මෑත කාලය තුල විවිධ ආකාරයේ අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සාමය බිඳ වැටෙන අවස්ථා කිහිපයක් අපට දැක ගත හැකිවිය. මෙවන් තත්ත්වයන් වලක්වා නොගතහොත් එය රටේ ආර්ථිකයට හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන්ට ඇති කරන්නේ ඉතා විශාල සෘණාත්මක බලපෑමකි. අනිත් අතින් මෙමගින් අනෙකුත් සමාජ ක්‍රියාදාමයන් ට ද ඇති කරන්නේ බලවත් හානිකර තත්ත්වයකි. මෙනිසාම මෙම තත්ත්වයන් පිළිබඳ ව අප විසින් අවධානය යොමුකළ යුතු බවට බලපෑමක් මතුවී ඇත.
මෙම සාමය බිඳවැටීමත් සමග ඇතිවූ අන්තර් වාර්ගික සාකච්ඡා තුළින් අපට දැකගත හැකිවු එක් වැදගත් සාධකයක් වුයේ අපගේ ආකල්ප (attitude) පිළිබඳ ගැටළුවක් ඇති බවය. විශේෂයෙන් ම එක් සංස්කෘතියක් අනෙකුත් සංස්කෘතීන් වෙත දක්වන ආකල්පමය ගැටළුවක් ඇති බව පෙනෙන්නට තිබුණි. මාවනැල්ල සිදුවීම සැබවින් ම බලවත් ප්‍රකෝපකාරී මෙන්ම ජනයා කුපිත කරවන ක්‍රියාවක් බව පිළිගන්නෙමු. නමුත් ඉස්ලාමීය ඉගැන්වීම් තුල එවැන්නක් කිරීමට කිසිදු ආකාරයක සාධක නොමැති අතර ආගමික හා වාර්ගික බහුත්වය යථාර්ථයක් බව පිළිගැනීමට ඇති ඉගැන්වීම් රාශියක් අපගේ ප්‍රධාන මුලාශ්‍රයන් වූ අල් කුර්ආනයේ හා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ පිළිවෙතෙහි (සුන්නාහ්) අන්තර්ගතය. එයට අමතරව මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධවූවන් පිළිබඳ ව මුළු මහත් මුස්ලිම් සමාජයත් සියළුම ඉස්ලාමීය සංවිධානත් තරයේ පිළිකුලෙන් හෙළාදැක ඇත. එහෙයින් නැවත ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දකින්නෙමු. මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ ජනයා මෙම කුපිතකාරී ක්‍රියාවන් මැද ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳ ව අප සැමගේ අවංක ස්තුතිය හා ගෞරවය මෙමගින් දන්වා සිටින්නෙමු.
ආරම්භයේ අප විසින් සඳහන් කළාක් මෙන් බොහෝ සාකච්ඡා තුළින් මුස්ලිම් සමාජයට එරෙහි චෝදනා කිහිපයක් අපට අසන්නට ලැබිණි. ඒවායින් වැදගත් තැනක් ගත්තේ කාන්තා මුහුණු ආවරණය හා මුස්ලිම්වරුන් ඔවුන්ටම ආවේනික වූ සංස්කෘතියක් පිළිපදින බවය. මෙම කරුණු දෙක අප විසින් සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු බව අපි දකින්නෙමු. කාන්තා මුහුණු ආවරණයත් ඉස්ලාමීය සංස්කෘතියේ අංගයක් හෙයින් පොදුවේ මුස්ලිම්වරුන්ට ආවේනික වූ සංස්කෘතියක් අනුගමනය කිරීම පිළිබඳ ව සාකච්ඡා කරන්නේ නම් සුදුසුයි යන්න අපගේ මතයයි.
මෙරට 70%කට වඩා අධික පිරිසක් සිංහල බෞද්ධයන් ය. එහෙයින් මෙය සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගැනීමට මුස්ලිම් හා මුස්ලිම් නොවන සැම අතර එකඟතාවක් තිබිය යුතුය යන්න අපගේ පළමු මතයයි. එමෙන්ම සිංහල සංස්කෘතිය රටේ ප්‍රධාන සංස්කෘතිය ලෙස ද අප විසින් පිළිගැනීමට එකඟතාවක් තිබිය යුතුය. මෙයට අමතරව රටේ කිතුනු සංස්කෘතියක්, හින්දු සංස්කෘතියක් හා මුස්ලිම් සංස්කෘතියක් පැවතීම ද යථාර්ථයකි. මෙම අනු සංස්කෘතීන් සියල්ල රටේ ප්‍රධාන සංස්කෘතිය වූ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත විය යුතු බව එක් ආකල්පයකි. මෙය සිදු විය හැකිද? කිතුනු, හින්දු හා ඉස්ලාමිකයින්ගේ නැමදුම්, විවාහ කටයුතු, ආහාරපාන, ඇඳුම්පැළඳුම් හා අනෙකුත් සංස්කෘතික කටයුතු ඔවුන්ටම ආවේනික වූ පිළිවෙතකටයි සිදුකරමින් සිටින්නේ. මේ සියල්ල අතහැර මහා සංස්කෘතියට අනුගත වියයුතු යන අදහස අප දරන්නේ නම් එමගින් ද සාමය බිඳ වැටීමේ අවස්ථා අනිවාර්යෙන් ම උදා වනු ඇත. සංස්කෘතිය පිළිබඳ ව රටේ උත්තරීතර නීතිය වූ රාජ්‍යය ව්‍යවස්ථාව සඳහන් කරන්නේ කුමක් ද යන්න කෙරෙහි පළමුව අවධානය යොමු කරමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1) වැනි වගන්තීන්හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.
3 – 10 “සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”. 3 – 14. (1) “සෑම පුරවැසියකුට ම –
( ඉ) එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට; ( ඊ) එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට; ( උ) එකලාව හෝ අන් අය හා සමග යම් නීත්‍යනුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට; (ඌ) ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට; සහ ( ඒ) ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේ ය”.
(ඉහත උපුටා ගැනීමේ ඇතැම් වාක්‍යන් යටින් ඉරි ඇඳ ඉස්මතු කොට පෙන්වීම අප විසින් කරන ලද්දකි)
මේ දෙස අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන සංස්කෘතියට අමතර උප සංස්කෘතීන් පැවතීම පිළිබඳ නෛතික බාධාවක් නොමැති බව පැහැදිළිව දකින්නට ඇත්තකි. අනිත් අතින් ඉස්ලාමීය සංස්කෘතිය අනෙකුත් සංස්කෘතීන් කෙරෙහි විරෝධාකල්පයක් දක්වන්නක් බව ගෙනහැර දැක්වීමට කරුණු තිබේ ද? එසේ නොමැතිනම් එයින් අන් සංස්කෘතීන් වෙත තර්ජනයක් ඇත්තේ ද? මුහුණු ආවරණයට එරෙහිව මතයක් ඇතිකර ගැනීමට පෙර සෞඛ්‍ය හේතුන් මත මුහුණු ආවරණය කර ගන්නන්, දැඩි දුවිල්ලෙන් නාස්පුඩු හා මුහුණ ආවරණය කර ගන්නන්, හෙල්මටයෙන් මුහුණ ආවරණ කරගන්නන් ආදී වශයෙන් තවත් බොහෝ පිරිසක් සමාජයේ දකින්නට ඇත. නමුත් මුස්ලිම් කාන්තා මුහුණු ආවරණයට විරෝධය පාන්නන් කියා සිටින්නේ මෙය මැදපෙරදිග සංස්කෘතිය මෙරටට ගෙන ඒමක් ලෙසයි. එහි සත්‍යතාවක් නොමැත්තේද නොවේ. පාරම්පරික මුස්ලිම් කාන්තා ඇඳුම අනුමත කරන අතර මෙම මැදපෙරදිග විලාශිතාව සඳහා විරෝධය පෑම පිළිබඳ ව අප විසින් කරුණු සාකච්ඡා කළ යුතුව ඇත. ඉස්ලාමයේ උගන්වා ඇත්තේ ආවරණය කරගත යුතු ප්‍රමාණය මිස ඇඳුමේ විලාසිතාව නොවේ. පාරම්පරික කාන්තා ඇඳුමින් ද ආවරණය කරගත යුතු නිර්ණායකය අනුව ඇඳුම් ඇන්ඳ අතර මැදපෙරදිග විලාසිතාවෙන් ද කර ඇත්තේ එයමයි. නමුත් මැදපෙරදිග සංස්කෘතිය අප රට තුළට ආවේ කෙසේ ද යන්න ද අප විසින් විමසා බැලිය යුතු ව ඇත.
තාක්ෂණික හා සන්නිවේදන දියුණුවත් සමග අප සෑම රටකටම සමීප වූ අතර හැත්තෑවේ දශකයෙන් පසු ඛනිජතෙල් මිල ඉහළ යාමත් සමග මැදපෙරදිග රැකියා සඳහා අති විශාල ප්‍රමාණයක් ඇදී ගියහ. කෙටියන් කිවහොත් අප සැම විශ්ව ගම්මානයක් තුල ජීවත් වන්නන් බවට පත් වූයෙමු. මෙහිදී ඉස්ලාමීය නිර්ණායකයන් ආරක්ෂා කරගනිමින් එහි කාන්තාවන් අඳින අපගේ පාරම්පරික ඇඳුමට වඩා වැඩි ලෙහෙසි ඇඳුමක් වෙත ආකර්ෂණය වීම සාමාන්‍ය කරුණකි. මේගැන ඇති විද්වත් මතයක් වෙතට යොමු වෙමු.
“ඇඳුම්, පැළඳුම්, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස් වෙයි. මෙකල මෙන් මසින් දෙමසින් නොවුව ද, පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් පැළඳුම් කලින් කළ වෙනස්වී යැයි කියන නිදසුන්, පුරාණ පොතපතින් මෙන් සිතුවම් ආදියෙන් ද දක්නට ලැබේ.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 16 පිටුව).
මෙලෙසයි මුස්ලිම් කාන්තාවගේ ඇඳුම වෙනස්වීමකට ලක්වුයේ. ඒ හැරෙන්නට මෙහි කිසිදු ආකාරයක සැඟවුණු හෝ යටි අරමුණක් කොහෙත්ම නොමැත. මුස්ලිම් පමණක් නොව අනෙකුත් වාර්ගිකයින් ද ශ්‍රී ලාංකීය නොවන සංස්කෘතීන් වෙත ඇදී ගොස් ඇත. මුස්ලිම් නොවන සමාජයේ කාන්තා ඇඳුම වෙනස් වී ඇත්තේ බටහිර විලාසිතාවන් වෙතය.
මෙයින් නම් සැබවින් ම සමාජ සදාචාරය වෙත ඇති කොට ඇත්තේ බලවත් හානියක් බව පැවසිය යුත්තකි. මෙම හානිකර විලාසිතාවන් පිළිබඳ ව ඇති නිහැඬියාව ද පුදුම සහගත කරුණක් බවට පත්ව ඇත. නමුත් එක් ලේඛකයෙක් මේ පිළිබඳ ව දක්වන අදහස් වෙත අවධානය යොමු කරමු.
“ඇඳුම් ඇඳ ගත්තත් හෙලුවැල්ලෙන් ඉන්නා ලෙස පෙනෙන ජනප්‍රිය සංස්කෘතියේ යුවතියන්ගේ අඟ පසඟ ප්‍රදර්ශනය කිරීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඔවුන්ට අවස්ථා උදාවෙයි. ඇත්තෙන් බැලූ විට මෙය ජනප්‍රිය සංස්කෘතියක්මත් නොව සොසේජස් සංස්කෘතියකි. එසේ නොවේ නම් හෙලුවැලි සංස්කෘතියකි. බොහෝ මාධ්‍යයන් මගින් අවධාරණය කෙරෙන්නේ යම් ජාත්‍යන්තරකරණයක් අවශ්‍යව ඇතැයි යන්නයි. අපේ විලාසිතාවන් ජාත්‍යන්තරකරණය විය යුතුයි. ස්ත්‍රී ස්වරූපයේ බොහෝ තැන් පෙනෙන ලෙස ඇඳීම ජාත්‍යන්තරකරණය වෙත නැගීමට ඇති පියගැට පෙළෙහි යම් පඩි කිහිපයක් නැග්ගා හා සමාන වෙයි. මෙවැනි විසුක දස්සන දකින ජනතාව ඉඳුරන් සන්සුන් කර ගන්නේ කෙලෙසදැ’යි පැණයකි. සිංහල සමාජය සරල අල්පේච්ඡ ජීවිතයකට හුරුව ලබා තිබුණකි. සිංහල ජීවන ක්‍රමයේ මේ සරල සුන්දරකම දූරිභූත වන බවක් දැන් පෙනී යයි. අප සමෘධිමත් විය යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අප සමෘධිමත් විය යුතුයි.” (“සිංහල සමාජය හා සංස්කෘතිය” ගුණසිරි වීරසූරිය පිටු 403 සිට 414 දක්වා ඇති කොටසින් උපුටා ගන්නා ලදී)
මෙවන් හුදෙකලා හඬක් දකින්නට තිබුන ද සංවරශීලී මුස්ලිම් කාන්තා ඇඳුමට දක්වන විරෝධය තරම් හඬක් අප රටේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් සදාචාර විරෝධී බටහිර නග්න සංස්කෘතිය පිළිබඳ ව හඬක් දකින්නට නොතිබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. සංස්කෘතිය පිළිබඳ විද්වත් මතයක් වෙතට යොමුවෙමු.
“සමාජයක ඇති දේ, කරන දේ, සිතන දේ යන මේවා සියල්ල සංස්කෘතියක් විග්‍රහ කර බැලීමෙන් සොයා ගත හැකි ය. එසේම සෑම සංස්කෘතියක් ම අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් වෙනත් සංස්කෘති වල ආභාසය ලබා ඇත. අමිශ්‍ර සංස්කෘතියක් ලෝකයේ කිසි රටක නැත. සංස්කෘතිය වෙනස් වී යයි. එහෙත් බලයෙන් හෝ උපක්‍රමයෙන් හෝ සංස්කෘතියක් වෙනස් කිරීම ට උත්සාහ දැරීම මහ අපරාධයකි. ලෙහෙසියෙන් කළ නොහැක්කකි.” (රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් විසින් රචිත ‘අපේ සංස්කෘතිය’ පිටු 1)
උගත් නායක ස්වාමීන් වහන්සේ විසින් දක්වා ඇති කරුණු පහත සඳහන් අයුරින් සම්පිණ්ඩනය කොට දැක්විය හැක.
• සියළු සංස්කෘතීන් අනෙකුත් සංස්කෘතීන් වල ආභාෂය ලබා ඇත.
• අමිශ්‍ර සංස්කෘතියක් ලොව කොහෙවත් නොමැත.
• සංස්කෘතිය වෙනස් වන්නකි.
• බලෙන් හෝ උපක්‍රමයෙන් සංස්කෘතියක් වෙනස් කළ නොහැක.
මෙම හේතුන් පදනම් කරගනිමින් මුස්ලිම් සංස්කෘතිය වෙත ඇති සෘණාත්මක ආකල්ප වෙනස් කරගනිමින් ආගමික හා වාර්ගික සාමය වෙත යොමු වෙමු. නමුත් සමාජයට හානිකර බටහිර සංස්කෘතිය පිළිබඳ මතයක් පහතින් දක්වා ඇත්තෙමු.
“පෘතග්ජන පුද්ගලයන්ට ලස්සන තරුණියන් ගැන ඇසු පමණින් වුව ද කාම රාගය ඇති වේ. එයට හේතුව ඔවුන් තුළ කාම රාගය නමැති ක්ලේශය යටපත් ව තිබීම ය. ශෝභන තරුණිය දුටු තරුණයා කෙරෙහි තරුණිය ගැන ආදරයක් ඇති වේ. ඇය නැවත නැවත දැකීමේ ආශාවක්, ඇය හා කතා කිරීමේ ආශාවක්, ඇගේ සිත් ගැනීමේ ආශාවක් ඇයට සංග්‍රහ කිරීමේ ආශාවක් ඇති වේ. තරුණයා තුළ ඇතිවන ඒ ආදරය හා ආශා රාශිය කාමරාගය නමැති ක්ලේශය ය. ඔහු දුටු තරුණිය වෙත යන්නේ ය. ඇය හා කතා කරන්නේ ය. එයට විරුද්ධ වන අය හා කලහ කරන්නේ ය. පත්ලෙහි මඩ ඇති ලිඳේ ජලය නො කැළඹෙන තෙක් පිරිසිදු ය. සියලු ම පව් කෙරෙන්නේ නැඟී සිටියා වූ කෙලෙසුන් නිසාය”. (‘කෙලෙස් එක් දහස් පන්සියයක්’ – මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා නාහිමි – 5 වැනි පිටුව)
බටහිර නග්න සංස්කෘතියෙන් කාන්තා හිංසනයන් වැඩිවීමට ද ලිංගික අපචාර පහසුවෙන් ව්‍යාප්ත වීමටද බලගතු හේතුවක් වනු ඇත. ආගමික හා සමාජ නායකයින්ගේ මෙන්ම සියළු වගකිවයුත්තන්ගේ අවධානය මෙම හානිකර ප්‍රවනතාව වෙත යොමුවෙයි කියා අපේක්ෂා කරන්නෙමු. සියළු සංස්කෘතීන් මහා සංස්කෘතියට අනුගත විය යුතු යන අධිපතිවාදී චින්තනයෙන් බැහැර වී සැමට තම තමන්ගේ සංස්කෘතීන් සඳහා අයිතියක් ඇත යන යථාර්ථය පිළිගත හැකි ආකල්ප අපි සැවොම ගොඩනඟා ගනිමු. මෙමගින් වාර්ගික හා ආගමික සාමය තහවුරු කරමු.
සංස්කෘතියේ පොදුතාවන් බොහොමයක් දකින්න ඇත. ජාතික ධජය, ජාතික ගීතය, නිදහස් දිනය, රණවිරු දිනය ආදී පොදු කටයුතු පිළිබඳව සාමුහිකව කටයුතු කරමු. අවසාන වශයෙන් මුස්ලිම් සමාජය මෙයට වඩා අනෙකුත් සංස්කෘතීන් සමග කටයුතු කරන විවෘත සමාජයක් බවට පත්විය යුතු යන මතය ද ඉදිරිපත් කරන්නෙමු.
By: එම්.අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com