ෂරියාව යනු කුමක්ද?

ප්‍රකාශක සටහන

වත්මන් ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සම්බන්ධව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එරෙහිව විවිධාකාරයේ නින්දිත මඩප්‍රචාර දියත් කිරීමයි. මේ නිසා ඉස්ලාමයේ තිබෙන ගුණධර්ම ගැන ජනතාව දැනුවත් කිරීම ලාංකික මුස්ලිම් සමාජයේ වගකීමක්.

මෙම කාර්යභාරය සම්බන්ධව අවධානය යොමුකර තිබෙන සංවිධාන ගණනාවක් මේ වන විටත් පොත්පත් කිහිපයක් පලකර තිබෙනවා. නමුත් එම පොත්පත් වලින් ආවරණයවු කාරණා වලට වඩා තවත් බොහෝ කරුණු සම්බන්ධව පොතපත පලවිය යුතුයි. අප ආයතනය මේ සඳහා මැදිහත් වීමට තීරණය කළේ එම අවශ්‍යතාවය යම් ආකාරයකින් සමනය කිරීමේ අදහසිනි.

ශරියාව යනු කුමක්ද? යන මේ පොත්පිංච මුස්ලිම් විද්වතෙකු විසින් ලියු දීර්ඝ ලිපියක් ඇසුරු කරගනිමින් සකසා ඇත. ඇත්තෙන්ම අප මෙම පොතෙන් බලාපොරොත්තු වන්නේ ඉස්ලාමීය ශරීයාව සම්බන්ධව ඔබට යම් හැඳින්වීමක් කෙටියෙන් සහ සරලව ලබාදෙන්නටය. එම කාර්යය මෙම පොතෙන් ඉටුවෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම පොත කියවා ඔබගේ අදහස් ඊමේල් මගින් ලියා එවන්නේ නම් වඩාත්ම අගය කරමු.  (email: truthmyway@gmail.com)

 “ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්!

ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා පුළුල් දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇති බවය. බොහෝ අවස්ථාවන්හි දී කෙන්දක් තරම්වත් හේතු නොමැතිව විවේචන ඉදිරිපත් කර තිබීම පිළිබඳව දැඩි කනස්සල්ලට හා සිත් වේදනාවට පත් වන්නෙමු.

ඉස්ලාමිකයින් වන අපි අල් කුර්ආනයේ හා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම උදෙසා පත් කළ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නන් වශයෙන් කිසිදු දහමකට අපහාස නොකරන්නට බැඳී සිටින්නෙමු. සමහර අවස්ථාවන්හි දී නිවැරදි මුලාශ්‍රයන් පදනම් කර ගෙන අර්ථදායක විවේචන ඉදිරිපත් කළද පදනම්  විරහිත අන්දමින් දහම් කෙරෙහි අපහාසාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් මුස්ලිම් වරයෙකුගෙන් කිසිසේත්ම සිදු නොවිය යුතුම කරුණකි. මන‍්ද ශුද්ධවු අල් කුර්ආනය තුල මේ සම්බන්ධව පැහැදිලිවම මෙසේ පවසනවා:

අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට (හෝ අයට) නුඹලා අපහාස නොකරවූ (අල් කුර්ආනය 6 : 108)

ශුද්ධවු අල් කුර්ආනය පෙන්වා දෙන මෙම පැහැදිලි උපදේශය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට අපි බැඳී සිටින්නෙමු. එම නිසා නොදැනුවත්කමින් ඉස්ලාමයට එරෙහිව මතු කරන චෝදනා පිළිබඳව අපට අනුගමනය කරන්නට විවෘතව ඇත්තේ සත්‍යය අසත්‍යය කුමක් ද යන්න පැහැදිළි කර දීම පමණි. ඒ අනුව ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලිකර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම පොත් පිංච මගින් කටයුතු කර ඇත්තෙමු.

 “ෂරිආ” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, දිය බොන ස්ථානයක්, මාවතක් හෝ නිවැරදි මඟ’ යන්නය. මෙම අර්ථයන් ගෙන් අපේක්ෂිත තැනකට හෝ නිශ්චිත ඉලක්කයක් කරා යොමු වූ මාවතක් හෝ මඟක් යන අර්ථය ගෙන දීමට ෂරිආ යන පදය යොදා ගනු ලැබිණ. අල් කුර්ආනයේ ෂරිආ යන පදය හා එහි විවිධ අනු ප්‍රබේධ  පිළිබඳව ස්ථාන පහක සඳහන් වී ඇති නමුත් එහි විස්තීර්ණ භාවිතය පසු කාලීනව සිදු වුවක් බව විද්වතුන් පවසනවා. ඉස්ලාමය අරාබියේ පැතිරුණ ආරම්භක කාල වකවානුවේදී මෙම “ෂරීආ” යන වචනය වෙනුවට ‘ඉස්ලාම්’ ‘දීන්’ යන පදයන් උපයෝගී කරගෙන ඇති බව පැහැදිලිවම දකින්නට ලැබෙන කාරණයක්.

නමුත් පසුකාලීනව ෂරීආ යන වචනයේ භාවිතාව වැඩි වශයෙන් සිදුවු බවක් දකින්නට ලැබෙනවා. මුස්ලිම් වරුන්ගේ ජීවිත හසුරුවන නීති මාලාවන්, නියාමනයන්, ඉගැන්වීම් හා අගයන් හුවා දැක්වීමට සංකල්පාත්මකව ෂරිආ යන පදය උපයෝගී කර ගනු ලැබේ. මෙය මුස්ලිම් වරයෙකුගේ පරිපුර්ණ ජීවන සැලැස්ම අඩංගු වූ ඉතා පළල් සංකල්පයකි. නැමදුම, සදාචාරය, පුද්ගල ආකල්ප හා කල් ක්‍රියාව මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්‍ෂේත්‍රයන් ද අපරාධ හා සිවිල් අංශයන්හිද තනි පුද්ගල අයිතිවාසිකම් හා සමාජීය අයිතිවාසිකම්ද මෙම ෂරීආ හි දැක්වෙන පද්ධතියට අන්තර්ගත වෙයි.

එහෙයින් ෂරිආ යනු දෙවිඳුන් ව විශ්වාස කර පිළිගන්නා ජනයාට මෙලොව හා මරණින් මතුලොව ජය අත් පත් කර ගැනීම උදෙසා අනුගමනය කිරීමට දෙවිඳුන් විසින් සකස් කර දී ඇති මාවතක් ලෙස විග්‍රහ කිරීම වඩාත් සුදුසු වෙයි.

ෂරිආ හි අපේක්ෂිත අරමුණු මොනවාද?

ෂරිආ හි මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහපත් විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ෂරිආ පිළිවෙත මගින් පුද්ගලයින්ට හා සමාජයට දැහැමි වන්නට දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මග පෙන්වයි. සමාජයන් ආරක්ෂිතව සහයෝගීතාවකින් යුක්තව ඒකීයත්වය පිළිබඳ හැඟීමකින් හා විශ්වාසයකින් මෙන්ම සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහපත්කම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහපත්කමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි. ෂරියා පිළිවෙතේ අරමුණු පහක් සඳහන් කොට ඇත.

  1. දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. ඉස්ලාමයට අනුව මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.
  2. ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට නිකරුනේ හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.
  3. බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මිනිසෙකුගේ මනස සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. එමනිසා මත්පැන් මත්කුඩු හා සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අතිශය හානිකරය.
  4. පුද්ගල/පොදු දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.
  5. මිනිස් පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා විවාහයෙන් පරිබාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සැලකේ. අවිවාහකව කරන මෛථුනය, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී.

ෂරිආ හි සියලු කරුණු ඉහත ක්‍ෂේත්‍ර පහ ඇතුළත අඩංගු වෙයි.

 යහපත් සමාජයක් ගොඩ නැගීම හා සුරක්ෂිත කිරීම පිලිබඳ ඇති  ප්‍රධාන කරුණු කුමක්ද?

  1. ආධ්‍යාත්මික හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම අභියෝගාත්මක මෙන්ම අති දුෂ්කර කාර්යභාරයකි.
  2. එවන් යහපත් සමාජයක් පිරිහීමෙන් හා අපවිත්‍රනයෙන් ආරාක්ෂා කිරීම එය නිර්මාණය කිරීමට වඩා අති භාරදුර හා දුෂ්කර ක්‍රියාවකි.
  3. මේ හේතුව නිසාම සමාජයේ යහ පැවැත්ම සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට නීතිරීති මෙන්ම නිවැරදි මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වෙයි.
  4. මෙම ක්‍රියාවලියේදී පුද්ගලයා ආරක්ෂා කිරීම මෙන්ම සමස්ත සමාජය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාවක් දියයුතු වෙයි.
  5. සමාජ විරෝධී ක්‍රියාවකට මුල් වන පුද්ගලයෙකු පරිත්‍යාග (කැප) කොට සමස්ත ධාර්මික සමාජයම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉස්ලාමයේ පිළිවෙතයි.
  6. ඉස්ලාමීය නීතිරීති සකස් වී ඇත්තේ සමස්ත සමාජයේ සුරක්ෂිතභාවයට ප්‍රමුඛතාවය ලබා දී ඉන්පසුව පුද්ගලයා ආරක්ෂා කිරීමේ කටයුත්තට යොමු වීමේ පිළිවෙත මතය.

ෂරිආ පිළිවෙත කෙරෙහි පැවරෙන කාර්යභාරය කුමක්ද?

මනුෂ්‍ය ජීවිතයේ පහත සඳහන් කරුණු ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් සකස්වී ඇත.

  1. ජීවිතය පිළිබඳ අනුල්ලන්ඝනීයත්වය
  2. මානව නිදහස
  3. මිනිසත්සකම පිළිබඳ සැලකිල්ල හා උනන්දුව
  4. මානව ගෞරවය
  5. සදාචාරාත්මක හැසිරීම
  6. යුක්තිය හා සාධාරණය
  7. සාමය
  8. පාරිසරික සුරක්ෂිතභාවය

ශුද්ධවු අල් කුර්ආනය මෙසේ පවසනවා:

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙන්) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (ශුද්ධවු අල් කුර්ආනය 16 : 90)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොලොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත් භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (ශුද්ධවු අල් කුර්ආනය 5 : 8)

ෂරියා පිළිවෙත සම්බන්ධව බහුතරයක් මුස්ලිම් නොවන විවේචකයන්ගේ විවේචන මතු වී ඇත්තේ හුදුද් යනුවෙන් හඳුන්වනු ලබන නිශ්චිත දඬුවම් පිළිබඳ ව ය. ඒ පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

‘හුදුද්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

‘හුදුද්’ යනු ‘හද්’ හි බහු වචනයයි. මෙම වචන දෙකම අරාබි භාෂාවට අයත් වන අතර මෙහි අර්ථය ‘සීමාව’ හෝ ‘මායිම’ යන්නය. මෙම වචනයට ඉස්ලාමිය කෝණයෙන් අර්ථවත් වන්නේ දෙවිඳුන් විසින් නියම කොට ඇති සීමාවන් උල්ලංඝනය කළ විට පුද්ගලයෙකුට දරන්නට සිදුවන ආදීනවයන් (දඬුවම්)ය. මෙම දඬුවම් වර්ගීකරණයට අනුව අධිකරණයකදී චුදිතයා නිශ්චිත වරදකට වැරදි කරුවෙකු බවට ඔප්පු වුවහොත්, විනිශ්චයකරුට හෝ පාලකයාට හෝ වෙන අන් අයෙකුට හෝ චුදිතයාට සමාව දීමේ අයිතියක් නොමැත. මෙහිදී නිශ්චිත දඬුවම් අනිවාර්යයෙන් දිය යුතුම වෙයි. හුදුද් දඬුවම් දිය යුතු වැරදි හයක් සඳහන් වේ.

  1. මත්පැන් පානය, 2. සොරකම, 3. සන්නද්ධ මංපැහැරීම, 4. ලිංගික අපචාරය, 5. ද්වේශ සහගත ලෙස දුරාචාරී චෝදනා නැගීම සහ 6. දහම අතහැර යෑම ආදිය මෙම වර්ගීකරණයට ඇතුලත් වේ.

මෙහිදී දහම අතහැර යෑම පිළිබඳ කරුණ සම්බන්ධව විද්වතුන් අතර මතවාදී වෙනස්කම් ඇත. නමුත් එම මතවාදයන් අතුරින් වඩාත් නිවැරදි මතය ලෙස සැලකෙන්නේ දහම අතහැර ගොස් ඉස්ලාමීය පාලනයකට එරෙහිව සටනට පිවිසීම මෙම දඬුවම ලැබීමට හේතුවන බවය. මේ පිළිබඳ අවශ්‍ය නම් ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් කළ හැක.

ෂරිආ පිළිවෙත ක්‍රියාත්මක කිරීම යනු හුදුද් (නිශ්චිත දඬුවම්) ක්‍රියාත්මක කිරීමද?

ෂරිආ පිළිවෙත හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිබඳව පමණක් වූ සංකල්පයක් නොවේ. මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ සියළුම අවස්ථාවන් ෂරිආ පිළිවෙතට අනුකුල විය යුතුය. හුදුද් හෙවත් නිශ්චිත දඬුවම් ක්‍රියාත්මක කිරීම යනු ෂරිආ හි කොටසක් ක්‍රියාත්මක කිරීම පමණි. දඬුවම් පිළිබඳව ඇති කොටස අතිමහත් වූ ෂරිආ පිළිවෙතේ ඉතාමත්ම කුඩා කොටසක් පමණි. හුදුද් යනු යම් වරද වලට දෙවිඳුන් විසින් සෘජුව නියම කොට ඇති දඬුවම් වන අතර මෙයට අමතරව ‘කිසාස්‌’ (සමප්‍රතිචාර දැක්වීමේ නීතිය) හා ‘තා’zසීර්’ (අධිකරණයේ අභිමතය හා විචාරශීලිත්වය මත පදනම් වූ නීතිය) ද ඉස්ලාමීය නීති පද්ධතියේ කොටසක් වන්නේය. මෙම පිළිවෙතට මුහම්මද් ධර්ම දුතයාණන්ගේ අලංකාර පුර්වාදර්ශයේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් මග පෙන්වීම් ලැබී ඇත.

කිසාස්‌ හා තා’zසීර් යනු මොනවාද?

ජීවිත ආරක්ෂණය සෑම සංස්කෘතියකටම පොදු වුවාක්‌ මෙන්ම කෙනෙකුව නිකරුණේ මරා දැමීම බරපතළ වරදක් ලෙස ද සැලකේ. ඒ පිළිබඳව ඇති ඉස්ලාමීය මතයන් හා ක්‍රියාකාරකම් අන් සංස්කෘතීන්ට වඩා වෙනස් වන්නේ කෙලෙස ද යන්න පළමුව විමසා බලමු. හුදුද්, කිසාස් හා තා’zසීර් පිළිබඳව සවිස්තරාත්මක කරුණු පැහැදිළි කිරීමක් ඉදිරියේදී තවත් පොත් පිංචකින් (ඉන්ෂා අල්ලාහ්) කිරීමට අපේක්ෂා කරණ හෙයින් මුලික හැඳින්වීමක් පමණක් මෙහිදී කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

ජීවිතයේ අවසානය වූ මරණය සිදුවන හෝ සිදුවීමට නියම කරනු ලබන ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කළ හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂී වූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.

එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

  1. මිනිසෙකුට තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී වැනි සමාජයෙන් බැහැර වී කටයුතු කළහැකි පිළිවෙතක් ඉස්ලාමය තුල නොමැත.
  2. ඉස්ලාමය තුල පුජක පක්ෂයක් නොමැත. ඇත්තෙන්ම මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් අරුත් ගන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගිහි පිරිසක් පමණි. සියලුම නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියලු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ්ට ම පමණක් සිදු කළ යුතුය.
  3. ඉස්ලාමය විවාහය දිරි ගන්වයි. විවාහය තුලින් සමාජයේ වගකීම් සහිත පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට දිරිගන්වයි.
  4. ඉස්ලාමයේ සියලු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුළින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමු වී ඇත.

ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂී වූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිළිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියක් පළමුව විමසා බලමු:

යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.”

(අල් කුර්ආනය 5: 32)

ඉහත අල් කුර්ආන් වැකියෙන් මිනිසෙකු නිකරුණේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක්  ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල් ව පැහැදිලි වෙයි. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි අපගේ අදහස වන්නේ. ඉස්ලාමීය ඉගැන්වීම් යහපත් ගිහි ජීවිතයක් කරා යොමු වී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.

මිනිස් ඝාතන

අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්ථවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)

‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනාන්විත මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් සෙසු අයවද එවැනි නොමනා ක්‍රියාවකට පෙලඹීමට ඇති නැඹුරුව වසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්ත්වයක් නියත වශයෙන්ම උදා වනු ඇත.

ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.

විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයකි, තවද කරුණාවකි; ඉන් පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.”

(අල් කුර්ආනය 2:178)

ඉහත අල් කුර්ආන් වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

  1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.
  2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබා ගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබා දී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහළ උසාවියකින් දෙනු ලබන සමාව හා සම නොවේ.
  3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්ත්වය අති භයානකය. මෙවන් අවස්ථාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කර ගත් තත්ත්වයකට පත් වෙයි. මෙය සැබැවින්ම ආර්ථිකවද කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකි. ඉස්ලාමීය නීතිය තුළ අධිකරණය මරණ දඬුවම නියම කළ ද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

ඇතැම් මුලාශ්‍රයන් උපුටා දක්වමින් සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි.

සවුදි අරාබියාවේ, රියාද් නුවර විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස්. එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බල පවත්වන අයුරු’ (QisasAgainst a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය පැහැදිලි කොට තිබියදී කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා ඔහු ප්‍රශ්න කරයි.

ඉහත අල් කුර්ආන් වැකි එනම් 2:178 හා 5:32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බල පවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුර්ආන් වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුණද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය, සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී නම්වු හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චයකරු කෝප වූ තත්ත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබි තුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.

ඝාතනයක් වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පු වූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළ යුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද සිටිය යුතු බව ද ඉස්ලාමය උගන්වයි.

තාzසීර්

තාzසීර් යන වචනය අzසාර් යන ක්‍රියා පදය මුල් කර ගෙන බිහිවුවකි. අzසාර් යන පදයේ අර්ථය වැළක්වීම, ගෞරව කිරීම, සහ ප්‍රතිසංස්කරණය හෝ පරිශෝධනය කිරීම වේ. කෙසේ නමුත් ඉස්ලාමීය නීති ක්‍රමයේ තාzසීර් යන වචනයෙන් අදහස් වන්නේ අපරාධකරුවෙකු ව තවදුරටත් අපරාධයෙහි නියැළීමෙන් වළක්වා ගැනීම හා ඔහුව ප්‍රතිශෝධනය කර ගැනීම අරමුණු කර ගත් දඬුවම් පිළිවෙතකි. තාzසීර් දඬුවම් පිළිවෙත හුදුද් හා කිසාස්‌ පිළිවෙතට අඩංගු වන කරුණු පිළිබඳව විනිශ්චය සඳහා උපයෝගී කර ගනු නොලැබේ. හුදුද් පිළිවෙත පිළිබඳව සවිස්තරාත්මවක තවත් පොත් පිංචකින් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන හෙයින් එම පිළිවෙතට අදාළව විනිශ්චය කළ හැකි චෝදනා පිළිබඳව එම පොතෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමු.

නීති පැනවීම අවශ්‍යය, එමෙන්ම සුදුසුය. එම නීති පනවන්නේ කුමක් සඳහා ද? සමාජයේ යහපත් පැවැත්ම උදෙසාය. ජනයාගේ පහසුව හා සුරක්ෂිතභාවය සඳහාය. වැරදි කරන්නවුන් හික්මවා ගැනීම සඳහාය.  ඔවුන් යහපත් මිනිසුන් බවට පත් කර ගැනීම සඳහාය. සමාජයේ යහපත් වාතාවරණයක් ඇති කර ගනු සඳහාය. නීති පැනවීම තුළින් අපේක්ෂා කරනුයේ දඬුවමට බියෙන් වරදින් වැළකී සිටිනවා මෙන්ම, සෑම කෙනෙක්ම නීතිය යුක්තිය හා දඬුවම පිළිබඳව අවබෝධයක් ඇති කර ගෙන වැරැද්දට පෙලඹීමේ මානසිකත්වය ඉවත් කොට යහපත්කම් කිරීමේ මානසිකත්වයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව සඳහාය. මෙවන් සමාජයක් සදාචාර සම්පන්න පුද්ගලයන්ගෙන් සමන්චිත උදාර සමාජයක් වශයෙන් හැඳින්විය හැක.

හුදුද් (නිශ්චිත දඬුවම්) නොදී වඩාත් උචිත වන්නේ චුදිතයාව ප්‍රතිශෝධනය කර ගැනීමද?

වර්තමාන ලෝකයේ ඉස්ලාමීය දඬුවම් පිළිවෙතට විරුද්ධව හඬ නගන්නන්ගෙන් බහුතරයකගේ මතය වී ඇත්තේ එය අමානුෂික පිළිවෙතක් වන බවට නගන චෝදනාවයි. මෙයට ඉහත පැහැදිලි කළ ආකාරයට කිසාස්‌ සහ තාzසීර් පිළිවෙත්හි ලොව අන් කිසිම නීති පද්ධතියක නොමැති මානුෂීය හා සාධාරණීය බවක් දක්නට ඇති බව ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

ඉස්ලාම් විරෝධීන්ගේ ප්‍රධාන විරුද්ධතාව මතු වී ඇත්තේ හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිවෙතට ය. අප මෙම පොතෙහි ආරම්භයේ සඳහන් කළාක් මෙන් ඉස්ලාමයට එරෙහි බොහෝ චෝදනා මතු වී ඇත්තේ අනවබෝධය පදනම් කර ගෙන බව ඉතාමත්ම පැහැදිලිය. ඉස්ලාමීය සියලු දඬුවම් සකස් වී ඇත්තේ ඉතාමත්ම විද්‍යානුකුල පදනමක් මත බව කරුණු විචාරා දැන ගැනීමෙන් පසු නිශ්චිතවම පැහැදිලි වනු ඇත.

නුතන වෛද්‍ය විද්‍යාව සකස් වී ඇත්තේ රෝග වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයකින් යුක්තවය. වඩාත් උචිත වන්නේත් එයම බව ඕනෑම අයෙකුට තර්කයෙන් තොරව පිළිගැනීමට හැකි සත්‍යයකි. රෝග නිවාරණය හෙවත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වන්නේ රෝගය වැළඳීමෙන් පසුවය. මෙයින් ඔප්පු වන ප්‍රධානතම සත්‍යය වන්නේ රෝග වළක්වා ගැනීම නුතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානතම සංකල්පය බවය.

එලෙසම ඉස්ලාමයේ මුලික අවධානය යොමු වී ඇත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාවම සදාචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. මෙම පොතේ ආරම්භයේදීම ෂරිආ පිළිවෙතේ අරමුණු ඉදිරිපත් කිරීමේදී කරුණු පහක සුරක්ෂිතභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළෙමු. එනම්, දහම, ජීවිතය, බුද්ධිය, ධනය හා පරපුර සුරක්ෂිත කිරීම ෂරිආ පිළිවෙතේ මුලික අරමුණු වෙයි. මෙම අරමුණු විග්‍රහ කරන ඉස්ලාමය මෙම කරුණු පහ සුරක්ෂිත කිරීම සඳහා සැමට පිළිගත හැකි, සැමට අනුගමනය කළ හැකි හා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරයි.

කවුරුන් තමන්ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේද ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේද ඔහු නියත වශයෙන්ම අලාභ කර ගත්තේය

(අල් කුර්ආන් 91:9-10)

තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන්ව ඔබ දැක ඇතිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහිද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් ඉන්නා බව ඔබ සිතන්නෙහිද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමඟ ගියවුන් වශයෙන් සිටින්නෝය.”

(අල් කුර්ආන් 25:43-44)

කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආසාවන්ගෙන් ඈත් වී තමන්ව වළක්වා ගන්නේද ඔහු ළඟා කර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.”

(අල් කුර්ආන් 79: 40-41)

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ඉතා කෲර දඬුවම් නොවේ ද?

ගල්ගසා මරණයට පත් කිරීම හා අත කැපීම ගැන ඇසු විගස තම චෛතසිකයේ ඇති වන්නේ කුමණ ආකාරයේ හැඟීම් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න. මෙම දඬුවම් කනවැකුණු විගස ඇතිවන්නේ එම දඬුවමට හේතුවන වැරදි සිදු කිරීම පිළිබඳ බියක් නොවේ ද? මෙම දඬුවම් මෙසේ තිබියදී එම චෝදනා ඔප්පු කිරීම සඳහා ඉස්ලාමය ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉතා දුෂ්කර ඒවාය.

විවාහක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ලිංගික අපචාරයේ යෙදුනහොත් ගල්ගසා මරණයට පත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කළ හැක. විවාහකයින් අතර සිදුවන ලිංගික අපචාරයෙන් පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර එයින් ඇතිවන සමාජ බලපෑම අතිශය භයානකය. සමාජයක් සැකසී ඇත්තේ පවුල් ඒකක එකතුවෙනි. පවුල් ඒකකය බිඳ වැටෙන විට මුළු සමාජයම පිරිහීමට පත්වීම නොවැලක්විය හැක්කකි. එහෙයින් යහපත් සමාජ පැවැත්මක් සඳහා පවුල් ඒකකය ආරක්ෂා කිරීම වැදගත් වෙයි. මෙම දඬුවම් අධිකරණයක ඔප්පු කිරීම සඳහා ඇති කොන්දේසි විමසා බලමු. මේ සියල්ල සිදු කළ හැකි වන්නේ ඉස්ලාමීය රාජ්‍යයකය. ශ්‍රී ලංකාවේ මෙය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම නීතිමය ප්‍රතිපාදන නොමැත.

ලිංගික අපචාරයක් ඔප්පු කිරීම සඳහා කොන්දේසි දෙකක් ඉස්ලාමය ඉදිරිපත් කරයි.

  1. ලිංගික ක්‍රියාව සිදුකිරීම දෑසින් දුටු සාක්ෂි සතරක් අවශ්‍යවෙයි. එනම් පිරිමියාගේ ශිෂ්ණය ස්ත්‍රියගේ යෝනියට ඇතුලත් කිරීම සෘජුව දුටු සාක්ෂි සතරක් මේ සඳහා අත්‍යාවශ්‍ය වෙයි. ලොව කිසිවෙකු තම ලිංගික අපචාර කටයුතු මෙලෙස සතරදෙනෙකුට සෘජුව පෙනෙන ලෙස සිදුකරයි කියා සිතා බැලිය හැකි ද? මෙහිදී දඬුවම අති කෲර ලෙස පෙනුනද, මෙම චෝදනාව ඔප්පු කිරීමට දී ඇති පළමු කොන්දේසිය ලෙහෙසියෙන් අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ හැක්කක් නොවේ. මේ හේතුව නිසාම ඉස්ලාමීය ඉතිහාසය තුල සෘජුව දෑසින් දුටු සාක්ෂි මත චෝදනා ඔප්පු කොට කිසිවෙකුව ගල්ගසා මරණයට පත්කොට නොමැති බව අවධාරණයෙන් පවසන්නෙමු. එසේ නම් එවැනි නීතියක් තිබෙන්නේ මන්ද? මෙමගින් සමාජයක් එවැනි අශිෂ්ඨ තත්වයකට පත්වීමේ මග එනම් ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම වලක්වා ඇත. නිදසුනක් ලෙස සතුන් ප්‍රසිද්ධියේ තම වර්ගයා සමග ලිංගිකව හැසිරෙති. නමුත් මානව ශිෂ්ඨත්වයට එය පටහැනිය. කවදා හෝ මානව ශිෂ්ඨත්වය එවන් තත්වයකට පිරිහීම මෙම නීතිය මගින් වලක්වා ඇත. එමෙන්ම සාක්ෂි සතරක් ඉල්ලීම තුල කිසියම් කෙනෙකුට අභූත චෝදනා එල්ලකොට වරදකරු කරවීමේ වෑයමද වලක්වා ඇත. මෙම චෝදනාව ඔප්පු කළ හැකි දෙවැනි කොන්දේසිය විමසා බලමු.
  1. මෙම චෝදනාව ඔප්පු කිරීමේ දෙවැනි මඟ වන්නේ අධිකරණයක් ඉදිරියේ කිසිදු බලපෑමකින් තොරව වරදට මැදිහත්වුවන් කරන්නා වූ ස්වයං පාපොච්චාරණයන්ය. ඉස්ලාමීය නීතිය තුළ ආරම්භයේ කළ පාපොච්චාරණය ඉල්ලා අස්කරගැනීමට ද අවකාශය ලබා දී ඇත. ඉස්ලාමීය ඉතිහාසයේ මෙම දඬුවම දී ඇත්තේ තමන් කළ වරද පිළිබඳ පශ්චාත්තාප වී දඬුවම් ලබා ගැනීමෙන් තමාව පිරිසිදු කරගැනීමේ අපේක්ෂාවෙන් තමන් කළ පාපොච්චාරණය වෙනස් නොකොට එම ස්ථාවරයේම සිටි අයට පමණි.

මෙයට එක් නිදසුනක් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථවල සඳහන් නබිවදනකින් දක්වන්නම්:

නබිතුමන්ගේ කාලයේ එක්තරා අනුගාමිකයෙක් තමන් අනාචාරකමක් සිදුකොට පසුතැවිල්ලට පත්ව සිය මිතුරෙකුගෙන් අසනවා තමන් මෙවැනි අනාචාරකමක් කළා. එයට දඬුවම් ලබාගෙන පිරිසිදු වන්නේ කෙසේද? යනුවෙන්. එහිදී ඔහුගේ උපදෙස වුයේ නබිතුමාණන් වෙත යන ලෙසයි. ඉදින් මේ තැනැත්තා නබිතුමාණන් වෙත ගොස් තමන් කළ වරද ප්‍රකාශ කළා. මෙහිදී නබිතුමාණන් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව මුලින් සතුටක් පෙන්වුයේ නැහැ. නබිතුමාණන් ඔහුට මුලින් පැවසුවේ ඔබ ඇයව සිඹින්නට ඇති! නැහැ මම වරද කළා යැයි ඔහු පැවසුවා. ඉන්පසුව නබිතුමා ඔබ ඇයව ස්පර්ශ කරන්නට ඇති! නැහැ වරද කළා යැයි ඔහු පැවසුවා. එවිට නබිතුමාණන් නිදසුන් දෙකක් සහිතව සිද්ධිය ප්‍රශ්න කරනවා. ඔබ ඉඳිකටුවට නුලක් දමන්නාසේ කළාද? ඔව්. ඔබ ලිඳකට බාල්දියක් ඇතුළු කරන්නාසේ කළාද? ඔව් යැයි ඔහු පිළිගන්නවා. නබිතුමාණන් ඔහුගේ වරදට දඬුවම නියම කරන්නේ ඉන් අනතුරුවයි.

මෙහිදී නබිතුමාණන් දඬුවම නියම කරන්නේ වරද කළ තැනැත්තාගේ නිරන්තර පෙරැත්තය නිසා බවට ඔබට දැන් වැටහෙනවා ඇති. මෙහිදී නබිතුමාණන්ට සමාව දිය හැකි නේ? යැයි ඔබට පැනයක් නැගෙන්නට පුළුවන්. කිසියම් පුද්ගලයෙකු වරද කර ඔප්පු වු විට යුක්තියම ඉල්ලා සිටි විට නබිතුමාණන්ට වුවද මෙයට සමාව දිය නොහැකි බව මෙමගින් පිළිඹිබු කෙරෙනවා.

දඬුවම කෲර වූවද ඉහත කොන්දේසි දෙස අවධානය යොමු කිරීමේ දී චෝදනා ඔප්පු කිරීමේ දුෂ්කරතාව පැහැදිළි වනු ඇත. තවත් නිදසුනක් මෙසේය:

සොරකම සඳහා අත කැපීම ඉස්ලාමීය නීතියේ අනුමත දඬුවමකි. නමුත් සියලුම ආකාරයේ සොරකම් සඳහා මෙම දඬුවම් ලබා දිය නොහැක. සොරකමට ලක් වූ වස්තුව අන් අයට පහසුවෙන් ළඟාවීමට නොහැකි අයුරින් සුරක්ෂිත ස්ථානයක තබා තිබුණු එකක් විය යුතුය. එමෙන්ම ඉතා සුළු සොරකම් සඳහා මෙම අතකැපීමේ දඬුවම ලබාදිය නොහැක. නිදසුනක් ලෙස රටේ දුර්භික්ෂයක් පවතින කාල වකවානුවක දී ආහාර සොරා ගැනීමට පවා මිනිසුන් පෙලඹීම සාමාන්‍ය තත්වයකි. එවන් අවස්ථාවකදී මෙම නීතිය ක්‍රියාත්මක නොවේ. එමෙන්ම අදාල ඉස්ලාමීය පරිපාලනය විසින් සොරකමට භාජනය කරන වස්තුවේ අවම අගයක් නිර්ණය කර තිබිය යුතුය. අදාල දඬුවම දිය හැකි වන්නේ මෙම කොන්දේසි සියල්ල සම්පුර්ණ ව තිබුනොත් පමණි.

දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.

මරණාසන්න තත්ත්වයේ පසුවන තම මවගේ ප්‍රතිකාර සඳහා ගෙවීමට ගෙනයන මුදල් අතරමග දී යමෙකු සොරකම් කරගත්තේ නම් ඔබ පත්වන්නේ කුමන අසරණභාවයකට ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න.

මෙම දඬුවම් පිළිවෙතින් අපේක්ෂා කරන්නේ දඬුවමේ කෲරත්වය මත මිනිසාව වැරදි මගට යොමු වීමෙන් වළකා ගැනීමය.

දඬුවම් සම්ප්‍රදායක් අවශ්‍යමද?

‘දඬුවම’ සෑම අධිකරණ ක්‍රියාවලියකම අත්‍යවශ්‍ය කොටසක් බවට පත් ව ඇත. යහපත් ක්‍රියාකාරකම් වෙනුවෙන් යහපත් ආනිසංසද අයහපත්කම් වෙනුවෙන් අයහපත් ආනිශංසද ලබා දීම මෙම ක්‍රියාවලියේ කොටසක් ය. දඬුවම් සංකල්පය විවිධ ක්‍ෂේත්‍රයන්හි විවේචනයට හා මතභේදයට ලක් වූ මාතෘකාවකි. කෙසේ නමුත් ඒ දෙස බැලිය යුතු වන්නේ ‘දඬුවම’ යන පටු සීමාව තුළ පමණක් නොරැඳී ‘සමාජ යහපත’ යන විශාල වූ ක්‍ෂේත්‍රය දෙසම අවධානය යොමු කරමිනි. ඉස්ලාමීය කෝණයෙන් ‘නීතිය’ පමණක් සමාජ සදාචාරය ස්ථාපිත කරන ප්‍රධාන හෝ එකම ආයතනය ලෙස නොසැලකේ. නීතිය මගින් සිදු වන්නේ සදාචාරය ස්ථාපිත කිරීමට ආධාරකයක් ලෙස කටයුතු කිරීම පමණි.

මිනිසා විසින් පිළිපැදිය යුතු අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දෙවිඳුන් විසින් පැහැදිලි ඉගැන්වීම් අපහට ලබා දී තිබේ. මනුෂ්‍ය සමාජය සාමය හා සහජීවනය පදනම් කර ගෙන ජීවත්වීම පිණිස සීමාවන් හා මායිම් ද දෙවිඳුන් විසින් සකස් කොට දී තිබේ. මිනිසා මෙම සීමාවන් තුළ තම ජීවිතය සකස් කර ගැනීමට කටයුතු නොකරන අවස්ථාවන්හිදී ඔහු තමන්ට මෙන්ම මුළුමහත් සමාජ පද්ධතියටම විශාල හානියක් සිදු කරයි.

මෙවන් අවස්ථාවන් හි චුදිත පුද්ගලයා සම්බන්ධව පළි ගැනීමේ චේතනාවකින් තොරව සමාජයේ යහපත් පැවැත්ම අරමුණු කර ගෙන ඔහුව මෙන්ම මෙවන් වැරදි ක්‍රියාකාරකම් වලට නැඹුරු වීමක් ඇති අන් අයව එවන් කටයුතු වලින් වළක්වා ගැනීමේ හා අධෛර්යය කිරීමේ අරමුණින් දෙවිඳුන් නියම කළ දඬුවම් ක්‍රියාත්මක කිරීම ඉස්ලාමීය පිළිවෙතයි.

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම අවලාදයන් හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

ෂරියා පිළිවෙත අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිපාදන තිබේ ද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1)  වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3–10″සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.     

3 – 14. (1) “සෑම පුරවැසියකුටම –  ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;  ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට;  හිමිකම ඇත්තේ ය”.

ෂරියා බැංකු යනු කුමක්ද?

ඇත්තෙන්ම අපේ රටේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික බැංකු ක්‍රමය දේශීය පිළිවෙතක් නොවේ. එය බටහිරින් අපවෙත ලැබූවකි. මෙම බටහිර පිළිවෙතේ ගුණාගුණ පිළිබඳ දැනුමකින් තොරව අන්ධ භක්තියෙන් එය සුරකින්නට ඇතැම් අන්තවාදීන් සහ ඔවුන්ගේ ගෝලබාලයෝ කැපවී සිටින බව පෙනෙන්නට ඇත. පොලිය මත පදනම් වූ සිත්පිත් නොමැති බටහිර ක්‍රමය හා මානුෂීය පදනමකින් සැකසුනු ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය පිළිබඳ ඉතා කෙටි විග්‍රහයක් පහතින් දී ඇත්තෙමු.

පොලිය යනු සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණයේදී ඉතාමත් කේන්ද්‍රීය සාධකයකි. ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණයේදී භාවිතා වන්නේ යුක්තිය හා සාධාරණය මත පදනම් වූ පිළිවෙතකි. එහිදී පොළී සංකල්පය වෙනුවට යොදා ගැනෙන්නේ ලාභය බෙදා ගැන්මේ සංකල්පයයි. උදාහරණයක් ලෙස ත්‍රීරෝද රියක්  කුලී පදනම මත භාවිතා කරන්නට ගන්නා රියැදුරා හා රිය හිමියා දිනය අවසානයේදී වියදම් පියැවීමෙන් පසුව ලාභය බෙදා ගනිති. එවැනි අවස්ථාවකදී ඔවුන්ගේ එකඟතාවය මත පිළිගත් අනුපාතයකින් ගනුදෙනු සිදු කළ හැක.

නමුත් දෙවැන්නෙක් තවත් ත්‍රීරෝද රියක් දවසට නිශ්චිත කුලියක් ගෙවීමට ගන්නා රියැදුරකු යැයි සිතමු. පළමු රියදුරා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දවසේ ආදායම දෙදෙනා එකඟ වූ ප්‍රතිශතයක් මත බෙදා ගැනීමටය. මෙය ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය මත සකස් වුවකි. නමුත් දෙවැන්නා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දෛනික ව නිශ්චිත කුලියක් දීමේ පදනම මතය. මෙය පොලිය පදනම් වූ මුල්‍ය කළමනාකරණය මත පදනම් වුවකි.

ආදායමක් නොමැති දිනයකදී පළමු රියැදුරා ආයෝජකයා වෙත කිසිදු ගෙවීමක් ලබා නොදෙද්දී දෛනික නිශ්චිත කුලී පදනමකින් රිය ලබා ගත් තැනැත්තා විසින් මෙම තත්ත්වය තුළ අනිවාර්යයෙන් රිය හිමියාට දවසේ ගෙවීමට එකඟ වූ කුලිය ගෙවීමට සිදු වේ. ඉස්ලාමීය පිළිවෙත තුළ රිය හිමියා හා රියදුරා යන දෙදෙනාම ආර්ථික අවදානම බෙදා ගනිති. දෙවැන්නා ත්‍රීරෝද රථය ලබාගෙන ඇත්තේ දවසේ ඉපයීමක් තිබුනත් නොතිබුනත් පොරොන්දු වූ දෛනික කුලිය ගෙවීමේ පදනම මතය. මෙහි දී ඉපයීම අඩු දිනක අවධානම සහමුලින්ම දරන්නට සිදුවන්නේ දුප්පත් රියදුරාටය.

මෙය පොලිය මත පදනම් වූ බැංකු හා අනෙකුත් මුල්‍ය කළමනාකරණ පිළිවෙත අනුව සකස් වී ඇත. මේ පිළිවෙත් දෙකින් යුක්තිය සාධාරණය හා මිනිසත්කම ඇත්තේ කුමන පිළිවෙතේ ද යන්න කරුණාකර සිතා බලන්න. ඔබ ත්‍රීරෝද රථ රියදුරෙක් නම් කුලියට ත්‍රීරෝද රථයක වැඩකරන්නට සිදු වුවහොත් ඔබ තෝරා ගන්නේ කුමන පිළිවෙත ද යන්න ද කරුණාකර සිතා බලන්න.

ඉස්ලාම් බැංකුකරණයේදී මුදල යනු හුවමාරු මාධ්‍යයක් ලෙස පමණක් ලෙස සැලකේ. එසේම මුදල් ලාභය බෙදාගැනීමේ අපේක්ෂාවෙන් මිස පොලී අපේක්ෂාවෙන් ආයෝජනය නොකෙරේ. මෙම බැංකු ක්‍රමය මුස්ලිම් ජනයාට පමණක් සීමා කළ එකක් නොවේ. එහිදී මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට තම මුල්‍ය කටයුතු පවත්වාගෙන යා හැක.

පුරවැසියන් තම මුදල සාම්ප්‍රදායික බැංකුවක තැන්පත් කරන විට ඔවුන්ට 10% පමණ වාර්ෂික පොලියක් ගෙවන්නට බැංකුව එකඟ වේ යැයි උපකල්පනය කරමු. මෙසේ ලබා ගන්නා තැන්පතු නිමි ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවෙකුට බැංකුව 15% ක වාර්ෂික පොලියකට ණයක් වශයෙන් ලබා දෙයි. මෙම කර්මාන්තකරු තම නිමි භාණ්ඩයන් හි විකුණුම් මිල තීන්දු කිරීමේ දී පහත සඳහන් සාධක සැළකිල්ලට ගනී.

නිෂ්පාදන පිරිවැය + ලාභය + බැංකු පොලිය  = නිමි භාණ්ඩයේ මිල

මෙම භාණ්ඩයේ පාරිභෝගිකයින් වන්නේ මුදල් තැන්පතුකරුවන් වූ මහජනයාය. ඔවුන් මෙම මුදල ඉස්ලාමීය පිළිවෙත අනුව ලාභය හෝ පාඩුව බෙදා ගැනීමේ පදනම මත ආයෝජනය කළේ නම් නිමි භාණ්ඩයේ මිල තීන්දු වන්නේ පහත සඳහන් සාධකයන් මතය.

නිෂ්පාදන පිරිවැය + ලාභය = නිමි භාණ්ඩයේ මිල

ඉස්ලාමීය ක්‍රමයට අනුව කර්මාන්තකරු ඉස්ලාමීය මුල්‍ය ආයතනයෙන් තම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනයක් ලබා ගන්නා අතර ඔහුගේ ව්‍යාපාරයේ ලාභය පිළිගත් ප්‍රතිශතයක් අනුව මුල්‍ය ආයතනය සමග බෙදා ගැනීමට එකඟ වෙයි. කර්මාන්තකරු නිශ්චිත ප්‍රතිශතයක පොලියක් ගෙවීමේ කොන්දේසිය මෙකී ආයෝජනය තුළ නොමැත.

පළමු උදාහරණයේදී සාම්ප්‍රදායික බැංකුවේ මුදල් තැන්පත්කරුට 10% ක පොලියක් ගෙවීමට බැංකුව එකඟ වුව ද බැංකුව විසින් මුදල් වැඩි පොලියට නයට දීම තුළින් නිෂ්පාදිත භාණ්ඩයට එම වැඩි පොලිය එකතුවන හෙයින් නැවත වරක් පාරිභෝගිකයාවූ තැන්පත්කරු විසින් එම වැඩි පොලිය ගෙවන්නා බවට පත්වෙයි. පොලිය පදනම් වූ ආර්ථික ක්‍රියාවලියේ දී 10% ක පොලියක් ලබා නැවත 15% ක බැංකුවේ ණයකරු ගෙවන පොලියද තැන්පත්කරු විසින් දරන්නට සිදුවන හෙයින් පාරිභෝගික මහජනයාට 5% ක පාඩුවක් අත්විඳින්නට සිදුවෙයි.

ඉස්ලාමීය බැංකු ක්‍රමයේදී පෙර ගිවිස ගත් පරිදි ලාභය බෙදා ගැනීමේ පිළිවෙතක් අනුගමනය කරන හෙයින් පාරිභෝගිකයාට අමතර පොලී පිරිවැයක් දැරීමේ තත්ත්වය මතු නොවේ. පොලී ක්‍රමය මත පදනම් වී ආර්ථික සංවර්ධනයක් කරා යොමු වීම සැබැවින්ම අයුක්තිය අසාධාරණය මත පදනම් වූ පිළිවෙතකි.

සාම්ප්‍රදායික බැංකු ක්‍රමයේ දී:

                                        මුදල්

බැංකුව       >>>  මුදල් ණය වශයෙන්       >>>  ණය ලබා ගන්නා

බැංකුව       <<<  මුදල් වාරිකය හා පොලිය  <<<        ණය ලබාගන්නා

ඉස්ලාමීය බැංකු ක්‍රමයේ දී:

බැංකුව   >>>>     භාණ්ඩ හා සේවාවන් ආයෝජන ලෙසින් >>>>          ආයෝජන ලබාගන්නා

බැංකුව  <<<<                ලාභය එකඟ වූ පරිදි බෙදා ගැනීම <<<<          ආයෝජන ලබාගන්නා

ආර්ථික සංවර්ධනය යුක්තිය හා සාධාරණය මත සිදු වීමට නම් ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය වඩාත් සුදුසු බව ඉහත කෙටි උදාහරණ මගින් පැහැදිලිවේ යැයි විශ්වාස කරන්නෙමු. කිසිදු අර්ථයක් හෝ  හරයක් නොමැතිව ඉස්ලාම් යන නම සඳහන් වූ පමණින් සියල්ලට විරුද්ධ වීමේ මෝඩ ප්‍රතිපත්තියෙන් ඉවත් වී බුද්ධිය හා විචාරය පදනම් කරගනිමින් කටයුතු කරන ලෙස අදාල පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය

මීලඟට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය පිළිබඳ විමසා බලමු. මේ පිළිබඳ නගන ප්‍රධානතම චෝදනාව නම් රටේ පැවතිය හැක්කේ එක් නීතියක් පමණක් යන්නය. අපරාධ නීතිය සැමට එකසේ බලපවත්වන්නක් බව සත්‍යයකි. නමුත් සිවිල් නීතියේ විවිධ ප්‍රභේද අපට දකින්නට ඇත. උඩරට විවාහ හා දික්කසාද නීතිය, තේසවලාම නීතිය හා මුස්ලිම් විවාහ හා නීතිය මින් කිහිපයකි.

මෙම විවිධ සිවිල් නීති ප්‍රභේද තිබිය ද ඝෝෂාකාරී හඬක් මතු වී ඇත්තේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහිව පමණි. මුස්ලිම්, ඉස්ලාම් අජීර්ණයක් ඇති  මුස්ලිම් විරෝධී අන්තවාදීන්ගෙන් නැගෙන මෙම පදනම් විරහිත විරෝධයේ යථාර්ථය විමසා බැලීමක් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීම් සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථාගත කර ඇත්තේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් ය. 1954 අංක 31, 1955 අංක 22, 1965 අංක 1, 1965 අංක 5, හා 1975 අංක 41 දරණ පනත් මගින් මුල් පනත වරින්වර සංශෝධනය කර ඇත.‍

අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු ආගමික සමාජයකයි. මෙම සමාජ ස්ථරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඉස්ලාමිකයින් ඌරු මස් අනුභව නොකරති. එහෙත් කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිති. බහු ආගමික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද?

බහු ජනවාර්ගික හා බහු ආගමික සමාජයක එක් එක් සමාජ ස්ථරයන්ගේ  චර්යාවන් හා වත්පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  III වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කොටසේ 10 හා 14 (1)  වැනි වගන්තීන් හි පහත සඳහන් අයුරු සටහන් කොට ඇත.

3 – 10”සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ  නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”.     

3 – 14. (1) “සෑම පුරවැසියකුටම –  ( ඉ)  එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට;  ( ඊ)  එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට;  හිමිකම ඇත්තේ ය”.

ඉහත නීතිමය ප්‍රතිපාදන දෙස බලන විට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සාධාරණත්වය අවබෝධ කරගත හැක.

විවාහය යනු මිනිස් ජීවිතයේ  එක් ප්‍රධාන සංධිස්ථානයකි. එබැවින් ඉස්ලාම් දහමින් විවාහය සඳහා ඉතා සුදුදු නීතිරීති හඳුන්වා දී ඇත. මෙම නීතිවලින් වැඩියෙන්ම ආරක්ෂාව ලැබෙන්නේ කාන්තාවටය. කාන්තාවක් විවාහ වීමේදී මනාලයා මනාලියගේ පාර්ශවයෙන් සාම්ප්‍රදායිකව ලබා ගන්නා දෑවැද්ද වෙනුවට අනිවාර්යයෙන්ම මහර් නමැති විවාහ ත්‍යාග දීමනාව මනාලයා විසින් මනාලියට ලබා දිය යුතුය.

මෙම මහර් නම්වු ත්‍යාග දීමනාවේ වටිනාකම තීරණය කළ යුත්තේ ද මනාලිය විසිනි. එම ත්‍යාගයේ පුර්ණ අයිතිය මනාලිය සතු වේ. එබැවින් එය සුදුසු පරිදි තීරණය කිරීමන් ඇයට පසුවට ප්‍රයෝජනවත් විය හැකිය. යම් හෙයකින් දික්කසාද වීමට සිදු වුයේ නම් එම මහර් මුදල ඇයට අයිතිවන නිසා විශාල අස්වැසිල්ලක් වනු ඇත. නබිතුමාගේ කාලයේදී ඇතැම් විට විශාල වතු පිටි පවා මහර් ලෙස ලබා දී ඇත. මෙවැනි ක්‍රමයක් ඉස්ලාම් දහමේ හැර වෙන කිසිදු විවාහ නීතියක දක්නට නොමැත.

ඉස්ලාම් දහම අනුව විවාහයේදී කාන්තාවගේ කැමැත්ත ගැනීම අනිවාර්ය වේ. එසේ නොකර සිදු කරන විවාහයන් ඔප්පු වුවහොත් බල රහිත වනු ඇත. තවද විවාහ වීමට යෝජිත දෙදෙනා විවාහයට පෙර එකිනෙකා මුණ ගැසීම නබිතුමා ගේ උපදේශයකි. මේ නිසා දෙමව්පිය රැකවරණය යටතේ එය සිදුවිය යුතුය. වැඩිහිටියන්ගේ අභිමතයට පමණක් කටයුතු කිරීම මෙමගින් වලක්වා ඇත. මනාලිය වෙනුවෙන් අනුමත භාරකාරයෙකු සිටිය යුතු අතර පිළිගත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇතිව විවාහය ප්‍රසිද්ධියේ සිදුකළ යුතු වෙයි.

ඉස්ලාම් දහම අනුව විවාහයකින් පසු පවුලේ නඩත්තු කිරීම අයිති වන්නේ මනාලයාටය. එබැවින් ධනවත් කාන්තාවක් විවාහ වූ අවස්ථාවක දී පවා ඇයගේ ධනය මනාලයාගේ උවමනා පරිදි වියදම් කළ නොහැකිය. එහෙත් කිසිදු අසාධාරණ බලපෑමකින් තොරව කාන්තාව එකඟ වන්නේ නම් පමණක් මනාලිය සතු මුදල් පවුලේ උවමනාවන් සඳහා වියදම් කල හැකිය. ඉස්ලාමීය විවාහ පිළිවෙත අනුව කාන්තාවගේ අයිතිවාසිකම් සුරැකී ඇති ආකාරය ඉහතින් මනාව පැහැදිළි වෙයි. මෙම පිළිවෙතට පදනම් විරහිත ලෙස විරුද්ධවීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක් දැයි අසන්නට කැමැත්තෙමු.

කිසිවෙකු පසුව දික්කසාද වීමේ අදහසින් විවාහ නොවන බව අපි දනිමු. නමුත් දෙදෙනා අතරේ පෑහීමක් නොමැති අවස්ථාවක ජීවිතය අපායක් කර ගන්නේ නොමැතිව දික්කසාද වීමට සිදුවන අවස්ථා අපි දැක ඇත්තෙමු. රටේ පවතින පොදු විවාහ නීතිය අනුව දික්කසාදයකට අවම වශයෙන් අවුරුදු පහක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙයි. මෙම අවුරුදු පහ තුළ වෙන් වී සිටින්නා වූ අඹු සැමි යුවල තමන්ගේ ස්වාභාවික ලිංගික අවශ්‍යතාවන් සපුරා ගන්නේ කෙලෙස ද?

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය තුළ දික්කසාද වීමේ තත්ත්වයක් ඇති වුවහොත් එය සමාදාන කිරීම සඳහා විවිධ වැඩපිළිවෙලවල් ඇති අතර මේ සියල්ල අසාර්ථක වුවහොත් මාස හයකට අඩු කාල සීමාවක් තුළ දික්කසාදයක් අවසන් කිරීමට ඉඩකඩ සලසා දී තිබේ. 

ශරියාව උගන්වන මද්‍රසා!!!

මද්‍රසා යන අරාබි වදනෙහි සිංහල අරුත නම් පාසලයි. ඇත්ත වශයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නා පිරිවෙණ, කිතුණු පුජකතුමන්ලා ධර්මය ඉගෙන ගන්නා සෙමනේරිය සහ මුස්ලිම් විද්වතුන් වීමට බලාපොරොත්තු වන දරුවන් ඉගෙන ගන්නා මද්‍රසාවන් අතර කිසිදු වෙනස්කමක් නැත. මෙකී සියළුම අධ්‍යාපන ආයතන වලින් ඉගැන්වෙන්නේ ධර්මය සම්බන්ධ ඉගැන්වීම්ය.

මද්‍රසාවක ඉගෙන ගන්නා සිසුසිසුවියන්ට උගන්වන්නේ ඉස්ලාමීය ෂරීආ හෙවත් දිවිපැවැත්ම පිළිබඳ ඉගැන්වීම් බව අප වටහා ගත යුතුය. ඇත්තෙන්ම අපේ රටේ මෙවැනි ෂරීආව උගන්වන මද්‍රසා ස්ථාපනය කර තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේදී අරඹා මේ දක්වා පවත්වාගෙන යන මද්‍රසා අධ්‍යාපන ආයතන කිහිපයක්ද අපේ රටේ ඇත. එම මද්‍රසා වල පවා එදා සිට ඉගැන්වුයේ ෂරීආනුකූල ඉගැන්වීම්ය.

එමෙන්ම මෙම මද්‍රසා සියල්ලක්ම පාහේ අපේ රටේ නීතිය අනුව රජයේ පිළිගත් අධ්‍යාපන ආයතන ලෙස ලියාපදිංචි කර ඇත. ඒවාට නිසි පරිදි බැංකු ගිණුම් සහ ගිණුම් වාර්තා සහිතය. ඇතැම් මද්‍රසා පාර්ලිමේන්තු පනත් වශයෙන් ඉදිරිපත් කර සංස්ථාපනය කර ඇත. මේ නිසා ෂරියා උගන්වන මද්‍රසා වෙනම නීතියක් උගන්වන රටේ නීතියෙන් බැහැර වු එකක්ය යන චෝදනාව හුදෙක් හිස් ප්‍රලාපයක් ලෙස බැහැර කළ යුතු එකකි. එමෙන්ම මෙම මද්‍රසා වලදී කිසිදාක රටේ නීතියට පටහැනි දේ උගන්වන්නේ නැති බවට වගකීමෙන් ප්‍රකාශ කරමු.

මුස්ලිම් විරෝධී අන්තවාදීන් විසින් මුස්ලිම් පෝබියාවක් සඳහා නගන චෝදනාවන් අතර ෂරීආ නම් වු සංකල්පය සම්බන්ධයෙන් ඇති වැරදි අදහස් සම්බන්ධව අපට හැකි ආකාරයෙන් මෙම පොත් පිංච තුල ඔබට කරුණු ඉදිරිපත් කළෙමු.

මෙවන් යහපත් පිළිවෙතක් ෂරිආ නම් වු සංකල්පය සම්බන්ධයෙන් හුදෙක් මුස්ලිම් ඉස්ලාම් යන වැකි කෙරෙහි ඇති පිළිකුල පමණක් පදනම් කරගනිමින් අවලාද නගන්නේ නැතිව යථාර්ත්ය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. අන්‍යෝන්‍ය අවබෝධය යනු අපේ රටේ සාමය හා සංහිඳියාව සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් ය. එහෙයින් අපි එකිනෙකා අවබෝධ කර ගෙන ශ්‍රී ලාංකිකයින් ලෙසින් එක් මවකගේ දරුවන් මෙන් සාමයෙන් සමගියෙන් ජීවත්වෙමු. අප ජීවත්වන්නේ අතිමහත් බහුතරයක් වූ බෞද්ධ ජනයා අතරේය. එබැවින් නීතිය හා දඬුවම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි ද ඉතා සංක්ෂිප්ත අයුරින් අවධානය යොමු කරමු.

නීතිය දඬුවම හා බුදු දහම

සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නීතිරීති පද්ධතියක්ද එම නීති පසිඳලීමේ සාධාරණ හා යුක්ති ගරුක අධිකරණ ක්‍රමයක්ද සකසා ගෙන තිබීම දක්නට ලැබේ. බුදු දහම දෙස අවධානය යොමු කරන විට බහුතරයකගේ මතය වී ඇත්තේ එහි නිශ්චිත නීති (විනය) පිළිවෙතක් ඇත්තේ භික්ෂු හා භික්ෂුනීන් වූ පැවිදි පක්ෂය උදෙසා පමණක් බවය. උපාසක උපාසිකාවන් වූ ගිහි පක්ෂයට නිශ්චිත නීති පද්ධතියක් නොමැති වුවද චක්කවත්ති සීහනාද සුත්‍රයට අනුව පංච ශීලය මෙන්ම සිඟාලෝවාද සුත්‍රය හා අනෙකුත් පිටකාගත කරුණු එක්රැස් කිරීමෙන් එක්තරා ආකාරයක ගිහි විනයක් ගොඩ නැගිය හැකි බව බහුතරයකගේ මතය වන්නේය. පංච ශීලයේ කරුණු බිඳ දැමු විට දඬුවම් විඳින්නට සිදුවන්නේ මරණින් මතු ජීවිතයේ දී බව බුදු දහම උගන්වයි. අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ මහතා විසින් ලියන ලද “කර්මය හා විපාකය” නම් ග්‍රන්ථයෙන් මේ පිළිබඳව ඇති තොරතුරු වලින් බිඳක් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රාණඝාතයෙහි විපාක: නිබඳවම ප්‍රාණඝාතයෙහි යෙදුනු පුද්ගලයා මරණින් මතු එකසිය සතිස් නිරයන්හි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, ඉන් ඉක්බිතිව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අල්පායුෂ්ක පුද්ගලයෙකුව උපදී……

අදත්තාදානයෙහි විපාක: අදත්තාදානය (සොරකම) බහුල කොට පුරුදු පුහුණු කරන ලද පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී; තිරිසන් යෝනියෙහි උපදී; ප්‍රේත ලෝකයෙහි උපදී; එයින් චුතව මනුලොව උපන් කල්හි දුගී දුප්පත් යාචකයෙකුව උපදී. එසේ ඉපිද හිස මුඩු කරනු ලැබ කබල් සිරුරකින් යුතුව අනුන්ගේ නින්දා අපහාස ආදියට පාත්‍ර වන ඔහුට සතුරන්ගේ නිවෙස් කරා ද ගොස් හිඟා කන්නට සිදු වන්නේය.

කාමමිත්‍යාචාරයෙහි විපාක: කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී; තිරිසන් යෝනියෙහි උපදී; ප්‍රේත ලෝකයෙහි උපදී; එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් අත්තෙකුව උපදී. එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී; නපුංසකව උපදී; තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවද පරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පරස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය.” (8 හා 9 වැනි පිටු).

මෙලෙස පංච ශීලයේ කරුණු වලට පටහැනිව කටයුතු කළවිට මරණින් මතු ජීවිතයේ විඳින්නට සිදුවන විපාක (දඬුවම්) ඉතා පැහැදිලිව එම ග්‍රන්ථයේ විග්‍රහකොට ඇත. නීති කඩ කිරීම පිළිබඳව බුදු දහමේ අනුමත (මෙලොව) දඬුවම් දීමේ යාන්ත්‍රනය කුමක් ද යන්න පිළිබඳව කරුණු විමසීමේදී ආචාර්ය එස්. අයි. ගමගේ මහතා විසින් ලියන ලද “බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ග්‍රන්ථයේ “නීතිය යුක්තිය සහ  දණ්ඩනය” නම් වූ 10 වැනි පරිච්ඡේදයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.

“යුක්තිය සාධාරණය විනිශ්චය කිරීමට නීතිය අවශ්‍ය වන්නේය. යුක්තිය පසිඳලීමේදී නීත්‍යානුකුලව වැරදිකරු බවට පත්වන පුද්ගලයාට එම නීතියට අනුකූලව ම දඬුවම් ලබා දිය යුතු වන්නේය. විශේෂයෙන්ම මෙහිදී නීතියත් යුක්තියත් දණ්ඩනයත් අවශ්‍ය වන්නේ සමාජයේ සදාචාරාත්මක බව සුරක්ෂිත කර ගැනීමටය. සාර ධර්ම වැපිරීමටය. මිනිස් සමාජයේ ආරම්භය යම් තරම් ඈත ද එම සමාජයික යුගයේදීම එම සමාජයේ විෂම ක්‍රියා ඇති වූ ආකාරය ප්‍රකාශ කෙරෙන පුරාණ ආඛ්‍යානය හැටියට දීඝනිකායේ අග්ගඤ්ඤ සුත්‍රය ඉදිරිපත් කළ හැකිය. එම සුත්‍රයේ සඳහන් වන කාරණා අනුව සොරකම බොරුව වංචාව කාමයෙහි වරදවා හැසිරීම මේ ආදී දුරාචාර මුලික මිනිස් සමාජයෙහි ඇතිවිය. මේ නිසා එම තත්වයන් පාලනය කර ගැනීම සඳහා නායකයෙකු පත්කර ගැනීමට අවශ්‍ය විය. එසේ පත් කරගත් පාලකයා “රජ” නමින් හැඳින් විය. විෂම දේ ක්‍රියාත්මක වීමේදී ඒ පිළිබඳව සාධාරණ අන්දමින් යුක්තිය ඉටු කරනු සඳහා ගැටළු විනිශ්චය කරනු ලැබුවේ රජතුමාය.

අග්ගඤ්ඤ සුත්‍රයේ සඳහන් වන පරිදි රාජ්‍යයේ ආරම්භය සහ නීතියේ ආරම්භය ද එකට ම ඇතිවිය. මෙහිදී මෙම නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට සිදුවුයේ සොරකම පදනම් කරගෙන තෘෂ්ණාවෙන් අනුන්ගේ දේපල තමන් සන්තක කර ගනිමින් මුලික මිනිස් අයිතිවාසිකම් බිඳ හෙලීම නිසාය. අනුන්ගේ දේ සොරකම් කර ගැනීම තුළින් සිදු වුයේ යුක්තිය බිඳ වැටීමකි. මේ නිසා යුක්තිය ඉටු කිරීමට සිදුවේ. යුක්තිය ඉටු කිරීම තුළින් සිදුවන්නේ කාගේත් අයිතිවාසිකම් සුරක්ෂිත වීමය. අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ කාර්යයේදී නීතියත් දණ්ඩනයත් අවශ්‍ය වේ. ජනතාව විසින් මහාසම්මත රජතුමා පත්කරනු ලැබූ අතර රජතුමා නීති සම්පාදනය කළේය. නීති සම්පාදනය කළ රජතුමා එම නීති කඩකරන්නවුන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට ජනතාවගෙන් බලය ලබා ගත්තේය.

මුල් මහා සම්මත යුගයේදී අපරාධ නීතියත් දේපල නීතියත් යන දෙකම එකට ක්‍රියාත්මක විය. මේ නීති සංකේන්ද්‍රණය වී තිබුණේ මහා සම්මත රජතුමා වටාය. ජනතාව ඔහුට පවරා දී තිබු පරමාධිපති බලය තුළ සිට මහාසම්මත රජතුමා එම නීති ක්‍රියාත්මක කළේය. එය එදා ක්‍රියාත්මක වුයේ රාජ නීතිය යනුවෙනි.”

අග්ගඤ්ඤ සුත්‍රයෙන් ආචාර්ය ගමගේ මහතා උපුටා දක්වන පරිදි රාජ නීතිය බුදු දහම විසින් අනුමත නීති පද්ධතියක් බව මෙයින් පැහැදිළි වන්නේය.

අපි එකිනෙකාගේ වත්පිළිවෙත් වලට ගරු කරමු. මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්‍ය වර්ගයා තුළ අනේකප්‍රකාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම  සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු. මිනිසා හැර මුළු මහත් සත්ව ලෝකයම ‘සත්වයා’ යන ඒකීයත්වයෙන් යුක්ත වුවද ඔවුන් අතරේ ඇති විවිධත්වයන් සත්වයාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම කළ නොහැක්කක් බව අපි දකින්නෙමු. නමුත් මිනිසුන් අතරේ ඇති විවිධත්වය අලංකාරයක් ලෙස සලකා අන්‍යෝන්‍ය අවබෝධය හා ගෞරවය මත පදනම් වූ  එකීයත්වයක් ගොඩ නැගීමට අප සැවොම කටයුතු කළ යුතු ව ඇත. මෙම ඒකීයත්වය ගොඩ නැගීම සඳහා ඇති ඉස්ලාමීය මඟ පෙන්වීම් හි ඉතා අල්පයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

මුහම්මද් තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ ඉස්ලාම් විරෝධී ජනයා එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මහා කාරුණික මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය. මෙයයි තමන්ට ශක්තිය හා බලය ඇති විට පළි ගැනීමේ චේතනාවන්ගෙන් මිදී කාරුණිකත්වය පෙරදැරි ව කටයුතු කිරීමේ අවශ්‍යතා ව පෙන්වමින් මහා කාරුණික නබි තුමාණන් මුස්ලිම් වරුන්ට ලබා දුන් අලංකාර පුර්වාදර්ශය වන්නේ.

මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. මුහම්මද් තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව උහ්ද් නම් මදීනා නගර මායිමේ පිහිටි ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු මුහම්මද් තුමාණන් විසින් සමාව ලබා දෙන ලදී. මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් සාමයික සහජීවනය සඳහා කළ මෙවන් ක්‍රියාවන් අපට අලංකාර පුර්වාදර්ශයන් ව පවතී.

 “(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.”  (අල් කුර්ආනය 7 : 199)

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)

“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.”  (අල් කුර්ආන් 49:13)

“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)

ඉස්ලාමීය ඉගැන්වීම් හි යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව නගන්නාවූ චෝදනා පදනම් විරහිත බව මෙම සත්‍යය තොරතුරු විමර්ශනය කිරීමෙන් ඔනෑම අයෙකුට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අනවබෝධය තුරන් කරමු. අන්‍යෝන්‍ය අවබෝධය තුළින් එකිනෙකාගේ වත්පිළිවෙත් වලට ගරු කරමින් සුහදත්වය හා සහෝදරත්වය මත පදනම් වූ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සාමුහිකව කටයුතු කරමු.

By: එම්.අහ්මද් දහ්ලාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *