සමාජයක් නිවැරදි මාර්ගය කරා ගෙන යෑමේදී ආගමික නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. මේ නිසා  සමාජයේ ඇතිවන ප්‍රශ්න වලදී නිවැරදි මග පෙන්වීමක් ඔවුන් අතරින් ලබා ගැනීමට හැකි විය යුතුය. මිට හොඳ උදාහරණයක් වන්නේ පසුගිය සමයේ ඇති වුනු බෝම්බ සිද්ධියේදී කාඩිනල් පියතුමාගේ ක්‍රියා කලාපයයි. ඔහු එවැනි ක්‍රියා පිළිවෙලක් නොකරන්නට ලංකාව තුල විශාල ලේ වැගිරීමක් සිදු වීමට ඉඩ තිබුනේය.ආගමික නායකයෙක් යමක් ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් එහි ප්‍රතිපලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රකාශනවලින් ජනතව අතර තිබෙන බේද දුරු වී සංහිඳියාව ඇතිවීම බලාපොරොත්තු වන්නේය. එය කල හැක්කේ නිර්භයව සත්‍යය ප්‍රකාශ කිරීමෙන් පමණි. තවද ඔවුන් විසින් සමාජයේ සිදුවන වැරදි නිවැරදි කිරීමට ක්‍රියා කල යුතු අතර මිනිසුන් අතර බේද ඇති කිරීමේ වැඩ වලින් වැලකී සිටිය යුතුය. ජන මාධ්‍ය වලින්ද ඔවුන්ගේ ප්‍රකාශන වලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ නම් ඔවුන්ගෙන් විශාල සේවයක් රට වෙනුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.

නවීන සමාජයේ මිනිසුන් අතර ඇතිවී තිබෙන අනවබෝදය දුරු කිරීමෙහි ලා ආගමින නායකයින්ට විශාල කාර්‍ය භාරයක් ඉටු කල හැකිව තිබේ. එය කල හැක්කේ ඔවුන් මාධ්‍ය හමුවට පැමිණ සමාජයේ දක්නට ලැබෙන ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමෙනි. උදාහරණයක් ලෙස මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය, ෂරියා බැංකුවක අවශ්‍යතාව, හලාල් ප්‍රශ්නය යනාදිය පෙන්වා දිය හැකිය. මේවා ගැන බොහෝ අයට නිසි දැනුම නොලැබීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වී තිබේ. එම හේතුවෙන් ඉස්ලාමිය විද්වතුන් මාධ්‍යයන් හමුවට පැමිණ ඒවා ගැන පැහැදිලි කිරීම් කල යුතු වන්නේය. එසේ කලේ නම් වැරදි මතවාද සමාජ ගත වීම වැලකී යනු ඇත. මෙවැනි දෙයක් සිදු නොවීම නිසා මිනිසුන් අතර ඇති අනවබෝදයෙන් ප්‍රයෝජන ගැනීමට ඇතැම් අය මාන බලාගෙන සිටිති. ඉන් සිදු වන්නේ මිනිසුන් අතර සැකය සහ දුරස් බවක් ඇති වීම වේ.

පසුගිය කාල වකවානුවේදී මුස්ලිම් පල්ලියකින් කඩු සොයාගැනීම මාධ්‍ය මගින් දිගින් දිගටම පෙන්වා දුන්නේ සෑම පල්ලියකම කඩු තිබෙන අදහස ඇති වන අකාරයටය. එවැනි අවස්ථාවකදී ආගමික විද්වතුන්ගේ කාර්‍ය භාරය විය යුත්තේ එහි නිවැරදි තතු සමාජයට ලබා දීමය. ඇත්තෙන්ම කිසිම පල්ලියක කඩු තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් එක් පුද්ගලයෙක් ඔහු සතුව තිබුණු කඩු පල්ලියට ගෙනැවිත් තැබීම නිසා එහි වරද මුළු ඉස්ලාම් සමාජයටම පැවරිම බලවත් වරදකි. එවැනි අවස්ථාවකදී එය සිදු වූ අකාරය ජනතවට පැහැදිලි කොට මිනිසුන් අතර ඇති සැකය දුරු කිරීම ආගමික  නායකයින්ගේ වගකීමකි.

මෑත කාලීනව මුස්ලිම්වරුන් අරාබි භාෂාව භාවිතා කිරීම සම්භන්දයෙන් බොහෝ විවේචන එල්ල වන්නේය. මේ සම්භන්දයෙන්  මුස්ලිම් නොවන සමාජයට කරුණු පැහැදිලි කිරීම මුස්ලිම් විද්වතුන්ගේ වගකීමකි. එය සිදු විය යුත්තේ සෑම කෙනෙකුටම දැකිය හැකි පරිදි ප්‍රධාන ජන මාධ්‍ය හරහාය. එසේ නොකිරීමෙන් පොදු ජනතාව අතර මුස්ලිම්වරුන් ගැන වැරදි අවබෝදයයක් ඇති වීමට හේතුවක් වනු ඇත.

මෑතක සිට ඇතැම් ස්වාමින් වහන්සේලා තමන් නියෝජනය කරන ආගම් ප්‍රචාර කිරීම වෙනුවට අල් කුරානයේ ඇතැම් වැකි එහි සන්දර්භයෙන් බැහැරව ඉදිරිපත් කරමින් ජනතාව අතර අනවශ්‍ය සැකය සහ ක්‍රෝධය වපුරවමින් ඇත. ඇත්ත වශයෙන්ම එවැනි දේවල් සිදු නොවිය යුතුය. එම පුජක තුමන්ලාට යම් සැකයක් ඇතොත් ඔවුන් කළ යුත්තේ ඉස්ලාමිය විද්වතුන් හමුවී ඒවා ගැන ප්‍රශ්න කොට සත්‍යය දැන ගැනීම වේ.

අද අපි දකින තවත් කරුණක් නම් ආගමික නායකයින් යැයි කියා ගන්නා අය විසින් සමාජය නිසි මගට යොමු කිරීම වෙනුවට ජනතාව අතර වෛරය සහ ක්‍රෝධය වැපිරීමය. මේ නිසා ජනතාවක් වශයෙන් කල යුත්තේ ඔවුන් කව්රුන්දැයි හඳුනාගෙන ක්‍රියා කිරීමය.

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *