මිනිසුන් අදහන ආගම් ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ ඇති විශ්වාසයන් නිසාය. එබැවින් ඒවා සංහිඳියාවේ නාමයෙන් කලවම් කල නොහැකිය. උදාරණයක් වශයෙන් ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත ගොඩ නැගී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නැමදීම් කල නොහැකිය. එසේ කිරීම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. මෙම කරුණ හොඳින් තේරුම් ගන්නේ නම් මුස්ලිම්වරුන් මල් පුජා නොකරන්නේ ඇයි දැයි වටහා ගැනීමට හැකි වනු ඇත. එපමණක් නොව මුස්ලිම්වරුන්ට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් හිස නමා අචාර කල නොහැකිය. ඒ අනුව මුස්ලිම්වරුන් වැඩිහිටියන්ට හෝ පුජක තුමන්ලාට හෝ දෙමව්පියන්ට හෝ වැඳුම් පිදුම් කරන්නේ නැත. මෙම කරුණු හොඳින් තේරුම් ගන්නේ නම් සහජීවනයත විශාල රුකුලක් වනු ඇත.

ආගම් අතර ඇති වෙනස්කම් වලට ඉඩ දෙමින් ක්‍රියා කරන්නේ නම ජාතින් අතර ඉතා හොඳින් සංහිඳියාව ගොඩ නැගිය හැකිය. උදාහරණයක් ලෙස වෙසක් උත්සවය බෞද්ධ උරුමයකි. එබැවින් එය ආරක්ෂා කල යුත්තේ බෞද්දයින් විසින්මය. මේ නිසා මුස්ලිම්වරුන් විසින් වෙසක් කුඩු සැදීම හෝ වෙසක් සැරසිලි සිදු කිරීම හෝ ඔවුන්ගේ ආගමික කටයුත්තක් ලෙස සැලකිය නොහැකිය. එසේම මල් පුජා කිරීම බෞද්දයින් විසින් සිදු කරන ආගමික කටයුත්තකි. එවැනි දෙයක් සඳහා ඉස්ලාම් දහමින් අවසර ලැබෙන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් පුජා පැවැත්වීම තහනම් නිසාය. ඉස්ලාම් දහම අනුව අල්ලාහ් හැර වෙනත් කෙනෙකු වෙනුවෙන් පින් දහම් කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සැලකේ. ඉස්ලාම් දහමත් අනෙක් ආගම් අතරත් ඇති ප්‍රධාන වෙනසක් වන්නේද එයයි. එසේ තිබියදී යම් මුස්ලිම් කාන්තාවක් හිජාබය පැළඳගෙන පන්සල් ගොස් මල් පුජා කරන්නේ නම් එය ව්‍යාජ රඟ පෑමක් විය හැකිය. එවැනි දේවල් වලින් සංහිඳියාව ඇති කල නොහැකිවා පමණක් නොව අන් අයගේ විවේචනයට හේතුවක්ද වනු ඇත.

බෞද්දයින් අතර බුදු රජාණන් වහන්සේගේ උපන්දින සැමරුමක් පැවතියත් මුහම්මද් නබි තුමාගේ උපන් දින සැමරුමක් ගැන අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස්වල පෙන්වා දී නොමැත. ඒ අනුව නබිතුමාගේ උපන්දින සැමරීමක් ඉස්ලාමයේ මුල් කාලයේදී නොතිබුනේය. එම නිසා අදටත් බොහෝ මුස්ලිම්වරුන් විසින් එවැනි උපන්දින සැමරීමක් කරන්නේ නැත. කෙසේ වෙතත් නබිතුමාගේ උපන්දින සැමරීම ආරම්භ වන්නේ ෆාතිමිද් කලීෆා වරයෙකුගේ මැදිහත් වීමකින් නබිතුමාගේ අභාවයට වසර 400 කට පමණ පසුවය. ඒ අනුව මුස්ලිම්වරුන්ට නබිතුමාගේ උපන්දින සැමරීම කල නොහැකි බව බොහෝ විද්වතුන්ගේ මතය වේ. එසේ තිබියදී මුස්ලිම්වරුන් බුදුන්ගේ උපන්දිනය සමරන්නේ කෙසේද? එසේම ඉස්ලාම්  දහම අනුව අල්ලාහ්ට මිස වෙනත් කිසිවෙකු වෙනුවෙන් පුජා පැවැත්විය නොහැකිය. මේ නිසා මුස්ලිම්වරුන් බෝධියට ගොස් මල් පුජා කිරීම අනුමත කල නොහැකිය.

ඉහත ගෙන හැර දැක්වූ කරුණු තවත් හොඳින් පැහැදිලි වන්නේ කුරානයේ ඇති 109 වන පරිජ්ජේදය නිසාය. එහි මෙසේ සඳහන් වේ. “නුඹලා නමදින දෑ මා නොනමදිමි. තවද මා නමදින දෑ නුඹලා නමදින්නෝද නොවෙති… නුඹලාට නුඹලාගේ දහමය. මට මගේ දහමය” මේ අනුව ආගම්වල සීමාවන් ඉතා හොඳින් පැහැදිලි කොට ඇත.

කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ මෙන්ම අනෙක් ආගම් අතර ඇතැම් පොදු ලක්ෂණ කුමක්දැයි හඳුනා ගන්නේ නම් ඒවා මත ඉතා හොඳින් සහජීවනය ගොඩ නැගිය හැකි ය. උදාහරණයක් වශයෙන් අසල්වැසි ප්‍රේමය සෑම ආගමකම පොදු ලක්ෂණයකි. එබැවින් එය සංහිඳියාව ඇති කිරීමට සඳහා ශක්තිමත් පදනමක් කර ගත හැකිය. තවද නැති බැරි අයට උදව් උපකාර කිරීම පොදු කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීම ජාතින් අතර සංහිඳියාව ඇතිරීම සඳහා අත්වැලක් කර ගත හැකිය. මෙම කරුණු සෑම අගමකින්ම උගන්වනු ලබන පොදු දේවල්ය.

By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *