මෑත කාලයේ සිට ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ව ඇතැම් මුස්ලිම් නොවන අය විසින් සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණයකට ලක් කොට ඇත. එහෙත් එවැනි බෙදීමක් ඉස්ලාම් දහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන්ට අනුව දහමින් ඈත්වී සිටින අය ඉතා හොඳ මුස්ලිම්වරුන් වන අතර ධර්මානුකුලාව ජිවත් වන අය බහාබ් වාදීන් වීමයි.
අද බොහෝ කතා බහට ලක්ව තිබෙන කාන්තා ඇඳුම හෝ හලාල් පිළිබඳ ප්‍රශ්නය හෝ රටේ ජාතික ප්‍රශ්නයක් වීමට කිසිම හේතුවක් නැත. එය වහාබ් වාදයේ ප්‍රතිපලයක් ද නොවේ. මුස්ලිම්වරුන්ගේ පමණක් නොව මුස්ලිම් නොවන අයගේද ඇඳුම කාලයත් සමග වෙනස් වී තිබෙන බව ඕනෑම කෙනෙකුට දැකිය හැකි කරුණකි. එහෙත් බොහෝ අයගේ නෙත් ගැටී ඇත්තේ මුස්ලිම් වරුන්ගේ ඇඳුම ගැන පමණක් වීම කනගාටුවට කරුණකි. මිට ප්‍රධාන හේතුව ඉස්ලාම් භීතිකාව යැයි කිව හැකිය.
අද මුස්ලිම්වරුන්ට වහාබ් වාදය ඉගැන්වීමට ඉදිරිපත් ව සිටින්නේ ඉස්ලාම් දහම ගැන කිසිත් නොදාන්නා අන්‍ය ආගමිකයින් වීම විහිළුවකි. ඇත්තෙන්ම ඔවුන්ට උවමනා වී තිබෙන්නේ වහාබ් වාදය ඉගැන්වීමේ මුවාවෙන් රටේ කළහ ඇති කිරීම බව නොරහසකි. ඒ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ දේශපාලන වාසි ගැනීම ය. මේ බව සියළුම දෙන හොඳින් තේරුම් ගන්නේ නම් රටේ අනාගතය හොඳ අතකට හැරවිය හැකිය.