විද්‍යාවේ දියුණුවත් සමග ඇතැම් අය දහමින් සමුගන්නේය. එහෙත් ඉස්ලාම් දහමටත් විද්‍යාවටත් අතර විශාල බැඳීමක් ඇති බැවින් විද්‍යාවේ දියුණුව දැක මුස්ලිම්වරුන් දහම හැර යන්නේ නැත. කෙසේ වෙතත් මුස්ලිම් නොවන අය විද්‍යාවේ දියුණුවත් සමග ආගමක් අවශ්‍ය නොවන බව හෝ ආගමක් ඇදහීමට මැලිකමක් දක්වති. ඊට එක් හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ ප්‍රශ්න වලට දහමින්  නිසි පිළිතුරු ලබා නොදීම විය හැකිය. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ ආගමික පදනම ශක්තිමත් නොවන විට දරුවන්ද එම තත්වයටම පත් වීම සාමාන්‍ය දෙයකි. එහෙත් දෙමව්පියන් තුල නිවැරදි ආගමික පදනමක් තිබෙන විට දරුවන් නිරන්තරයෙන්ම දෙමව්පියන් අදහන දහමට ආකර්ෂණය වන්නේය.නවීන ලෝකය දෙස බලන කළ වානිජකරණය සහ විද්‍යාවේ දියුණුව නිසා ආගම කෙරෙහි දක්වන උනන්දුවේ අඩුවක් දැකිය හැකිය. මෙය තවත් උග්‍ර වන්නේ දෙමව්පියන් දහමින් ඈත් වන තරම අනුවය. බටහිර රටවල් වල මෙම තත්වය උග්‍ර ලෙස දැකිය හැකිය. කෙසේ වෙතත් ඇමරිකාවේ තවමත් ආගමික විශ්වාසය සියයට පනහ ඉක්මවා තිබේ. එහෙත් යුරෝපා රටවල් වල එය සියයට පනහට වඩා අඩුය.  රුසියාව චීනය වැනි රටවල් වල නාමිකව ආගමික නිදහස ලබා දී තිබුනත් එම රටවල්වල නොයෙකුත් ආගමික තහංචි දමා ඇති බැවින් මිනිසුන්ට නිදහසේ  ආගම් ඇදහීමට බාදාවක් වී ඇත. විශේෂයෙන්ම චීනයේ මෙය දැකිය හැකිය.

ඉස්ලාම් දහම හැරුණු විට වෙනත් බොහෝ ආගම්වල දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථ දැක්වීමක් නොමැත. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසුන් තමන්ගේ මනාපය පරිදි දේව රූප සාදාගෙන වැඳුම් පිදුම් කරති. තවද ආගම් වලින් උගන්වන දේවල් විද්‍යාව සමග ගැටෙන විට දහම ගැන ප්‍රශ්න ඇති වන්නේය. එවැනි අවස්ථාවන්හිදී බුද්ධිමතුන් ඒවා අනුමත කරන්නේ නැත. එහි ප්‍රතිපලයක් වන්නේ ඔවුන් දහමින් සමු ගැනීමය.

දහම හැර යන ඇතැම් අය හෘදය සාක්ෂියට මුල් තැන දී තිබේ. එහෙත් එය හැම තැනදීම නිවැරදි නොවේ. කෙනෙකුට හරියැයි සිතන දේ තවත් කෙනෙකුට වැරදි විය හැකිය. ඒ අනුව සොරෙකුට හරි දේ සොරෙක් නොවන කෙනෙකුට වැරදි ය. මංකොල්ලකාරයෙකු හරි යැයි කියන දේ මංකොලකරුවෙක් නොවන්නෙකුට වැරදිය. සල්ලාලයෙකුට හරි දේ සල්ලාලයෙකු නොවන කෙනෙකුට වැරදි ය. මේ අනුව හරි වැරදි මිනිසාට තීරණය කළ නොහැකි බව පැහැදිලිය. එය සිදු කළ යුත්තේ මිනිසාට ඉහලින් සිටින දෙවියන් පමණි.

මිනිසුන්ට දහම ගැන කලකිරීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ආගමික නායකයින්ගේ නොමනා හැසිරීමය. ඔවුන් දහම දෙසන අතරම ක්‍රියාවෙන් වෙනත් ආකාරයකට හැසිරෙන්නෝය. සැබවින්ම ගිහියන්ගේ ක්‍රියා කලාපය ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ට මග පෙන්වන අයගේ හැසිරීමට වඩා උසස්ය. මේවා දැකීමෙන් බොහෝ අය දහම ගැන කලකිරීමට පත් වීම වැළැක්විය නොහැකිය.  කෙසේ වෙතත් මෙම තත්වය ඉස්ලාම් දහම තුල දැකිය නොහැක්කේ එම දහමේ පුජක පක්ෂයක් නොමැති නිසාය.

මියන්මාරයේ චීවරය පොරවාගෙන මිනිසුන්ට නිසි මග පෙන්වීම වෙනුවට කරනු ලබන්නේ අහිංසක මිනිසුන් අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කිරීමය. මේ අතර කාන්තාවන්, ළදරුවන්, වයසක උදවිය ද දැකිය හැකිය. ඇතැම් කාන්තාවන් අමු අමුවේ දුෂණයට ලක් කරනු ලබති. මේවා කිසිම දහමකින් අනුමත කරනු ලබන්නේ නැත. විශේෂයෙන්ම ඉස්ලාම් දහනම මෙවැනි ක්‍රියා නීතියෙන්ම තහනම් කොට ඇත. ඒවා ජිනීවා සාම සම්මුතියේද දැකිය හැකිය.

දහමක් අවශ්‍ය නොවේ යැයි පවසන කිසිවෙකුට මරණයෙන් පසු සිදුවන දේවල් පැහැදිලි කර දීමට නොහැකිය. තවද මිනිසා මේ ලෝකයට පැමිණියේ කොහි සිටද? විශ්වය බිහිවුයේ කෙසේද යන ප්‍රශ්න වලට නිසි පිළිතුරු ඔවුන් විසින් ලබා දී නොමැත. මේවාට පිළිතුරු ලබා දිය හැක්කේ දහමකින් පමණි. දහමක් නොමැති තැනැත්තාගේ උදාහරණය ගමනාන්තය නොදැන බසයකට නැගුනු මගියෙකුට සමානය. ඔහු යන්නේ කොයිබටදැයි ඔහුම දන්නේ නැත. මිනිසාද මෙලොවට පැමිණි මගියෙකුට සමාන කළ හැකිය. දහමක් නොමැති නම් මරණයෙන් පසු ඔහුට වෙන දේ නිවැරදිව දැන ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැත. මෙයින් සිදුවන පාඩුව සුළු පටු නොවේ. ඇයිද යත් මරණයෙන් පසු ජිවිතයට අවසානයක් නොමැති නිසාය.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *