දෙවියන් විසින් සෑම ජිවියෙකුටම අසීමිත ලෙස සම්පත් ලබා දී ඇත. ඒ අනුව බලන කළ කිසිම ධනයකට හිමිකම නොකියන නිකම්ම නිකම් හිඟන්නෙක් ලඟත් දෙවියන්ගෙන් ලැබුණු මිල කළ නොහැකි තරම් ආනිසංස තිබෙන්නේය. එය තේරුම් ගත හැක්කේ ඒවා නොමැති කෙනෙක් දෙස බැලීමෙන්ය. බොහෝ සිගන්නන් පවා සුවසේ නිදා ගන්නේය. එහෙත් නින්ද නොයන කීදෙනෙක් අප අතර සිටිනවාද? ඔහු පහසුවෙන් මල පහ කරන්නේය. එහෙත් එය කළ නොහැකි කීදෙනෙක් ඉස්පිරිත්තාලවල සිටිනවාද? මේවා ගැන අප සිතා බැලිය යුතු නොවේද?මිනිසාට ලැබී ඇති ඇස්දෙක අතිනවීන කැමරාවකට වඩා උසස් ය. මෙම ඇස්දෙක නොතිබුනේ නම් මොනතරම අලංකාර ලෝකයත් තිබුනත් ඉන් ඇති පලය කුමක්ද? එම ඇස්වලට මොන තරම් ආරක්ෂාවක් ලබා දී තිබේද? මේවා ගැන මිනිසා දෙවියන්ට ස්තුති කළ යුතු නොවේද?

මිනිසාට දෙවියන් ලබා දී ඇති කන්දෙකද ගැන සිතා බලන්න. එවැනි අවයවයක් නොතිබුනේ නම් දෙදෙනෙකු අතර අදහස් හුවමාරු කර ගැනීමට කොපමන ගැහැටක් විඳීමට සිදු වීමට තිබුනේද? මේවා ලබා දුන් දෙවියන්ට මිනිසා කෙලෙහි ගුණ සැලකිය යුතු නොවේද?

මිනිස් දිවට සරිලන කිසිම උපකරණයක් මෙතෙක් නිපදවා නොමැත. එවැනි බහු කාර්ය අවයවයක් මිනිසාගේ උපතේ සිටම දෙවියන් ලබා දී ඇත. අපගේ දිව නොතිබෙන්නට කිසිම දෙයක රස දැනගත හැකි වෙනත් කිසිම ක්‍රමයක් අපට නොමැත. එපමණක් නොව එය නොතිබෙන්නට අපට කිසිම දෙයක් කථා කිරීමට හැකි වන්නේ නැත. එසේ තිබියදී මේවා ලබා දුන් දෙවියන්ට ස්තුති කළ යුතු නොවේද?

අපට ඉතා පහසුවෙන් ඕනෑම දෙයක ගඳ සුවඳ දැනගැනීම සඳහා නාසයක් ලබා දී ඇත. එය නොතිබෙන්නට අපට මොනතරම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වනු ඇත්ද?

දෙවියන් මවා ඇති සෑම අවයවකම නිවැරදි පිහිටීම නොවන්නට අපට මොන තරම් දුකක් විඳීමට තිබුනේද? උදාහරණයක් ලෙස පිළිණු වූ ආහාර ගැන  පහසුවෙන් තොරතුරු දැනගැනීම සඳහා මුවට ඉහලින් නාසය මවා ඇත. මේවා ගැන අප සිතා බලා දෙවියන්ට ස්තුති කොට තිබේද?

මිනිස් සිරුරේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සෑම කෙනෙකුටම වකුගඩු ජෝඩුවක් ලබා දී තිබේ. එහි වටිනාකම කාට නම් තක්සේරු කළ හැකිද? ඉන් කරන කාර්ය උපකරණයකින් කරන්නේ නම් මොන තරම වියදමක් සහ කරදරයක් විඳීමට සිදු වනු ඇත්ද? එහෙත් අපට නොදැනීම ඒවා ස්වයං ක්‍රියාව සිදු වීමට සලස්වා ඇති දෙවියන්ට මිනිසා කොපමන කෘත ගුණ දැක්විය යුතුද? ඒවා අක්‍රිය වුයේ නම් ජීවිතය බේරා ගැනීමට මොන තරම් සටනක් කළ යුතු වන්නේද?

මිනිසා කොයිතරම් පම්පෝරි ගැසුවත් ලේ බිඳක් හෝ නිෂ්පාදනය කළ නොහැකිය. මිනිස් සිරුරේ ඇති ලේ නිතිපතා අළුත් වෙමින් මිනිසාට කොයිතරම සේවයක් කරන්නේද? මිනිස් සිරුරේ ඇති ට්‍රිලියනයකට වඩා සෛලවලට අවශ්‍ය පෝෂණය ලබා දීමද සෛලවලින් ඉවත්වන අප ද්‍රව්‍ය ඉවත් කිරීමද රුධිරය මගින් සිදු වන්නේය. එසේ සිදු නොවුයේ නම කුමක් සිදු විය හැකිද? මෙම රුධිරය ශරීරය පුරා පොම්ප කිරීම සඳහා ඉතා කාර්යක්ෂම හදවතක් සෑම කෙනෙකුටම ලබා දී ඇත. මිනිස් හදවතක් වසරක් තුලදී දල වශයෙන් 37,324,800 වතාවක් නොනවත්වා ස්පන්දනය වන්නේය. මේ ගැන අප සිතා බලා දෙවියන්ට ස්තුති කොට තිබේද?

මේ සියල්ලටම වඩා මිනිස් මොලය කොපමන සංකීර්ණ අවයවයක්දැයි ඔබ සිතා බැලුවාද? එය අතිනවීන පරිගණකයකට වඩා උසස්ය. එවැනි දෙයක් ඉබේ ඇතිවිය හැකිද? එහි ඇති ස්නායු සම්බන්දතාවයන් ලෝකයේ ඇති සියළුම දුරකතන සම්බන්දත්වන්ට වඩා වැඩිය. ඒවායේ කිසිම දෝෂයක් නොමැතිව සංඥා එහා මෙහා ගමන් කිරීම ගැන සිතා බැලිය යුතු නොවේද? මේවායේ අවුල් සහගත තත්වයක් උදා වුයේ නම් මිනිසාට කුමක් වන්නට තිබුනේද? ඉතා විශාල ප්‍රමාණයක් දත්ත ගබඩා කිරීමටත් ඒවා විශ්ලේෂණය කිරීමටත් හැකි මොලයක් ලබා දුන් දෙවියන්ට මිනිසා කොතරම් ස්තුති කළ යුතුද?

මිනිසාට ලබා දී ඇති අවයව පමණක් නොව මිනිසාට ජිවත් විය හැකි ලෝකයක් මවා දුන් දෙවියන්ට මිනිසා කොපමණ ස්තුති කළ යුතුද? සෑම සම්පතක් සමගම මෙම ලෝකය මවා ඊට අවශ්‍ය ආරක්ෂාවත් සලසා දුන් දෙවියන් කොපමණ බලගතු විය යුතුද?

මිනිසාට දෙවියන්ගේ ආශීර්වාදයෙන් තොරව මොහොතක් හෝ ජිවත් විය නොහැකිය. අප ආශ්වාස කරන ඔක්සිජන් වායුව නොමැති විට කෙනෙකුගේ මරණය සිදු වනු ඇත. එහෙත් එම වායුව සුලබව සෑම කෙනෙකුටම ලැබෙන පරිදි පෘථිවිය වටා වායුගෝලයක් මවා ඇත. සුර්යාගෙන් පැමිණෙන අහිතකර කිරණ වලින් පෘථිවියේ සිටින ජීවින් ආරක්ෂා කිරීම සඳහා වියනක් බඳු වායුගොලයක් ස්තරවලින් යුක්තව මවා ඒ එක් එක් ස්තරයට නියමිත කාර්යභාරයන් පවරා දුන් දෙවියන් කොපමණ බලගතු විය යුතුද? එම දෙවියන්ට මිනිසා කොපමණ ස්තුති කළ යුතුද?

ජීවීන්ගේ පැවැත්මට ජලය නැතුවම බැරිය. ජලයට තිබෙන සුවිශේෂී ලක්ෂණ වෙන කිසිම ද්‍රවයකට නොමැත.  එපමනක් නොව එය සෑම ජිවියෙකුටම ඉතා පහසුවෙන් ලබා ගත හැකි පරිදි මවා ඇත. මේ සෑම දෙයක් ගැනම මිනිසා සිතා බැලිය යුතු නොවේද? මේවා තේරුම් ගන්නේ නම් මිනිසා දෙවියන්ගේ ආනිසංසයන්ට ස්තුතිවන්තයින් වනු ඇත.

“නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම්, නුඹලාට එය ගණන් කොට නිම කල නොහැකිය; නියතව අල්ලාහ් අධිකව සමා කරන්නාද; අසම දයාවන්තයාද වේ” (කුරානය 16:18).

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *