය, මිත්‍රත්වය, බැඳියාව, පක්ෂපාතිත්වය ආදී වශයෙන් අර්ථ රාශියක් ගෙනහැර දැක්විය හැක. ඉස්ලාමය එකදේවත්වය මත පදනම් වූ දහමකි. සත්‍යය වූ එකම දෙවිඳුන්ට ආදේශ තැබීම ඉස්ලාමීය ඉගැන්වීම් අනුව බරපතලම පාපයයි. එසේ කටයුතු කරන්නන් සමග අල්ලාහ් වෙනුවෙන් වූ සෙනෙහස දැක්වීමට හැකියාවක් තිබිය නොහැක. මෙයින් අර්ථවත් වන්නේ එසේ ආදේශ තබන්නන් සමග වෛරය, ක්‍රෝධය හා ද්වේෂය පදනම් කරගෙන කටයුතු කළ යුතුය යන්න නොවේ. පහත සඳහන් ඉස්ලාමීය ඉගැන්වීම් එවැනි හැසිරීම් ප්‍රතික්ෂේප කරයි.

“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හට ද නුඹලාගේ නිවෙස් වලින් (නුඹලාව) පලවා නොහැරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය” (අල් කුර්ආන් 60:8)

“සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේම දහම හේතුවෙන් නුඹලා හා සටන් කළවුන් සමග ද නුඹලා ව නුඹලාගේ නිවෙස් වලින් පලවා හැරියවුන් සමග ද නුඹලා ව පලවා හැරීමට උපකාර කළවුන් සමග ද මිතුදම් පෑමයි. කවුරුන් ඔවුන් සමග මිතුදම් පාන්නේ ද ඔවුන්මය අපරාධ කළවුන් වන්නේ”. (අල් කුර්ආන් 60:9)

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ”.  (අල් කුර්ආන් 29:46)

විශ්වයේ අධිපති දෙවිඳුන් තමන් යැයි ජනයා නොමග යවමින් සිටි පාරාවෝ වැන්නෙකු සමග ද අන්තර් ක්‍රියාකාරකම් හි යෙදිය යුතු පිළිවෙත මුසා (මෝසෙස්) හා හාරුන් ධර්ම දුතයන් වෙත දන්වා සිටි අයුරු පහත අල් කුර්ආන් වැකියෙන් පැහැදිළි වෙයි.

“එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරවූ”. (අල් කුර්ආන් 20 : 44)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්කුර්ආන් 18:29)

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10:41)

“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)

“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්කුර්ආන් 2:   256)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5: 8)

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:33)

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.”  (අල් කුර්ආනය 7: 99)

තවමත් සුරක්ෂිතව ඇති ලොව ලේඛනගත පළමු මානව හිමිකම් ලේඛනය සැකසෙන්නේ මුහම්මද් තුමාණන් මක්කාවේ සිට මදීනා නගරයට සම්ප්‍රාප්ත වීමත් සමග එතුමාගේ මඟ පෙන්වීම යටතේය. එම සමාජයේ ජීවත් වූ සැමගේ සියලු අයිතිවාසිකම් සමසේ සුරැකෙන පරිදි මෙම ලේඛනය සකස් කරන ලදී. එය මදීනා ප්‍රඥාප්තිය නොහොත් මදීනා ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ. මෙමගින් එය සමාජයේ ජීවත් වූ කිතුනු, යුදෙව්, පාරම්පරික දහම් ඇදහුවන් හා මුස්ලිම්වරුන්ගේ අයිතීන් සුරැකීමට කටයුතු කරන ලදී.

මුහම්මද් තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී. මුහම්මද් තුමාණන්ට පසුව ඉස්ලාමීය ජනරජයේ දෙවැනි පාලකයා වූ උමර්තුමා අත්සන් කළ ගිවිසුම පහතින් දක්වා ඇත්තෙමු. මෙම ගිවිසුම ජෙරුසලමේ ‘උමර් මස්ජිදය’ නමින් හැඳින් වෙන මුස්ලිම් පල්ලියේ බිත්තියක  ලොකු අකුරින් ලියා ප්‍රදර්ශනය කොට ඇති අයුරු වර්තමානයේදී ද දැකගත හැක.

“මුහම්මත්තුමාණන් විසින් නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු නියෝජිතයින් සමග ඔවුන්ගේ වස්තුව, දහම හා දෙව්මැදුරු ආරක්ෂා කිරීමට  ගිවිසුමකට එළඹුනාක් මෙන් උමර් ඉබ්න් අල් කත්තාබ් තුමා විසින් ඉලියා (ජෙරුසලම)  ප්‍රදේශවාසීන් සමග එළැඹි ගිවිසුමේ පහත සඳහන් අයුරින් සඳහන් කොට තිබුණි.

‘මෙය, අල්ලාහ්ගේ ගැත්තා හා ඉස්ලාමීය පාලකයා වූ උමර් ඉබ්න් අල් කත්තාබ් විසින් මුස්ලිම් නොවන ජනයාට දෙනු ලබන ආරක්ෂාව පිළිබඳ ප්‍රඥාප්තියයි. ඔවුන්ගේ ජීවිත, වස්තුව, දෙව් මැදුරු, කුරුසියන් සහ සම්පුර්ණ ප්‍රජාවම ආරක්ෂා කිරීමට සහතික වෙමි. ඔවුන්ගේ දෙව් මැදුරු බලෙන් අල්ලා ගැනීම, බිඳ හෙළීම හෝ හානි කිරීම සිදු නොකළ යුතුය. ඔවුන්ගේ කුරුසියන් හෝ ඔවුන් සතු කිසිවක් කෙරෙහි අත නොතැබිය යුතුය. ඔවුන්ගේ දහම අතහරින ලෙස බල කරනු නොලබන අතර ඔවුන්ට කිසිම ආකාරයක හානියක් සිදු නොකළ යුතුය. යුදෙව්වන් ඔවුන් සමග ඉලියා හි වාසය නොකරණු ඇත’.” (Tarikh At-Tabari – Volume 3 – Page 609)

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි. ජාතිවාදය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරමු. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි සියලු මිනිසුන් සමග සහෝදර බැඳීමකින් යුතුව කටයුතු කරමු.

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල්-කුර්ආන් 10:99)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18:29)

“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50 : 45)

“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල්-කුර්ආන් 88 : 21-22)

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10 : 41)

“(දේව පණිවිඩය) දන්වා සිටීමේ වගකීම හැර අන් දෙයක් රසුල්වරයාට නොවීය. තවද අල්ලාහ් නුඹලා හෙළිකරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද දන්නේය”. (අල්-කුර්ආන් 5 : 99)

ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. එමෙන්ම මුස්ලිම් නොවන්නන් සමග අල්ලාහ් වෙනුවෙන් වූ සෙනෙහස දැක්වීමක් හා සමාන වූ සෙනෙහස දැක්වීමක් නොකලද, ඔවුන් සමග යුක්තිය, සාධාරණය මෙන්ම මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය රැකෙන පරිදි කටයුතු කිරීම සෑම ඉස්ලාමිකයෙකුගේම වගකීම බව ඉහත සඳහන් කරුණුවලින් සනාථවෙයි. ඉස්ලාමය පමණක් ඉතිරි වෙන පරිදි අනෙකුත් දහම් සියල්ල විනාශ කිරීම ද ඉස්ලාමයේ ප්‍රතිපත්තිය නොවන බව ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් පැහැදිලි වෙයි කියා සිතන්නෙමු. ආගමික බහුත්වය ඉස්ලාමීය ඉගැන්වීම් හි යථාර්ථයකි.

නමුත් ඉස්ලාමය පමණක් සත්‍යය දහම ලෙස පිළිගැනීම ඉස්ලාමීය පිළිවෙතයි. මෙය ඉස්ලාමයට පමණක් සීමා වූ පිළිවෙතක් ද? සැබැවින්ම නැත. මේ පිළිබඳ ව ඇති බුදු දහමේ ඉගැන්වීම් වෙත ද අවධානය යොමු කරමු.

මිත්‍යා දෘෂ්ටි කර්මයාගේ විපාකාදිය

පහත සඳහන් කොටස මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” ග්‍රන්ථයෙන් උපුටා ගත්තෙමු. මෙම ග්‍රන්ථයේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කොට ඇත.

“නාහං භික්ඛවේ, එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති.

මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එකම ධර්මයෙකු දු මාගේ සර්වඥතාඥානයෙන් නොදකිමි. මිත්‍යා දෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේයැ”යි තථාගතයන් වහන්සේ වදාළ සේක. (මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් රචිත “බෞද්ධයාගේ අත්පොත” 78 වැනි පිටුව).

 නියත මිත්‍යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.

“මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃකල්පයක් නිරයේ පැසී එයින් අත්මිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තවුවෙහුට සසරින් ගොඩ ඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. “

සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත. පින්වත් යාලුවනේ මෙහි සංශිප්ත අදහස ගත්තොත් මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාපකර්මයක් කල කෙනෙක් බුද්ධාන්තරයක් නැතිනම් බුදුවරු දෙදෙනෙක් උපදින අතර කාලයක් නිරයේ දුක්විදල නිරයෙන් නිදහස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ කාලෙ මවක් හරි පියෙක් හරි මරල අපාගත වෙන කෙනෙක් මෛත්‍රී බුදු හිමියන් උපදින තාක් කල් අපායෙ දුක් විඳලා නිදහස් වෙන්න පුලුවන් කියනව. ඒත් නියත මිත්‍යාදෘෂ්ඨිකයා එහෙම නිදහස් වෙන්නෙ නෑලු. කල්ප විනාශය වෙන කොටත් ඒ අය වෙනත් සක්වලක ඇති ආපයකට මාරුවෙලා ආයිත් ඒකෙ පැහෙන්න පටන් ගන්නව. මිසදිටුව විතරක් නෙවෙයි, උන්දැගෙ ගෝලයොයි, ඒ වචන විශ්වාස කරන අයයි ඔක්කොමල. අන්න ඒනිසා මේ ලිපි බලන අන්‍යාගමික මිසදිටු ඇත්තො පොඩ්ඩක් මේ ගැන හිතුවොත් හොදා. මේ තරම් වටින ධර්මයක් ලැබිල මොකටද අපාගාමීවෙන්නෙ.” http://bauddha-tharka.blogspot.com/p/blog-page_15.html

“නියත මිථ්‍යා දෘෂ්ටිකයාට හිමි නිරය යි”

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි

නියත මිථ්‍ය දෘෂ්ටිකයා කියන්නේ දස වස්තුක සම්මා දිට්ඨියවත් පිළිගන්නේ නැති පුද්ගලයා යි. ඔහු කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැහැ. පව් කරමින් පින් නො කරමින් ජීවිතය තල්ලුකරගෙන ගිහින් විනාශකර ගන්න අවාසනාවන්ත අය. ඒ අය මරණින් පසුව යන්නේ අපායේ විතරම යි. ඒ වගේම නියත මිථ්‍යා දෘෂ්ටිකයෝ ශාසනය තුළත් ශාසනයෙන් බැහැරවත් ඉන්නවා. බෞද්ධ පවුලක ඉපදුනු පමණකින් බෞද්ධයෝ වෙන්නේ නැහැ. ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕන. එවිටයි බෞද්ධයෝ වෙන්නේ.

සටහන: නයනා නිල්මිණි   http://www.lakehouse.lk/budusarana/2013/05/02/tmp.asp…

‘මිත්‍යා දෘෂ්ටියෙහි විපාක’

“මේ මිත්‍යා දෘෂ්ටිය වනාහි මහා සාවද්‍ය වූ අකුසල කර්මයකි. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දේශනා කොට ඇත. ‘මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මහා සාවද්‍ය වූ අන් එකද ධර්මයක්වත් මගේ බුදු ඇසින් මම නොදකිමි. එහෙයින් මේ මිත්‍යා දෘෂ්ටිය අතිශයින්ම බරපතළ වූ මහා වරදකි. අකුසලයකි’ යනුයි.

සාමාන්‍යයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය නම් වූ අකුසල කර්මයෙහි යෙදුණු පුද්ගලයෙක් වේ නම්, ඔහුට මේ සසරින් එතෙර වීමට අවකාශයක් නැත්තේය. සතර අපා ආදියෙහි වෙසෙන සත්වයෝ පවා කල්ප විනාශය වන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහෙත් නියත මිසදිටුවාට ඒ කාල සීමාවෙහි පිටසක්වළ එක්තරා අපායක දුක් විඳීමට සිදු වන්නේය”.

(‘කර්මය හා විපාකය – I කාණ්ඩය’ 11 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ)

‘මිත්‍යා දෘෂ්ටියෙන් (වැරදි දැකීම) වැළකීමේ ආනිසංස’

“මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරදි දැකීම වනාහි අතිශය මහා සාවද්‍ය වූ අකුසලයක් බව බුදු බනෙහි සඳහන් වේ. සියලු පාපයන්ට වඩා මිත්‍යා දෘෂ්ටිය බලවත් වූ පාපයකි. එහෙයින් එය කරණ කොට ගෙන පුද්ගලයා අට මහා නිරයන් හි අප්‍රමාණ ව දුක් විඳින බව බෞද්ධ සුත්‍ර දේශනාවල සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සමයේ පවා විවිධ මිත්‍යා දෘෂ්ටික මත එල්බ ගත් පුද්ගලයෝ සිටියහ. ඔවුන් විසින් එල්බ ගත් මතවාද දෙසැටක් පිළිබඳ ව බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් වේ”.

(‘කර්මය හා විපාකය – II කාණ්ඩය’ 14 වැනි පිටුව – අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ)

‘මිත්‍යා දෘෂ්ටිය’ පිළිබඳ ශ්‍රී ලාංකේය බෞද්ධ ක්‍ෂේත්‍රයේ දැක්ම

ආචාර්ය දීගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද පර්යේෂණාත්මක ලිපි අඩංගු ‘බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය’ නම් ග්‍රන්ථයට ලිපියක් සපයන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ මහාචාර්ය රිචර්ඩ් එෆ්. ගොම්බ්‍රිච් මහතා පහත සඳහන් අයුරු කරුණු දක්වා ඇත. මේ අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ ක්‍ෂේත්‍රයේ ‘මිත්‍යා දෘෂ්ටිය’ පිළිබඳ ඇති දැක්ම අවබෝධ කරගත හැකි වනු ඇත.

“මුළු මහාවංශයම ජාත්‍යානුරාගී දෘෂ්ටියෙන් ලියා ඇති අතර එහි එන එක පුවතක් ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. එනම් එළාර රජු පරාජය කිරීමෙන් පසුව තමන් අතින් විශාල හමුදාවක් ඝාතනය වීම ගැන චිත්ත පීඩාවට පත් ව සිටි දුටුගැමුණු රජු අස්වසනු වස් බෞද්ධ භික්ෂුවක් මෙසේ කීමයි, එනම් ‘එම කාර්යය ඔබට දෙව්ලොව යාමට බාධාවක් නොවේ. ඔබ අතින් සිදු වී ඇත්තේ මනුෂ්‍යයන් එකහමාරක ඝාතනයක් පමණි. මිය ගිය එක් අයෙක් තෙරුවන් සරණ ගොස් සිටි අතර අනෙකා ඊට අමතරව පන්සිල් හි පිහිටියේ විය. මිය ගිය අන්‍යයෝ මිසදිටු වූ ද අදැහැමි වූවෝ ද වූහ. ඔවුහු තිරිසනුන් හා සමානය. ඔබ අතින් බුදු සසුන බැබළෙනු ඇත. එහෙයින් පසුතැවිලි නොවන්න’” (මහාවංශය XXV පරිච්ඡේදය, 108 – 111 ගාථා).

මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම පිණිස කරුණාකර පහත සඳහන් ග්‍රන්ථයන් හි ඇති විග්‍රහයන් දෙස අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

1.       ‘බෞද්ධයාගේ අත්පොත’ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි – 75 වැනි පිටුව.

2.      ‘බුදු දහමේ පැන විසඳුම්’ (පළමු වැනි ග්‍රන්ථය) ඉඟුරුවත්තේ පියනන්ද නාහිමි – 53 වැනි පිටුව

මෙම අදහස් දැක්වීමෙන් පෙනී යන්නේ මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස හැඳින් වෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කර නොගත් සැමගේ විපාකයයි. එහෙයින් අපි එකිනෙකාගේ දහම් පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකොට සත්‍යය මත පදනම් වී කටයුතු කරන්නට ඉදිරිපත් වෙමු. දහම් අතරේ අන්‍යෝන්‍යය අවබෝධය ඇති කිරීමට කටයුතු කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *