ඉඃතිකාෆ් නම් වචනයෙහි අර්ථය: රැඳී සිටීමයි.

ආගමික කෝනයෙන් ඉ:තිකාෆ් යනු අල්ලාහ්ගේ මස්ජිදයෙහි ඔහුට යාඥා කරමින් අඛණ්ඩව රැඳී සිටීමයි.

ඉඃතිකාෆ් නම් යාඥාවෙහි මූලික අරමුණ නම්: මැවුම් කරුවා සමග සම්බන්ධතාව අැති කර මැවීම් සමග වූ සම්බන්ධතාව විසන්ධි කිරීමයි. යනුවෙන් ඉමාම් ඉබ්නු රජබ් රහිමහුල්ලාහ් පවසයි.

ඉඃතිකාෆ් යනු මූලිකත්වය දෙමින් ඉටු කළ යුතු සුන්නතයකි. නබි (ﷺ) තුමන් රමළාන් මාසයෙහි අවසන් දවස් දහය සෑම වසරක් පාසාමා ඉඃතිකාෆ් සිටියේය. එය මග හැරුනු විට ඒ වෙනුවට ඉන් පසු උදාවන ෂව්වාල් මාසයෙහි  දින දහයක් ඉඃතිකාෆ් සිටියේය.

රමාළාන් හැර වෙනත් කාලවල ඉඃතිකාෆ් යාඥාව ඉටු කළ හැකිද?

රමළාන් හැර වෙනත් කාලවලද මෙම යාඥාව ඉටු කළ හැක. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “ඔබලා මස්ජිදයෙහි ඉඃතිකාෆ් රැඳි සිටින විට ඔවුන් (භාර්්‍යාවන්) සමග සංසර්ගයෙහි නොයෙදෙන්න” (2: 187). යනු පොදුවේ සඳහන් වෙයි. එබැවින් රමළාන් හැර වෙනත් කාලවලද මෙම යාඥාවා කළ හැක. තවද ඉ:තිකාෆ් යාඥාව අතර තුර සංසර්ගයෙහි යෙදීම එම යාඥාව නිෂ්ඵල කරයි.

“උමර් (රලි) තුමන් අඥාන සමයෙහි මස්ජිදුල් හරාම් හි ඉඃතිකාෆ් සිටීමට භාරයක් කළ බව පවසා එය ඉටු කිරීමට නබි (ﷺ) තුමන්ගෙන් අවසර ඉල්ලා සිටියේය. එම භාරය ඉටු කරන්න එතුමන්ට නබි (ﷺ) තුමන් අවසර දුන්හ”. (මූලාශ්‍රය: බුහාරි 2032).

“වරක් නබි (ﷺ) තුමන් රමළාන් මාසයෙහි ඉ:තිකාෆ් ඉටු නොකර ෂව්වාල් මාසයෙහි ඒ වෙනුවෙන් දින දහයක් ඉඃතිකාෆ් යාඥාව ඉටු කළහ”.  (මූලාශ්‍රය: බුහාරි 2034).

රමළාන් මාසයෙහි නබි (ﷺ) තුමන් ඉ:තිකාෆ් යාඥාව ඉටු කළේ කුමන අදිියරයේද?

“නබි (ﷺ) තුමන් මිය යන තෙක් රමළාන් මාසයේ අවසන් දවස් දහයෙහි ඉ:තිකාෆ් සිටියේය. ඉන් පසු එතුමන්ගේ භාර්්‍යාවන් ඉ:තිකාෆ් සිටියේය” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මුලාශ්‍රය: බුහාරි 2026).

ඉ:තිකාෆ් සිටින විට අවසර පවතින කරුණු:

“නබි (ﷺ) තුමන්  මස්ජිදයෙහි ඉ:තිකාෆ් සිටී විට නිවසේ සිටී මා වෙත එතුමන්ගේ ඔළුව දික්කළහ. මා ඔසප්වී සිටී තත්ත්වයක එතුමන්ගේ කොණ්ඩය පීරුවෙමි.  (මූලාශ්‍රය: බුහාරි 2028).

මස්ජිදය පිරිසිදුව තබා ගත යතුයි යන කාරණාවද ඉහත පුවතින් තහවුරු වෙයි. එබැවින් ඉ:තිකාෆ් සිටින බැතිමතුන් මස්ජිදය පිරිසිදුව තබා ගත යුතුයි.

නබි (ﷺ) තුමන් ඉ:තිකාෆ් සිටී විට එතුමන්ගේ භාර්්‍යාවන් පැමිණ එතුමන්ව මුණ ගැහී කථා බහා කළහ. එයටද අවසර පවති. සෆීයා බින්ත් හුයයි (රලි) තුමිය එසේ පැමිණ නබි (ﷺ) තුමන්ව බැහැ දැකපු පුවත බුහාරි (2035) වැනි මූලාශ්‍රවල සදහන් වෙයි.

අවශ්‍යතාවක් මතුවූ විට මස්ජිදයෙන් පිටත්වීම:

“නබි (ﷺ) තුමන් ඉ:තිකාෆ් සිටින විට අවශ්‍යතාවක් මතුවූ විට මිස නිවසට නොපිවිසෙයි” යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 2029).

අනවශ්‍යය ලෙස මස්ජිදයෙන් පිටවීම ඉ:තිකාෆ්  යාඥාව න්ෂ්ඵල කරයි. අවශ්‍යතාවක් මතුවූ විට පිටත්වීම අවසර පවති. ආහාර පාන ගැනීම, වැසිකිළි අවශ්‍යතාවන් ඉටු කිරීම, නින්දේදී ධාතු පිටවූ විට දිය නා ගැනීම සඳහා. මෙවන් අවශ්‍ය අවස්ථාවල පිටත්විය හැක.

කාන්තාවන්ගේ ඉ:තිකාෆ්:

නබි (ﷺ) තුමන්ගේ භාර්්‍යාවන් මස්ජිදයෙහි ඉ:තිකාෆ් සිටී විට කූඩාරම් අටවාගෙන ඒ තුළයි රැඳී සිටියේ. එබැවින් මස්ජිදයෙහි කාන්තාවන් සඳහා වෙන්වූ ස්ථානයෙහි ඔවුන් එම යාඥාව ඉටු කළ යුතුය. අධික රුධිරය වහනයවු මුස්තහාලා තත්ත්වයේ නබි (ﷺ) තුමන්ගේ භාර්්‍යාවන් අතුරින් කෙනෙකු ඉ:තිකාෆ් සිටී බව ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 2037).

දින 20 ක් මස්ජිදයෙහි ඉ:තිකාෆ් රැඳී සිටීම:

“නබි (ﷺ) තුමන් සෑම වසරකම රමළාන් මාසයෙහි දින දහයක් ඉ:තිකාෆ් සිටියේය, එතුමන් අපවත්වූ අවසන් වසරේ දින විස්සක් ඉ:තිකාෆ් සිටියේය” යනුවෙන් අබූ හුරෙයිරා (රලි) තුමන් විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 2044).

ඉ:තිකාෆ් පිළිගනු ලැබීම සඳහාවූ පවතින කොන්දේසි:

පස්වේල සලාතය සමූහව ඉටු කරනු ලබන මස්ජිදයෙහි ඉ:තිකාෆ් රැඳි සිටිය යුතුය. එය ජුම්ආ මස්ජිදයක් නම් ඉතා සුදුසුය.

ඔහු මුස්ලිමෙකු වීම, පිවිතුරු චේතනාව, මනා සිහිබුද්ධිය, හොඳ නරක තේරෙන වයසට පත්ව සිටීම. වැඩිවියට පත්ව සිටීම, ඔසප් වීමේන්, දරු ප්‍රසුතියත් සමග පිටවන රුධිරය වැනි දෙයින් කාන්තාවන් පිරිසිදුව සිටීම. (ඔසප් කාලයෙහි ඉ:තිකාෆ් යාඥාව කාන්තාවන්ට ඉටු කළ හැක යන මත දරන ආගමික විද්වතුන්ද සිටිති).

ඉ:තිකාෆ් යාඥාව ඉටු කිරීම සඳහා කාන්තාවන් සිය ස්වාමි පුරුෂයාගෙන් අවසර ලබා ගැනීම.

ඉ:තිකාෆ් යාඥාවෙහි ආරම්භය හා අවසානය:

රමළාන් මස 21 දින හිරු බැස යෑමට පෙර ඉ:තිකාෆ් යාඥාවට ඇතුල්වීම. එදින ෆජ්ර් සලාතය ඉටු කළ එම යාඥාවට ඔහු ඇතුල් වෙයි. ඉ:තිකාෆ් යාඥාවෙන් පිටත්විය යුත්තේ රමළාන් මස අවසන් දවසේ හිරු බැස යෑමෙන් පසුවයි.

අවසන් වශයෙන්:

වත්මන් යුගයේ නවීන ජංගම දුරකථන භාවිතය, එසේම සමාජ ජාලා whatsapp, facbook තුළ සැරි සැරමින් වේලාව නාස්ති කිරීම බහුලව සිදුවන බැවින්. ඔබ ඉ:තිකාෆ් යාඥාවට ගොස් එම උපකරණවල ඔබේ වේලාව වැය කරයි නම් ඔබේ ඉ:තිකාෆ් යාඥාවෙන් කිසිදු ඵලක් ඔබට අත්නොවනු ඇත. මෙවැනි දෙයින් ඈත් වී ඔබේ මුළු අවදානය යහපත් ක්‍රියාවන්, වෙනත් යාඥාවන්, සලාතය, අල්ලාහ් මෙනෙහි කිරීම, අල්කුර්ආනය පාරායනය වැනි යහපත් ක්‍රියාවන්හි ගත කර උපරිම ඵල නෙලා ගැනීමට උත්සහ කරන්න.

මෙම වසරේ covid 19 නිසා බොහෝ රටවල මස්ජිදයන් වසා ඇති බැවින් මුස්ලිම් බැතිමතුන් උතුම්වූ රමළාන් සමයේ යාඥාවන් තම තමන්ගේ නිවෙස්වල ඉටු කරමින් සිටින මෙවන් තත්ත්වයක, ඉඃතිකාෆ් නම් යාඥාව නිවසේ ඉටු කළ හැකි ද? යන පැනය කෙනෙකුට මතු විය හැක. නමුත් මෙම යාඥාව මස්ජිදයේ හැර වෙනත් තැනක ඉටු කිරීමට අවසර නොපවතින යාඥාවකි. අපි ඉහත සඳහන් කළ ශුද්ධවූ අල්කුර්ආන් වැකියද එය පැහැදිළිව සඳහන් කරයි. මස්ජිද්වල එම යාඥාව ඉටු කිරීමට වාතාවරණයක් අද බොහෝ රටවල නොපවතින නිසා සිය නිවෙස්වල උපරිම වශයෙන් යාඥා කර රමළාන් මස අවසන් දහය වර්ණවත් කිරීමට යුහුසුළු විය යුතුයි. රාත්‍රි 1000 කට වඩා සුවිශේෂි ලයිලතුල් කද්ර් රාත්‍රිය පවතින අවසන් දහයේ රාත්‍රි කාලවල වැඩි වශයෙන් යාඥා කර එම උතුම්වූ භාග්‍යයවන්ත රාත්‍රිය ලබාගැනීම සඳහා ඉතා උනන්දුවෙන් හා යුහුසුළුවෙන් ක්‍රියා කළ යුතුය.

By Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *