ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍ර වන්නේ මහා කාරුණික දෙවිඳුන් විසින් මනුෂ්‍යය වර්ගයාට නිවැරදි මඟපෙන්වීම උදෙසා දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයා වූ මුහම්මද් තුමාණන් මගින් පහළ කරන ලද අල් කුර්ආනය හා මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන, ක්‍රියා හා අනුමත කළ දෑ අඩංගු ‘සුන්නාහ්’ නමින් හැඳින්වෙන එතුමාණන්ගේ පිළිවෙතයි. මෙම මුලාශ්‍ර දෙකෙහිම විවාහය සඳහා නිශ්චිත අවම වයසක් පිළිබඳ සංඛ්‍යාත්මක සඳහනක් දක්නට නොමැත. නමුත් විවාහය සඳහා වූ මුලික අවශ්‍යතාවන් පිළිබඳ සඳහනක් දක්නට ඇත. 

“විවාහ වියට පත් වන තුරු අනාථයින් පිළිබඳ ව නුඹලා සෝදිසියෙන් සිටිවු. එවිට ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු.” (අල් කුර්ආන් 4:6)

මෙම අල් කුර්ආන් වැකිය අනුව විවාහවීමේ වයස හඳුන්වා දී ඇත්තේ තම වස්තුව පාලනය කිරීමට හැකි මුහුකුරා යෑමක් හා වගකීම් දැරිය හැකි තත්ත්වයට කෙනෙකු පත් වීමයි. මෙය ඔවුනගේ මානසික වර්ධනය පිළිබඳ ව කරන්නා වූ සටහනකි. තවත් අල් කුර්ආන් වැකියක අනාථයින්ගේ වස්තූන් පිළිබඳ සඳහනක් දක්නට ඇත.

“අනාථයාගේ වස්තුව යහ අයුරින් මිස ඔහු වැඩිවියට පත්වන තුරු සමීප නොවවූ”. (අල් කුර්ආන් 6:152)

මෙම අල් කුර්ආන් වැකියෙන් තම වස්තුව පිළිබඳ ව කටයුතු කිරීමට ශාරීරික වර්ධනයේ අවශ්‍යතාව දක්වා ඇත. අල් කුර්ආන් 4:6 වැකියෙන් විවාහ වියට පත්වීම යනු තම වස්තුව පාලනය කිරීමට වගකීම් දැරිය හැකි මුහුකුරා යාමක අවශ්‍යතාව දක්වා ඇත. මෙම වැකි දෙකම ගත් විට මානසික හා ශාරීරික වර්ධනයේ අවශ්‍යතාව දැක්වෙයි. මෙම කරුණු දෙක කෙරෙහි අවධානය යොමු කිරීමේදී එය බාලවයස් දැරිවියක් විසින් කළ හැක්කක් යන්න කිසිවෙකු පිළිගන්නා සාධක නොවේ.

පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකිය අනුව විවාහයේ පුර්ව අවශ්‍යතාවක් වන්නේ විධිමත් විවාහ ගිවිසුමකි (අරාබි: මීතාඛන් ගලීසාන්).

“ඔවුන් නුඹලාගෙන් විධිමත් (විවාහ) ගිවිසුමක් ගෙන නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු සමඟ (ලිංගිකව) ඇසුරුකළ තත්ත්වයේ නුඹලා එය (මහරය) නැවත ගනුයේ කෙසේ ද?” (අල් කුර්ආන් 4:21)

මෙම විධිමත් ගිවිසුම (අරාබි: මීතාඛන් ගලීසාන්) අල් කුර්ආනයේ යෙදී ඇති අවස්ථාවන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. සබත් දිනය පිළිබඳ ව ඉස්රායිල් ගේ දරුවන්ගෙන් ගත් බලවත් ප්‍රතිඥාව සම්බන්ධයෙන් ද යොදා ඇත්තේ මෙම අරාබි වචනමයි.

“තවද අපි ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීමට තූර් කන්ද ඔවුනට ඉහළින් ඔසවා තැබුවෙමු. තවද අපි හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි ඔවුනට පැවසුවෙමු. තවද (මසුන් ඇල්ලීමෙහි) සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු” (අල් කුර්ආන් 4:154).

මහා කාරුණික දෙවිඳුන් තම ධර්ම දුතයින්ගෙන් ගත් ස්ථීර වූ ප්‍රතිඥාව සඳහා ද යොදා ඇත්තේ මෙම අරාබි වචනමයි.
“අපි නබිවරුන්ගෙන් ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව (නබිවරය සිහිපත් කරවූ). තවද නුඹගෙන් ද, නුහ්ගෙන් ද, ඉබ්රාහිම්ගෙන් ද, මුසාගෙන් ද, මරියම්ගේ පුත් ඊසාගෙන් ද, (ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව ද නබිවරය සිහිපත් කරවූ), අපි ඔවුන්ගෙන් ස්ථීර වූ ප්‍රතිඥාවක් ගත්තෙමු”. (අල් කුර්ආන් 33:7)

බාලවයස් දැරිවියකට මෙලෙස අල් කුර්ආනයේ ‘මීතාඛන් ගලීසාන්’ යන්නෙන් සඳහන් වැදගත් ප්‍රතිඥාවකට හෝ ගිවිසුමකට එළඹිය හැකි ද?

මෙලෙස විවාහය පිළිබඳ ව අල් කුර්ආනය එය ඉතා වැදගත් ප්‍රතිඥාවක් හෝ ගිවිසුමක් ලෙස සඳහන් කොට තිබීමෙන් අදහස් වන්නේ විවාහය ඉතා වැදගත් මිනිස් සබඳතාවක් බවයි. මෙවන් ප්‍රතිඥාවකට හෝ ගිවිසුමට එළඹිය හැක්කේ වගකීම් දැරිය හැකි මානසික මුහුකුරා යෑමක් හා නිසි ශාරීරික වර්ධනයකින් යුක්ත අයට බව ඉහතින් උපුටා දැක්වූ අල් කුර්ආන් 4:6 හා 6:152 වැකිවලින් අවධාරණය කොට ඇත.

අල් කුර්ආන් 65:4 වැකියෙන් බාලවයස් දැරිවියන් විවාහ කර ගැනීම අනුමත කොට ඇත් ද?

සමාජ මාධ්‍යය තුළ මෙම වැකිය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් ඒ අනුව මල්වර නොවූ දැරිවියන් විවාහ කර ගැනීමට අවසර ලබා දී ඇති බව ප්‍රචාරයක් පවතී. පළමුව මෙම වැකියේ සිංහල අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමු.

“(දික්කසාද කළ) නුඹලාගේ ස්ත්‍රීන් අතුරින් කවුරුන්ට ඔසප්වීම පිළිබඳ ව බලාපොරොත්තු ඔවුන්(ගේ ඉද්දා නොහොත් පොරොත්තු කාලය) පිළිබඳ ව නුඹලා අවිනිශ්චිත වුයේ නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. ඔසප් නොවූ ස්ත්‍රීන්ට ද (මෙලෙසම වේ). ගැබිණි ස්ත්‍රීන්ට ඔවුන්ගේ (ඉද්දා) කාලය ඔවුන්ගේ දරු ප්‍රසුතිය කරන තුරුය. කවරෙකු අල්ලාහ්ට බිය භක්තිමත් වන්නේ ද ඔවුනට ඔවුන්ගේ කාර්යයන් හි ඔහු (අල්ලාහ්) පහසුව ඇති කරවන්නේය”. (අල් කුර්ආන් 65:4)
මෙහි දික්කසාද කරනු ලබන ස්ත්‍රීන් වර්ග තුනක් වෙන්ව දක්වා ඇත.

1. ඔසප්වීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට පත් ස්ත්‍රීන්
2. ඔසප් නොවන ස්ත්‍රීන්
3. ගැබිණි ස්ත්‍රීන්

මෙහි ඔසප් නොවන ස්ත්‍රීන් යන කොටස පිළිබඳ ව වැරදි මතයක් ඉදිරිපත් කරමින් මෙය මල්වර නොවූ දැරිවියන් විවාහ කර ගැනීමට ඉස්ලාමීය දී ඇති අනුමැතියක් ලෙස දැක්වීමේ උත්සාහයක යෙදී සිටිති. මෙම අල් කුර්ආන් වැකියේ ස්ත්‍රීන් හැඳින්වීමට අරාබි භාෂාවෙන් යොදා ඇත්තේ ‘නිසා’ යන පදයයි. ‘නිසා’ යන පදය අල් කුර්ආනයේ ස්ථාන 59ක යෙදී ඇති අතර මෙම සෑම අවස්ථාවකම යොදා ඇත්තේ වැඩුණු ස්ත්‍රීන් හැඳින්වීම සඳහාය. එක් අවස්ථාවක හෝ බාල වයස්කාර දැරිවියන් හැඳින්වීම සඳහා ‘නිසා’ යන පදය යොදාගෙන නොමැත. ඔසප්වීම සම්බන්ධව තත්ත්වයන් කිහිපයක් ස්ත්‍රීන්ගෙන් දකින්නට ඇත. වයස 45 හෝ එයට අඩු/වැඩි තත්ත්වයක් තුළ ස්ත්‍රීන්ගේ ඔසප්වීම ස්වාභාවිකවම නතරවීමක් දකින්නට ඇත. මෙය ආර්තවාභාවය නොහොත් menopause යනුවෙන් හැඳින් වේ. තවත් පිරිසකට අවුරුදු 16 වැනි වයසක් පසු කළත් ඔසප්වීමක් සිදු නොවන තත්ත්වයක් දකින්නට ඇත. මෙය අනාර්ථවය නොහොත් amenorrhoea යනුවෙන් හැඳින් වේ. ඔසප් නොවන ස්ත්‍රීන් යනුවෙන් හඳුන් වා ඇත්තේ මෙම පිරිසයි. මෙම අල් කුර්ආන් වැකිය උපයෝගී කර ගනිමින් බාලවයස් දැරිවියන් විවාහ කර ගැනීම සඳහා ඉස්ලාමය අනුමැතිය දී ඇති බව සඳහන් කිරීම පදනම් විරහිත වැරදි මතයක් බව මෙයින් පැහැදිලි වෙයි.

දික්කසාද කළ ස්ත්‍රීන්ගේ පොරොත්තු කාලය පිළිබඳ පොදු නීතියක් පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකියෙහි දක්වා ඇත.

“දික්කසාද කරනු ලබන්නියන් තමන් විසින් ම ‘කුරුඋ’ (ඔසප් හෝ පිරිසිදුව ඉන්නා වාර) තුනක් පොරොත්තු කළ යුතුය”. (අල් කුර්ආන් 2:228)

මෙම වැකියෙන් දක්වා ඇති කරුණු පිළිබඳ වැඩි විග්‍රහයකි ඉහත අල් කුර්ආන් 65:4 වැකියෙන් දක්වා ඇත්තේ යැයි සඳහන් කළ හැක. විවාහය සඳහා වයස් සීමාවන් පිළිබඳ ලාංකීය නීතියක සඳහන් වී ඇත්තේ කෙසේ ද යන්න ද විමසා බලමු.

උඩරට විවාහ හා දික්කසාද නීතිය.

උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)

උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකීය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. විසි එක් වන සියවසේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන්හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත්වන බවයි.

විවාහය සඳහා අවම වයස පිළිබඳ නිගමනයකට ඒමට පෙර ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙම සිද්ධියට සාපේක්ෂව අපට බලපාන තොරතුරු කිහිපයක් දෙස අවධානය යොමු කරමු. පහතින් උපුටා දක්වා ඇත්තේ ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ ප්‍රවෘත්තියකි.
‘දිනමිණ’ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
“දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”.

මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.

1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතී. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැති වරයා දකී.

2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්ත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.

3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නොමැත.

ඉහත සියළු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය විවාහයක් සඳහා අනුමත වයස පහත සඳහන් අයුරින් සම්පිණ්ඩනය කොට දැක්විය අක.
 මල්වර වීම ස්වභාවිකව ම විවාහය සඳහා කෙනෙකුගේ මූලික වයස් නිර්ණායකයක් ලෙස දැක්විය හැක.
 මල්වර වීමත් සමග ශාරීරික හා මානසික වශයෙන් විවාහ ගිවිසුමක වගකීම අවබෝධ කරගෙන කටයුතු කිරීමට තමන්ට හැකියාවක් ඇති බව.
මෙම විස්තර අනුව බාලවයස් දැරිවියන් විවාහ කර දීමක් පිළිබඳ ව ඇති චෝදනාව පදනම් විරහිත එකක් බව පැහැදිලි වෙයි. ඉස්ලාමීය ඉගැන්වීම් හි නිශ්චිත අවම වයසක් සඳහන් වී නොමැති වුව ද ඉහත සඳහන් කොන්දේසි අනුව විවාහ කටයුතු තීන්දු කළ යුතු වෙයි.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *