විග්‍රහය: එහි බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක්‍රියා යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. 

ලොව පවතින අනෙකත් ආගම් වලට සමානව හෝ ඊටත් වඩා ඉස්ලාමය සහජීවනය හා සංහිදියාව අවධාරණය කරන්නක් බව දන්වා සිටින්නට කැමැත්තෙමු. මේ පිළිබඳ ව නිදසුන් රාශියක් තිබෙන අතර ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයා එම ඉගැන්වීම් වචනයට සීමා නොකොට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අන්දම ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන්ගේ සහශ්‍රයකට අධික ඉතිහාසය ඊට කදිම නිදසුනක් ලෙස අප ඉදිරියේ පවතී. මෙම මාතෘකාව පහතින් සාකච්ඡා කරන අවස්ථාවේ දී මෙම නිදසුන් ගෙනහැර දක්වන්නට කටයුතු කරන්නෙමු.

ඔබගේ චෝදනාවේ අඩංගු ඇතැම් වාක්‍යයන් හා වදන් (උදාහරණයකට අපව හැඳින්වීම සඳහා ඇතැම් තැන්හි යොදා ඇති පාදඩ ම්ලේච්ඡ) වැනි සමාන වාක්‍යයන් හා වදන් උපයෝගී කරගනිමින් කරුණු පහදා දෙන්නට හෝ පිළිතුරු සපයන්නට හෝ මගේ දහමේ ඉගැන්වීම් අනුව අනුමැතියක් නොමැති බව ඉතා නිහතමානීව ප්‍රකාශ කර සිටින්නෙමි. ජනයා සමග අන්තර් ක්‍රියාකාරකම් පවත්වා ගැනීමේ දී අල් කුර්ආනයේ හා මුහම්මද් තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් හා මඟ පෙන්වීම් අනුව කටයුතු කිරීමට අපි බැඳි සිටින්නෙමු.

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:34)

“මිනිසුන්ගෙන් නුඹගේ මුහුණ (අහංකාරයෙන්) හරවා නොගනිවූ. මිහිතලය මත උඩඟු ලීලාවෙන් ගමන් නොකරවූ. සැබැවින්ම අල්ලාහ් ගර්වයෙන් යුතු පුරසාරම් දොඩන්නන් ප්‍රිය නොකරන්නේය.” (අල් කුර්ආන් 31:18)

“තවද කවරෙකු ඉවසිලිවන්ත වී සමාව දුන්නේ ද සැබැවින්ම එය (අධිෂ්ඨානශීලී) ස්ථීර කරුණු වලින් ය” (අල් කුර්ආන් 42:43)

“තවද, (අල්ලාහ් විශ්වාස කළ) ඔවුන් මහා පාපයන් හා නින්දිත වූ කරුණු වලින් ද ඉවත් වී (සිටින අතර) තමන් ව කෝපයට පත් කරන අවස්ථාවේ වුවද (කෝපයට පත් කළ තැනැත්තාට) සමාව ලබා දෙති.” (අල් කුර්ආන් 42:37).

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (5: 8)

මුහම්මද් තුමාණන් මෙයටම අදාළ වන පරිදි ඉතා වැදගත් ප්‍රකාශනයක් කර ඇත. “මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ යහකම හා සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම සඳහා මිස නැත” (අල් බුහාරි, අහමද්)

“අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නෙකු යහපත් දෑ කතා කළ යුතුය. එසේ නොවේ නම් නිහැඬියාව රැකිය යුතුය” (අල් බුහාරි)

එහෙයින් ඉහත ඉගැන්වීම් හා අනුකූලත්වයකින් යුක්තව මෙම පැහැදිලි කිරීමේ ලිපිය සකසන්නට කටයුතු කොට ඇත්තෙමු.

බොරුව හා මුලාව 

අවාසනාවට ඔබගේ චෝදනාවේ පහත සඳහන් පුර්ව කොන්දේසියක් පිළිබඳ අපි විමතියට හා කණගාටුවට පත් ව ඇත්තෙමු. ඔබගේ ලිපියේ සඳහන් අවස්ථාවන් තුනෙහි සහ අල් කුර්ආනයේ සඳහන් අවස්ථා දෙකක හැර ඉස්ලාමය බොරුව හා අසත්‍යවාදිත්වය සහමුලින් ම තහනම් කොට ඇත. අනුමැතිය දී ඇති මෙම අවස්ථා මිනිස් ජීවිතයේ යථාර්ථය සමග කෙතරම් බැඳි ඇතිදැයි පහත විග්‍රහයන්ගෙන් පැහැදිලි වනු ඇත.

“ශුද්ධ වූ බොරුව සහ මුලාව” ඉස්ලාමික න්‍යාය බාවිතා නොකොට අප පෙන්වා දෙන කුරානයේ අඩංගු කොටස් සංවාදයට ගන්නා ලෙස මුස්ලිම්වරුන්ට අවධාරණය කර සිටිමු”. මෙය ඔබගේ ලිපියෙන් උපුටා ගත් කොටසකි.

පළමුව, ඉස්ලාමයේ අසත්‍යය ප්‍රකාශ කිරීමට දී ඇති අවස්ථා පිළිබඳ විමසා බලමු. ඉස්ලාමය, මිනිස් ජීවිතයේ හරය නිසි අයුරින් සකසා ගෙන සාමය පදනම් වූ සාර්ථක දිවිපෙතකට යථාර්ථවාදීව මඟ පෙන්වන දහමකි. එනිසාම ඉස්ලාමය දහමකට වඩා පරිපුර්ණ ජීවන සැලැස්මක් යැයි හැඳින්වීම වඩාත් නිවැරදිය. පවුල, මිනිස් සමාජයේ ක්‍ෂුද්‍ර ඒකකයයි. පවුල බිඳ වැටුනවිට අනාගත සමාජයේ වගකිවයුත්තන් වන දරුපරපුර විනාශය කරා යොමු වීමේ ඉඩකඩ අධික වෙයි. එමෙන්ම පවුල බිඳ වැටුනවිට සමාජය බිඳ වැටෙයි. සමාජය බිඳ වැටුන විට රටම බිඳ වැටෙයි. හොද්දට ලුණු වැඩිවීම වැනි ඉතා අල්ප හේතුන් මත ආරම්භ වූ අමිහිරි කතාබහ කොතෙක් නම් දික්කසාදය දක්වා දුරදිගට ගොස් ඇතිදැයි කරුණාකර සොයා බලන්න. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනුෂ්ක ගෝකුල මහතා පවසන අන්දමට දිනකට සිදුවන දික්කසාද ප්‍රමාණය 400 දක්වා වැඩිවී ඇති බවය. විවාහ වී වර්ෂයක් ඇතුළත සිදුවන දික්කසාද ප්‍රමාණය ඉතා භයානක අන්දමින් වැඩි වෙමින් පවතින බව ද එම මහතා තව දුරටත් දන්වා සිටී (මුලාශ්‍රය: http://newsfirst.lk/…/better-half-becomes-bitter-half…/23209)

මෙවන් භයානක සමාජ ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා අසත්‍යවාදිත්වය සම්පුර්ණයෙන් තහනම් කොට ඇති ඉස්ලාමය ස්වාමිපුරුෂයා හා බිරිඳ අතරේ යහපත් දෙයක් ගොතා කියා තම පවුල් ජීවිතය ආරක්ෂා කරගන්නට අනුමැතිය ලබා දී ඇත. ඔබගේ පරිවර්තනයේ සඳහන් පරිදි බොරු කීම යන්නට වඩා ‘යහපත් දෙයක් ගොතා කීම’ යන්න නිවැරදි අදහසයි. මෙය වංචනිකත්වය හෝ ප්‍රෝඩාවක් පදනම් වූ ක්‍රියාවක් නොවිය යුතුය.

‘යුද්ධය යනු මුලා කිරීමක්’(සුනාන් අබු දාවූද් – 2637) යැයි මුහම්මද් තුමාණන් පවසා තිබීම ද ඔබගේ ලිපියේ විවේචනයට ලක් වී තිබු තවත් කරුණකි. අපි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සමග දශක තුනක අවි ගැටුමක නිරත වී සිටියෙමු. අපගේ වීරෝධාර රණවිරුවන් මෙම ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා යෙදු උපාය මාර්ගයන් අතරේ සතුරා මුලා කිරීම ඉතා වැදගත් තැනක් ගත් ක්‍රියාවකි. මේ පිළිබඳ වාර්තා බොහොමයක් අපි පුවත්පත් මගින් කියවා ඇත්තෙමු.

යුද උපායක් ලෙසින් පමණක් මෙම තත්ත්වය උපයෝගී කර ගත හැකි අතර ඉන් බැහැර ව ඉස්ලාමිකයෙකුට කිසිම අයුරකින් අන් අයව මුළා කොට කටයුතු කිරීමට අනුමැතියක් නොමැත. යුද උපායයන් හා යුද පියවරයන් පිළිබඳ ව සතුරාව දැනුවත් කොට කටයුතු කරන සේනාධිනායකයෙකු අත් කර ගන්නා අවාසනාවන්ත ඉරණම පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලියන්නට අවශ්‍ය නොවන බව සිතන්නෙමු. ඇමෙරිකානු යුද හමුදාවේ නිල වෙබ් අඩවි සඟරාවේ යුද්ධයකදී සතුරා මුලා කිරීම සම්මත ප්‍රධාන යුද උපායක් ලෙස දක්වා ඇත. ඒ පිළිබඳ විස්තර කරුණාකර පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් කියවා සත්‍යය අවබෝධ කර ගැනීමට කටයුතු කරන්න. http://soldiers.dodlive.mil/…/strategic-trickery-the-u-s-a…/

“ඇමෙරිකාවේ උතුරු කරොලයිනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හමුදා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ජෝසෆ් කැඩෙල් මෙසේ පවසා සිටී. “යුද ක්‍රියාවලියේ මුලාව හමුදා ගැටුම් තරමට ඉපැරණි සිද්ධාන්තයකි. සතුරෙකුව ව්‍යාකුලත්වයට පත් කිරීමේ යථාර්ථය අත්‍යාවශ්‍ය කරුණකි. මෙමගින් සීඝ්‍ර යහ ප්‍රතිඵල ලබාගැනීම අපේක්ෂිතය” (Source: Caddell, Joseph, “Deception 101: Primer on Deception.”)

අසත්‍යය ප්‍රකාශ කිරීම සඳහා අවසරය දී ඇති තුන්වන අවස්ථාව ලෙස දක්වා ඇත්තේ ගැටුමකට මැදිවී ඇති දෙපාර්ශවයක් අතරේ සමාදානය ඇති කිරීම සඳහාය. නැවත වරක් අවධාරණය කළ යුත්තේ ගැටුමක් ඇති වී මහා ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා යමක් ගොතා කීම සමාජ යහපත සඳහා වූ ක්‍රියාවක් ලෙස සාධාරණ චින්තනයක් ඇති ඕනෑම අයෙකු අනුමත කරන ක්‍රියාවක් නොවන්නේ ද කියා කරුණාකර මොහොතක් සිතා බලන්න. අප මිනිස් ජීවිතය දෙස බැලිය යුත්තේ අහසේ පාවෙන අදහස් පදනම් කරගෙන නොව මහ පොළොවේ පය ගසා කරන්නා වූ යථාර්ථවාදී චින්තනයන් පදනම් කර ගෙනය.

මෙම කරුණු තුනම අඩංගු හදීස් වැකියන්හි මුලාශ්‍ර නම් අත්තිර්මිදි අංක 1862 හා සහිහ් මුස්ලිම් අංක 4717 යන් ය.
මෙයට අමතරව අසත්‍යය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අවස්ථා දෙකක් අල් කුර්ආනයේ වැකියක දක්වා ඇත. මෙම කරුණ ඔබගේ ලිපියේ දක්වා තිබුණේ ‘අල් තක්යා’ යනුවෙනි. ‘අල් තක්යා’ යන අරාබි පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘තක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් වී ඇත්තක් නොවේ. ඉස්ලාමය ට එරෙහි ප්‍රචාරණ කටයුතු වල නියැළෙන්නන් මෙම සංකල්පය සනාථ කිරීම සඳහා පහත සඳහන් අල් කුර්ආන් වැකිය උපුටා දක්වති.

“කවරෙකු අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසුව ඔහු ව ප්‍රතික්ෂේප කළේ ද (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ නොසතුට ඇත). තම හදවත විශ්වාසයෙන් තෘප්තියට පත් ව තිබිය දී (විශ්වාසයෙන් බැහැර වන මෙන්) බල කරනු ලබන්නන් හැර (ඔවුන් කෙරෙහි කිසිම වරදක් නැත).” (අල් කුර්ආනය 16:106).

මෙම අල් කුර්ආන් වැකිය පහළ කිරීමට හේතු වූ ඓතිහාසික සිදුවීමක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන් එහි සැබෑ අර්ථය පහසුවෙන් අපට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මුහම්මද් තුමාණන්ගේ සමීප මිතුරෙකු වූ අම්මාර් තුමාගේ දෙමව්පියන් යාසර් හා සුමෛයා ය. ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් මක්කාවේ විසු ඉස්ලාම් විරෝධීන් විසින් ඔවුන් ව කුරිරු වධ හිංසා වලට ලක් කොට මරණයට පත් කරන ලදී. මෙවන් පීඩාකාරී තත්තවයකට පත් ව සිටි අම්මාර් තුමාව දිනක් ඉස්ලාම් විරෝධීන් විසින් මරණ තර්ජන ඉදිරිපත් කරමින් ඉස්ලාමය හා මුහම්මද් තුමාණන් ව ප්‍රතික්ෂේප කළ බව පවසන්නට බල කරනු ලැබීය. මෙලෙස තදබල අයුරින් බලපෑම් වලට ලක් වූ අම්මාර් තුමා කිසිවක් කරකියා ගන්නට නොහැකි තත්ත්වයක් තුළ සිතේ විශ්වාසය ශක්තිමත් ව තබා ගනිමින් ඉස්ලාම් විරෝධීන්ගේ ඉල්ලීමට අනුව එසේ ප්‍රකාශ කොට ඉතා දැඩි සිත් තැවුලකට පත් වී මුහම්මද් තුමාණන් හමු වූ විට අම්මාර් තුමා ව නිදොස් කරමින් ඉහත අල් කුර්ආන් වාක්‍ය දෙවිඳුන් විසින් පහළ කරන ලදී.

ඉහතින් විස්තර කරන ලද පරිදි ජීවිත තර්ජන එල්ල වන ආකාරයේ බරපතළ අයුරින් බලපෑම් සිදුවූ විට තම ආගමික විශ්වාසය පිළිබඳව සිතේ ඇති සත්‍යය තත්ත්වයට පටහැනි අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට අවසථාවක් ඇති අතර ඉන් බැහැර ව වංචනික හා ප්‍රෝඩාකාරී අයුරින් අසත්‍යවාදී ව ක්‍රියා කිරීමට ඉස්ලාමීය ඉගැන්වීම් හි කිසිඳු අනුමැතියක් නොමැත. මෙවන් තත්ත්වයන් පිළිබඳ ව ඉස්ලාමීය නොවන මුලාශ්‍රයන් හි සඳහන් කරුණක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“අපරාධ පනත් අනුව අපරාධකරුවෙකු කිසිවෙකුගේ බලපෑමක් මත, බල කිරීමක් මත, කළ නොහැකි තත්ත්වයක් නොමැති අවස්ථාවක කරන ලද අපරාධයක් සම්බන්ධ ව වැරදි කරුවෙකු ලෙස උසාවිය නොපිළිගනී.” (‘අපරාධ විද්‍යාව’ – මහාචාර්ය දයා අමරසේකර – 10 වැනි පිටුව)

නුතන අපරාධ විද්‍යාව හා අනුකුලතාවක් ඇති ඉගැන්වීම් දැනට වර්ෂ 1400 කට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි අන්තර්ගත වී තිබීම සැබැවින් ම එහි ඉගැන්වීම් හි ඇති සදාතනික හා යාවත්කාලීනත්වය සනාථ කිරීමක් ලෙස අපි දකින්නෙමු.

අවාසනාවට ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් හා අනෙකුත් ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරීන් ඉස්ලාමය පිළිබඳ ව ඉදිරිපත් කරන්නට වෙර දරන වැරදි අර්ථ කථනයන් පිළිබඳ ව අපගේ දැඩි පිළිකුල් සහගත විරෝධය දන්වා සිටින්නට කැමැත්තෙමු. ඔවුන්ගේ මතය අනුව ඉස්ලාමිකයෙකුට ඉස්ලාම් නොවන්නන් ව අසත්‍යයෙන්, ප්‍රෝඩාවෙන් හා වංචාවෙන් රැවටීමට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමැතිය ලබා දී ඇති බවය.

ඉහතින් විග්‍රහ කළ අල් කුර්ආන් වැකියෙන් හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන අනුව හැර අන් කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක කිසිම ආකාරයක වංචනිකත්වයක් අසත්‍යවාදීකමක් කපටිකමක් ප්‍රෝඩාකාරිත්වයක් හෝ රැවටිලිකාරකමක් ප්‍රගුණ කිරීමට හෝ දිරි ගැන්වීමට අනුබල දෙන ආකාරයේ කිසිදු අදහසක් අන්තර්ගත වී නොමැති බව වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. ඔබ විසින් ‘රිලයන්සේ ඔෆ් ද ට්‍රැවලර්’ ග්‍රන්ථයෙන් උපුටා දක්වා තිබු කොටස පසුව විග්‍රහ කරන්නට අපේක්ෂා කරන්නෙමු. තවත් වරෙක අන් අයගේ දේපල හා වස්තුන් වංචනික අයුරින් ලබා ගැනීමට ඉස්ලාමයේ ශුද්ධ වූ බොරුව හා මුලාව යන අශුද්ධ සංකල්පය මගින් ඉඩකඩ ලබා දී ඇති බව සඳහන් වූ අවස්ථා රාශියක් ඔබගේ ලිපියේ අපි දුටුවෙමු.

කරුණාකර පහත සඳහන් අල් කුර්ආන් වැකිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. එවිට සත්‍යය පැහැදිලි වේ යැයි විශ්වාස කරන්නෙමු.

“නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තුව අනුභව නොකරවූ. තවද නුඹලා දැනුවත්ව ම ජනයාගේ වස්තුවෙන් කොටසක් පාපකාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙත ඒවා (වස්තුවෙන් කොටසක් අල්ලස් වශයෙන්) නොයවවූ”. (අල් කුර්ආන් 2:188)

ඔබගේ ලිපියේ සඳහන් “ශුද්ධ වූ බොරුව සහ මුලාව” යන්න ඉස්ලාමය පමණක් නොව ලොව ප්‍රධාන දහම් සියල්ල පිළිකුලෙන් හෙළාදකින අශුද්ධ ප්‍රතිපත්තියක් බව පැහැදිලිය.

බුදු දහමින් 

“අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි” (මුලාශ්‍රය: විභංග පාලිය)

කිතුනු දහමින් 

“එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසී එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු” (එපිසි 4:25)

හින්දු දහමින්
“මිහිතලය රඳවා පවත්වාගෙන යන අත්තිවාරම සත්‍යයි (රිග් වේදය 10:85)

ඉස්ලාමයෙන් 
“නුඹලා දැනගෙන සිටින තත්ත්වයේ අසත්‍යය සමග සත්‍යය නොපටලවවු; තවද නුඹලා සත්‍යය නොසඟවවු”. (අල් කුර්ආන් 2:42)

මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්)

මුහම්මද් තුමාණන් මෙසේ පැවසුහ: “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාරවූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහාකි)

මුහම්මද් තුමාණන් මෙසේ පැවසූහඃ “උඩඟුකමින් ණයබරින් සහ වංචාව යනාදියෙන් තොරව මරණයට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුල්වනු ඇත”. ( ඉබ්නු මාජා සහ අත් තිර්මිදි)

“මා ඔබට සත්‍යවාදී වන ලෙස දන්වමි. සැබවින් ම සත්‍යවාදී වීම ධර්මිෂ්ඨත්වය කරා යොමු කරයි. ධර්මිෂ්ඨත්වය ස්වර්ගය කරා යොමු කරයි. දෙවිඳුන් අභියස සත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තෙක් මිනිසෙකු සත්‍යවාදී ව කටයුතු කරන අතර සත්‍යවාදීත්වය උදෙසා ප්‍රයත්න දරයි. අසත්‍යවාදීකම ගැන ප්‍රවේසම් වන්න. අසත්‍යවාදීකම පාපය කරා යොමු කරයි. පාපය නිරා ගින්න කරා යොමු කරයි. දෙවිඳුන් අභියස අසත්‍යවාදියෙකු ලෙස ලියාගනු ලබන තෙක් මිනිසෙකු අසත්‍යවාදීව කටයුතු කරන අතර අසත්‍යවාදිත්වය උදෙසා ප්‍රයත්න දරමින් සිටියි”. (සහීහ් මුස්ලිම්)

By: එම්.අහ්මද් දහ්ලාන්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *