අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු.

අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).

ශුද්ධවූ මාසයන් හතර නම්ඃ දුල්කඃදා (චන්ද්‍ර මාස අනූව 11 වැනි මාසය), දුල්හජ් (12 වැනි මාසය), මුහර්ම් (1 වැනි මාසය), රජබ් (7 වැනි මාසය) මෙයට සාධකවූ නබි වදන නම්: අල්ලාහ්ගේ දූතවරයා තම අවසන් හජ් කර්තව්‍යයේදී ජනතාව අමතා කළ දේශණයේදී: “සැබවින්ම අල්ලාහ් අහස් හා පොළෝ මැවූ විට කාලය (මාසයන්) කෙසේ පැවතුන ද ඒ තත්තවයටම පත්විය. අවුරුද්දට මාස දොළහකි. එයින් හතරක් ශුද්ධවූ මාස වන අතර, තුනක් එක දිගට පැමිණයෙි: දුල්ක:දා, දුල්හජ්, මුහර්රම්. මුලර් ගෝත්‍රයට අයත් රජබ් යනු ජුමාදා, ෂ:බාන් අතර වේ”. (මූලාශ්‍රයඃ බුහාරි 3197, විස්තර කරන්නේඃ අබූබක්රා (රලි) තුමන්). අල්ලාහ්ගේ දූතවරයා මේ තරම් මෙය විස්තර කිරීමට හේතුව අඥාන යුගයෙහි එවකට මක්කාවෙහි ජීවත්වූවන් තමන්ට රිසි සේ මාසයන් වෙනස් කළහ සමහර විට වසරක මාසයන් වැඩි කළහ තවත් සමහර විට අඩු කළහ. මෙම අඥාන ක්‍රියාවට තිත තැබීමක් වශයෙනුයි අල්ලාහ්ගේ දූතවරයා මෙම ප්‍රකාශය කළේ.

ශුද්ධවූ මාස යනුවෙන් අදහස් කරන්නේ යුද වැදීමට තහනම් මාස වේ. ප්‍රතිවාදීන් විසින් සටන් දියත් කරනු ලබන විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අවසර පවති. තවද එම මාසයන්හි පාප ක්‍රියාවන්හි නියැලෙමින් ඔබටම විනාශය ඇති නොකරන්න යනු ශුද්ධවූ අල්කුර්ආනයේ ඉගැන්වීමයි. මෙම පාඨය ආගමික විද්වතුන් විග්‍රහ කරන විට ශුද්ධවූ මාසයන්හි පාපයන්හි නියැලීම සෙසු මාසයන්හි පාපයන් කිරීමට වඩා බරපතල බව විග්‍රහ කරති.

නබි (ﷺ) තුමන් රජබ් මාසය පිළිබඳ ප්‍රකාශ කරන විට එය “ජුමාද හා ෂඃබාන්” අතර පවතින මුලර් ගෝත්‍රයට අයත් රජබ් යනුවෙන් ප්‍රකාශ කළහ. මන්ද ඉස්ලාමයට පෙර අඥාන සමයෙහි අනිකුත් ගෝත්‍රයන් රජබ් යනුවෙන් වෙනත් මාසයක් සැළකූහ. රබීආ ගෝත්‍රය රමළාන් මස රජබ් යනුවෙන් සැළකූහ. ඔවුන්ට අවශ්‍ය වන පරිදි සටන් වැදීමට තහනම් මාස ඔවුන් වෙනස් කරගත්හ. මොවුන්ගේ මෙම අඥාන ක්‍රියාව පිළිබ‍ඳව ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන්වෙයි: “නියත වශයෙන්ම අන්-නසීඋ (ශුද්ධවූ මාස කල් දැමීම) ප‍්‍රතික්‍ෂේප භාවයේ වර්ධනය(අවස්ථාව)කි. එමගින් ප‍්‍රතික්‍ෂේප කරන්නන් නොමඟට යොමු කරනු ලැබේ. අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළා වූ (මාසවල) ගණන හිලව් කරනු පිණිස එක් අවුරුද්දක (කිසියම්) මාසයක් යුද්ධ කිරීමට ඔවුන් අනුමත කරගන්නා අතර (තවත්) අවුරුද්දක (එම මාසයම යුද්ධ කිරීමට) ඔවුන් තහනම් කරගනිති. එබැවින් ඔවුන් අල්ලාහ් (යුද්ධ කිරීමට) තහනම් කළාවූ මාස අනුමත කරගනිති.  ඔවුන්ගේ නරක ක‍්‍රියාවන් ඔවුනට අලංකාර කරන ලදී. ප‍්‍රතික්‍ෂේප කරන ජනතාව අල්ලාහ් යහමඟට යොමු නොකරවයි”.  (අත්තව්බා 9: 37).

“ෆරඅ හා අතීරත්” නොමැති බව නබි (ﷺ) තුමන් ප්‍රකාශ කළහ. “ෆරඅ” යනු ඔටුවට ලැබෙන මුල් පැටියාව ඔවුන්ගේ මිථ්‍යා දෙවිවරුන්ට බාර කිරීම, “අතීරත්” යනු රජබ් මාසයෙහි එළුවෙකු (ඔවුන්ගේ මිථ්‍යයා දෙවිවරුන් වෙනුවෙන්) කැප කිරීම” (විස්තර කරන්නේ :අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍ර: බුහාරි 5473, මුස්ලිම් 5231). මෙවැනි ක්‍රියාවන් තහනම් බව මෙම නබි වදනෙන් පැහැදිළි වෙයි.

රජබ් ශුද්ධවූ මාසයක් යනුවෙන් සළකා එම මාසයෙහි සුවිශේෂී යාඥාවන් කිරීමට කිසිදු සාධයක් නොමැත. විශේෂ සලාතයන් හෝ විශේෂ උපවාසයන් හෝ විශේෂ උම්රා යාඥාවන් හෝ වෙනත් කුමන යාඥාවක් විය හැක. අබූ බක්කර් (රලි) තුමන්, උමර් (රලි) තුමන් රජබ් මාසයෙහි සුවිශේෂිව උපවාසයන් කිරීම වැළැක්වූහ. මන්ද නබි (ﷺ) තුමන්ගෙන් එයට කිසිදු ආදර්ශයක් නොලැබීම නිසා.

නබි (ﷺ) තුමන්ගේ ජීවිතයෙහි සිදුවූ ඉමහත් ප්‍රාතිහාර්යයක් වන ඉස්රා, මිඃරාජ් ගමන සිදුවූයේ රජබ් මස 27 වැනි දින යනුවෙන් පවසා එම දිනයෙහි දානයන් දීම, උපවාසයෙන් පසුවීම, වෙනත් විශේෂ යාඥාවන්හි නියැලීම පැහැදිළ නොගමග යන ක්‍රියාවන් වේ. මෙවැනි අඥාන ක්‍රියාවන්ට කිසිදු සාධයක් නබි (ﷺ) තුමන්ගේ ජීවිතයෙහි නොමැත.

ඉස්රා, මිඃරාජ් ගමන නබි (ﷺ) තුමන්ගේ මක්කා යුගයෙහි කුමන වසරෙහි සිදුවූයේද යන්නට නිශ්චිත සාධකයක් නොමැත. විද්වතුන් අතර එය සිදුවූ වසර පිළබඳම විවිධ මත පවති. ඒ මත අතුරින් බොහෝ දුරට පිළගත් මතය වන්නේ නබි (ﷺ) තුමන්ගේ තායිෆ් ගමනින් පසු මදීනාව බලා හිජ්රත් යෑමට වසරකට, වසරක එකහාමාරකට පෙර යන්නයි. ඉස්රා, මිඃරාජ් ගමනින් පසු නබි (ﷺ) තුමන් මදීනාවට ගොස් වසර දහයක කාලයක් ජීවත්වූහ. කිසිම අවස්ථාවක එතුමන් මිඃරාජ් දිනය සුවිශේෂත්වයට ලක්කරමින් යාඥාවන්හි නියැලුනු බව කිසිදු සාධකයක් නොමැත. එතුමන්ගේ ආදර්ශයක් නොවූ කිසිවක් ඉස්ලාම් නොවන්නේය. එතුමන්ගේ මිතුරන්ගෙහි ජීවිතයේද මෙයට කිසිදු සාධකයක් නොමැත. සැම විටම යහපතෙහි ඉදිරියෙන් සිට අපට ආදර්ශයක් වූ නබි (ﷺ) තුමන්ගේ මිතුරන් මෙයට ආදර්ශයක් ලබා නොදුන්නේ නම් මෙය කොහෙත්ම ඉස්ලාම් නොවන බව මොනවට පැහැදිළ වෙයි. ඉතා පසුකාලීනව ආගමෙහි නාමයෙන් ඇති කරන ලද මෙවැනි නූතන නොමග යවන ක්‍රියාවන්ගෙන් අපි ඉතා විමසිලිමත් විය යුතුය.

රජබ් මාසය පදනම් කරගනිමින් නබි (ﷺ) තුමන්ගේ නාමයෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ගොතා ඇත. එයින් අපි ඉතා විමිසිලිමත් විය යුතුයි. එය අපි තවත් ලිපියකින් සාක්ච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම මාතෘකාවට අදාළ දේශණය නරඹන්න:

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *